ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා උතුරු සිරියාවේ සිවිල් වැසියන් 28ක් මරා දමයි

US warplanes kill at least 28 more civilians in northern Syria

බැරී ග්‍රේ විසිනි, 2016 ජූලි 30

සිරියාව තුල ඇමරිකාවේ අලුත් ප්‍රචන්ඩ ක්‍රියාව, අයිසිස් විසින් පාලනය කරනු ලබන, උතුරු නගරයක් වන මන්බිජ් අසල අල් ගන්ඩුර් ගම්මානයේ වෙලඳ පොලට 28දා බෝම්බ හෙලීමෙන් ලමයි 7 ද ඇතුලුව අඩුම තරමින් සිවිල් වැසියන්28ක් මරා දැමීමයි. එක් නිරීක්ෂන කන්ඩායමකට අනුව සිවිල් වැසියන්ට අමතරව සමහර විට අයිසිස් සාමාජිකයින් 13ක් ගුවන් ප්‍රහාරයෙන් මරුමුවට පත් විය.

ඊට පෙර මන්බිජ් අසල අයිසිස් හා ඇමරිකාවේ පිටුබලය ලබන හමුදා අතර ඇවිල ගිය දරුනු සටන් නිසා දිවි ගලවා ගැනීම පිනිස, 200ක පමන කන්ඩායමක් රැඳී සිටි නිවාස සමූහයකට, ඇමරිකානු මිලිටරිය බෝම්බ දැමීමෙන් ඔවුන් සියල්ලෝම මරුමුවට පත්වූ එම ප්‍රදේශයෙහිම මෙම අලුත් ඝාතනය සිදුව ඇත. වාර්තාවන පරිදි එහිදී මියගිය සංඛ්‍යාව 56 සිට 200 ඉක්මවන ගනනකි.

රුසියාව හා ඉරානයේ සමීප සහචරයෙක් වන සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පෙරලා දැමීම පිනිස, වසර පහකට පෙර ඇමරිකාව විසින් දියත් කරන ලද යුද්ධයේදී, ඊට සම්බන්ධ පාර්ශවයක් විසින් සිවිල් වැසියන්ට එරෙහිව සිදුකරන ලද අතිශයින් දරුනු ජනඝාතක බෝම්බ ප්‍රහාරය මෙයයි. ඇමරිකාව අනුග්‍රහය දක්වන සිවිල් යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස මිනිසුන් ලක්ෂ හතරකට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තවත් මිලියන ගනනක් අවතැන්ව, සරනාගතයින් බවට පත්ව ඇත.

28දා මාරක ගුවන් ප්‍රහාරය සිදුවූයේ, ජූලි 19දා ටොකාහි සිදුවූ බෝම්බ ප්‍රහාර ගැන නිල වශයෙන් පරීක්ෂනයක් පැවැත්වීමට පියවර ගන්නා බවට ඇමරිකානු මිලිටරිය නිවේදනයක් නිකුත් කිරීමෙන් දිනකට පසුව ය. එවන් පරීක්ෂන නරුම සුදුහුනු ගෑමක් පමනි. සොයාගත් කරුනු පෙලගස්වා නිකුත් කිරීමට සාමාන්‍යයෙන් මාස හතක් ගත වන අතර එමගින් යුද අපරාධයේ පරිමාව අවම කර එය අත්වැරදීමක් ලෙස ඉදිරිපත් කිරීම අනිවාර්යයි.

අල් ගන්ඩුර් ප්‍රහාරයෙන් පසුව ඇමරිකානු මධ්‍යම ආඥාපති මධ්‍යස්ථානය, තමන් එවන් අවස්ථාවක කරන පරිදි සාමාන්‍ය හෙලාදැකීමක් සිදුකර ඇත: “අප ඉලක්ක තෝරාගැනීමේ ක්‍රියාවලියේදී, සිවිල් ජනතාවට හෝ දේපොල වලට සිදුවන හානි අවම කිරීමට, හමුදා ගැටුම් පිලිබඳ නීතියේ මූලධර්ම අනුගමනය කිරීමට, සියලු පියවර ගෙන ඇත.”

සිරියානු ජනතාව කෙරෙහි ඇමරිකානු ආන්ඩුවේ සතුරුකම හා තමන් සිදු කරන ජන පීඩා පිලිබඳව දක්වන නොතැකීම,ඇමරිකානු ගුවන් ප්‍රහාර වලින් සිදුවන සිවිල් ජනතාවගේ ජීවිත හානි පිලිබඳ තක්සේරු අඩු ලංසුවකින් සලකුනු කෙරේ. මධ්‍යම ආඥාපතිත්වය මේ සතියේ, පසුගිය වසර තුල ඉරාකයේ හා සිරියාවේ සිදුව ඇති සිවිල් ජීවිත හානි පිලිබඳ සිය පරීක්ෂනවල ප්‍රතිපල ප්‍රකාශයට පත් කල අතර, එහි දැක්වෙන්නේ, වෙන් වෙන් ඇමරිකානු ප්‍රහාර හයකින් මිය ගිය සංඛ්‍යාව 14ක් පමනක් බවයි. වොෂින්ටනය පවසන්නේ, දෙවසරකට පෙර තමන් අයිසිස් වරුන්ට එරෙහිව දියත් කල ගුවන් ප්‍රහාර වලින් මියගොස් ඇත්තේ, සිවිල් වැසියන් 55ක් පමනක් බවයි.

එහෙත් සිවිල් ජනතාවගේ ජීවිත හානි පිලිබඳ වාර්තා තබන ජාත්‍යන්තර ක්ෂමා ආයතනය හා එයාවෝස් වැනි සංවිධාන පවසන්නේ සැබෑ සංඛ්‍යා ඇමරිකාව පවසන ගනන මෙන් දහ ගුනයක් හෝ ඊටත් වැඩි බවයි. නීල් සැමන්ඩ්ස් යන ක්ෂමා ආයතනයේ කලාපීය පරියේෂකයාට අනුව, ඇමරිකාවේ නායකත්වයෙන් යුත් සන්ධානය ඉරාකය හා සිරියාව තුල සිදු කල ප්‍රහාර වලින් 1500ට වැඩි සිවිල් වැසියන් සංඛ්‍යාවක් මියගොස් ඇත. ටොකාහි ප්‍රහාරයෙන් පසුව සැමන්ඩ්ස් ගාඩියන් පත්‍රයට පැවසුවේ, “සන්ධානයේ සිවිල් වැසියන් ඝාතනය ඉහල නගිමින් ඇත. එය 1000 ඉක්මවා යමින් ඇති අතර ඔවුන් ඒවා හෙලි නොකර වසං කරයි....”

“සිවිල් වැසියන්ගේ ජීවිත හානි පිලිබඳ සාක්ෂි, ගුවනේ සිටින තමන්ගේම කාර්යධරයන්ගේ ඡායාරූප මගින් නොවේ නම් පෙන්වන්නේ, ඒවා බැහැර කෙරේ. එක පිට එක මිනී කඳුගැසී තිබුන ද ඒවා ගනනකට ගන්නේ නැත.”

අසාද් විරෝධී විපක්ෂයට අයත් මානව අයිතීන් පිලිබඳ සිරියානු ජාලය පවසන්නේ, සන්ධාන ප්‍රහාර වලින් සිරියාවේ පමනක් 400ට වැඩි සංඛ්‍යාවක් සිවිල් වැසියන් මරුමුවට පත්ව ඇති බවයි.

ලන්ඩන් නුවර මාධ්‍යවේදීන් කන්ඩායමක් නිකුත් කල වාර්තාවකට අනුව, ඉරාකයේ හා සිරියාවේ පසුගිය 12 මාසයේ සන්ධාන ප්‍රහාර 57කදී වැසියන් 459ක් මියගොස් ඇත.

28දා ප්‍රහාරය “ජනඝාතනයක්” ලෙස ඇමරිකාවේ සහාය ලබන සිරියාවේ විපක්ෂ කන්ඩායම් පවා හෙලා දැක ඇත. සිරියානු ජාතික සන්ධානය ට්විටර් සටහනකින් පවසා ඇත්තේ, “අල් ගන්ඩුරා ප්‍රදේශයට ඊයේ හෙලන ලද බෝම්බ වලින් මන්ජිබ් ගම්මානයේ අලුත්ම ඝාතනයක් ජාත්‍යන්තර සන්ධානය විසින් සිදු කර ඇත. මියගිය දුසිම් ගනනක් අතර ලමුන් ද වෙති.”

ලන්ඩන්හි මානව අයිතීන් පිලිබඳ සිරියානු නිරීක්ෂනය පැවසුවේ, “නැගෙනහිර ඇලෙපෝ ප්‍රාන්තයේ මන්ජිබ් නගරයට යාබද ගම්මානයක අල් ගන්ඩුර් වෙත ජාත්‍යන්තර සන්ධානයේ ගුවන් යානා මගින් ප්‍රහාර එල්ල කරන විට ටොකාහි සිවිල් වැසියන් ද මියගොස් ඇති බවයි. සමහර අය අසාධ්‍ය තත්වයේ පසුවන බැවින් ජීවිත හානි ඉහල යා හැකිය.”

ජූලි 19දා ටොකාහි ද 28දා ගන්ඩුර්හි ද සිදු කල ප්‍රහාර යුද අපරාධ නොව හුදු අත් වැරදීම් බවට ඇමරිකාව කියන්නේ බොරුවකි. ටොකා ගුවන් ප්‍රහාර වලින් පසුව එස්එන්සීය සන්ධාන සාමාජික රටවල විදෙස් ඇමතිවරුන් වෙත ලිපියක් යවමින්, ප්‍රහාරය ගැන මනා පරීක්ෂනයක් පැවැත්වීමට ඉඩ සැලසෙන පරිදි සන්ධානයේ මිලිටරි මෙහෙයුම් වහාම අත්හිටුවිය යුතු යයි කියා සිටි අතර ඇමරිකාව එය තරයේ ප්‍රතික්ෂේප කලේය.

වොෂින්ටනය සලකන්නේ, තුර්කිය හා අයිඑස්අයිඑස් “අගනුවර” වන රකා හා තුර්කිය අතර ඇලෙප්පෝවේ පාලනය තුල මූලෝපායිකව වැදගත් සන්ධිස්ථානයක් වන මන්ජිබ්හි පාලනය අත් කර ගැනීම, අයිඑස්අයිඑස්ට විරුද්ධ මෙහෙයුම් වලදී තීරනාත්මක වන බවයි. ඇමරිකාව ප්‍රදේශය තුල අයිසිස්ට එරෙහිව සටන් වැද සිටින කුර්දි හමුදාවන්ට පිටුබලය දෙයි.

වඩාත් වැදගත් කාරනය නම්, සිවිල් යුද්ධය හටගැනීමට පෙර වඩාත්ම ජනාකීර්න සිරියානු නගරය වූ ඇලෙප්පෝව තුල සිරියානු ජීවිත කොතරම් සංඛ්‍යාවක් බිලිදී හෝ, වොෂින්ටනයේ ඉස්ලාමීය කුලී හමුදා, රුසියාවේ සහාය ලබන සිරියානු ආන්ඩුවේ හමුදා අතින් පරාජයට පත්වීම වැලැක්වීමට, ඇමරිකාව මංමුලාසහගත උත්සාහයක නිරතව සිටීමයි. කැරලිකරුවන් අත පවතින නැගෙනහිර ප්‍රදේශයේ ඉතිරිව ඇති අවසාන සැපයුම් මාර්ගයට සමීප වෙමින්, වැටලූ නගරයේ පාලනය අල්ලා ගැනීමේලා අසාද් හමුදාවන් මෑත දිනවල මූලෝපායික පෙර ගමනක යෙදී සිටියි.

මෑත සතිවල ආන්ඩුව ලත් ජයග්‍රහනයන්ට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව, සිවිල් හා මිලිටරි ඉලක්ක යන දෙකටම එල්ල කරන සිය මාරක ප්‍රහාර උත්සන්න කර ඇත. එයාවෝස්හි අධ්‍යක්ෂක ක්‍රිස් වුඩ්ස් ගාඩියන් පත්‍රයට පැවසුවේ, “සන්ධාන ගුවන් ප්‍රහාර වලින්, මැයි මාසයට වඩා ජූනි මාසයේ සිදුව ඇති ජීවිත හානි සියයට 72න් ඉහල ගොස් ඇති බව අප සොයාගෙන ඇත.” මන්බිජ් අල්ලා ගැනීමේ සටන තුල පමනක් සිවිල් වැසියන් 210ක් මියගොස් ඇති බව ඔහු පැවසීය.

28දා අල් නුස්රා පෙරමුනේ නායක අබු මොහමඩ් ජොලානි නිවේදනය කලේ, තම කන්ඩායම ලැවෙන්ට් අත්පත්කර ගැනීමේ පෙරමුන යනුවෙන් අලුතෙන් නම්කරන බවත්, අල් කයිඩාව සමග තමන්ට පැවති නිල බැදීම් කපා හරින බවත්ය. අල් කයිඩා නායකයින්ගේ පැසසුමට ද ලක්ව ඇති මෙම තීරනයේ අරමුන, සිරියාව තුල තමන්ගේ හමුදාවන්ට ඇමරිකාව හා රුසියාව විසින් පහර දීම අවසන් කිරීම බව ඔහු පැවසීය.

ඇමරිකාවේ දැනට සිටින සහචරයා මෙන්ම අසාද්ට විරුද්ධ හමුදාවන්ගේ ප්‍රධාන කොටස වන අල් නුස්රාව, ත්‍රස්තවාදී කන්ඩායමක් ලෙස නම් කරමින් වොෂින්ටනය, පසුගිය පෙබරවාරියේදී රුසියාව සමග එලඹි පාර්ශවීය සටන් විරාම සාකච්ඡා වලින් එය නිල වශයෙන් ඉවත්කර තැබීමට එකඟ විය. එහෙත් භාවිතයේදී, වොෂින්ටනය ප්‍රසිද්ධියේම සහාය දෙන, කියනු ලබන විවිධ “මධ්‍යස්ථ” ඉස්ලාමීය කන්ඩායම්, අසාද්ට එරෙහිව අල් නුස්රාව පසෙකින් සටන් වැදී සිටිති.

එසේම 28දා රුසියානු හා සිරියානු නිලධාරීන්, විපක්ෂ සටන්කරුවන්ට හා සිවිල් වැසියන්ට, නගරයෙන් පිටවීම පිනිස අරක්ෂිත මගක් පිලිබඳ සැලසුමක් නිවේදනය කලේය. ඔවුන් පැවසූ පරිදි සැලැස්මට, සිය අවි බිම තබන ත්‍රස්තවාදීන්ට ක්ෂමාව ලැබෙන බවත්, විනාශයට පත්ව තිබෙන, ආහාර හිඟයෙන් පෙලෙන නගරයෙන් පිටව යාමට කැමති, දැනට කොටුවී සිටින 300,000ක් වන සිවිල් වැසියන්ට ආහාර හා ඉඳුම් හිටුම් සැපයීම ද ඇතුලත්ය.

ඇමරිකාව වහාම එම සැලැස්ම හෙලාදුටුවේය. එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නියෝජිත සමන්තා පවර්, එය “ඇඟ කිලිපොලා” යන්නක් ලෙස හැඳින්වූවාය. වොෂින්ටනයට “ඇඟ කිලිපොලා” යන්නේ, තව තවත් ලේ වැගිරීම් හා සමහර විට දහස් ගනනක් පිරිසිදු ජලය හා ආහාර නැතිව මියෑදීම පිලිබඳ හැකියාව නිසා නොව, අල් කයිඩාවට සම්බන්ධ තමන්ගේ කුලී හමුදා ලබනු ඇති තීරනාත්මක පරාජය නිසාවෙනි.

Share this article: