ඉරාකය පිලිබඳ චිල්කොට් තීන්දුව: ඇමරිකානු හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුද අපරාධයකි

The Chilcot verdict on Iraq: A war crime by British and US imperialism

2016 ජූලි 07

2003 වසරේ ඇමරිකාවේ මූලිකත්වයෙන් සිදු කල ඉරාක ආක්‍රමනයේදී බ්‍රිතාන්‍ය ආන්ඩුව ඉටු කල ක්‍රියාකලාපය පිලිබඳව කරන ලද, 06දා නිකුත් කල චිල්කොට් පරීක්ෂනයේ වාර්තාව, යුද්ධයේ නීති විරෝධී ස්වභාවය හා එය සංවිධානය කර මෙහෙයවූ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු නිලධාරීන් දෙගොල්ලගේම සාපරාධී භූමිකාව පිලිබඳව විනාශකාරී සනාථනයක් ගෙන එයි.

සර් ජෝන් චිල්කොට්ගේ නායකත්වයනේ සිදු කල පරීක්ෂනයේ නිගමන, එය ආරම්භ කෙරී වසර 7ට පසුව නිකුත් විය. වචන මිලියන 2.6න් හා වෙලුම් 13න් සමන්විත වාර්තාව, 2001 හා 2009 අතර කාලයේ බ්‍රිතාන්‍ය ආන්ඩුව හා ඔත්තු සේවා අංශ විසින් ගත් ප්‍රතිපත්ති තීරන ගැන සඳහන් කරයි. පරීක්ෂනයට නීතිමය බලතල නොතිබුන අතර එය පිහිටුවන ලද ගෝඩන් බ්‍රවුන්ගේ ලේබර් ආන්ඩුව විසින්, ආක්‍රමනය පිලිබඳ නීත්‍යානුකූල භාවය ගැන කුමන හෝ තොරතුරක් විශේෂයෙන්ම බැහැර කර තිබුනි.

එහෙත් වාර්තාව, යුද්ධයට වගකිවයුතු අයගේ දෑත්වල මිලියන ගනනකගේ නොවේ නම් ලක්ෂ ගනනකගේ ලේ තැවරී ඇති බවට තීරනාත්මක සාක්ෂි සම්පාදනය කරයි.

මෙය අදාල වන්නේ එවකට ලේබර් අගමැති ටෝනි බ්ලෙයාර්ට පමනක් නොවේ. බ්‍රිතාන්‍ය තුල ඔහු සලකනු ලැබුවේ ආක්‍රමනය පිලිබඳ මහා බොරුකාරයා ලෙසය. ඒ පිලිබඳ සාක්ෂි වාර්තාව පුරාම දක්නට ඇත. තවත් දුරට යන විට එයින්, යුද්ධයේ ප්‍රධාන සැලසුම්කරුවා වූ ඇමරිකාවට ද චෝදනා එල්ල වේ. හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, උප ජනාධිපති ඩික් චේනි, ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් හා අනෙකුත් අය මෙන්ම, ඩිමොක්‍රටික් පක්ෂයේ වත්මන් ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන් ද ඇතුලු ඊට සහාය දුන් සියලු ප්‍රධාන නිලධාරීන් ඊට වගකිව යුතුය.

පෞද්ගලික පාපෝච්චාරන, රහසිගත ලේඛන හා පෞද්ගලික තොරතුරු මගින් සනාථ කර ඇත්තේ, 2002 වසරේ මුල පටන්ම සූදානම් කරන ලද, එහෙත් හැම විටම එවන් සැලසුමක් නැතැයි ප්‍රසිද්ධියේ කියා සිටි, ඉරාකයට එරෙහි ඇමරිකානු යුද්ධයට බ්ලෙයාර් සහාය දුන් බවයි.

“නිරායුධකරනයට ඇති සියලු සාමකාමී විකල්ප” අවසන්වී ඇතැයි කියා සිටි 2003 මාර්තු 20දා ආක්‍රමනය ආරම්භ විය. “එවකදී මිලිටරි පියවර අවසන් විකල්පයවී නොතිබුනේ” යයි චිල්කොට් සඳහන් කරයි.

එවකදී ඉරාකයේ සදාම් හුසේන් “නොවැලැක්විය හැකි” තර්ජනයක් එල්ල නොකලේය. ඉරාකය සතුව ජන ඝාතන අවි ඇතැයි යන ප්‍රකාශය ද “සනාථවී නැත”. ආක්‍රමනය දියත් කලේ “සාවද්‍ය” ඔත්තු සේවා තක්සේරු පදනම් කරගෙන වූ අතර ඒවාට විය හැකිව තිබූ පරිද්දෙන්ම කිසිවෙක්, කිසිදු අභියෝගයක් එල්ල නොකල බව ද වාර්තාව සඳහන් කරයි.

මෙම කරුනු පෙන්නුම් කරන්නේ ආක්‍රමනය ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවයි. එහෙත් චෝදනා ඊට වඩා සාපරාධීය.

චිල්කොට් වාර්තාවට ඊනියා ඩවුනිං වීදියේ සටහන්වල ප්‍රසිද්ධියට පත් කල සංස්කරනය ද ඇතුලත්ය. එය 2002 ජූලි මාසයේ බ්ලෙයාර් හා අනෙකුත් ඉහල නිලධාරීන් අතර පැවති රැස්වීමක් සිහි කැඳවයි. එහිදී බ්‍රිතාන්‍ය ඔත්තු සේවයේ ප්‍රධානියා “බුෂ්ට සදාම් ඉවත් කිරීමට අවශ්‍යය, ඒ මිලිටරි පියවරකිනි, ජන ඝාතක අවි හා ත්‍රස්තවාදයට අනුග්‍රහය දැක්වීම මගින් එය යුක්ති සහගත කෙරේ. එහෙත් ඔත්තු සේවා තොරතුරු හා සාධක එම ප්‍රතිපත්තිය වටා දවටා තිබේ” යයි සුවිශේෂී ලෙස පිලිගෙන තිබේ.

වෙනත් වචන වලින් කිවහොත්, උසිගැන්වීමකින් තොර යුද්ධයක් යුක්තිසහගත කිරීම පිනිස බොරු නිමිත්තක් නිර්මානය කරන ලද බව හා ඔවුන් සියලු දෙනා එය දැනසිටි බවත්ය.

බ්‍රිතාන්‍යයේ මිලිටරි මෙහෙයුම සඳහා නීතිමය තත්වය “බෙහෙවින් අසතුටුදායක වූ” බව චිල්කොට් කියයි. තව ද බ්ලෙයාර්,මිලිටරි පියවර සඳහා බලය පවරන, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ දෙවන යෝජනාවට සහාය දැක්වීමට අසමත් වීම සම්බන්ධයෙන් ප්‍රන්සයට පහර දුන් අතර “අප (පරීක්ෂකයින්) සලකන්නේ, නිසැකවම බ්‍රිතාන්‍ය, ආරක්ෂක මන්ඩලයේ අධිකාරයට වල කපා ඇති බවය.”

ආක්‍රමනය එය කියා සිටි අරමුනු ඉටුකිරීමට අසමත්වූ බව වාර්තාව කියයි. “ඉරාකයේ අභ්‍යන්තර ගැටුම, ඉරානය ක්‍රියාශීලී ලෙස සිය අවශ්‍යතා ඉදිරියට ගෙන යාම, කලාපීය අස්ථාවරත්වය හා ඉරාකය තුල අල් කයිඩාවේ කටයුතු, ආක්‍රමනයට පෙරාතුව පැහැදිලි ලෙසම ගෙනහැර දක්වා තිබුනි.”

ඇමරිකානු භටයින් 4491ක් හා බ්‍රිතාන්‍යයේ සෙබලු 176ක් මරුමුවට පත්වුනා පමනක් නොව තවත් දහස් ගනනක් බිහිසුනු ලෙස තුවාල ලැබූහ. “ඉරාක ජනතාව කියා නිමකල නොහැකි තරමින් පීඩාවට පත්විය.” වඩාත්ම විශ්වාස කටයුතු ගනන් බැලීම් වලට අනුව, යුද්ධයේ ප්‍රතිපල වශයෙන් ජීවිත විනාශවූ ඉරාකීයන්ගේ සංඛ්‍යාව දල වශයෙන් මිලියනයකි. තවත් මිලියන 5ක් ජනතාව නිවාස වලින් පලවා හැරුනි. රට ලේ වැකි නිකායික ගැටුම් හා අන්ත ආර්ථික හා සමාජ පීඩාවන්ගෙන් වෙලී පැවතුනි.

මෑත වසර වලදී හේග්හි ජාත්‍යන්තර අපරාධ අධිකරනයට ගෙන ආ අයිවරි කෝස්ට්හි ජනාධිපති ලෝරන්ට් ගැග්බෝ හා සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර් වැනි සියලු දෙනා, බ්ලෙයාර් හා බුෂ් විසින් සිදු කල ජන සංහාරයෙන් අල්පයකට තරම්වත් වගකිව යුත්තන් නොවීය.

පසුගිය 15 වසර තිස්සේ ඇමරිකානු හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් අනුගමනය කල ප්‍රතිපත්තිය පිලිබඳ අධි චෝදනාවකි, චිල්කොට් පරීක්ෂනය. ඔවුන්ගේ ජනසංහාරක පරිමානය, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ ලිබියාවේ හා සිරියාවේ සිදුකර ඇති විනාශයෙන් පෙන්නුම් කරයි. ඒවා දායක වුනේ, නිකායවාදය හා ඉස්ලාමීය මූලධර්මවාදය ශක්තිමත් කිරීමට පමනි.

තීන්දුව ඕනෑවටත් වඩා පැහැදිලිය: බ්ලෙයාර්, බුෂ් ඇතුලු නිලධරුවන් යුද අපරාධකරුවන්ය. ඔවුන් සිය සම කුමන්ත්‍රනකරුවන් ද සමග වහාම අධිකරනයට පැමිනවිය යුතුය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව පිහිටුවන ලද නියුරම්බර්ග් අධිකරනය, එහි මූලික නිගමනය සම්බන්ධයෙන් පැහැදිලි හා අවිවාදිතය: ප්‍රහාරයක නොවැලැක්විය හැකි තර්ජනය, දේශපාලන අරමුනු ඉටුකර ගැනීමට යුද්ධය යොදා ගැනීම යුක්තිසහගත කරන්නේ නැත, එය සමාන වන්නේ බිහිසුනු යුද අපරාධයකටය. බුෂ් හා බ්ලෙයාර්, එල්ලා මරා දැමුනු නාසි අපරාධකරුවන් 12 දෙනා මෙන්ම වරදකරුවන්ය.

චිල්කොට් තොරතුරු අතරට, පූර්වයෙන් රහසිගත සටහන් ලෙස සලකන ලද බ්ලෙයාර් හා බුෂ් අතර හුවමාරුවූ ලිපි ද ඇතුලත්ය. බුෂ් විසින් බ්ලෙයාර්ට යවන ලද සටහන් වොෂින්ටනයේ ඉල්ලීම පරිදි රහසිගතව තබාගන්නා ලදී. එයින් පැහැදිලි කරන්නේ, යුද්ධය පිටුපස පැවති අරමුන, ජනඝාතක අවි හෝ ත්‍රස්තවාදය නොව, තුන්වන රීකයේ (නාසි පාලන තන්ත්‍රය) නායකයින් සම්බන්ධ කාරනයේදී මෙන්ම ගෝලීය ආධිපත්‍යයයි.ආක්‍රමනයෙන් දින කිහිපයක් ඇතුලත බ්ලෙයාර්, මිලිටරි ආක්‍රමනයේ අරමුන හෙලිදරව් කලේය. එය වනාහි “අව්‍යාජ සීතල යුද්ධ ලෝක පර්යාය” පිහිටුවීමේ අවස්ථාවක් යයි ඔහු පැවසීය.

ඉරාක ගැටුමේදී මිය ගිය බ්‍රිතාන්‍ය සෙබලුන්ගේ පවුල් බොහොමයක ප්‍රතික්‍රියාව දැඩිය. 2005 වසරේ ඉරාකයේදී මිය ගිය බොබ්ගේ සොයුරිය වන සරා ඕ කොනර් පැවසුවේ, “මේ ලෝකයේ ප්‍රවේසම් විය යුතු එක් ත්‍රස්තවාදියෙක් සිටියි, ඔහුගේ නම ටෝනි බ්ලෙයාර්ය, ඔහු ලෝකයේ සිටින නරකම ත්‍රස්තවාදියාය.”

බස්රාහිදී තමන්ගේ මැතිව් නමැති පුත්‍රයා මිය ගිය රොගර් බේකන් මෙසේ පැවසීය. “බ්‍රිතාන්‍යයන්ගේ ජීවිත බිලි දෙමින් කිසිදු සාධනීය ප්‍රතිපලයක් අත්කර නොගත් විනාශයකට රටක් ඇද දැමීම පිනිස, ඒසා ප්‍රමානයක අත් වැරදි වලට මින් පසු කිසි විටෙකත් ඉඩ නොතැබිය යුතුය.”

2007දී මිය ගිය කෙවින්ගේ පියා වන මාක් තොම්සන් බ්ලෙයාර් ගැන පැවසුවේ “ඔහු කල දේ වෙනුවෙන් ඔහු සතු සියල්ල අහිමි කල යුතුය. එය නීති විරෝධී යුද්ධයකි. මගේ පුතා මිය ගියේ නිස්කාරනේය. කිසිදු හේතුවක් නැතිවය.”

“තමා ඔත්තු තොරතුරු නිර්මානය කරමින්” කටයුතු කරන බව බ්ලෙයාර් දැන සිටියේ යයි තෝමස් යන සිය පුතු මිය ගිය රෙග් කීස් පැවසීය. ජැමී යන සිය පුතු මිය ගිය එඩී හැන්කොක් පැවසුවේ බ්ලෙයාර්ට “අඩුම තරමින් ඔහුගේ ජීවිත කාලය තුල කුමන ආකාරයක හෝ පොදු කටයුත්තකට සහභාගී වීම තහනම් කල යුතු” බවයි.

එවන් අව්‍යාජ හා ශෝක ජනක ප්‍රකාශ, පරීක්ෂනයේ ඇඟවුම් යට ගසා, ඒවා අනාගතයේ වඩාත් කුරිරු යුද්ධ ගෙන යාමේ ආකෘතියක් බවට හැරවීමට උත්සාහ කරන අයගේ ප්‍රතිචාරයට වඩා බෙහෙවින් වෙනස්ය.

අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියේ ඉරාකයේ ප්‍රතිවිපාක කුමක් වුවත්, “මැදිහත්වීම් සෑම විටම වැරදි යයි නිගමනය කිරීම” වැරදි බවයි.

සියලුදෙනාගෙන් වඩාත්ම බියගුලු ක්ෂමාලාපකයා වූයේ ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින්ය. ඉරාකය ආක්‍රමනය කිරීමට ගත් “විනාශකාරී තීන්දුව” ගැන වැලපෙමින් ඔහු පැවසුවේ, එය ලේබර් පක්ෂය මත “පැල්ලමක්” ඇති කල බවය. කෙසේ වෙතත්, එම පැල්ලම, කෝබින්ට බ්ලෙයාර්ගේ නම වත් සඳහන් කිරීමට හෝ ඔහු ලේබර් පක්ෂයෙන් නෙරපා හැරීමට තරම්වත් දෙයක් නොවීය.

අතීත අපරාධ ආරක්ෂා කිරීමට පමනක් නොව අලුත් අපරාධ යුක්තිසහගත කිරීමට ද උත්සාහ කරමින් වාර්තාව ගැන බ්ලෙයාර්ගේ උද්ධච්ඡ හා යුදවාදී ප්‍රතිචාරය සඳහා එය අත්වැල සැපයීය. “මගේ නිගමනය අනුව ලෝකය, සදාම් හුසේන් නොමැතිව වඩා හොඳ තැනක් විය, වන්නේය.”

සිය ටෙක්සාස් ගොවිපලේ සිට ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු ඇමරිකානු ජනාධිපති ජොර්ජ් බුෂ්, බ්ලෙයාර්ගේ හඬ ප්‍රතිරාවය කලේය. ඔහු මෙසේ පැවසීය: “මුලු ලෝකයම සදාම් හුසේන්ගෙන් තොරවීම නිසා හොඳ තැනක් වී තිබේ.”

මෙම මිනීමරු සමාජ ද්‍රෝහීන් පවසන්නේ කුමක් ද යත්, සිය යුද්ධයේදී සංහාරය කරන ලද මිලියනයක් ජනතාවගෙන් තොරවූ කල “ලෝකය හොඳ තැනක් වී” ඇති බවයි.

බුෂ් හා බ්ලෙයාර් පමනක් නොව අත්ලන්තික් සාගරය දෙපැත්තේම සමස්ත දේශපාලන සංස්ථාපිතයම, පරීක්ෂනයේ සොයාගැනීම් පිලිබඳව දක්වන ප්‍රතිචාරය පෙන්නුම් කරන්නේ, සත්‍යය හා සාධාරනත්වය ද ඉරාක ජනතාවට වන්දි ගෙවීම ද සඳහා සටන පෙරට ගෙනයා හැක්කේ, ධනපති පාලක පන්තීන්ට එරෙහි අරගයක් තුලින් පමනක් බවයි.

චිල්කොට් වාර්තාව නිකුත්කර ඇත්තේ, මැද පෙරදිග පමනක් නොව, රුසියාවට හා චීනයට විරුද්ධවත් අධිරාජ්‍යවාදී මිලිටරිවාදය උත්සන්න කෙරෙමින් ඇති වාතාවරනයකය. පරීක්ෂන කොමිසමේ වැඩකටයුතු සිදුවූ වසර හත පුරා තුන්වන ලෝක යුද්ධයේ සූදානම වේගවත්ව සිදුව තිබේ.

මෙම පරීක්ෂනයේ පාඩම්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ප්‍රකාශයේ නිගමන සනාථ කරයි. 2016 පෙබරවාරි 18දා, “යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන,” යන නමින් පල කල එය මෙසේ සඳහන් කලේය. “යුද්ධයට එරෙහි අරගලය පදනම් විය යුත්තේ කම්කරු පන්තිය මතය, සමාජයේ එකම විප්ලවවාදී බලවේගය වන එය, ජනගහනයේ සියලු ප්‍රගතිශීලී කොටස් තමන් වටා පෙලගස්වා ගනියි.”

ජූලී හයිලන්ඩ්

Share this article: