සෑන්ඩර්ස්ගේ “දේශපාලන විප්ලවය" හෙලිදරවු වෙයි: ජාතිකවාදී ප්‍රතික්‍රියා හා ක්ලින්ටන්ට සහය දීම

Sanders’ “political revolution” revealed: Nationalist reaction and support for Clinton

2016 ජූනි 30

බ්‍රෙක්සිට් ජනමත විචාරනයට බර්නි සෑන්ඩර්ස් දක්වා තිබෙන ප්‍රතිචාරය, ඔහුගේ “දේශපාලන විප්ලවයේ" වංචනිකත්වය අනාවරනය කර තිබේ. ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට විවෘත අනුමැතිය පලකිරීම සඳහා පරිවර්තනය වීමේ කොටසක් ලෙස ජුනි 29 දා නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ සෑන්ඩර්ස් පලකල අටුවාවක ඔහු අවධාරනය කරන්නේ, රිපබ්ලිකානු ප්‍රතිමල්ලවයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ජාතිකවාදී වැඩපිලිවෙල ඔවුන් පිලිගත යුතු බව යි.

“ඩිමොක්‍රටිකයන් අවදි විය යුතු යි" යනුවෙන් නම් කර ඇති ලිපියේ සෑන්ඩර්ස් අනතුරු අඟවන්නේ, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තුඩු දුන්නා වූ ජීවන කොන්දේසිවල කඩා වැටීම හා නැගෙන සමාජ අසමානතාව ම ඇමරිකානු කම්කරුවන් අතර පවත්නා කෝපය, තමන්ට නොවැම්බරයේ දී ධවල මන්දිරයට රිංගා ගැනීම පිනිස ෆැසිස්ට්වාදී කෝටිපතියා විසින් ගසාකනු ඇති බව යි. ඊට සෑන්ඩර්ස්ගේ පිලිතුර, එක්සත් රාජධානියේ පිටමංවීම සඳහා පෙනී සිටි කඳවුරේ දක්ෂිනාංශික නායකත්වයේ හා එක්සත් ජනපදය තුල ට්‍රම්ප්ගේ ආරක්ෂනවාදයේ හා වෙලඳ යුද්ධයේ පිලිවෙත පිලිගැනීම යි.

කලින් යකඩ නිෂ්පාදනය කල දැන් ආර්ථික නට්ටං වීමට මුහුනපා සිටින පෙන්සිල්වේනියාවේ මොන්සෙන් නගරයේ දී කලින් දින ට්‍රම්ප් කල කතාව ප්‍රතිරාවය කරමින්, ඇමරිකානු කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන් කඩාවැටීමට හා සමාජ අසමානතාව වර්ධනය වීම කෙරෙහි සෑන්ඩර්ස් දෙස් දෙවොල් තබන්නේ, ගෝලීයකරනයට හා උතුරු ඇමරිකානු නිදහස් වෙලඳ ගිවිසුම හා ඔබාමා විසින් යෝජිත අන්තර් පැසිෆික් හවුල්කාරීත්වය වැනි වෙලඳ ගනුදෙනුවලට ය.

“එක්සත් රාජධානියේ පිටමංවීමට සහාය දුන් අය මෙන් ම මිලියන ගනන් ඇමරිකානු ඡන්ද දායකයන්, මධ්‍යම පන්තිය විනාශයට භාජනය කරනු ලබමින් පවතින ආර්ථික බලවතුන් විසින්, තේරුම්ගත හැකි පරිදි ම, කෝපයටත් අපේක්ෂා භංගයටත් පත්කරනු ලැබෙති" යි ඔහු ලියයි. “මූලික වසයෙන් අපි ‘නිදහස් වෙලඳ' පිලිවෙත් ප්‍රතික්ෂේප කොට සාධාරන වෙලඳාම කරා යා යුත්තෙමු. පැයකට යන්තම් සත ගනනක් උපයන, අඩු වැටුප් සහිත රටවල කම්කරුවන් සමඟ ඇමරිකානුවන් තරඟ කල යුතු නැත. අපි අන්තර් පැසිෆික් හවුල්කාරීත්වය පරාජය කල යුත්තෙමු" යි ඔහු ප්‍රකාශ කරයි.

එක්සත් ජනපදයේ ද ලෝකය පුරා ද සංගත හා මූල්‍ය ප්‍රභූන්, ආර්ථික ගෝලීයකරනය පාවිච්චි කොට ඇත්‍තේ, කම්කරු පන්තියට ප්‍රහාර එල්ල කොට එහි ජීවන තත්ත්වයන් විනාශ කිරීමට බව සැබෑ ය. එසේම ධනපතියන් හා ඔවුන්ගේ ආන්ඩු විසින් අනුයන වෙලඳ ගිවිසුම් යොදාගනු ලැබ ඇත්තේ රැකියා විනාශයට හා වැටුප් පහත හෙලීමට ය.

එහෙත් ට්‍රම්ප් හා සෑන්ඩර්ස් යන දෙදෙනා ම, එම ප්‍රහාර මගින් නියෝජනය වන පන්ති අවශ්‍යතා හා ඒවායේ මූලය වන ධනේශ්වර පද්ධතියෙන් වියෝ කොට ඒවා පිලිබඳව විවේචන කිරීම, වඩාත් ම ප්‍රතිගාමී අන්තයන්ට යොමුව තිබෙන තතු හමුවේ කයිවාරුවකි.

කම්කරුවන්ගෙන් ද විශේෂයන් ම තරුනයින් අතරින් ද සෑන්ඩර්ස් සහයෝගය දිනා ගත්තේ, “ප්‍රකෝටිපති පන්තිය" හෙලා දකිමින් හා වෝල් වීදියේ ආධිපත්‍යය අවසන් කිරීම හා සමාජ අසමානතාවේ වර්ධනය ආපසු හැරවීම සඳහා “දේශපාලන විප්ලවයකට" කැඳවුම් කරමින් තමා සමාජවාදියෙක් ලෙස නම් කර ගනිමිනි. එහෙත් නිව් යෝක් ටයිම්ස් අටුවාවේ දක්නට නැත්තේ “ධනවාදය" හා “සමාජවාදය" යන වචන දෙකයි.

අව්‍යාජ සමාජවාදයේ හා ජාතික දේශ සීමා කපා හරිමින්, කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලයේ පදනම මත වමෙන් මෙන් ම ජාතිකවාදය, මිලිටරිවාදය හා සංක්‍රමන විරෝධය යන සටන්පාඨයන්හි පදනම මත දකුනෙන් ද ප්‍රතිගාමී ධනේශ්වර වෙලඳ ගිවිසුම්වලට විරුද්ධත්වයක් පවතී. සෑන්ඩර්ස් තම ආරක්ෂනවාදී වට්ටෝරු වාම හඬැති කයිවාරු සමඟින් ආවරනය කිරීමට තැත් කල ද ට්‍රම්ප් හා සෑන්ඩර්ස් යන දෙදෙනාගේ ම විරෝධය එන්නේ දකුනෙනි.

මොන්සන්හි කල කතාවේ එක් අවස්ථාවක දී ට්‍රම්ප්, කම්කරුවන්ගේ ඉරනම කෙරෙහි තමන්ට පවතිනවා යයි කියන උත්සුකයන් පිටුපස පවතින සංගත ගැති යථාර්ථය ඇඟවූයේ ය. “ව්‍යාපාරයක් ඇරඹීමට, කම්කරුවන් වැඩට ගැනීමට හා කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට ලෝකයේ පවතින හොඳ ම ස්ථානය බවට අපි ඇමරිකාව පත් කරනවා. ඇමරිකානු කම්කරුවන් හා ව්‍යාපාර මත පවතින දැවැන්ත බදු බර ඉවත් කිරීමත් මෙයට ඇතුලත්. රැකියා උත්පාදනය කිරීමට අපට පවත්නා හැකියාව විනාශ කරන නාස්තිකාර නීති රීති අහෝසි කල යුතු ..." යයි ට්‍රම්ප් බිරුසන් දුන්නේ ය.

වෙනත් වචනවලින් කියතොත් ඔහුගේ “පලමුව ඇමරිකාව" ක්‍රියාමාර්ගයේ අර්ථය, සංගත මත බදු හා කම්කරු පන්තිය සූරාකෑමට ධනපතියන්ට පවත්නා හැකියාව සීමා කරන සියලු ඉතුරු පහදු ඉවත් කිරීම යි.

චීනය, රුසියාව හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අනෙකුත් ප්‍රතිමල්ලවයන් සමඟ ගැටුම තීව්‍ර කිරීම ද ඉන් අර්ථවත් වේ. එනම්; ලෝක යුද්ධය කරා ධාවනය වේගවත් කිරීම, වධ බන්ධන නීත්‍යානුකූල පිලිවෙතක් ලෙස පිලිගැනීම හා රාජ්‍යයේ මර්දනීය බලයන් සුවිසල් ලෙස වර්ධනය කිරීම ආදිය යි. ට්‍රම්ප් විසින් විවෘත ව ප්‍රකාශ කරනු ලබන මෙම පිලිවෙත්, සෑන්ඩර්ස් විසින් ඉදිරියට දැමෙන ජාතිකවාදයෙන් ද තර්කානුකූල ව ගලා එයි.

වැඩෙන ආර්ථික අර්බුදය, තීව්‍ර වන භූ-දේශපාලනික ගැටුම් හා කම්කරු පන්තියේ අරගල යලි ඇරඹෙන තතු තුල, පාලක පන්තියේ වඩාත් ම ප්‍රතිගාමී කොටස්වල පිලිවෙත් මේවා ය.

සෑන්ඩර්ස්ගේ දේශපාලන වෘත්තීය ජීවිතය ගැන දැන සිටින්නන්, ඔහුගේ ආර්ථික ජාතිකවාදය අලුත් එකක් නො වන බවත් සංක්‍රමනික හා විදේශීය කම්කරුවන් මත එල්ල කරන ප්‍රහාරවල පදනමේ සිට ඔහු එය ආරක්ෂා කොට ඇති බවත් දැනගනු ඇත. ඩිමොක්‍රටිපක් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟ වදින බව නිවේදනය කිරීමෙන් දෙමසකට පසු, පසුගිය ජූලි මාසයේ, වොක්ස් වෙබ් අඩවියට දුන් සම්මුඛ සාකච්ඡාවක දී, පූර්න පුරවැසි අයිතිවාසිකම් සමඟින් කම්කරුවන්ට තමන් කැමති තැනක ජීවත් වීමට හා වැඩ කිරීමට ඇති අයිතිය පිලිගැනෙන අව්‍යාජ සමාජවාදයේ මූලික අංගයක් වන “දේශ සීමා විවෘත කිරීමේ" පිලිවෙත සෑන්ඩර්ස්ගේ හෙලාදැකීමට භාජනය වූයේ, එය “සෑම ඇමරිකානුවෙක් ම දිලින්දන් බවට පත් කරන" දක්ෂිනාංශික යෝජනාවක් යයි වර්ග කරමිනි.

“ඔබ ජාතික රාජ්‍යය පිලිබඳ සංකල්පය ඉවත දමමින් සිටිනවා... සෑම වර්ගයේ ම මිනිසුන් මෙහි ගෙනැවිත් ඔවුන්ට පැයකට ඩොලර් 2කට හෝ 3කට වැඩ කරන්න ඉඩ දෙන්න... ඔබ සිතන්නේ අප දේශ සීමා විවෘත කර, අඩු වැටුප් කම්කරුවන් විශාල ප්‍රමානයක් මෙහි ගෙන ඒම ද නැතහොත් ඇමරිකානු දරුවන්ට රැකියා සම්පාදනය කරන්නේ කෙසේ ද කියා ද?"

ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය, සෑන්ඩර්ස්ගේ උද්ඝෝෂනය ආරම්භයේ පටන් ම අනතුරු ඇඟවූයේ, එහි අරමුන දේශපාලන සංස්ථාපිතයට පවත්නා විරෝධය ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස ගාල් කිරීම බව යි.

සෑන්ඩර්ස්ගේ “දේශපාලන විප්ලවයේ" අවසානය, හුදෙක් ඩිමොක්‍රටික් පක්ෂයට ඔහුගේ ම අන්තර්ග්‍රහනය වීම පමනක් නො ව, එහි අතිශයින් ම ජාතිකවාදී පාර්ශවයේ කථිකයා ලෙස ඔහු ඉස්මතු වීම යි. ට්‍රම්ප් නැවැත්වීම සඳහා ක්ලින්ටන්ට සහයෝගය දීම අවශ්‍ය යයි තමන් ඇයට දෙන සහාය සාධාරනීකරනය කරන ඔහු, එමඟින් ට්‍රම්ප්ගේ ආර්ථික වැඩපිලිවෙල අනුමත කරයි.

තමන් සමාජවාදියෙක් යයි සෑන්ඩර්ස්ගේ කියාපෑම් විශ්වාස කොට, ඒ මත ඔහුගේ උද්ඝෝෂනයට සහයෝගය දීමට පෙලඹුනු අය, භයානක දේශපාලන පාඩමක් ඉගෙන ගනිමින් සිටිති. කම්කරු පන්තිය හා තරුනයින් අතර පවත්නා සමාජ විරුද්ධත්වය, සෑන්ඩර්ස්ගේ උද්ඝෝෂනයට යටපත් කිරීමේ විපාක හෙලිදරව් වෙමින් තිබේ.

කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන් මත එල්ල කරන නො නවතින ප්‍රහාරයට විසඳුම, ආර්ථික ස්වයංපෝෂනය හා ජාතික දේශ සීමා ශක්තිමත් කිරීම නො ව, සංගත හා බැංකු, කම්කරු පන්තියේ ප්‍රජාතාන්ත්‍රික පාලනයට යටත් කරන විප්ලවවාදී අරගලය හා සකලාකාර ධනපතියන්ටත් ඔවුන්ගේ සියලු ආන්ඩුවලටත් විරුද්ධ ව ජාතික සීමා කපා හෙලමින් කම්කරුවන් එක්සත් කිරීම යි.

සමාජවාදී සමානතා පක්ෂයත්, එහි ජනාධිපති හා උප ජනාධිපති අපේක්ෂකයන් වන ජෙරී වයිට් හා නයිල්ස් නීමුත් විසින් එක්සත් ජනපද මැතිවනරයේ දී ඉදිරිපත් කරනු ලබන ක්‍රියාමාර්ගය මෙය යි. සමාජවාදී අනාගතයක් සඳහා සටන් වැදීමට අවශ්‍ය අය හැරිය යුත්තේ මෙම ක්‍රියාමාර්ගය වෙත යි.

බැරී ග්‍රේ

Share this article: