වෝර්සෝවේ නැටෝ යුද සමුලුව

NATO’s war summit in Warsaw

2016 ජූලි 9

ජූලි 8දා වෝර්සෝවේ ආරම්භ වූ දෙදින නැටෝ සමුලුව සලකුනු කරන්නේ, සියල්ලටත් වඩා දෙවසරකට පෙර එක්සත් ජනපදයේ හා ජර්මනියේ පිටුබලය ඇති ව, රුසියානු හිතවාදී යුක්රේන ආන්ඩුව බලයෙන් පහ කල කුමන්ත‍්‍රනයක් සමගින් ඇරඹුනු, රුසියාවට එරෙහි ආර්ථික, දේශපාලනික හා මිලිටරි උද්ඝෝෂනය මගින් සංලක්ෂිත වන, අධිරාජ්‍යවාදී බලයන්ගේ ගෝලීය යුද ධාවනය අසාමාන්‍ය ලෙස පුලුල් වීම යි.

සමුලුවේ ප‍්‍රධාන මිලිටරිමය අරමුන, රුසියානු දේශ සීමාවන් ඔස්සේ නැටෝ හමුදා රැඳවීම පුලුල් පරිමාන ව ප‍්‍රසාරනය කිරීම මගින් එරටට එරෙහි ආක‍්‍රමනික තර්ජනය එල්ල කිරීම යි. වඩාත් පුලුල් ලෙස එය යෙදී සිටින්නේ, මොස්කෝවට එරෙහි යුද සූදානම සමගින්, ලොව පුරා ආක‍්‍රමනශීලී ලෙස මැදිහත් වන සන්ධානයක් බවට නැටෝව පරිවර්තනය කිරීම යි.

නැටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග්ගේ ආරම්භක ප‍්‍රකාශයන්හි සලකුනු කෙරුනු ඉලක්කයන්ගේ සමස්ත ලැයිස්තුව, ලෝකයේ බොහෝ ප‍්‍රදේශ අලලා ගනී. ඉරාකය හා සිරියාව තුල මිලිටරි කටයුතු ඉහල දමා මධ්‍යධරනී කලාපයේ හා නැටෝවේ “අසල්වැසි ප‍්‍රදේශයන්හි” හමුදා යෙදවීම් ප‍්‍රසාරනය කිරීම නැටෝව මගින් කරනු ඇති බව ඔහු සඳහන් කලේ ය. ලිබියාවේ සිට ජෝර්ජියාව හා යුක්රේනය ද ඇෆ්ගනිස්තානය හා චීන දේශ සීමා ප‍්‍රදේශය දක්වා විහිදෙන රටවල් තුල ද මිලිටරි කටයුතු සඳහා නැටෝව කරන සැලසුම් වෝර්සෝවේ දී විස්තෘත ලෙස සාකච්ඡුා සඳහා විෂයය වේ.

ජූලි 8දා ප‍්‍රධානකොටම අවධානය යොමු කෙරුනේ, පෝලන්තය සහ එස්තෝනියාව, ලැට්වියාව හා ලිතුවේනියාව යන බෝල්ටික් රාජ්‍යයන් -මේ සියලු රටවල් රුසියා දේශසීමාවේ පිහිටා ඇත- වෙත තවත් දහස් ගනනක් නැටෝ හමුදා යැවීමේ සැලසුම් නිල වසයෙන් අනුමත කිරීම යි. පෝලන්ත ජනාධිපති අන්ද්‍රේ ඩූඩා ද සිටිය දී කල අදහස් දැක්වීම්වල දී, මිලිටරි මූලස්ථානය හා නැගෙනහිර යුරෝපය පුරා මිලිටරි කඳවුරු විවෘත කිරීමට මෙන් ම සන්ධානයේ ක්ෂනික විහිදුම් බලකාය භටයන් 40,000 දක්වාතෙගුන කිරීමට නැටෝව ගත් පියවරයන් ස්ටොල්ටන්බර්ග් විසින් හුවා දක්වන ලදී.

“බහුජාතික වන අපගේ හමුදා රැඳවුම්වල පැහැදිලි පනිවඩුය, එක් සාමාජිකයෙකුට එල්ල වන ප‍්‍රහාරයක් සමස්ත සන්ධානයට ම එල්ල වන ප‍්‍රහාරයක් ලෙස සලකන බව” යයි ඔහු ප‍්‍රකාශ කලේ ය.

ස්ටොල්ටන්බර්ග් විසින් යුක්ති සහගත කරන ලද, ප‍්‍රධාන නැටෝ බලවතුන් සියල්ලන්ම නැගෙනහිර යුරෝපයට මහා පරිමාන ලෙස මිලිටරිය යෙදවීම, ඉවබව නැති, වගකීම් විරහිත හා නරුම පියවරයන්ය. ස්ටොල්ටන්බර්ග්ට අනුව, නැටෝ සන්ධානය ආරක්ෂා කරගැනීමේ හොඳ ම ක‍්‍රමය, නැගෙනහිර යුරෝපය තුල රුසියාව නිමග්න වන ඕනෑම ප‍්‍රාදේශීය ගැටුමක්, රුසියාව හා සමස්ත නැටෝ සන්ධානය අතර පූර්න පරිමාන යුද්ධයක් බවට හැරවීම මගින්, රුසියාවට එරෙහි න්‍යෂ්ටික යුද්ධයක් සඳහා එරටට නො නවත්වා තර්ජනය කිරීම යි.

සැලසුම් කල පරිදි හෝ අහම්බෙන් එවැනි ගැටුමක් ඕනෑම මොහොතක පුපුරා යාහැකි වීමේ තර්ජනය, පෝලන්තය තුල පසුගිය මාසයේ 30,000ක් නැටෝ හමුදා යොදාගෙන සිදුකල ඇනකොන්ඩා නමැති සුවිසල් මිලිටරි අභ්‍යාසයේ දී ඍජුව ඉස්මතු විය. රුසියාවේ බටහිරදිග පෙදෙස්වල ඒ හා සමාන භට පිරිස් බලමුලුගන්වමින් මොස්කෝව එයට ප‍්‍රතිචාර දැක්වූ අතර විදේශ ඇමති සර්ජි ලැව්රොව් නිවේදනය කලේ, තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමේ අයිතිය මොස්කෝව සතු බව යි.

රුසියාව සමග ගැටුමක් පිලිබඳව ස්ටොල්ටන්බර්ග් විසින් ඉදිරිපත් කෙරෙන තර්ක දේශපාලන මුසාවාදය. ඉන් ප‍්‍රමුඛ එක, නැගෙනහිර යුක්රේනය තුල රුසියානු හිතවාදී බෙදුම්වාදීන්ට රුසියාව දෙන සහයෝගය සලකුනු කරන්නේ රුසියාව, මිලිටරිමය ලෙස යුරෝපය යටත්කර ගැනීමට සූදානම් වන ආක‍්‍රමනකාරී බලවතෙක් ය යන්න යි. “බෝල්ටික් රටවල් තුල හා පෝලන්තයේ භට පිරිස් වැඩි කරන අතර නිසැක ව ම එය, රුසියාව යුක්රේනය තුල කල දෙයට ප‍්‍රතිචාරයක්” යයි ඔහු ජූලි 8දා පැවසී ය.

එහෙත්, යුක්රේනය තුල ආක‍්‍රමනිකයා, ක්‍රෙම්ලින් කතිපයාධිකාරය නො ව, කියෙව්හි දක්ෂිනාංශික ජාතිකවාදී ප‍්‍රචන්ඩ විරෝධතා රඟදැක්වීම සංවිධානය කොට, ඡන්දයෙන් පත් වූ රුසියානු හිතවාදී ආන්ඩුවක් බලයෙන් පහකල වොෂින්ටනය හා බර්ලිනය යි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් ද විරෝධතාවල පෙනී සිටි අතර සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නිවුලන්ඞ්, යුක්රේන විපාර්ශවය දිරිමත් කිරීම සඳහා වොෂින්ටනය ඩොලර් බිලියන 5ක් වැය කොට ඇති බවට උදම් ඇනුවා ය.

මෙම දේශපාලන පචවල අරමුන, අධිරාජ්‍යවාදී බලයන්ගේ යුද ධාවනය -එය සිතීමට පවා නො හැකි මානයක යුද්ධයක් සඳහා තර්ජනය කරද්දී පවා- “සාමය හා ස්ථාවරත්වය” සුරක්ෂිත කිරීමේ ආරක්ෂක උත්සාහයක් ලෙස හුවාදැක්වීම යි.

වසර විසිපහකට පෙර ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැර එහි ධනවාදය පුනස්ථාපනය කිරීමේ ව්‍යසනකාරී දේශපාලන හා භූ-මූලෝපායික විපාක දැන් අන්කවරදාටත් වඩා පැහැදිලි ය. සාමකාමී හා ප‍්‍රජාතාන්ත‍්‍රික ධනේශ්වර වර්ධනයකට පදනම දමනවා වෙනුවට එය, යුරෝපයේ ද ජාත්‍යන්තර ව ද සමස්ත ජාතික රාජ්‍ය පද්ධතියේ දිග්ගැස්සුනු අර්බුදයක ආරම්භක පියවර විය.

යථාර්ථයේ දී ස්ටැලින්වාදය විසින් දශක ගනනාවක් තිස්සේ රුසියානු විප්ලවය පාවාදීමේ අවසන් පරිච්ඡේදය වූ, එක්සත් ජනපදය සීතල යුද්ධයෙන් ලබාගත් බොහෝ සෙයින් උදම් අනන ලද ජයග‍්‍රහනයෙන් වසර විසිපහකට පසු, එක්සත් ජනපද හා ලෝක අධිරාජ්‍යවාදය මානව වර්ගයාට ධනවාදයේ සැබෑ “ප‍්‍රතිලාභ” පෙන්වා දී තිබේ. ඒවානම්, වඩ වඩාත් ගැඹුරුවී ඇති සමාජ අසමානතාව හා දරිද්‍රතාව, ජාතික ස්වෝත්තමවාදය හා වර්ගවාදය පෙරට දැමීම, ආඥාදායකත්වය කරා ධාවනය හා න්‍යෂ්ටික තෙවන ලෝක යුද්ධයක ලඹ දෙන තර්ජනය යි.

අඩු හෝ වැඩි වසයෙන් වෝර්සෝ සමුලුවේ සැලසුම් පෙන්නුම් කරන්නේ, සෝවියට් සංගමය බිඳ විසිරවීම, යුරෝපය ප‍්‍රතිසන්නද්ධ කිරීමට හා රුසියාවට එරෙහි ආක‍්‍රමනකාරී මූලෝපායක් අනුගමනය කිරීමට ගසා නො කන බවට නැටෝව පොරොන්දු වූ, 1997 අත්සන් කල රුසියා-නැටෝ ප‍්‍රාරම්භක ගිවිසුම අවසන් වසයෙන් බිඳ දැමීම යි. තම මිලිටරි හමුදා “රැඩිකල්” ලෙස අඩු කොට, නැටෝව හා රුසියාව “එකිනෙකා හතුරන් ලෙස සැලකීම නො කරන බව” තහවුරු කරමින් නැටෝව, “ඓතිහාසික පරිවර්තනයක්” ගනු ඇතැයි ගිවිසුම සඳහන් කලේ ය. ප‍්‍රාරම්භක ගිවිසුම නිල වසයෙන් අහෝසි කරන ලෙස පෝලන්ත ජනාධිපතිවරයා සමුලුවට සූදානම් වීමේ දී ආයාචනා කලේ ය.

නැටෝව හෝ යුරෝපා සංගමය සමග එක් වෙමින්, පසුගිය වසර විසිපහ පුරා නැගෙනහිර යුරෝපා රටවල් හා පැරනි සෝවියට් සමූහාන්ඩු, ධනේශ්වර සූරාකෑමට හා අධිරාජ්‍යවාදී උපාමාරුවලට විවෘත කරනු ලැබ තිබේ. විශේෂයෙන් ම 2014 කියෙව් කුමන්ත‍්‍රනයෙන් ඉක්බිත්තේ, යුක්රේනය තුල බටහිර ගැති තන්ත‍්‍රයක් ඉස්මතු වීමත් සමග රුසියාව දැකගෙන ඇත්තේ, නාසීන් විසින් සෝවියට් සංගමය ආක‍්‍රමනය කිරීමට වසර 75කට පෙර පැවති මිලිටරිමය තත්ත්වයට තමන් ආපසු හෙලා, නැටෝවට හිතවත් හතුරු රාජ්‍යයන් විසින් වටකරනු ලැබ තිබෙන බව යි.

මෙම අර්බුදයේ දී ධනේශ්වර පාර්ශවයන්හි පිලිවෙත් ගැඹුරින් ම ප‍්‍රතිගාමී ය. තමන් සමග එකඟතාවකට ඒම සඳහා අධිරාජ්‍යවාදී බලයන් මත පීඩනය යෙදීමට තම මිලිටරිය යොදා ගැනීම පිනිස ක්‍රෙම්ලින් කතිපයාධිකාරය දරන උත්සාහයන් හුදෙක් යුද තර්ජනය ඉහල දමනවා පමනි.

අධිරාජ්‍යවාදී බලයන්ගේ ආක‍්‍රමනකාරී පිලිවෙත් ධාවනය කරනු ලබන තවත් සාධකයක් වන්නේ, ජුනි 23දා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ඡන්දය දීම මගින් උත්සන්න කරන ලද කටුක හා සමහන් කල නො හෙන තැනකට පත්ව ඇති නැටෝවේ ම අභ්‍යන්තර අර්බුදය යි. බ්‍රිතාන්‍යය කෙරෙහි වඩා හිතවාදී සහ රුසියාව කෙරෙහි වඩා ආක‍්‍රමනකාරී පිලිවෙතක් සඳහා වොෂින්ටනය හා පෝලන්තය ඇතුලු නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන් ගනනාවක් ඉදිරිපත්ව ඇත. එහෙත් ජර්මනිය ද ඉන් අනතුරු ව ප‍්‍රන්සය හා ඉතාලිය ද යෝජනා කරමින් සිටින්නේ වඩා ස්වාධීන -එනම් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් කිරීම වඩා ඉක්මන් කරමින්, රුසියාව සමග ගැටුමක් වලක්වාලන හා වොෂින්ටනයෙන් ස්වාධීන- විදෙස් පිලිවෙතකි.

ජූලි 8දා ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල්ගේ ට්විටර් පනිවිඩයකින් ඍජුව ම පෝලන්ත ජනාධිපතිවරයාට විරුද්ධ ව සඳහන් කලේ, රුසියා-නැටෝ ප‍්‍රාරම්භක ගිවිසුම තවදුරටත් වලංගු බව යි. මෙම මතභේද අනාවරනය කරන්නේ, ජාත්‍යන්තර සන්ධානයන්ගේ සමස්ත පද්ධතියේ ද යුරෝපා ධනවාදයේ සෑම ආයතනයක ම ද පැවැත්ම පිලිබඳ අර්බුදයකි. නැගෙනහිර යුරෝපීය රටක් සමග රුසියානු ගැටුමක් නැටෝ සන්ධානයේ ම විනාශයට හේතු වනු ඇතැයි කියමින් නැටෝවේ ඉරනම ගැන සැක පලකරන තීරුවක් ඇමරිකානු හිතවාදී ජර්මානු මාධ්‍යවේදියෙක් හා නිව් යෝක් ටයිම්ස් තීරුලිපි රචකයෙක් වන ජෝචන් බිට්නර් විසින් ලීවේ ය.

“ක‍්‍රිමියාවේ වැනි ඈඳා ගැනීමක් යලි ඇති වීම පූර්ව භංග කිරීම සඳහා ශක්තිමත් ප‍්‍රතිචාරයක් පෝලන්තය හා බෝල්ටික් රටවල් බලාපොරොත්තු වනු ඇත. ජර්මනිය හා ප‍්‍රන්සය, මොස්කෝව සමග සාකච්ඡා සඳහා කැඳවුම් කරනු ඇත... ග‍්‍රීකයන්, ඉතාලියානුවන් හා ස්පාඤ්ඤයන් පැහැදිලි කරනු ඇත්තේ ක‍්‍රිමියාව ඈඳා ගැනීම අරබයා රුසියාවට එරෙහි ව පැනවූ සම්බාධක මගින් ඔවුන්ගේ ආර්ථිකයන් දැනට මත් ඇති තරම් පීඩා විඳ ඇති බව යි. රුසියානු ප‍්‍රචාරයට හසුවන යුරෝපය පුරා බොහෝ ජනයා, රුසියානුවන් නිවැරදි නො වූයේ දැයි අසනු ඇත...”

නැටෝවේ හා යුරෝපා සංගමයේ දිග්ගැස්සෙන අර්බුදයන් ජාත්‍යන්තර කම්කරු පන්තියට අනතුරක් හා අභියෝගයකි. යුරෝපය තුල දිගහැරෙන අර්බුදය හිතාගත නො හැකි ව්‍යසනයක් සමගින් මානව වර්ගයාට තර්ජනය කරයි. එය වැලැක්වීම රඳා පවත්නේ, යුද්ධයට එරෙහි දේශපාලනික ව සවිඥානික ජාත්‍යන්තර ව්‍යාපාරයක් වර්ධනය කරමින් හා තමන්ගේ ම විප්ලවවාදී ඉතිහාසය සමග සබඳතා පුනර්ජීවනය කරමින් ධනවාදය පෙරලා දමා සමාජවාදය ගොඩනැගීමට සටන්වදින කම්කරු පන්තිය මත යි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: