ඊජිප්තු විප්ලවයේ පස් වසර

Five years of the Egyptian Revolution

2016 ජනවාරි 25

දීර්ගකාලීන ඒකාධිපතියෙකු වූ හොස්නි මුබාරක් පලවා හැරීමට මග පෑදූ ඊජිප්තුවේ මහජන විප්ලවවාදී අරගලයන් පිපිරීමෙන් වසර පහකට පසු, ජනරාල් අබ්දෙල් ෆාටා අල්-සිසී නායකත්වය දරන ප්‍රතිවිප්ලවවාදී මිලිටරි ජුන්ටාව, තවත් සමාජ පිපිරීමක් ගැන බියට පත්ව සිටියි.

ඊජිප්තු විප්ලවයේ අදට යෙදෙන සංවත්සරයට සූදානම් වන එම පාලන තන්ත්‍රය, කම්කරුවන්ට හා තරුනයන්ට එරෙහිව, ම්ලේච්ඡ කඩාපැනීම් දැඩි කලේ ය. ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාවකට අනුව “පෙර සූදානමක්” ලෙස මෑත දිනවල දී පොලීසිය කයිරෝ නගර මධ්‍යයේ මහල් නිවාස 5,000ට කඩා වැදුනි. ඊජිප්තු වැසියන් යලි වීදිවලට අවතීර්න නොවන බව සහතික කර ගැනීමට ඔවුන්ට අවශ්‍යය. රට පුරා, දැඩි ලෙස සන්නද්ධ ආරක්ෂක නිලධාරීන්, පොලිස් භටයන් හා සොල්දාදුවන් සිය දහස් ගනනක් රඳවා තබනු ඇත.

දේශපාලන ප්‍රඥාවේ දුර්ලභ ප්‍රදර්ශනයක් ලෙස, නිව් යෝක් ටයිම්ස් පත්‍රය, නැවත වතාවක් ඊජිප්තු මහජනතාව වීදිවලට ඇද දැමීමට තර්ජනය කරන, යටින් දිවෙන සමාජ කොන්දේසිවලට ඇඟිල්ල දිගු කලේ ය.“ සන්ත්‍රාසයේ හැඟීමට තුඩු දී ඇත්තේ, ඉහල විරැකියාව, වැඩි වන මිල ගනන් හා අනෙකුත් කරනු වලට අමතරව, ඊජිප්තු සංචාරක කර්මනාත්තය විනාස කර ඇති , නිරන්තරව පැන නඟින කැරලිකාර ත්‍රස්තවාදය මධ්‍යයේ මහජනතාව ආන්ඩුව පිලිබඳ ඉවසීම නැති කර ගනිමින් සිටිති යි යන උත්සුකයන් ය.”

පුවත්පත තව දුරටත් මෙසේ පැවසී ය: “නමුත් ගිනියම් වූ ප්‍රතිචාරය පැහැදිලි කිරීමට එම සාධක පමනක් ප්‍රමානවත් නැත... ආරක්ෂක සේවාවන්ගේ පැත්තෙන් ජනවාරි 25දාම අනතුරුදායකය. එදින විනාශකාරී ලෙස, තාවකාලිකව වුවත් පාලනය ඔවුන්ගේ අතින් ගිලිහී යාම මතකයට නංවන අන්තරායකාරී දිනයක් විය.”

ඇමරිකාව විසින් පුහුනු කරන ලද ජෙනරාල්වරයෙකු මෙන් ම මුබාරක්ගේ මිලිටරි ඔත්තුසේවාවේ ප්‍රධානියා වූ අල්-සිසී, ඡන්දයෙන් පත්වුනු ජනාධිපති මොහමඩ් මූර්සි හා මුස්ලිම් සහෝදරත්වයට එරෙහිව, 2013 ජූලි මාසයේ ලේ වැකි කුමන්ත්‍රනයකින් බලය අල්ලාගත් දින සිට, ඊජිප්තුව පාලනය කර ඇත්තේ, අයෝමය හස්තයකිනි. 23දා, කයිරෝවේ පොලිස් විද්‍යාපීඨයේ දී ඔහු තර්ජනාත්මක කතාවක් පැවත් වූවේ ය. ඊජිප්තුවේ ජාතික පොලිස් දිනය ලෙස සලකන එදින දහස් ගනන් මිනිසුන් ඝාතනය කරන ලද ආරක්ෂක හමුදාවන්ට අල්-සිසී ප්‍රශංසා කල අතර “වීරයන්ගේ හා රුධිරයේ නාමයෙන් සියලුම ඊජිප්තු වාසීන්, ඔවුන්ගේ රටේ ආරක්ෂාව භාර ගත යුතු ය” යි ඉල්ලා සිටියේ ය.

පසු ගිය සතියේ දී මහජන විරෝධතාවන් යලි පැන නැඟීමෙන් පසුව, 22දා හදිසි නීති තත්වය ප්‍රකාශයට පත් කලාවූ ටියුනීසියාවේ සිදුවීම්වලින් ඔවුහු සැබවින්ම සලිත වූහ. 2011 ෆෙබරවාරියේ දී මුබාරක් පලවා හැරීමට යන්තම් සති ගනනකට පෙර ටියුනීසියානු ඒකාධිපති සිනේ එල් අබිඩින් බෙන් අලි පෙරලා දමනු ලැබූ ටියුනීසියානු ජනතාවට අල් සිසී එම තර්ජනය ම නිකුත් කලේ ය.“අපගේ අසැල්වැසි ටියුනීසියාවේ අභ්‍යන්තර තටයුතුවලට ඇඟිලි ගැසීමට මම අදහස් කරන්නේ නෑ, නමුත් මම සියලුම ටියුනීසියන් වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ රටේ ආරක්ෂාව බාර ගන්නා ලෙස” යි ඔහු ප්‍රකාශ කලේ ය.

අල්-ආහ්රාම් යන ඊජිප්තු දිනපතා පත්‍රයට අනුව,“ලෝකය පුරා ආර්ථික තත්වය පිරිහෙමින් තිබියදී, කිසිම ජාතියකට තව දුරටත් නොසංසුන්තා ඉවසා සිටිය නො හැක.” යනුවෙන් ආඥාදායකයා අනතුරු ඇඟවීය.

අල්-සිසී හා ඔහුගේ ලේවැකි තන්ත්‍රය සියලු විරුද්ධවාදීන් ත්‍රස්තවාදීන් කිරීමට ද ඊජිප්තු විප්ලවයේ ඉතිහාසය නැවත ලිවීමට ද උත්සාහ ගනිමින් සිටී. ඊජිප්තු රාජ්‍ය මාධ්‍යය, විප්ලවය නිරූපනය කරන්නේ, ශ්‍රේෂ්ඨ ඊජිප්තු ජාතිය යටපත් කිරීම හා අස්ථාවර කිරීම අරමුනු කරගත් විදේශීය ක්‍රමන්ත්‍රනයක් ලෙස ය. එසේ වුවත්, ලෝකය පුරා කම්කරුවන් හා තරුනයන්ට ආවේෂය ගෙන දුන්, දින 18ක ඓතිහාසික නැගිටීම පහසුවෙන් මකා දැමිය නො හැකි වනු ඇත.

ටියුනීසියාවේ මහජන නැගිටීම පසු පස පැමිනි ඊජිප්තු විප්ලවය නියෝජනය කලේ, විප්ලවවාදී අරගලයන්ගේ නැවත මතුවීම යි යන්න ගැන ප්‍රශ්නයක් නැත. එය ජාත්‍යන්තරව කම්කරු පන්තියේ වැඩෙන අරගලයන්ගේ පෙර නිමිත්තක් විය. එහි ක්ෂනික ඉක්බිත්තේ දී, වෛරයට පාත්‍රව සිටි විස්කොන්සින් ආන්ඩුකාර “ස්කොට් (“හොස්නි”) වෝකර්ට“ එරෙහිව විරෝධතාවේ දී “ඊජිප්තු ජාතිකයින් මෙන් ගමන් කරනු” යන සටන් පාඨය ද සමග සංඥා පුවරු ගෙන ගිය කම්කරුවන් ද ඇතුලුව” ලෝකය වටා කම්කරුවන් කලඹවන ලද්දේ ඊජිප්තුවේ අනුස්මරනීය අරගලයන් විසිනි.

2011 ජනවාරි 25දා, පලමු වරට දස දහස් ගනනක් කයිරෝ හා සූවස් වැනි අනෙකුත් නගරවල වීදිවලට පැමිනියහ. ඇමරිකාවේ අනුග්‍රහය ලත් ඒකාධිපතිත්වයේ කුරිරු මර්දනය නොතකා ජනවාරි 28දා, ඊනියා “ක්‍රෝධයේ සිකුරාදා” ඊටත් වඩා සටන්කාමී ලෙස ඔවුහු, මුබාරක්ගේ කුප්‍රසිද්ධ කැරලි මර්දන පොලීසියට එරෙහිව කලින් සැලැසුම් කෙරුනු සටනට අවතීර්න වූහ. ඊ ලඟ දිනවල දී සමස්ත ඊජිප්තුව පුරා මිලියන ගනනාවක් විදිවලට පැමිනියහ. කයිරෝවේ තරීර් චතුරශ්‍රය වාඩිලා ගැනුනු අතර එය ඊජිප්තු විප්ලවයේ සංකේතය බවට පත් විය.

විප්ලවයක් තුල හැම විටකදී ම මෙන් වටලනු ලැබූ තන්ත්‍රය, විරෝධතාකරුවන් බියවැද්දීමට ගත් උත්සාහයෙන් සිදු වුනේ, විරෝධතා තව තවත් ඇවිල යාම පමනි. පෙබරවාරි 2වැනි දා කුප්‍රකට “ඔටුවන්ගේ සටනට” පසු මුබාරක්ගේ මැරයන්, තරීර් චතුරශුයේ කම්කරුවන්ට හා තරුනයන්ට පහර දුන් අවස්ථාවේ, අධිරාජ්‍යවාදී බලවතුන් අවසානය දක්වා ආරක්ෂා කිරීමට තැත් කල, ඒකාධිපතියා පිටුදැකීමට කවර දා වත් නො වූ සංඛ්‍යාවක් මිනිසුන් චතුරශුය වෙත පැමිනියහ.

තරීර් චතුරශුයේ සිදුවීම් නාටකාකාර වූවා මෙන් ම ඊටත් වඩා වැදගත් වූයේ, පෙබරවාරි 11වැනිදා මුබාරක්ට අවසාන ප්‍රහාරය එල්ල කල කම්කරු පන්තියේ මැදිහත්වීම යි. මුබාරක් පලවා හැරීමට පෙර හා පසුව ඊජිප්තුව සිසාරා කම්හල්වල පැතිරුනු වැඩවර්ජන රැල්ල හා වාඩිලා ගැනීම්, ඊජිප්තු කම්කරුවන් විසින් වසර ගනනාවකට පෙර සිට ම සූදානම් කෙරී තිබුනි.

විශේෂයෙම 2005න් පසු, වැඩ වර්ජන හා විරෝධතා එක දිගට වැඩී ගොස් තිබුනි. සියලු අතින් ම 25දා ඇරඹුනේ, සමාජ සේවා කප්පාදු කිරීම්, පුද්ගලීකරනය හා සාපරාධී හා දූෂිත පාලක ප්‍රභූව රාජ්‍ය දේපල කොල්ලකෑමට එරෙහිව ඊජිප්තු කම්කරුවන් අතර දීර්ග කාලයත් තිස්සේ ගොඩනැගුන ක්‍රෝධයේ හා විරෝධයේ කූඨප්‍රාප්තියකි.

මුබාරක් පලවා හැරුනු ඉක්බිත්තේ කම්කරු පන්තිය ඉස්මතු වූයේ, ඊටත් වඩා තීරනාත්මක විප්ලවවාදී බලවේගයක් ලෙස ය. ඒකාධිපතියාගේ වැටීමෙන් පසු ක්ෂනික ආසන්න දිනවල, දිනකට වැඩවර්ජන 40ක් 60ත් අතර පැවතුනු අතර, 2011 පෙබරවාරියේ දී පමනක් 2010 පුරාවට සිදුවූ තරම් වැඩ වර්ජන පැවතුනි.

එම වසරවල දී වැඩවර්ජන නොකඩවා තීව්‍රවුනේ, තන්ත්‍රය විසින් ගෙන යන ලද මර්දනකාරී පියවර නො තකා ය. සමාජ හා ආර්ථික අයිතීන් පිලිබඳ ඊජිප්තු කේන්ද්‍රයේ වාර්තාවකට අනුව, 2012දි වැඩවර්ජන හා සමාජ විරෝධතා 3,817ක් පැවතුනි, එය 2000 හා 2100 අතරතුර එකී කේන්ද්‍රය විසින් වාර්තා කරන ලද සියලු ම විරෝධතාවන්ට වඩා ඉහල ය. ජාත්‍යන්තර සංවර්ධනය පිලිබඳ ඊජිප්තු කේන්ද්‍රය, 2013 ජනවාරියේ සිට මැයි දක්වා කාලය තුල දී වැඩවර්ජන හා විරෝධතා 5,544ක් ගනනය කර තිබුනි.

වොෂින්ටනයේ අනුග්‍රහය ලත් මුබාරක් ඒකාධිපතිත්වයේ 30 වසරකට පසුව ඊජිප්තු විප්ලවය නියෝජනය කලේ, දැවන්ත ජාත්‍යන්තර ප්‍රතිවිපාත සහිත වැදගත් නැගිටීමකි. කෙසේ නමුත් විප්ලවය ආරම්භයේ සිට ම පැවතුනේ ද ඊජිප්තු කම්කරු පන්තියේ මූලික ප්‍රශ්නය වූයේ ද දේශපාලන නායකත්වයක් නොමැති කම යි.

මුබාරක් පලවා හැරීමට දිනකට පෙර, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝත් ඉදිරිදර්ශන තීරු ලිපියක මෙසේ අනතුරු ඇඟවී ය,“ඊජිප්තු කම්කරුවන් මුහුන දෙමින් සිටින විශාල ම අනතුර වන්නේ, වයසට යන ඒකාධිපතියාගේ අතින් බලය උදුරා ගැනීමට අත්‍යාවශ්‍ය සමාජ බලය සැපයීමෙන් පසු, ප්‍රමුඛ පුද්ගලයන් කීප දෙනෙකුගේ නම් හා මුහුනු හැරුනු විට දේශපාලන හරයේ කිසිවක් වෙනස් නොවීම, වනු ඇත.”

ලිපිය තව දුරටත් මෙසේ පැවසී ය: “වෙනත් වචනවලින් කියතොත්, ධනේශ්වර ආන්ඩුවට අත නොතබා යන්නට හරිනු ඇත. දේශපාලන බලය හා ආර්ථික ජීවිතය පවතිනු ඇත්තේ මිලිටරිය සහ යුරෝපයේ ද උතුරු ඇමරිකාවේ ද ඔවුන්ගේ අධිරාජ්‍යවාදී හාම්පුතුන් විසින් අනුග්‍රහය දක්වනු ලබන ඊජිප්තු ධනපතීන් අතෙහි ය. ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ ප්‍රතිසංස්කරන පිලිබඳ පොරොන්දු, පලමු අවස්ථාවේ දී ම ප්‍රතික්ෂේප කෙරෙනු ඇත, ම්ලේච්ඡ මර්දනයේ නව තන්ත්‍රයත් ස්ථාපිත කෙරෙනු ඇත.”

“අන්තරායයෝ අතිශයෝක්තියට නංවන ලද ඒවා නොවෙති. විසිවැනි සියවසේ විප්ලවවාදී අරගලයන්ගේ සමස්ත ඉතිහසය ම ඔප්පු කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය මෙන් ම අධිරාජ්‍යවාදීන් විසින් මර්දනය කෙරෙන රටවල නිදහස දිනාගත හැක්කේ, ලියොන් ට්‍රොට්ස්කි සිය නො නවතින විප්ලව න්‍යාය තුල අවධාරනය කල පරිදි, ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම්ව කම්කරු පන්තිය බලය ගැනීමෙන් පමනි.”

ඊජිප්තු විප්ලවයේ මූලික ප්‍රශ්නය වූයේ එකිනෙකට වෙනස් සියලුම ධනේශ්වර බලවේගයන්ගෙන් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය අත්කර ගැනීම යි. මෙහි අර්ථය වූයේ, මුබාරක්ගේ ජෙනරාල්වරුන් විසින් නායකත්වය දෙන ලද මිලිටරියේ ප්‍රගතිශීලී ස්වභාවය පිලිබඳව ගොතන ලද මිත්‍යාවන් පරාජය කිරීම හා ධනේශ්වර මුස්ලිම් සහෝදරත්වය හා මොහමඩ් එල්බරාඩේගේ වෙනස සඳහා ජතික සංවිධානය වැනි ඊනියා “ලිබරල්” ධනේශ්වර ව්‍යාපාරයන්ට කිසියම් හෝ අනුගත වීමක් ප්‍රතික්ෂේප කිරීම යි.

මෙම තතු තුල, සුලු-ධනේශ්වර ව්‍යාජ වම්මුන් ඉටු කලේ නරුම හා මුලුමනින් ම ප්‍රතිගාමී කාර්යභාරයකි. කවර දා වත් ප්‍රතිගාමී හා ධනවත් මධ්‍යම පන්තික ස්ථරයන්ගේ දෘෂ්ටිය හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කූටෝපායන් හැර වෙන කිසි දෙයක් නියෝජනය නො කල විප්ලවවාදී සමාජවාදීන්ගේ (ආර්එස්) කාන්ඩ ගැසීම් හා ඒ සමාන කන්ඩායම්වල ප්‍රතිපත්තිවල සියලුම ඇඹරීම් හා හැරීම් විශ්ලේෂනය කිරීම මෙම ලිපියේ විෂය පථයෙන් පිට ය.

ආරම්භයේ දී විප්ලවවාදී සමාජවාදීන් ප්‍රකාශ කලේ, මුබාරක් වෙනුවට බලයට පැමිනි තන්ටාවි විසින් නායකත්වය දෙන ලද මිලිටිරි ජුන්ටාව, ඊජිප්තු ජනතාවට සමාජ හා ප්‍රජාතන්තවාදී ප්‍රතිසංස්කරන ප්‍රදානය කරනු ඇති බව යි. ඊට පසු 2011 පුරා මිලිටරියට එරෙහිව කම්කරු පන්තියේ විරෝධය වැඩෙත් ම ඔවුන්, “විප්ලවයේ දක්ෂිනාංශය ලෙස” මුස්ලිම් සහෝදරත්වය ප්‍රවර්ධනය කල අතර, 2012දී මූර්සිගේ මැතිවරනයට ප්‍රශංසා කලේ එය “විප්ලවය සඳහා ජයග්‍රහනයක්” කියා ය.

2013දී මූර්සි හා මුස්ලිම් සහෝදරත්වයට එරෙහිව කම්කරු පන්තියේ විරුද්ධත්වය වැඩෙත් ම, ආර්එස් මිලිටරි-ගැති ටැමරොඩ් උද්ඝෝෂනය ප්‍රවර්ධනය කලේ, “විප්ලවය සම්පූර්න කිරීමේ මාවත” ලෙස ය. එලෙසම ඔවුන්, 2013 ජූලි 3දා මිලිටරි කුමන්ත්‍රනයට (ආර්එස් වහාම මෙය පිලිගත්තේ “දෙවැනි විප්ලවය” ලෙස ය) හා එතැන් සිට සැමදා ඊජිප්තුව ග්‍රහනයට ගෙන ඇති ප්‍රතිවිප්ලවවාදී ප්‍රචන්ඩත්වයට පාර කැපුවේ ය. දැන් ජුන්ටාවේ මර්දනය, කම්කරු පන්තිය තුල නව විප්ලවවාදී පිපිරීමක් ඇවිලිය හැකි ය යන භීතියෙන් ආර්එස් උත්සාහ ගනිමින් සිටින්නේ, මුස්ලිම් සහෝදරත්වය සමග යලිත් එහි සන්ධානය අලුත් කිරීමට ය.

ඊජිප්තුවේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තික විරුද්ධත්වයේ නව රැලි මතුව ඒමත් සමග මූලික පාඩම් ඉගෙන ගත යුතුව ඇත. අති මූලික ප්‍රශ්නය වන්නේ ට්‍රොට්ස්කිගේ නොනවතින විපල්ලව න්‍යායේ පදනම මත විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීම යි. ධනේශ්වරය හා මධ්‍යම පන්තිය තුල එහි සහචරයන්ගෙන් වෙන් ව, කම්කරු පන්තියට පැහදිලිව දේශපාලන ස්වාධීනත්වය අත්කරගත හැක්කේ ද ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් විස්තාරනය කල හැක්කේ ද මෙම පදනම මත පමනි. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ඉදිරියේ එලඹෙන කාලපරිච්ඡේදය තුල, සිය ප්‍රධාන කර්තව්‍යයන්ගෙන් එකක් ලෙස දකින්නේ, ජාත්‍යන්තර ව්‍යාපාරයේ කොටසක් ලෙස ඊජිප්තුව තුල එවැනි පක්ෂයක් ගොඩනැගීම ය.

ජොහන්නස් ස්ටර්න්

Share this article: