එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත් වීමට ඡන්දය දීමත් සමග ආර්ථික හා දේශපාලන අර්බුදයක් ඇවිලෙයි

UK vote to leave the European Union triggers economic and political crisis

ක්‍රිස් මාස්ඩන් හා ජූලි හයිලන්ඩ් විසිනි, 2016 ජූනි 24

ඡන්දය දුන් සංඛ්‍යාව සියයට 72ක් වූ අතර, ඉවත්වීම සඳහා සියයට 51.9ක් හා රැඳී සිටීමට සියයට 48.1ක් ද වශයෙන් පටු ප්‍රතිශතයක් සහිතව 23දා ජනමත විමසුමේ දී බ්‍රිතාන්‍යය, යුරෝපීය සංගමයෙන් ඉවත් වීමට ඡන්දය දුන්නේ ය. මේ අතර අගමැති ඩේවිඩ් කැමරන් නිවේදනය කලේ, ඔක්තෝබර් මාසයේ කොන්සවේටිව් සම්මේලනයෙන් පසුව තමන් තනතුර අත්හරින බව යි.

ජනමත විමසුමේ ප්‍රතිපල බ්‍රිතාන්‍යය තුල පමනක් නොව යුරෝපය හා ලෝකය පුරා ම පද්ධතිගත කම්පනයක් මුදා හලේය. එය මූල්‍ය වෙලඳපොලවල, ආරක්ෂන අරමුදල්වල, මාධ්‍යයේ හා දේශපාලන සංස්ථාපිතයේ බලාපොරොත්තු සුන් කලේ ය. 23දා ප.ව 10ට ඡන්ද විමසීම අවසන් වීමේදී පවා අනාවැකි පල වූයේ රැඳී සිටිනු ඇති බවට ය. එය ස්ටර්ලින් පවුම ශක්තිමත් වීම හා ගෝලීය වෙලඳපොලවල ප්‍රකෘතිමත් වීම තුල ප්‍රකාශයට පත් විය. එහෙත් අද උදෑසන වන විට පවුම වසර 30ක් තුල පහත ම අඩියට වැටුනි. ඩොලරයට සාපේක්ෂව එය සියයට 10න් පහත වැටුනි. යුරෝව හා යෙන් මුදලට සාපේක්ෂව ද පවුම කඩා වැටුනි.

බ්‍රිතාන්‍යය ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය වන අතර යුරෝපයේ දෙවන විශාලම ආර්ථිකය යි. ප්‍රන්සය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ග්‍රීසිය හා ඉතාලිය පවා මත විමසුම් වලින් පෙන්වා ඇති පරිදි ඉවත්වීමට මනාප වන තතු හමුවේ, එරට යුරෝපීය සංගමයෙන් ඉවත් වීම, පුලුල් වශයෙන් දැකගනු ලබන්නේ, යුරෝපය කැබලිවී යාමේ විභවයක් ලෙස ය.

බ්‍රිතාන්‍යයම ද බෙදී ගොසිනි. එංගලන්තය හා වේල්සය පිලිවෙලින් සියයට 53 හා 52 වශයෙන් ඉවත්වීමට ඡන්දය දී ඇති අතර ස්කොට්ලන්තය සියයට 62න් ද උතුරු අයර්ලන්තය 56ක් ද වශයෙන් රැඳී සිටීමට ඡන්දය දී ඇත.

ස්කොට්ලන්ත නිදහස පිලිබඳ දෙවන ජන මත විචාරනයක් පිලිබඳ මත පැතිර යයි. එහි ජාතික පක්ෂයේ නායක සැල්මන්ඩ් අවධාරනය කරන්නේ, එවන් ජනමත විමසුමක් වසර දෙකක් තුල පැවැත්විය යුතු බව යි. ඒ, යුරෝපීය සංගම් ලිස්බන් ගිවිසුමේ 50 වගන්තිය අනුව ය. එම ක්‍රියාවලිය බ්‍රිතාන්‍යය ඉවත්වීමත් සමග ආරම්භ විය යුතු ය.

සින් ෆියෙන් නායක ජෙරී ඇඩම්ස් පැවසුවේ, සමූහාන්ඩුවේ සැතපුම් 330ක උතුරු දේශසීමාව ඔස්සේ සීමා හා තීරුබදු පැනවීමේ අදහස් හමුවේ ජනමත විමසුමේ ප්‍රතිපල මතුකර ඇත්තේ එක්සත් අයර්ලන්තයක් පිලිබඳ ප්‍රශ්නය බව යි.

එංගලන්තය තුල සියයට 60ක් හා 40ක් වශයෙන් රැඳී සිටීමට ඡන්දය දී ඇත්තේ ප්‍රදේශයක් හැටියට ලන්ඩනය පමනි. අන් සියලු ප්‍රදේශ මනාපය පල කර ඇත්තේ ඉවත් වීමට ය. යෝර්ක්ෂයර් හා හම්බර්සයිඩ් සියයට 58න් ද ඊසානදිග 54න් ද බටහිර මිඩ්ලන්ඩ් 59න් ද දකුනු හා නිරිතදිග ප්‍රදේශ සියයට 50 වැඩි ප්‍රමානයකින් ද ඉවත් වීමට ඡන්දය දී ඇත.

මෙම ඡන්ද රටාවේ වඩාත්ම කැපී පෙනෙන විශේෂත්වය වූයේ, වයස අවුරුදු 24ට අඩු අය අතර රැඳී සිටීමේ මනාප ඡන්ද ප්‍රතිශතය සියයට 75ක් වීම ය.

වෙස්මිනිස්ටර්හි ප්‍රමුඛ උත්සුකය වී ඇත්තේ මූල්‍ය වෙලඳපොල ස්ථාවර කර ගැනීම යි. 50 වගන්තිය ක්‍රියාත්මක කිරීම කැමරන් විසින් ප්‍රමාද කල යුතු බවට අදහස් පල විය. වෙලඳපොල විවෘත කිරීමත් සමග ෆුට්සි 100 දර්ශකය ඒකක 500න් හෙවත් පවුම් බිලියන 120න් පහත ගියේ ය. වැඩිම අලාභයකට මුහුන දුන්නේ බැංකු හා නිවාස ඉදිකරන්නන් ය. එංගලන්ත මහ බැංකුවේ සභාපති මාක් කානි, පවුම් බිලියන 250ක් වෙලඳපොලට මුදාහැරීමට පොරොන්දු විය. බ්‍රිතාන්‍යයේ වර්ධනය “බඩගාන මට්ටමට" පහත වැටෙනු ඇති බවට පල වන මත හමුවේ, පොලී අනුපාතය අගෝස්තු වන විට 0 තෙක් පහත හෙලනු ඇති බවට අනාවැකි පලවේ.

මෙම ප්‍රමාද කිරීමේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ය, කැමරන්ගේ ඉල්ලා අස්වීමේ නිවේදනය නිකුත් වුනේ. ඔහු පැවසුවේ තමාගේ පසුබෑම හමුවේ, 50 වගන්තිය ක්‍රියාත්මක කිරීම, එලඹෙන ශරත් සෘතුවේ නව කොන්සවේටිව් පක්ෂ ප්‍රධානියෙකු පත්කර ගන්නා තෙක් සිදු නොවනු ඇති බව යි. නිල බැහැර වීමේ ව්‍යාපාරයට නායකත්වය දුන් ලන්ඩන්හි හිටපු නගරාධිපති බොරිස් ජොන්සන්, ආර්ථික ස්ථාවරත්වය සහතික කර ගන්නා තෙක් කෙටි කාලයේදී එකට වැඩ කිරීමේ අවශ්‍යතාව සිය බ්‍රෙක්සිට් කන්ඩායම හමුවේ ප්‍රකාශ කිරීමත් සමග, අගමැතිගේ පොරොන්දුව දෙනු ලැබින.

එක්සත් රාජධානියේ නිදහස් පක්ෂ මැතිවරන අභියෝගය පරාජය කිරීමේ අවශ්‍ය තැරැව්කරුවා ලෙස ජොන්සන් ඉදිරිපත් කෙරේ. “වානිජ්‍ය බැංකු වලට හා ප්‍රභූවට” එරෙහිව ජනතාවාදී ආස්ථානයක් ගනිමින්, මත විමසුමෙන් වාසි සලසාගත් එකම නායකයා එම පක්ෂයේ නායක නීජල් ෆරාජ් ය. ඔහු 50 වගන්තිය ක්‍රියාත්මක කිරීම පිලිබඳව කුමන හෝ සම්මුතියක විවේචකයා ලෙස පෙරට විත් ඇත.

ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින්ගේ ආස්ථානය කුමන ආකාරයකින් හෝ සහතික කෙරී නැත. ලේබර් පක්ෂය තුල බ්ලෙයාර් විරෝධී මන්ත්‍රීන් 10ට 15ක් වශයෙන් ඉවත් වීමට කැමැත්ත දක්වා තිබියදී, රැඳී සිටීමේ තර්කය පෙරමුනට ගැනීමට ඔහු සෑහෙන උත්සාහයක් නොගත්තේ යයි විවේචන ඉදිරිපත් කර ඇත. ඉවත් වීමට පක්ෂ මන්ත්‍රීන්, ලේබර් ඡන්දදායකයින්ගෙන් සියයට 45ක් තමන් නියෝජනය කරන බව දැන් කියා සිටින අතර, කෝබින් යුරෝපයට එරෙහි තම මුල් ආස්ථානය වෙනස්කර සංක්‍රමන ප්‍රශ්නය පිලිබඳව “ආගන්තුකයෙක්” බවට පත්ව සිටින්නේ යයි හෙලා දකියි.

නායකත්ව අභියෝගයකට මුහුනපෑම හමුවේ කෝබින්ගේ ප්‍රතිචාරය, සිය විවේචකයින් අතර ත්‍රිකෝනාකාරව පැදීමේ වෑයමකි. ඔහු පවසන්නේ, ඡන්දදායකයින්ගේ අභිමතයට ගරු කරමින් 50 වගන්තිය වහාම ක්‍රියාවට නැගිය යුතු බවත්, ආර්ථික ප්‍රමිතීන් පදනම් කර ගෙන, සංක්‍රමන පාලනය සඳහා සහාය දක්වන බවත් ය. ඒ අනුව වරෙක ශ්‍රමය නිදහසේ එහා මෙහා යාම පිලිබඳ නීතිය තවදුරටත් බලපවත්වන්නේ නැත. ඔහු එසේ කලේ ආර්ථිකය ස්ථාවරත්වයකට ගෙන ඒම පිනිස ආන්ඩුවට සහාය දිය යුතු බව අවධාරනය කරමිනි.

යුරෝපීය කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක්, යුරෝ කොමිසමේ සභාපති ජීන් ක්ලවුඩේ ජුන්කර්, යුරෝ පාර්ලිමේන්තු සභාපති මාටින් ෂූල්ට්ස් හා යුරෝවේ මාරු වන සභාපති වන නෙදර්ලන්ත අගමැති මාක් රියුටි අතර බ්‍රසල්ස්හිදී අර්බුදයේ රැස්වීමක් පැවැත්වෙමින් තිබේ.

යුරෝවේ තවමත් සිටින සාමාජික රටවල් 27 අතර සාකච්ඡා ලබන සතියේ දී බ්‍රිතාන්‍යයේ සහභාගිත්වයකින් තොරව පැවැත් වේ. ටස්ක් අනතුරු ඇඟවූයේ, “මෙය උන්මාදනීය ප්‍රතික්‍රියා අවශ්‍ය කෙරෙන අවස්ථාවක් නොවන” බවට ය.

කෙසේ වුව ද, යුරෝපීය පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ජර්මානු කොන්සවේටිව් පක්ෂ මන්ත්‍රී කෙනෙක් වන මැන්ෆ්‍රෙඩ් වෙබර් අනතුරු ඇඟවූයේ, “පිටවීම යනු පිටවීම ය, පිටවීමේ සාකච්ඡා වැඩිම වශයෙන් දෙවසරක් තුල අවසන් විය යුතු අතර, බ්‍රිතාන්‍යයට විශේෂ සැලකිලි නොලැබෙනු ඇති'' බව ය.

බ්‍රිතාන්‍යයේ මග පෙන්වීම යටතේ “අනෙකුත් සාමාජික රටවල් ද පෝලිමට එක්වීම වලක්වාගන්නේ කෙසේ ද” යන්න සාකච්ඡා කිරීමට චාන්සලර් මර්කෙල් හමුවන බව ෂූල්ට්ස් පැවසීය.

ජනමත විමසුම බ්‍රිතාන්‍ය තුල ද යුරෝපය පුරාම ද සැලකිය යුතු දකුනට මාරුවීමක් සලකුනු කරයි. මෙම ප්‍රතිපලය සඳහා සමාජ විරෝධයේ විශාල කොටස්වල සහභාගිත්වය ලැබුනි. එය කම්කරු පන්ති ප්‍රදේශවල කැපී පෙනෙන පරිදි ඡන්දය පාවිච්චි කිරීම තුල ප්‍රකාශිත විය. යුරෝපීය සංගමය කෙරෙහි සතුරුකම ටෝරි ආන්ඩුව හා ලේබර් පක්ෂය කෙරෙහි නොසතුට සමග අත්වැල් බැඳ ගත්තේ ය. එය ඉවත්වීමේ ඡන්දය කෙරෙහි බලපෑවේ ය. විශේෂයෙන් ම, වසරකට පවුම් 15,000ට අඩු ආදායමක් ලබන්නන් අතර.

කෙසේ වෙතත් කෝපය කම්කරු පන්තිය කෙරේ ගැඹුරින්ම සතුරු දක්ෂිනාංශික දේශපාලන ප්‍රවනතා පිටුපස සාර්ථක ලෙස පෙලගැස්වුනි. එම උද්ඝෝෂනය ජාතිකවාදයෙන් හා විදේශිකයින් නුරුස්නා සංක්‍රමන විරෝධය මගින් සංලක්ෂිත විය.

යුරෝපය පුරා ද අන්ත දක්ෂිනාංශික පක්ෂ, යුරෝ විරෝධී මනෝ භාවය හා ප්‍රතිගාමී කප්පාදු වලින් හටගත් සමාජ ව්‍යසනය අවසානය දක්වාම ගැසාකෑවෝය. ප්‍රන්සයේ ජාතික පෙරමුනේ ලේ පෙන් පැවසුවේ, “බොහෝ ප්‍රන්ස ජනතාවක් මෙන්ම බ්‍රිතාන්‍යයින් ද නිවැරදි තේරීම සොයාගැනීම පිලිබඳව මම බෙහෙවින් සතුටු වන්නෙමි” යනුවෙනි. නෙදර්ලන්තයේ නිදහස් පක්ෂ නායක ග්‍රීට් විල්ඩර්ස්, යුරෝවේ සාමාජිකත්වය පිලිබඳව එරටේ ද ජනමත විචාරනයක් පැවැත්විය යුතු බව පැවසීය.

ඔවුන්ගේ ජනතාවාදී කයිවාරු මගින්, වැඩකරන ජනතාවට එරෙහි අතිශය රුදුරු ප්‍රහාර සඳහා වන එල්ලය වහංගු කෙරුනි. සිය “ජයග්‍රහනය” හිමිදිරියේ ම ෆරාජ් පැවසුවේ, බ්‍රික්සිට් ඡන්දයෙන් පසුව ඉවත්වීමේ කඳවුර, බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයට වාර්ෂිකව ගෙවන දායක මුදල වන පවුම් මිලියන 350, ජාතික සෞඛ්‍ය සේවාව වෙනුවෙන් යොදවන බව පැවසීමෙන් කලේ වරදක් බව ය.

සමාජවාදී කම්කරු පක්ෂය, සමාජවාදී පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය හා ජෝර්ජ් ගැලෝවි විසින් ඉටුකරන ලද්දේ, දේශපාලනිකව සාපරාධී ක්‍රියාකලාපයකි. “වමේ බැහැරව යාම” පිනිස කැඳවුම් කරමින් සමාජවාදී පක්ෂය කල උද්ඝෝෂනය, දේශපාලන ජීවිතය ජාතිකවාදී මාවතේ තව තවත් එහාට දැක්කීම අරමුනු කරගත්, දක්ෂිනාංශික යොමුවකට කම්කරුවන් යටත් කිරීමට උපකාරී විය. එමගින් බ්‍රිතාන්‍ය තුලත් යුරෝපයේත්, අන්ත දක්ෂිනාංශය ශක්තිමත් කර නගාසිටුවා වැඩකරන ජනතාවගේ දේශපාලන ආරක්ෂාව දුබල කරන ලදි.

ජනමත විමසුම ක්‍රියාකාරීව වර්ජනය කිරීමට කැඳවුම් කිරීමේ දී, සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කලේ, ගෝලීය ආර්ථික අර්බුදය හා ජාතික හා සමාජ ප්‍රතිමල්ලවතාවන්ගේ වර්ධනය හේතුවෙන් යුරෝපියානු සංගමය කඩා වැටීමේ ඉහල අදියරකට එලැඹ ඇති බව යි. එහෙත් කම්කරු පන්තිය,  ධනවාදය ආරක්ෂා කිරීම හා ජාතික රාජ්‍යයට පසුබා යාමේ පදනම මත නොව, සමාජවාදය සඳහා අරගලය තුල යුරෝපියානු කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමේ පදනම මත තමාගේ ස්වාධීන ප්‍රතිචාරය සූත්‍රගත කල යුතු ය.

Share this article: