75 වසරකට පෙර: ස්ටැලින් නාසි ජර්මනියේ ආක්‍රමන තර්ජනය නොතකා හරියි

75 years ago: Stalin ignores invasion threat from Nazi Germany

2016 ජූනි 13-19

1941 ජූනි 13දා මොස්කව් ගුවන් විදුලිය පහත දැක්වෙන නිවේදනය නිකුත් කලේය. “ජර්මනිය හා සෝවියට් සංගමය යන දෙරටම, සෝවියට්-ජර්මන් අනාක්‍රමනික ගිවිසුම ඇතුලත් ලේඛනයට බැඳී සිටියි...”

හිට්ලර් සෝසසසං ආක්‍රමනය කිරීමේ සැලසුම් නිරීක්ෂනය කරමින් සිතියම් මේසය ලඟ

1941 ජූනි 13දා සෝවියට් ටාස් ප්‍රවෘති ආයතනය මොස්කව් ගුවන් විදුලිය තුලින් පහත දැක්වෙන නිවේදනය නිකුත් කලේය. “ජර්මනිය හා සෝවියට් සංගමය යන දෙරටම, සෝවියට්-ජර්මන් අනාක්‍රමනික ගිවිසුම ඇතුලත් ලේඛනයට බැඳී සිටින අතර, ජර්මනිය, ගිවිසුම කඩ කර සෝවියට් සංගමයට එරෙහි ප්‍රහාරයක් දියත් කරනු ඇති බවට සෝවියට් කවයන් තුල පැතිරෙන කට කථා, මුලුමනින්ම පදනම් විරහිත බවත්, ජර්මනියේ නැගෙනහිර හා උතුරු දිසාවන්ට ජර්මානු හමුදාවන්ගේ දැන් සිදුවන මෙහෙයුම්.....වෙනත් අරමුනු ඇතිව සිදුවන ඒවාය.....”

වසරකට ආසන්න කාලයක් තිස්සේ සෝවියට් මිලිටරිය හා රහසිගත ඔත්තු සේවා, ජර්මානු මිලිටරි ඒකක ස්ථානගත කිරීම, ඒවායේ ශක්තිය, උපායන් හා අවසන් වශයෙන්, ආක්‍රමනය සැලසුම් කරන දවස පිලිබඳව පවා, වැල නොකැඩී වඩ වඩාත් තොරතුරු සපයා තිබුනි. කෙසේ වෙතත් ස්ටැලින් නියෝග කරනු ලැබුවේ, “යුද්ධය අනිවාර්ය බවට පල වන සියලු ලේඛන, බ්‍රිතාන්‍ය හෝ ජර්මානු මූලාශ්‍රයන් විසින් පසුව සකස් කරනු ලැබූ ව්‍යාජ ලියවිලි ලෙස සැලකිය යුතු” බවටය.

ඊට අමතරව චර්චිල් හා රූස්වෙල්ට් විසින් පවා ප්‍රහාරය පිලිබඳව ස්ටැලින්ට අනතුරු අඟවා තිබුනි. මේ ප්‍රශ්නය පිලිබඳව වසර ගනනාවක් කට පියාගෙන සිටි ජර්මානු මාධ්‍ය, යලි වතාවක්, යුක්‍රේනය හා රුසියාව ඇතුලත් නැගෙනහිර දෙසට ජර්මනියේ ව්‍යාප්තිය පිලිබඳව ලියන ලද හිට්ලර්ගේ මෙයින් කාම්ප් (Mein Kampf) හි උපුටා ගැනීම් පෙලගස්වමින් සිටියේය. ජර්මානු මුද්‍රනකරුවෙක් බර්ලිනයේ සෝවියට් කොන්සියුලේට් කාර්යාලයට පැමින, මිලිටරිය වෙනුවෙන් විශාල ප්‍රමානයන්ගෙන් මුද්‍රනය කරන ලද ජර්මානු-රුසියානු වැකි ඇතුලත් පොතක් ඉදිරිපත් කලේය. එයින් ජර්මානුවන්ට උපදෙස් දී තිබුනේ, රුසියානුවන්ගෙන් ප්‍රශ්න කල යුත්තේ කෙසේ ද යන්න පිලිබඳවය.

අප්‍රේල් හා මැයි මාසවල ජර්මානු ගුවන් යානා රුසියානු ගුවන් සීමාව උල්ලංඝනය කිරීමේ සිද්ධීන් නාටකාකාර ලෙස ඉහල නැගුනි. ඒ කාලය තුලම ස්ටැලින්, හිට්ලර් වෙත යැවූ ධාන්‍ය, තෙල්, කපු, රබර් හා විවිධාකාර වෙනත් ලෝහ වර්ග ද වාර්තාගත මට්ටම් වලින් වැඩි කලේය. ඒ අතරතුර ජර්මනියේ අන්‍යොන්‍ය භාන්ඩ නැව් තොග මුලුමනින්ම පාහේ නතරවූ අතර සෝසසසං වෙත යවන ලද මිලිටරි අපනයන අවලංගු කරනු ලැබින.

Share this article: