රිපබ්ලිකානුවෝ පාතාලයට

The Republicans plumb the depths

2016 ජූලි 20

රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සමුලුව සුපරික්ෂාකාරීව නිරීක්ෂනය කරන කෙනෙකුට මග හැරිය නොහැකි ලෙස පෙනී යන කරුනක් නම් කිසියම් මූලික දේශපාලන සීමාවක් ඉක්මවමින් තිබෙන බවයි.

එක්සත් ජනපදයේ දේශපාලන ඉතිහාසය පරමාදර්ශයට නගාගන්නට ඕනෑ නැත. පොදුවේ ගත් කල්හි මහා ජාවාරම් කාරයන්ගෙන් පඩි කන නොයෙකුත් කොටස් නියෝජනය කරන කිහිප දාහක් දුෂිත දේශපාලකයන් රොදබැඳ ගත් ධනපති පක්ෂ දෙකේ සම්මේලන පිලිකුල් සහගතය.

පසුගිය අඩ සිය වසකට වැඩි කාලයක් තුල ඒවන් කටයුතු වල ප්‍රතිඵලය වී ඇත්තේ බැරී ගෝල්ඩ්වෝටර්, රිචඩ් නික්සන්, රොනල්ඩ් රේගන්, බිල් ක්ලින්ටන් සහ බුෂ් පිය පුතු ජෝඩුව වැන්නන්ට නාම යෝජනා දීම ය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති අපේක්ෂකයා ලෙස නිලවශයෙන් තෝරා ගත් ලඟදි ක්ලව්ලන්ඩ් හි පැවති රිපබ්ලිකන් පක්ෂයේ සමුලුව නියෝජනය කරන්නේ ඉහතකී තත්වය ඉක්මවායන ජුගුප්සා ජනක අලුත්ම රෝගී තත්වයකි.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ දිග්ගැස්සුන අර්බුදය පරිස්සමින් හදාරා, විශ්ලේෂනය කොට , විස්තර කර ඇති සමාජවාදීන්ට පවා වමනය බඳු පිලිකුල යටපත් කර ගැනීම අසීරුය. කෙනෙකුට තමාගෙන් ම මෙසේ නො අසා බැරි වනු ඇත: මෙය සැබවින්ම ම සිදුවූ දෙයක් ද?සම්මේලනය ඇමරිකානු දේශපාලනයේ සහ හැදියාවේ පිරිහීම, තකතිරුකම, පසුගාමීත්වය, දුෂ්ට කම , ප්‍රතිගාමිත්වය විදහා දක්වන හාස්‍ය ජනක , විකාර රූපී සැනකෙලියකි.

සම්මේලනය අරා සිටියේ දිරිය බිඳුනු පීඩනො’න්මාදයකි. “ඇමරිකාව යලි ශ්‍රේෂ්ටත්වයට පත් කරරමු” යයි අවධාරනය කල කථිකයින් විස්තර කලේ, ඇතුලින් සහ පිටින් වටකරගෙන සතුරන් දෙන පහරට ලක්ව ගොඩඒගත නොහැකි ලෙස බිඳ වැටුනු රටක් ය. මිලිටරියට සහ පොලීසියට කෙරෙන ආයාචනා පිරුනු සකල පුරාජේරු වලට යටින් සිටින්නේ, අනාගතය ගැන අතිශයින් ම තැති ගත් පාලක පන්තියක් ය යන්න වැටහෙයි.

සඳුදා රාත්‍රි තම වීරයාට බුහුමන් කිරීමට පිටපත් කල ලියවිල්ලක් කියවීමට සැරසී සිටි බිරිඳ සමුලුවට හඳුන්වාදීම පිනිස ඩොනල්ඩ් ට්‍රම්ප්, අඳුරු ආලෝකය සහිත වේදිකාවකින් මතුවිය. සිය රහසඟ තරම ප්‍රසිද්ධියේ හුවා දක්වමින්, තමාගේ හිතට අමතක නොවන ලෙස වැඩියෙන්ම කාවැදුනු ලිංගික සන්ථවයන් පිලිබඳ විස්තර වලින් නිව් යෝර්ක් ටැබ්ලොයිඩ් පාඨකයන් ආස්වාදයට පත් කල, තුන් වතාවක් විවාහ වූ මිනිසෙක්, අනාගත වක්තෘ ලෙස තෝරා ගන්නට තරම් පිස්සු අන්ත ආගම්-භක්තික ප්‍රචාරකවාදී නියෝජිතයන්ට උචිත හාස්‍යජනක උපහාසයට මොවුන් නිසැකව ලක්කරනු ඇති එච්.අයි. මෙන්කන් බඳු අය අවාසනාවකට මෙන් වත්මන් මාධ්‍යවේදීන් අතර දක්නට නැත.

තවත් ශ්‍රේෂ්ට ඇමරිකානු උපහාස රචකයෙකු, එනම් , Elmer Gantry (එල්මර් ගැන්ට්‍රි) හා It Can’t Happen Here(ඉට් කාන්ට් හැපන් හියර්) යන කෘතිවල කතෘ වූ සින්ක්ලයාර් ලූවිස් සිටියා නම් ,මොහුව දැකගනු ඇත්තේ කුනුහරුප පින්තූර වලට මෝහනයවීම ද සමග පියුරිටන් වාදී සදාචාර උමතුව හා ඩොලර් අල්තාරය ට දන්ඩ නමස්කාර කිරීම ද හනා-කලතා ගත් රිපබ්ලිකානු සම්මේලන නියෝජිතයන්ගේ උන්මාදය මැද්දේ, තම අසීමිත ස්වයං ග්‍රස්තිය හා ආත්මකාමය හැරෙන්නට, අමුතු යමක් නැති, ට්‍රම්ප් නමැති පුද්ගලයා ඇමරිකානු පාලක පන්තියට ප්‍රයෝජනවත් වන්නේ, කෑදරකම හා සාපරාධිත්වය පුරවා තැබිය හැකි භාජනයක් ලෙස මිස අන් කිසිවක් හැටියට නොවන බවය..

ඔහුගේ පුද්ගලික ඉතිහාසය තුල ට්‍රම්ප් සුවිශේෂ වන්නේ, ඇමරිකානු ටෙලිවිෂනයේ යසස්ලාභින් (සෙලිබ්‍රිටි )හා බැඳුනු සංස්කෘතිය සමග වංචනික ප්‍රධාන විධායක නිලධාරියෙකුගේ (CEO) ප්‍රපංචය බද්ධ කිරීමට ඔහුට පවතින හැකියාව නිසා පමනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය කලින් පෙන්වා දුන් පරිදි, ට්‍රම්ප් ගේ සුවිශේසි ෆැසිස්ට්වාදී පෞරුෂය හැඩ ගැසුනේ නිව් යෝර්ක් නගරයේ දේපොල වෙලඳපොලේ මිස, මියුනික් නුවර බියර් ශාලා වල හෝ පලමු වන ලෝක යුද්ධයේ යුද අගල් තුල නො වේ.

කැසිනෝ, ව්‍යාජ සරසවි හා කෙලවරක් නැති අසාර්ථක ව්‍යාපාර කරබැඳගත් සංගත වංචාවේ ප්‍රතිමුර්තියක්, ඇමරිකානු ධනවාදයේ තත්වයට වඩාත් උචිත සංකේතය විය නොහැකිය.

ට්‍රම්ප් මතු වුයේ, පුලුල් දේශපාන පරිහානියක් තුලින් බව එය වටේට සිදු වූ සිද්ධීන් ද ප්‍රතිගාමී භාවයෙන් එකිනෙකා පරයාගිය කථිකයන් ද පෝලිම් ගැසුනු මෙම සම්මේලනය තුල දී පැහැදිලි වීය.

පලිය සහ ලේ ඉල්ලා හඬ තැලු නිව් යෝර්ක් හි හිටපු නගරාධිපති රුඩොලොෆ් ගුල්යානි සඳුදා දැඟලුවේ, බෙනිටෝ මුසෝලිනී ගේ හොඳම කොපිය සැකසීමට සිය උත්සුකය ප්‍රකාශ කරන පරිදිය.

ගුල්යානි නැගිට්ටේ , මිල්වොකීහී ෂෙරිෆ් ඩේවිඩ් ක්ලාර්ක් ට පසුව ය. ඩෙවිඩ් රට සිවිල් යුද්ධයක් ආසන්නයේ පවතින බව මෑත දී කියා සිටියේ ය. ඔහු ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස් අයිඑස්) සටන්කරුවන්ට ද ,වෝල් වීදිය වාඩිලා ගත්තවුන් ට ද , බ්ලැක් ලයිව්ස් මැටර් ( කලු ජීවිතත් වටී ) සංවිධානයේ අයට ද විප්ලවවාදී මක්ස්වාදී බලවේග වලට ද විරුද්ධව නීතිය සහ සාමය ආරක්ෂා කිරීම පිනිස රාජ්‍ය බලය යෙදිය යුතු යැයි ඔහු කියාසිටී. රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳුදා ක්ෂනිකව සම්මත විය. මිලිටරියට හා පොලිසියට කැප කෙරුනු එය, ධනපති පන්තිය ධනය ගොඩ ගසා ගැනීමට පවත්නා සියලුම නෛතික, මුල්‍ය හා වෙනත් රාජ්‍යා සීමාවන් මුලුමනින් ම ඉවත් කරන වැඩ සටහනකි.

මධ්‍යම රජය ආදායම් බදු අයකිරීම ස්ථාපනය කල 16 වෙනි සංශෝධනය ඉවත් කිරීම, සංගත බදු පහත හෙලීම, ආන්ඩුවේ බදු රෙගුලාසි ඉවත් කිරීම, සෞඛ්‍ය ආධාර කැපීම හා සෞඛ්‍ය ආරක්ෂන වැඩ පිලිවෙල පුද්ගලික රක්ෂන මිල දී ගැනීම සඳහා සහනාධාරයක් බවට පරිවර්තනය කිරීම, සමාජ ආරක්ෂන අරමුදල් කප්පාදු කිරීම, ඉතිරිව පවතින සමාජ සුබසාධන “ගතික සානුකම්පික වැඩ කොන්දේසි” මගින් විස්ථාපනය කිරීම ,සහ පරිසර ආරක්ෂන ඒජන්සිය අහෝසි කිරීම එය ඉල්ලා සිටියේය. එම ප්‍රතිපත්ති ප්‍රකාශය එක්සත් ජනපද -මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ඉඳි කිරීමේ ට්‍රම්ප්ගේ යෝජනාව ද අනුමත කලේ ය.

ආගමික මූලධර්ම මත පදනම් වූ ආන්ඩුවක් සහිත පූජක ඒකාධිපතිවාදී රාමුවක් නිදන්ගත කරන ප්‍රතිපත්ති ප්‍රකාශය, දෙවියන් පිලිබඳ නිරන්තරව කෙරෙන සඳහන් වලට අමතරව, සියලුම කොන්දේසි යටතේ ගබ්සාව තහනම් කොට , සංගත සහ ආගමික අගතීන් පාදක කරගෙන වෙනස්කම් කරන සංගත සහ ආයතන ආරක්ෂා කරමින් සමලිංගික විවාහ නීත්‍යානු කල උසාවි නියෝග අහෝසි කරයි.

කෙසේ නමුත්, රිපබ්ලිකන් ප්‍රතිපත්ති ප්‍රකාශයේ වඩාත් වැදගත් අංගය වන්නේ, එක්සත් ජනපදය විසින් සමස්ත ලෝකයම ඇමරිකානු සංගතවල උත්සුකයන් ට යටත් කර ගත යුතු යැයි ප්‍රකාශ කරන විදේශ පිලිවෙතයි. “අපේ සැලසුම්, පේටන්ට් බල පත්‍ර, සන්නාම, ප්‍රායෝගික දැනුම සහ තාක්ෂනය හොරකම් කරන අතර ඇමරිකාව ඔවුන්ගේ වෙලඳපොල වලට පිවිසීම සීමා කරන නීති පනවන්නට විදේශ ආන්ඩු වලට ඉඩදිය නො හැකිය. සිය මූල්‍ය උපාමරු දිගට ම පවත්වාගෙන යමින් , ඔවුන්ගේ ආන්ඩුව එක්සත් ජනපදයේ නිෂ්පාදනයන් මිල දී නොගනිමින්, ඇමරිකානු අපනයන වලට බාධා වන පරිදි චීන සමාගම් වලට සහනාධාර දීමට චීනයට ඉඩදිය නොහැකි” යැයි එය ප්‍රකාශ කරයි.

මැදපෙරදිග දී එය සිරියාව තුල අසාද් බලයෙන් පහ කිරීම, ලෙබනනයේ හිස්බොල්ලා සමග යුද්ධයකට යාම, ඉරානය සමග ඔබාමා ආන්ඩුවේ ගිවිසුම අහෝසි කිරීම, ඉරාකය තුල යුද්ධය උග්‍ර කිරීම සහ කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහයෝගය දීම ඉල්ලා සිටී. රුසියාවට එරෙහිව යුක්රේනය සන්නද්ධ කිරීමට සහය පලකරන ප්‍රතිපත්ති ප්‍රකාශය “සෝවියට සංගමය බිඳ දැමූ එම අධිෂ්ඨානයම ඇතුව, රුසියානු යුදකාමයේ පුනරාගමනයට මුහුන දීමට ” සපථ කරන බව කියාසිටි.

සමස්ත භූගෝලය මත අධිපතිත්වය පිහිටුවා ගැනීම සඳහා වූ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ධාවනය සම්පින්ඩනය කරමින් “ලෝකයේ අන් කවර හෝ ජාතියක් හෝ ජාතීන් කන්ඩායමක් ඉක්මවා යන දැවැන්ත සුපිරි බලයක් සහිතව එක්සත් ජනපද සන්නද්ධ හමුදා බලය මිහිතලය මත ප්‍රබලම යුද්ධ බලය ලෙස ගොඩනැගීම මගින් නිදහස් ලෝකයේ නායකයා ලෙස තමන්ට ආවේනිකවූ ස්වාභාවික තත්වය යලි අත්කර ගත යුතු” යයි ප්‍රතිපත්ති ප්‍රකාශය කියයි.

මේ නම් ඇමරිකාව හිස- සිට- දෙපතුලට සන්නද්ධ යුද බලකොටුවක් බවට පරිවර්තනය කිරීමේ වැඩ සටහනකි. එවැන්නක් ඉටු කරගත හැක්කේ, පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක කිරීමෙන්, කම්කරු පන්තිය ආන්තික දරිද්‍රතාවයට ඇද දැමීමෙන් සහ ලෝක යුද්ධය දියත් කිරීමෙන් ම පමනි.

එඹෙන සතියේ දී ඩිමොක්‍රටික් පක්ෂයේ සම්මේලනයත් සමග එක්සත් ජනපද දේශපාලන පර්යායේ අනෙක් පැත්ත විශ්ලේෂනය කිරීමේ අවස්ථාව අපට උදා වනු ඇත කෙසේ නමුත් කිව යුත්ත නම්, රිපබ්ලිකන් සම්මේලනය සහ ට්‍රම්ප් ගේ චරිතයෙන් එලිදරව් වූ ගති ලක්ෂනය වනාහි තනි පුද්ගලයෙකුගේ හෝ හුදෙක් එක පක්ෂයක නොව, සමස්ත පද්ධතියේම පරිහානියේ ප්‍රකාශනයකි ඩිමොක්‍රටික් පක්ෂය තුල තරමක් දුරට වසංවී පවතින දේ, රිපබ්ලිකන් පක්ෂය තුල වඩාත් පරිපුර්නව එලිදරව් ව ඇත. ට්‍රම්ප් ගේ නාමයෝජානාව වනාහි ඇමරිකානු ධනවාදයේ ආන්තික අර්බුදය තුල සන්ධිස්ථානයකි.

ජෝසප් කිශෝර් සහ ඩේවිඩ් නොර්ත් විසිනි.

Share this article: