එක්සත් ජනපදය හා චීනය අතර න්‍යෂ්ටික යුද්ධයක අනතුර

The danger of nuclear war between the US and China

2016 මැයි 30

පසුගිය සතියේ ජපානයේ පැවති ජී7 සමුලුව, අන්තර් සම්බන්ධිත කාරනා දෙකකින් අධිකාරවත් විය: ඒ, ගෝලීය ධනවාදයේ ගැඹුරුවන අර්බුදය සහ යුද්ධය කරා, විශේෂයෙන්ම දකුනු චීන මුහුද තුල චීනය හා එක්සත් ජනපදය අතර වැඩෙමින් තිබෙන ගැටුමක අනතුර යි. ආර්ථික කඩාවැටීමට සෘජු විසඳුමක් සම්පාදනය කිරීමට ප්‍රමුඛ බලවතුන් දක්වන අසමත්කම, ජාතිකවාදී එදිරිවාදිකම් හා ගැටුම් කරා ලුහුටා යාමට තෙල් වක්කරයි.

චීනය විසින් අයිතිය කියාපාන නාවුක සැතපුම් 12 සීමාව තුල ප්‍රකෝපකාරී මිලිටරි කඩාපැනීම් යුක්තිසහගත කිරීම අරමුනු කල, චීනය පිලිබඳ බලගතු විවේචනාත්මක යෝජනාවක් සඳහා ජී7 සමුලුවේදී එක්සත් ජනපදය හා ජපානය දැඩිලෙස පීඩනය යෙදුවෝ ය. මෙම මස මුලදී, එක්සත් ජනපද නාවුක හමුදාව, දකුනු චීන මුහුදේ ෆයරි ක්‍රොස් ගල් පරය යාබදව තුන් වැනි වරටත්, ඊනියා “නාවුක ගමනාගමනයේ නිදහස“ සඳහා මෙහෙයුමක් දියත් කලේ ය. ප්‍රදේශය තුල සිය ආරක්ෂාව තර කරන බව කියමින් බීජිනය, එයට කෝපයෙන් ප්‍රතිචාර දැක්වීය.

එක්සත් ජනපද ජනාධිපතිවරනය හා ඔස්ට්‍රේලියානු මහ මැතිවරනය සඳහා දැන් කෙරී ගෙන යන උද්ඝෝෂන තුලදී, යුද සූදානම පිලිබඳ කුමන්ත්‍රනකාරී නිහැඬියාවක් පවත්වා ගෙන යන්නේ, න්‍යෂ්ටික ගැටුමක වැඩෙන අනතුර පිලිබඳ මහජන විඤ්ඤානය මොට කර දමීමේ අරමුනෙනි.

න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා තරග වැදී සිටින්නේ, දකුනු චීන මුහුද තුල පමනක් නොවේ. වොෂිංටනයේ “ආසියාවට හැරීම“ හා සමස්ත කලාපය පුරාම ආක්‍රමකාරී මිලිටරි තරකිරීම් මගින් ගිනියම් කර ඇති තවත් ජ්වලන ස්ථාන දෙකක් වන, උතුරු කොරියාව හා තායිවානය තුල ද එක්සත් ජනපදය හා චීනය තරග වැදී සිටියි.

ආයුධ තරගය එහි වඩාත් ම තියුනු ප්‍රකාශය අත්කර ගන්නේ, න්‍යෂ්ටික ආයුධ, බෙදා හැරීමේ ක්‍රම හා එයට අනුබද්ධ තාක්ෂනික අංශ තුල ය. ආසියාව තුල හා ගෝලීයව සිය අධිකාරිය පවත්වා ගැනීමේ අධිෂ්ඨානය ඇතිව, සංකීර්න න්‍යෂ්ටික ආයුධ හා ඒවා අදාල ඉලක්කයන් වෙත යොමු කිරීමේ ක්‍රමවේද සහිත පුලුල් ක්ෂේත්‍රයක් වර්ධනය කිරීම සඳහා ඊලඟ දශක තුන තුල ඩොලර් ට්‍රිලියනයක් වියදම් කිරීමට එක්සත් ජනපදය සැලසුම් කරයි. පෙන්ටගනයේ අප්‍රකාශිත අරමුන වන්නේ, චීනයේ න්‍යෂ්ටික ආයුධ පද්ධතීන් විනාශ කිරීම හා ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට එරටට ඇති අවස්ථා නැති කිරීම සඳහා ක්‍රමෝපායන් වර්ධනය කිරීම මගින් තම න්‍යෂ්ටික අධිකාරිය ආරක්ෂා කර ගැනීම යි. එසේම ප්‍රතිගාමී වන චීන ප්‍රතිචාරය, ඇමරිකාව තුල මිලියන සිය ගනනක් විනාශ කිරීමෙහිලා සිය ශක්තිය වර්ධනය කර ගැනීම යි.

මෙම අනතුරු පිලිබඳ යථාර්ථය, එක්සත් ජනපදයේ උනන්දු සහගත විද්‍යාඥයින්ගේ සංගමය (යූසීඑස්) විසින් නිකුත් කල වර්තාවක් මගින් අවධාරනය කෙරිනි. එහි ලේ සීතල කරන අනතුරු ඇඟවීම:

“දවසේ පැය 24 පුරාම හා වසරේ දින 365 පුරාම එක්සත් ජනපද ආන්ඩුව හා චීන මහජන සමූහාන්ඩුව, වේගයෙන් වැඩි වර්ධනය වී න්‍යෂ්ටික ගැටුමකින් කෙලවර විය හැකි යුද්ධයක් ආරම්භ කිරීමෙන් වැලකී ඇත්තේ තවත් මොට්ට තීන්දු කීපයකින් පමනි. විසංවාදී නිරීක්ෂන, ප්‍රතිපලය ලෙස න්‍යෂ්ටික ආයුධ භාවිතයට ගැනීමෙන් අවසන් විය හැකි යුද්ධයක් හෝ එයට සමාන තත්වයක් යන කාරනා දෙකේම ශක්‍යතාව වැඩි වර්ධනය කරයි. වැරැදි සන්නිවේදනය හෝ වැරැදි අවබෝධය ආන්ඩු දෙකටම නවත්වා ගැනීම දුෂ්කර වනු ඇති ගැටුමක් ඇවිලවිය හැකි ය.“

අවදානම් ගැන දැනුවත් වන ලෙසත්, ගැටුමකට යාමෙන් වැලකීමට රාජ්‍යත්‍රාන්ත්‍රික ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් දෙපාර්ශවයටම ආයාචනා කරන අතර යූසීඑස් විශ්ලේශනය, ගත හැකි එවැනි පියවර ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන්නේ නැත. වාර්තාව ඇල් මැරුනු ආකාරයට සඳහන් කරන්නේ:

“අන්‍යොන්‍ය විස්වාසයක් නැතිකම හා තමන්ගේ වෙනස්කම් සමහන් කල නොහැකිය යන්න පිලිබද වැඩෙන මනෝගතියක්, මිලිටරි විසඳුම් සඳහා - ඔවුන් වඩාත් ආරක්ෂිතයැයි සලකන බලාත්කාරය යෙදීමේ නව උපායන් වෙත හැරීම- ගනන් බැලීමකට ආන්ඩු දෙකම තල්ලු කරයි. වසර 70ක් තිස්සේ එක්සත් ජනපද හා චීන නායකයින්ට කරදර ගෙන දුන් නොඑකඟතා, පසමිතුරුකම් හා සැක සාංකා හමුවේ, රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් කෙරෙහි විස්වාසය ඇති කිරීමට අවශ්‍ය විස්වාසය තහවුරු කිරීම අතිශයින් දුෂ්කර වන්නේ, දෙපාර්ශවය ම ගන්නා සෑම සෑම පියවරක් ම තාක්ෂනික ඔට්ටු ඇල්ලීමේ අවිස්වාස සහගත ක්‍රියාවක් වන බව දෙපැත්තම සලකා ගන්නා බැවින් ය.”

ආතතීන් හා යුද්ධයේ අනතුර මතු කරන වැඩෙන මිලිටරි තරගය, අසමාන තත්වයකි. න්‍යෂ්ටික ආයුධ ක්ෂේත්‍රයේදී ඇමරිකාව, ආයුධ ශක්තියෙන් ද ප්‍රමානයෙන් ද චීනය ඉක්මවා ගොස් ඇත. එය හා සමාන තත්වයකට පැමිනීම පිනිස මංමුලාසහගත ව්‍යායාමයක යෙදී සිටින අතර චීනය, එක්සත් ජනපදය සතු 7000ක න්‍යෂ්ඨික අවි ප්‍රමානය හා සසඳන විට, ගනන් බලා ඇති පරිදි න්‍යෂ්ඨික අවි 260ක් හා ආයුධවල ප්‍රමානයෙන් චීන මිලිටරිය පසුවන්නේ පරම්පරා ගනනක් පිටුපසිනි. චීනයේ මූලික අභිප්‍රාය වන්නේ, එක්සත් ජනපදය මුලින්ම එල්ල කරනු ඇති ප්‍රහාරයකින් බේරී ගැනීමට ප්‍රමානවත් න්‍යෂ්ටික ආරක්ෂන පද්ධතියක් ස්ථාපිත කරගැනීම යි. බීජිනය මෙන් නොව වොෂින්ටනය පලමු න්‍යෂ්ඨික ප්‍රහාරය තමන් විසින් එල්ල නොකරනු ඇති බව කිසිවිටෙකත් පවසා නැත.

ප්‍රථම වරට ෆැසිපික් කලාපය තුල මුරසංචාරයේ යෙදීමට න්‍යෂ්ටික ආයුධවලින් සන්නද්ධ සබ්මැරීන යවන බවට චීනය අධිෂ්ඨාන කර ගෙන සිටින බව පසුගිය සතියේ දී ගාඩියන් පුවත්පත වාර්තා කලේ ය. එවැනි පිලිවෙතක් සටහන් කරන්නේ, ඉහල නායකත්වයේ දැඩි පාලනයට යටත්ව න්‍යෂ්ඨික අවි හා මිසයිල වෙන් වෙන්ව ගබඩා කර තිබෙන වත්මන් ප්‍රතිපත්තියෙන් කැඩීමකි. යුද තත්වයකදී ඇමෙරිකානු මහාද්වීපය වෙතට ක්ෂනිකව නිකුත් කල හැකි පරිදි, දැන් න්‍යෂ්ටික සබ්මැරීන තුල සන්නද්ධ මිසයිල ගබඩා කරනු ඇත.

එවැනි පියවර ගැනීමට චීන නායකත්වය පොලඹවා ඇත්තේ, පෙරලා පහරදීමකට චීනයට ඇති හැකියාව දුර්වල කිරීමේ ඉලක්කය ඇතිව ඊශාන දිග ආසියාවේ එක්සත් ජනපද මිලිටරි තරකිරීම්, විශේෂයෙන් ම බැලිස්ටික් මිසයිල නිශ්ක්‍රීය පද්ධති පිහිටුවා තිබීම මගිනි. කෙසේ වෙතත්, චීනයේ න්‍යෂ්ටික සබ්මැරීන සාපේක්ෂව ඝෝෂාකාරී වීම නිසා, එක්සත් ජනපදයේ ප්‍රහාරක සබ්මැරීන්වලට ඒවා හඳුනා ගෙන විනාශකල හැකිවීමේ අවදානම පවතී. කලබලයට පත් චීන අනදෙන නිලධාරියෙකු නියෝගයක් වැරැදි ලෙස වටහා ගත හැකි අතර හදිසි ප්‍රහාරයක් පිලිබඳ බියෙන් පූර්ව-නිශ්චිත ඉලක්කවලට එරෙහිව න්‍යෂ්ඨික මිසයිල එල්ල කිරීමේ නව තත්වයක් මේ ඔස්සේ දිගහැරෙමින් තිබේ.

ජාත්‍යන්තර න්‍යෂ්ටික අවිහරනය හා න්‍යෂ්ටික යුද්ධයක් සිතාගත නොහැකි තරම් බිහිසුනුය යන වඳ හැඟීම් පිලිබඳ තේරුමක් නැති ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමෙන් ප්‍රමුඛ බලවතුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික පරිශ්‍රම හරහා න්‍යෂ්ටික යුද්ධයක් නතර නොවනු ඇත. න්‍යෂ්ටික මූලෝපාඥයින් අර්ධ ශතවර්ෂයකටත් වඩා “සිතාගත නොහැකි දේ පිලිබඳ සිතමින්“ සිටිති. අවසන් යුද්ධය නිමාවූයේ, මිනිසුන් දෙලක්ෂයකට පමන මරුකැඳවමින් හිරෝෂිමාවට හා නාගසාකි නගර වලට පරමානු බොම්බ හෙලීමෙනි. පසුගිය සතියේදී හිරෝෂිමාවට ගිය ජනාධිපති බැරැක් ඔබාමා, එක්සත් ජනපදයේ එම බිහිසුනු අපරාධවලට සමාව අයැදීම ප්‍රතික්ෂේප කලේ ය. අනාගතයේ එවැනි නව යුද්ධ සූදානම් කරමින් පවතින බවට එය නොවරදින සහතිකයකි.

න්‍යෂ්ටික බලවතුන් අතර නව යුද්ධයක් කරා නොනැවතී සිදුවන ධාවනය ගලා එන්නේ, ධනවාදයේ අර්බුදය හා එහි සමහන් කල නොහැකි ප්‍රතිවිරෝධතා වලිනි. ලාභ පද්ධතියට හා එහි යල්පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතිය අවසානයකට ගෙනෙමින් යුද්ධයේ අනතුර අවසන් කල හැකි වන්නේ කම්කරු පන්තියට පමනි. සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ඉදිරි දර්ශනය මත පදනම්ව ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමට හතරවන ජාත්‍යන්තරය හා එහි සියලු ශාඛාවන් ගෙනයන අරගලයේ වැදගත්කම මෙය යි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: