75 වසරකට එහා: බටහිර පෙරමුනක් සඳහා කල ස්ටැලින්ගේ ඉල්ලීම, චර්චිල් විසින් ප‍්‍රතික්ෂේප කෙරේ

75 years ago: Churchill denies Stalin’s request for a Western front

2016 ජූලි 18-24

චර්චිල්

තවමත් පලමු අදියරේ තිබුන ද ජර්මානු මිලිටරිය, (වේමාක්ට්) ඒවන විටත් සෝසසසං ගැඹුරට කාවැදී තිබියදී ස්ටැලින් චර්චිල් වෙත මෙසේ ලියා යැවීය.“මට පෙනී යන පරිදි සෝවියට් සංගමයේ පමනක් නොව මහා බ්‍රිතාන්‍යයේ ද මිලිටරි තත්වය, බටහිරට වන්නට ප‍්‍රන්සය ද උතුරට වන්නට ආක්ටික්හි ද හිට්ලර්ට එරෙහි පෙරමුනක් ගොඩනැගීමට හැකි නම්, සැලකිය යුතු තරම් ශක්තිමත් කල හැකි බවයි.”

නැගෙනහිර යුද්ධය, නාසි ජර්මනිය හා සෝවියට් සංගමය යන දෙකම හෙම්බත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමින් ද මැද පෙරදිගදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආරක්ෂාව මත ඔට්ටු අල්ලමින් ද චර්චිල්, ස්ටැලින්ගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් මෙසේ ලියා යැවීය. “හමුදා ගොඩබැස්වීමට දරන උත්සාහයක් දරුනු ප‍්‍රතිප‍්‍රහාරයන්ට මුහුන දෙනු ඇතුවාක් මෙන්ම, කුඩා පරිමානයේ ආක‍්‍රමන අප දෙගොල්ලන්ටම යහපතක් වනවා වෙනුවට, ව්‍යසනයන් ගෙන එනු ඇත.”

හිට්ලර්ගේ මාරාන්තික තර්ජනය යටතේ ස්ටැලින්, බ්‍රිතාන්‍ය හා එක්සත් ජනපදය සමග මිලිටරි සන්ධානයක් ගොඩනගා ගැනීමේ මංමුලා සහගත උත්සාහයක නිරත විය. එහෙත් 1941 ග‍්‍රීෂ්මයේදී නැගෙනහිර පෙරමුනේ යුද ජයග‍්‍රාහකයා වනු ඇත්තේ කවරෙක්දැයි පැහැදිලි වන තෙක්, චර්චිල් හෝ රූස්වෙල්ට් යන දෙදෙනාගෙන් කවරෙක් වත් අත පුච්චා ගැනීමට නොකැමති විය.

1941 ජූලි මැද වන විට බාබරෝසා මෙහෙයුම, නුසූදානම් රතු හමුදාවට එරෙහිව ජර්මනිය ලත් දැවැන්ත ජයග‍්‍රහන හමුවේ, විශාල භූමි ප‍්‍රදේශයක් අත්පත්කර ගැනීමට සමත් විය. චර්චිල් වෙත ලිවීමට දෙදිනකට පෙරාතුව ස්ටැලින්ගේ වැඩිමහල් පුතා වූ යකොව්, ආක‍්‍රමනික ජර්මානු හමුදාවන් විසින් අල්ලාගෙන තිබුනි. පලමු වතාවට ජූලි 21දා, ලූෆ්ට්වැෆි ගුවන් යානා 127ක් මොස්කෝවට බොම්බ හෙලීමේ නිරත විය. ජූලි 24දා, මුන්චෙන් යන, ජර්මානු හා රුමේනියානු ඒකාබද්ධ ආක‍්‍රමනය අවසන් වූයේ, බෙසරබියා හා උතුරු බුකොවිනා ප‍්‍රදේශ රුමේනියාවට යලි අත්පත් කර දුන් ජයග‍්‍රහනයකිනි.

ඒ වන විට හිට්ලර්, නැපෝලියන්ගෙන් පසු කිසිදු පාලකයෙකු කර නොතිබූ ආකාරයට, යුරේසියානු භූ ස්කන්ධයේ විශාල කොටසක් සිය අනසක යටතට ගෙන තිබුනි.

කෙසේ වෙතත් බියාලිස්ටොක් හා මින්ස්ක් මෙන්ම ස්මොලෙන්ස්කි ප‍්‍රදේශයන්හි ජර්මානු ජයග‍්‍රහනයන්ගෙන් උද්දාමයට පත්ව සිටි ජෙනරාල් හැල්ඩර්, ජූලි මුලදී විශ්වාසයෙන් යුතුව ලියා තිබුනේ, බාබරෝසාවේ පලමු සති දෙක තුල සෝවියට් සංගමය පරදවා පහසු ජයග‍්‍රහන ලබනු ඇති බවයි. එහෙත් ජූලි අවසන් වන විට හොඳින්ම පෙනී ගියේ, බාබරෝසාහි මෙහෙයුම් සැලසුම් සැබවින්ම අසාර්ථකවී ඇති බවයි.

ජූලි මුල හැල්ඩර් හිට්ලර්ට කියා තිබුනේ, රතු හමුදාවේ සේනාංක 164න් සටන් කල හැකි තත්වයේ පැවතුනේ සේනාංක 46ක් පමනක් බවය. මෙම ගනන් බැලීම් පදනම්ව තිබුනේ, ජර්මානු ආක‍්‍රමනයට පෙරාතුව රතු හමුදාවේ සංඛ්‍යාවන් පිලිබඳව ලැබී තිබුනු සාවද්‍ය ඔත්තු තොරතුරු මතය. එනම්, සෝවියට් රුසියාව ලබනු ඇති අලාභ පිලිබඳ අධි තක්සේරුවක් හා සිය හමුදා යලි ශක්තිමත් කර ගැනීමට සෝවියට් සංගමය සතුව පැවති හැකියාව පිලිබඳ අඩු තක්සේරුවක් මතය. ජූලි 23දා හැල්ඩර් සිය සංඛ්‍යා, සටන් කල හැකිව සිටි සෝවියට් සේනාංක සංඛ්‍යාව 93ක් ලෙසට සංශෝධනය කලේය. රතු හමුදාව “තීරනාත්මක ලෙස දුබල කරනු ලැබූ නමුත් අවසන් වශයෙන් විනාශ කරනු නොලැබිනි” යනුවෙන් ඔහු ලියා ඇත.

Share this article: