ඔබාමා හිරෝෂිමාවේ

Obama in Hiroshima

2016 මැයි 28

චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම ආධිපත්‍යය දැරූ, ටෝකියෝවේ පැවති ජී-7 සමුලුවට අමතර සංචාරයක් ලෙස මැයි 27දා හිරෝෂිමාවේ සාම ස්මාරකය වෙත ගිය බැරැක් ඔබාමා, ලෝක සහෝදරත්වයේ හා ජාත්‍යන්තර සදාචාරයේ පුරෝගාමියෙක් ලෙස රඟපෑවේ ය.

ධුර කාලය තුල හිරෝෂිමාව වෙත ගිය පලමු එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස ඔබාමා, ඉතිහාසයේ බිහිසුනු ම යුද අපරාධවලින් එකක් ලෙස අවිවාදයෙන් පිලිගැනෙන එම සිද්ධිය පිලිබඳව සමාව ගත යුතු ද නැද් ද යන්න අරබයා නිහඬ විවාදයක් පැවතුනි. සංචාරය පලමුව යෝජනා වූ තැන් පටන් ම එවැන්නක් සිදු නොවන බව ඇමරිකාවේ නොබෙල් ත්‍යාගලාභී ජනාධිපති හා ඔහුගේ සහචරයෝ එක පැහැර පෙන්නුම් කල හ.

හරියට එය, බොහෝ දෙනා කාන්තාවන් හා ලමුන් වූ සිවිල් වැසියන් ලක්ෂ ගනනක් සංහාරය කරමින් පිට පිට හිරෝෂිමා හා නාගසාකි නගර වෙත පරමානු බෝම්බ දෙකක් හෙලූ මෙම දෙවන ලෝක යුද්ධාවසාන ක්‍රියාවේ අපරාධකාරී ස්වභාවය, එක්සත් ජනපද නිලධාරීන් නොපිලිගන්නවාක් මෙනි.

ඓතිහාසික වාර්තාව පැහැදිලිවම පෙන්වා දෙන්නේ, ඇමරිකානු ජනතාවට යලි යලිත් කියනු ලැබූ පරිදි, මෙම ජන සංහාරක ක්‍රියාවල ඉලක්කය වූයේ “ජීවිත ආරක්ෂා කිරීම" සඳහා යුද්ධය ඉක්මනින් අවසානයකට ගෙන ඒම නො වේ. එහි ඉලක්කය වූයේ, සෝවියට් සංගමය බියවද්දා තුන්වන ලෝක යුද්ධයක් සඳහා සූදානම් වීම යි.

හිටපු දෙවන ලෝක යුද්ධ අනදෙන නිලධාරියෙක් හා ජනාධිපතිවරයෙක් වූ ඩ්වයිට් අයිසන්හවර් ධුරය හැර යාමෙන් වසර තුනක් ගතවීමටත් ප්‍රථම 1963 දී නිව්ස්වීක් සඟරාවට සඳහන් කලේ “...ජපනුන් යටත් වීමට සූදානමින් සිටි අතර ඔවුන්ට මෙවන් බිහිසුනු අවි වලින් පහර දීම අවශ්‍ය නො වී ය" යනුවෙනි.

පරමානු බෝම්බ දැමීමට අනදුන් ජනාධිපති හැරී ට්රූමන්ගේ මාන්ඩලික ප්‍රධානියා වූ අද්මිරාල් විලියම් ලීහි තම මතක සටහන්වල මෙසේ ලිවී ය: “මගේ අදහස නම්, මෙම ම්ලේච්ඡ ආයුධය හිරෝෂිමා හා නාගසාකි මත හෙලීම ජපානයට එරෙහි අපගේ යුද්ධයේ දී කිසිවෙකුටත් ද්‍රව්‍යමය සහයෝගයක් ලබා නොදුන් බව යි. සාර්ථක ලෙස මුහුදු මාර්ග අවහිර කිරීම හා සාම්ප්‍රදායික ආයුධ යොදාගෙන ප්‍රහාර එල්ල කරමින් සිටි තතු යටතේ ජපනුන් ඒ වනවිටත් පරාජයට පත් ව තිබුනි... මගේ පුද්ගලික හැඟීම වන්නේ මෙම ආයුධය භාවිතා කල ප්‍රථමයා වීම මඟින් අඳුරු යුගයේ ම්ලේච්ඡයන්ට සමාන සදාචාරාත්මක තත්ත්වයක් අප විසින් අත් කර ගනු ලැබූ බව යි. එම ශෛලියෙන් යුද්ධ කිරීම මම ඉගෙනගෙන තිබුනු දෙයක් නො වූ අතර කාන්තාවන් හා ලමුන් විනාශ කිරීමෙන් යුද්ධ දිනිය නො හේ."

ඔබාමාට එවැනි විවෘත පිලිගැනීමක් කල නො හැකි විය. ඒ වෙනුවට හිරෝෂිමාව යනු “අහසින් මරනය පාත්වුනු හා ලෝකය වෙනස් කරන ලද" ස්ථානයක් ය යන කයිවාරුවක ඔහු නිරත විය. මරන පාත්වුනේ කොහිසිට ද? ලෝකය වෙනස් කලේ කවුරුන් ද? මෙම ප්‍රශ්න අසන ලද්දේ නැත. මානව විරෝධී කතාවක් කල ඔහු අවධාරනය කලේ එවැනි ම්ලේච්ඡ ක්‍රියා නිසැක ව ම මනුෂ්‍ය ස්වභාවයේ ප්‍රතිඵල පමනක් වූ බව ය. “පැරනි කලා කෘති අපට පෙන්වා දෙන්නේ ප්‍රචන්ඩ ගැටුම් මුල් මිනිසාගේ කාලයේ පටන් ම සිදුවුනු බව යි" යයි ඔහු කීවේ ය.

දෙවන ලෝක යුද්ධය ම ගත්කල, “බොහෝ සරල ගෝත්‍ර අතර ගැටුම් පැන නැංවූ, ආධිපත්‍යය හෝ පැහැර ගැනීම කරා වූ එම මූලික සහජාසයෙන් ම පැන නැග්ගේ ය" යයි ඔහු කියාගෙන ගියේ ය.

“මෙම මූලික සහජාසයට" පිලිතුර කුමක් ද? ඔබාමා කියන පරිදි “එකම මනුෂ්‍ය ජාතියක සාමාජිකයන් ලෙස අප එකිනෙකාට දක්වන සම්බන්ධය ගැන අපි යලි සිතා බැලිය යුතු වෙනවා."

ඔබාමාගේ පැත්තෙන් කරන මෙම දැනුවත් මඩ කිරීම, විකාර සහගත කුහකත්වය හා අතිසරල මානව ඉතිහාසය හුදෙක් දේශපාලනික උපයෝගීතාව හා බියගුලුකම පිලිබඳ කරුනක් පමනක් නො වේ.

වසර 71කට පෙර මෙම අපරාධ සිදු කල යුද්ධයට ඍජුවම සම්බන්ධවූ ඉහල නිලධාරීන්ට වඩා හිරෝෂිමා-නාගසාකි පිලිබඳ ව වර්තමාන එක්සත් ජනපද ජනාධිපතිවරයා එකදු බරපතල වචනයක් ප්‍රකාශ කිරීමට අසමත් වන්නේ, ඔහු ඊටත් වැඩි රුදුරු අපරාධ සූදානම් කිරීමේ නිරත ව සිටින නිසා ය.

හිරෝෂිමාව ගැන ඔබාමා සමාව අයදිනු ඇතැයි යමෙක් අපේක්ෂා කල යුත්තේ මන් ද? සමාව ගැනීමට ඔහුට අවශ්‍ය නම්, මහජන යුද විරෝධී මනෝගතියේ රැල්ලක් මඟින් බලයට පත් “බලාපොරොත්තුවේ හා වෙනසේ" අපේක්ෂකයා, වසර අටකට ආසන්න කාලයක් තිස්සේ සිවිල් ජීවිත නො කඩවා බිලිගන්නා එක්සත් ජනපද ආක්‍රමන හා කුලීකාර යුද්ධ පැවතෙන රටවල් හත වන සිරියාව, ඉරාකය, ලිබියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, යේමනය හා සෝමාලියාවෙන් පටන් ගත හැකි ව තිබුනි. මෙම කාලය පුරා, 1945 ද්විත්ව පරමානු බෝම්බ පිපිරීම් මඟින් බිලිගත්තාට වැඩි මිනිස් ජීවිත ගනනක් බිලිගැනීම පිලිබඳ ව ඔහුගේ පරිපාලනය අවිවාදාත්මක ව වගකිව යුතු ය.

හිරෝෂිමා සාම ස්මාරකයේ දී ඔබාමා කල කතාවේ වඩාත් ම නිර්ලජ්ජිත හා කුහක කොටස වන්නේ, ඔහු තමන්, න්‍යෂ්ටික අවිහරනයේ කප්පිත්තකු ලෙස පෙන්වා ගැනීමට උත්සාහ කල කොටස යි. “න්‍යෂ්ටික අවි ගබඩා තිබෙන මගේ ජාතිය වැනි ජාතීන් ගැන සලකන විට බියෙහි තර්කයෙන් මිදී න්‍යෂ්ටික අවි රහිත ලෝකයක් කරා දිවීමට අපට ධෛර්යය තිබිය යුතු යි" යනුවෙන් ඔහු කීවේ, “මගේ ජීවිත කාලය තුල නම් එය සිදු වේ යයි මම හිතන්නේ නැහැ" යයි පවසන ගමන් ය.

ඔහුගේ පරිපාලනය විසින් ගෙනගොස් ඇති පිලිවෙත් සැලකිල්ලට ගත් කල, ඔහුගේ දෙවන ප්‍රකාශය මතභේද රහිතය. පලමු ප්‍රකාශය ගැන කිව යුත්තේ එය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සේවය සඳහා සදාචාරාත්මක යාදින්නක හා අත්‍යන්ත පච දෙසීමෙහි වඩා පිලිකුල් සහගත අභ්‍යාසයක නිරත වන ඔබාමාගේ තවත් ව්‍යායාමයක් බව යි.

පෙන්ටගනය විසින් නිකුත් කරන ලද අලුත් අනාවරන තොරතුරු සහිත වාර්තාවකට අනුව, වොෂින්ටනයේ න්‍යෂ්ටික අවි අඩු කිරීම පිලිබඳ ව ගත්කල, ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් හා ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යන දෙදෙනා ද ඇතුලු සියලු පශ්චාත් සීතල යුද එක්සත් ජනපද ජනාධිපතිවරයෙකුට වඩා ඔබාමා සිදු කර ඇත්තේ අල්ප දෙයකි.

විශාල න්‍යෂ්ටික බෝම්බ ප්‍රමානයකට අමතර ව ඔබාමා පරිපාලනය, නූතන ඉතිහාසය තුල වඩාත් ම කෑදර න්‍යෂ්ටික ආයුධ රැස්කිරීම අරඹා ඇත. ඊලඟ වසර 30 කාලය සදහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ න්‍යෂ්ටික ආයුධ ගබඩාව නවීකරනය පිනිස ඩොලර් ට්‍රිලියනයක් යොදනු ඇත. “භීතියෙහි තර්කයෙන් මිදී පලා යාමට ධෛර්ය" ලබාදීම සඳහාය. මෙම සැලසුම යටතේ න්‍යෂ්ටික අවි සඳහා කරන වියදම් දෙගුන කිරීම ඉලක්ක කරයි. ඇමරිකානු වැඩකරන ජනතාවගේ වඩාත් පුලුල් කොටස් මත පාත් වන විරැකියාව, දරිද්‍රතාව හා කාලකන්නිකම යන ව්‍යසනයන්ට මුහුන දීමට මුදල් නැතැයි ආන්ඩුව එක දිගට ම කියද්දී එය දියත් වන්නේය.

ඔබාමාගේ ධවල මන්දිරය යථාර්ථයේ දී ලුහු බඳිමින් සිටින්නේ, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ නව සබ්මැරීන්, බෝම්බ හෙලන යානා හා අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල් හා කෲස් මිසයිල මෙන් ම සාම්ප්‍රදායික යුද්ධයේ සිට න්‍යෂ්ටික යුද්ධයක් කරා සංක්‍රමනය වඩා පහසු පමනක් නො ව, නො වැලැක්විය හැකි බවට ද පත්කරන නව, වේගවත්, පාවිච්චි කිරීම වඩා පහසු ආයුධ අත්පත් කරගැනීමෙහි ය.

රුසියාවේ බටහිර දේශසීමා දිගේ එක්සත් ජනපද භටයන් හා මිසයිල නාශක පද්ධති සවිකරමින් ද චීනයට අයත් සාගර කලාපය තුල “නාවික ගමනාගමනයේ නිදහස" සඳහා වන නො නවතින එක්සත් ජනපද මෙහෙයුම් තුලින් ලෝකයේ අනෙක් ප්‍රධාන න්‍යෂ්ටික බලවතුන් දෙදෙනාට විරුද්ධ ප්‍රකෝපකරනයන් සිදු කිරීමේ ද වාතාවරනය තුලය, මෙම න්‍යෂ්ටික අවි ගොඩනැගීම සිදුවෙමින් ඇත්තේ.

වත්මන් ලෝකය පවතින්නේ 1963 කියුබානු මිසයිල අර්බුදයෙන් මොබ න්‍යෂ්ටික යුද්ධයකට වඩාත් ම ආසන්න අවස්ථාවේ ය. ඔබාමා කියනු ඇති, පරිදි මහා ජන සංහාරය සඳහා වන මෙම උමතු සූදානම ඉදිරියට යන්නේ, මානවයාගේ නෛසර්ගික ප්‍රචන්ඩත්වය නිසා නො ව, ලෝක ධනේශ්වර පද්ධතියේ සමහන් කල නො හෙන අර්බුදය නිසාවෙනි. ඉන් ප්‍රමුඛ වන්නේ තම පිරිහී යන ආර්ථිකය පිරියම් කර ගැනීමට හා ගෝලීය ප්‍රධාන බලවතා ලෙස සිය තත්ත්වය පවත්වාගෙන යාම සඳහා මිලිටරි බලය යොදා ගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ධාවනය යි.

හිරෝෂිමාවේ අත්දුටු කෲරත්වය කරා සමස්ත මානව වර්ගයාම ඇද දැමීමෙන් අධිරාජ්‍යවාදය වැලැක්විය හැක්කේ, යුද්ධයටත් එය නිපදවන ධනේශ්වර ක්‍රමයටත් විරුද්ධ මහජන ව්‍යාපාරයක් තුල බලමුලු ගැන්වෙන ජාත්‍යන්තර කම්කරු පන්තියටය.

බිල් වෑන් ඕකන්

Share this article: