තුර්කිය තුල හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කරයි

State of emergency declared in Turkey

ජීන් ශෝල් විසිනි , 2016 ජූලි 21

තුර්කි ජනාධිපති රිසේප් තයිප් එර්ඩොගන් විසින් පසුගිය බදාදා රටතුල තුන්මසක හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත්කරන ලදී.

මෙම පියවර ගනු ලැබුවේ ජාතික ආරක්ෂක මන්ඩලය හා එර්ඩොගන්ගේ කැබිනෙට්ටුව සමග කල පැය පහක සාකච්චාවකින් පසුවය. ජුලි 15 කුමන්ත‍්‍රනයේ “වයිරසය” සියලු රාජ්‍ය ආයතන වලින් විරේක කර දැමීමට ප‍්‍රතිඥා දී සිටි ජනපතිවරයා පැවසුවේ, “මේ පියවරේ අරමුන, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, නීතියේ පාලනයට හා ජනතාවගේ අයිතීන්ට හා නිදහසට එරෙහිව ඇති සියලු තර්ජන මුලිනුපුටා දැමීම” බවය.

එවැනි පොරොන්දු කෙසේ වෙතත්, හදිසි නීතිය මගින් ජනාධිපතිවරයාට හා ඔහුගේ ඇමතියන්ට නීති පැනවීමේදී පාර්ලිමේන්තුව මගහැර යාමේ බලය නම් ලබාදී ඇත. රජයට නෛතික අයිතිවාසිකම් හා නිදහස කප්පාදු කිරීමට තීන්දු ගැනීමේ හැකියාව ද ලැබේ.

දක්ෂිනාංශික “යුක්තිය හා සංවර්ධන” පක්ෂ රජය (ඒකේපී) මේ වන විටත්, පසුගිය සිකුරාදා හමුදා කුමන්ත‍්‍රනයට සම්බන්ධව ජෙනරාල් වරුන් හා අද්මිරාල් වරුන් 100 කට වඩා අත්අඩංගුවට ගෙන ඇත, තුර්කියේ සිටින 365ක්වූ ඉහල මිලිටරි අනදෙන නිලධාරීන්ගෙන් තුනෙන් එකකට ආසන්න ගනනකි මේ. එම චෝදනා වලට දේශ ද්‍රෝහී වීම, සන්නද්ධ ත‍්‍රස්තවාදී සංවිධානයක් පිහිටුවා එහි සාමාජිකත්වය ලැබීම හා කුමන්ත‍්‍රනයක් සිදුකිරීමට තැත් කිරීම යනාදිය ඇතුලත්ය.

අසාර්ථක කුමන්ත‍්‍රනයට සම්බන්ධ බවට සැකකරන හෝ චෝදනා ලද හමුදා නිලධාරින්, පොලිස් නිලධාරීන්, විනිසුරුවන්, නීතීඥයින්, ශාස්ත‍්‍රාලිකයින් ඇතුලු රාජ්‍ය සේවකයින් එර්ඩොගන් ආන්ඩුව විසින් මහා පරිමානව ඉවත් කරමින් සිටී. ආසන්න වශයෙන් 60,000 පමන දෙනෙක් අත්අඩංගුවට ගෙන නැත්නම් රැකියා වලින් ඉවත් කර හෝ සේවය අත්හිටුවා ඇත.

අත්අඩංගුවට පත්ව සිටින 100 කට අධික අධිකරන නිලධාරින් අතර, බදාදා අත් අඩංගුවට ගැනුනු තුර්කියේ ව්‍යවස්ථාමය කරුනු පිලිබඳ අධිකරනයේ සාමාජික විනිසුරුවන් දෙදෙනෙක්ද වෙති. රාජ්‍ය පුවත් ඒජන්සිය පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් පුද්ගලික පාසල් 626ක්ද වසා දැමීමට තීරනය කර ඇති බවයි.

මෙම මර්දනය හදිසි තත්වය ප‍්‍රකාශ කිරීමත් සමග තවත් ඉහල යනු ඇති බව විශ්වාස කල හැක.

කුමන්ත‍්‍රනය ආශ‍්‍රිත සිදුවීම් පිලිබඳව මතුවෙමින් ඇති වාර්තා මගින් ගෙන එන්නේ බැරෑරුම් ක‍්‍රියාන්විතයක චිත‍්‍රයකි. වාර්තා වලට අනුව තුර්කියේ ගිනිකොනදිග මරිමස් නිවාඩු නිකේතනයේ විවේක ගනිමින් සිටි ජනපති එර්ඩොගන්ද ඝාතන තැතකින් බේරී ඇත්තේ අනූනමයෙනි. ඉහල හමුදා නිලධාරියෙකු විසින් ආරක්ෂාව තහවුරු කරන ලදුව, ඉස්තාන්බුල් නගරයට (අගනුවර අන්කාරාවට නොවේ) ඔහු පිටත් වී සුලු මොහොතකින්, හෙලිකොප්ටර් වලින් පැමින හමුදා කන්ඩායම් කීපයක් ඔහුගේ හෝටලයට පහර දුන්හ. එර්ඩොගන් ඝාතනය කිරීමිට පැමිනි කන්ඩායම් පොලිස් භටයන් දෙදෙනකු මරා, තවත් හත් දෙනෙකුට තුවාල සිදු කලහ. ඉස්තාන්බුල් කරා යමින් සිටි ජනාධිපතිවරයාගේ ගුවන්යානය, කැරලිකාර නියමුවන් විසින් පැදවූ ත්‍-16 වර්ගයේ ප‍්‍රහාරක යානා දෙකක් මගින් ලූහුබැඳ ගිය බව ද වාර්තාවේ.

කුමන්ත‍්‍රනයට සමබන්ධයයි චෝදනා එල්ල වන ජ්‍යෙෂ්ටයන් ගනන එන්න එන්නම වැඩිවන තතු යටතේ, ආන්ඩුව දෙවන කුමන්ත‍්‍රන තැතක් ගැන ද බියවී ඇති බව පෙනේ. බදාදා අල් ජසීරා පුවත් සේවය අමතමින් එර්ඩොගන් කියා සිටියේ “මෙහි අවසානයට අප තවම පැමින ඇතැයි මම නොසිතමි” යනුවෙනි. කිසිදු විදේශ රජයක් විශේෂයෙන් නම් නොකල ද ජුලි 15 කුමන්ත‍්‍රනයට විදේශ රටවල් සම්බන්ධ බවට ඇති තම සැකය ඔහු යලි යලිත් අවධාරනය කලේය.

කෙසේ වෙතත්, අවම වශයෙන් එක් ප‍්‍රමුඛ රජයේ නිලධාරියෙක් වත් වොෂින්ටනයේ මැදිහත්වීම පිලිබඳව ඍජුව චෝදනා නගා ඇති අතර, එර්ඩොගන් දැනට ඇමරිකාවේ පදිංචිව සිටින, සීඅයිඒ සම්බන්ධතා ඇති බවට පොදුවේ සලකන, තම ප‍්‍රතිවාදියාවූ ෆෙතුල්ලා ගුලෙන්, මෙම කුමන්ත‍්‍රනයේ මහ මොල කාරයා බවට දැනටමත් චෝදනා නගා ඇත. අන්කාරාව ගුලෙන් නැවත තුර්කියට පිටුවහල් කරන ලෙස ඉල්ලීමක් ඇමරිකානු ආන්ඩුවෙන් කිරීමට සැලසුම් කරගෙන යයි.

වොෂින්ටනය හා බර්ලිනය කුමන්ත‍්‍රන කරුවන්ට සහාය දැක්වූ බවට ඇඟවුම් ගනනාවක් ඇත. අසාර්ථකවූ කුමන්ත‍්‍රනයෙන් ඉක්බිත්තේ, ඇමරිකානු හා යුරෝපීය නිලධාරින් ද ප‍්‍රධාන බටහිර මාධ්‍ය සියල්ලම ද තම විවේචන සම්පූර්නයෙන්ම පාහේ එල්ල කර ඇත්තේ එර්ඩොගන්ට මිස කුමන්ත‍්‍රන සංවිධායකයන්ට නොවේ. රාජ්‍යයක් ලෙස තුර්කියේ වැදගත්කම හා තුර්කි මිලිටරිය හා අනෙකුත් නේටෝ හමුදා අතර ඇති සමීප සම්බන්ධතා වැනි කාරනා තිබියදීම, සිකුරදා සිදුවීම් වල මුල් අදියරේදී ඇමරිකාව හා ජර්මනිය කිසිදු ඍජු ප‍්‍රකාශයක් නිකුත් කිරීමෙන් වැලකී සිටියහ. ඔවුන් නීත්‍යානුකූල ආන්ඩුවට සහය පල කරමින් ප‍්‍රකාශ නිකුත් කලේ කුමන්ත‍්‍රනය අසාර්ථකවී ඇති බව හොඳින්ම පැහැදිලි වූ පසුවය.

ඇමරිකානු න්‍යෂ්ටික අවි රඳවා ඇති හා ඉරාකයට ද සිරියාවට ද ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමට යොදාගන්නා “ඉන්සර්ලික්” (Incirlik) ගුවන් හමුදා කඳවුර කුමන්ත‍්‍රනයේ මධ්‍යස්ථානය වූ බව දැන් පෙනීයයි.

කුමන්ත‍්‍රනයට සති කීපයකට පෙර, තුර්කි ජනපති රුසියාව සමග නැවත මිත‍්‍ර සම්බන්ධතා ඇති කරගැනීමට උත්සාහ දැරීමත් සමග, එර්ඩොගන් හා ඔහුගේ නාමික නිල සගයන් වන ඇමරිකාව හා නේටෝව අතර ආතතීන් මතුවෙමින් තිබිනි.

ඔබාමා තන්ත‍්‍රය ද යුරෝපීය නායකයින් හා ඔහු ද අතර ගැටුම් ඇති වූයේ, ඉරාකයේ හා සිරියාවේ සටන්වැදී සිටින ඉස්ලාමික් ස්ටේට් හා අල් කයිඩාවට සම්බන්ධ අල් නුස්රා සංවිධානවලට, එර්ඩොගන් දක්වන සහාය මුල්කර ගෙනය. සිරියානු කුර්දිවරුන්ට එරෙහි බාධකයක් ලෙස මේ කන්ඩායම් වලට එර්ඩොගන් නිල නොවන අනුග‍්‍රහය දක්වා ඇත.

අසාර්ථක කුමන්ත‍්‍රනයෙන් පසුව කඩාපැනීම් ලිහිල් නොකරන්නේ නම් එහි නේටෝ සාමාජිකත්වය අහිමි විය හැකි බව වොෂින්ටනය තුර්කියට අනතුරු අඟවා ඇත. කුමන්ත‍්‍රනයක් ඇතිවීමට පැවති හැකියාව ගැන තමන් දැන සිටියේදැයි නගන ලද ප‍්‍රශ්නයකට විසිරුනු අකාරයේ පිලිතුරක් දෙමින් සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් පැවසුවේ, ජනපති එර්ඩොගන්ට එරෙහිව සැලකිය යුතු තරම් අභ්‍යන්තර විරෝධයක් පැවති බව පමනක් තමන් දැන සිටි බවය.

කුමන්ත‍්‍රනයෙන් පසුව ගෙන යන මර්දනයේ පරිමානය හා වේගය, තුර්කිය වෙලාගෙන ඇති දේශපාලන, ආර්ථික හා සාමාජීය ආතතීන්ගේ විනාශකාරිත්වය පිලිබිඹු කරයි. 2008 ගෝලීය ආර්ථික අර්බුදය, වසර ගනනක් පුරා ඇමරිකාවේ මෙහයවීමෙන් මැදපෙරදිග සිදුකෙරෙන යුද්ධ, එර්ඩොගන් හා වොෂින්ටනය අතර ගැටුම් වලට තුඩුදී ඇති නිරතුරුව විචලනය වන ඇමරිකානු ප‍්‍රතිපත්ති හා කුර්දිස්තාන් කම්කරු පක්ෂයට (පීකේකේ) එරෙහිව ඇන්කාරාව ගිනිකොනදිග තුර්කියේ ගෙනයන යුද්ධය මේ අතර ප‍්‍රධානය.

තුර්කි නාවික හමුදාවේ පක්ෂපාතිත්වය හා එය දරන ආස්ථානය පිලිබඳ කරුනු තවමත් අපැහැදිලිය. අගහරුවදා ලන්ඩනයේ පලකෙරෙන ටයිම්ස් පුවත්පත වාර්තා කල ආකාරයට, තුර්කි නාවික හමුදාවේ අනදෙන නිලධාරී අද්මිරාල් වෙයිසෙල් කොසෙලේ කුමන්ත‍්‍රනයෙන් පසුව මෙතෙක් සම්බන්ධ කරගැනීමට නොහැකී වී ඇති අතර නැවු 14 හා විශේෂ බලකායේ නැවියන් 25ක් සමග හෙලිකොප්ටර් දෙකක් අතුරුදහන් වී ඇත. ජනාධිපති නිල ප‍්‍රකාශක ඉබ‍්‍රහිම් කලීන් කියා සිටියේ මේ වනවිට “සියල්ල පාලනය කර” ඇතත් “කැරලිකාර භටයන් කීපදෙනක් තවමත් පලායමින් සිටින” බවය.

තුර්කි හමුදා තොරතුරු වලට අනුව, මෙම අතුරුදහන්වූ වෙරලාරක්ෂක නැව්, ග‍්‍රීසිය ආශ‍්‍රිත ඒජියන් මුහුදට ගමන් කර ඇතයි පලවූ වාර්තා විමසා බැලීමට අන්කරාව F-16 වර්ගයේ ප‍්‍රහාරක ගුවන් යානා ද යොදවා ඇත.

අත්අඩංගුවට ගැනුනු අය අතර අගමැති බිනලි යිල්දිරීම් ගේ කාර්යාලයේ, පාර්ලිමේන්තුවේ සහ විවිධ අමාත්‍යංශ වල සේවය කල සිය ගනනක් වෙති. එර්ඩොගන්ගේ සහායකයෙක් වන අලි යසිසිද ඊට අයත්ය.

හිටපු ගුවන් හමුදා නායක හා තුර්කියේ උත්තරීතර මිලිටරි සභාවේ සාමාජිකයෙක් වන අකින් ඔස්ටර්ක්ට කුමන්ත‍්‍රනය සැලසුම් කලේය යන චෝදනා එල්ල වී තිබේ. ඔහුගේ මේ කන්ඩායමට එර්ඩොගන්ගේ ප‍්‍රධාන මිලිටරි උපදේශකයාද, ඉන්සර්ලික් ගුවන්හමුදා කඳවුරේ අනදෙන නිලධාරී හා ප‍්‍රබල “දෙවන හමුදාවේ” අනදෙන්නා ද වෙති. මුහුනට සිදුවූ තුවාලද සහිතව අත් අඩංගුවට පත්ව සිටින මාධ්‍ය මගින් පෙන්වූ ඔස්ටර්ක්, කුමන්ත‍්‍රනයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව ප‍්‍රකාශකර ඇත.

කුමන්ත‍්‍රන උත්සාහයට මේ පුද්ගලයන්ගේ සහභාගීත්වය තහවුරු වුවහොත් ඉන් පෙනී යන්නේ, එය මෙහෙයවා ඇත්තේ පාලක සංස්ථාපිතයේ කේන්ද්‍රයේම සිටි කිහිපදෙනෙක් විසින් බවය.

පසුගිය මාස කීපයේදී එර්ඩොගන් තම දේශපාලන විරුද්ධවාදීන් පසෙකට දැමීමේ වෑයමක නිරත විය. හිටපු ජනාධිපති හා ඒකේපී සම-ආරම්භක අබ්දුල්ලා ගුල්, තම විදේශ ඇමති හා එර්ඩොගන්ම කලින් තෝරාගත් අගමැති අහ්මේත් දවුටෝග්ලූ (පසුව බිනාලි යිල්දිරීම් අගමැති කරන ලදී) වුහ. දවුටෝග්ලූට බලහත්කාරයෙන් ඉල්ලා අස් වීමට බලකිරීම, ඇමරිකාවේ හා යුරෝපීය බලවතුන්ගේ කනස්සලට හේතුවිය.

තම පැරනි කෝන්තර බේරාගැනීමට හා දීර්ග කාලයක් පුරා විධායක ජනාධිපති ධුරයේ මුවාවෙන් ඒකාධිපති පාලනයක් පිහිටුවා ගැනීම නීත්‍යානුකුල කර ගැනීමට ඔහු ගෙනයන ව්‍යායාමය සඳහා මෙම අසාර්ථක කුමන්ත‍්‍රනය අවස්ථාවක් කර ගැනීමට එර්ඩොගන් මාන බලන බවට සැකයක් නැත. කුමන්ත‍්‍රනයට සම්බන්ධ යයි චෝදනා කරමින් තුර්කි බලධාරීන් විසින් මාධ්‍ය ආයතන ගනනාවක බලපත‍්‍ර අවලංගු කර ඇත. කලින් ආන්ඩුව සිය පාලනය යටතට ගත් රුපවාහිනී චැනල් කීපයක්ද මෙයට ඇතුලත්ය. විකි ලීක්ස් වෙබ් අඩවිය මගින් පස්චාත්-කුමන්ත‍්‍රන මර්දනයට ප‍්‍රතිචාර වශයෙන් 2010 සිට [මේ වසරේ] ජුලි 6 දක්වා 300,000 පමන වූ ඒකේපීයේ ලියුම් ගනනාවක් හෙලි කල නිසා රජය මගින් තුර්කිය තුල එම වෙබ් අඩවියට පිවිසීමේ ඉඩ කඩ අහුරා ඇත.

මේ දක්වා එර්ඩොගන් තම අවධානය යොමු කර ඇත්තේ විපක්ෂ ගුලෙනිස්ට් ව්‍යාපාරයේ ආධාර කරුවන් වෙතය. අඟහරුවදා පාර්ලිමේන්තුව අමතමින් අගමැති යිල්දිරීම් ප‍්‍රකාශ කලේ, ගුලෙන්ගේ පිටිවහල් කිරීම ඉල්ලමින් එය තහවුරු කිරීම සඳහා ඇන්කාරාවෙන් ඇමරිකාවට ලිපිගොනු හතරක් යවා ඇති බව ය.

හමුදා ප‍්‍රධානි හුලූසි ආකාර් ගේ සහයක නිලධාරියෙකුව සිටි, අත්අඩංගුවේ සිටින, ලුතිනන් කර්නල් ලෙවෙන්ට් තුර්කාන්, තමන්, ෆෙතුල්ලා ත‍්‍රස්ත සංවිධානය වශයෙන් තුර්කි ජාතික ආරක්ෂක මන්ඩලය මගින් නම් කර ඇති, ගුලෙන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් බව පිලිගෙන ඇති බව වාර්තාවේ. ඔහු සහ තවත් අය ඉහල හමුදා නිලධාරින් ගැන ඔත්තු බැලූ බවට ඔහු පාපොච්චාරනය කල අතර “1990 ගනන් වල සිට ආරක්ෂක අංශ වලට ඇතුලත් කරෙගන ඇති අයගෙන් සියයට 60-70 අතර ගනනක් ගුලෙන්ට සම්බන්ධතා ඇති අය” බවද ප‍්‍රකාශ කලේය.

තුර්කාන් කියා සිටියේ ඔහුට කුමන්ත‍්‍රනය ගැන දැන ගැනීමට ලැබුනේ හමුදා ප‍්‍රධානියාගේ උපදේශයකයෙකු ලෙස සේවය කල කර්නල් ඔර්හන් යිකිල්කාන් වෙතින් ජුලි 14දා බවයි. ජුලි 16දා උදෑසන කුමන්ත‍්‍රනය ආරම්භ වීමත් සමග ජනාධිපති, අගමැති, හමුදා ප‍්‍රධානි හා අනෙකුත් අනදෙන නිලධාරින් අත්අඩංගුවට ගනු ඇති බව යිකිල්කාන් ඔහුට පවසා ඇත.

ගුලෙන් කුමන්ත‍්‍රනයට තමන්ගේ මොනම සම්බන්ධයක් වත් තිබූ බව ප‍්‍රතික්ෂේප කර ඇති අතර, එසේ තිබුනා වුවත් එය කුමක්ද යන්න කිසිසේත්ම පැහැදිලි නැත. කුමන දේශපාලන බලවේග එර්ඩොගන් පාලනය බලයෙන් පහ කිරීමේ කුමන්ත‍්‍රනය පිටුපස සිටියේ ද ඔවුන්ගේ පෙලඹවීම් හා අරමුනු මොනවා ද යන්නත් අපැහැදිලිය. විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂ තුන වන කේමල් වාදීන්, දක්ෂිනාංශික ජාතිකවාදීන් හා කුර්දි හිතවාදී පක්ෂය, කුමන්ත‍්‍රන තැත හෙලා දැකීම සඳහා ඒකේපීය සමග එක්විය.

රජය මගින් පාලනය වන අනදොලූ පුවත් ඒජන්සියට අනුව විනිසුරු මහ්මේත් සෙල් ගේ කාර්යාලයෙන් ලිපිගොනුවක් හමුවී ඇත. 2009-2015 කාලයේ සාම ක‍්‍රියාදාමය යන අතරතුර, ත‍්‍රස්තවාදයට ආධාර කලේය යන කරුන මත එර්ඩොගන්, හිටපු අගමැති දවූටෝග්ලූ, අභ්‍යන්තර කටයුතු ඇමති එෆ්කන් අලා හා බුද්ධි අංශ ප‍්‍රධානි හකන් ෆිදාන් යන අයට විරුද්ධව කලින් සකස් කරන ලද චෝදනා පත‍්‍රයක් ද මෙම ගොනුවේ තිබී හමුවී ඇති පැවසේ.

සිකුරාදා හා සෙනසුරාදා දින වලදී කුමන්ත‍්‍රනයට එරෙහිව මිලියන ගනනක් වීදි වලට කැඳවන ලදී. එහෙත් කුමන ආකාරයක හෝ නැගෙන මහජන සහයෝගයක් වුව ද එර්ඩොගන් විසින් නොවැලක්විය හැකි ලෙස යොදා ගනු ඇත්තේ, කම්කරු පන්තියට එරෙහිව තම අත ශක්තිමත් කරගැනීමටය. කුමන්ත‍්‍රනය සිදුවන අතරතුර හා ඉන් ඉක්බිත්තේ ඔහු, ඉස්ලාම්වාදී සන්නද්ධ කන්ඩායම් සාමාජිකයින් දහස් ගනනක් බලමුලු ගැන්වීය. ප‍්‍රධාන වශයෙන් ඒකේපී හිතවාදී ඔටෝමන් සංගම් වල සාමාජිකයින් වූ ඔවුහු, ජිහාඩ්වාදී හා ආගමික සටන් පාඨ හඬනගමින් ඒකේපීයේ විරුද්ධ වාදීන් වෙත කඩා පනිනු දක්නා ලදී.

Share this article: