රුසියාවට එරෙහි යුද තර්ජනය හමුවේ ඇමරිකාව අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල් ගුවන්ගත කරයි

US fires ICBMs amid war threats against Russia

බිල් වෑන් ඕකන් විසිනි, 2016 පෙබරවාරි 27

ඇමරිකානු ගුවන් හමුදාව විසින් 25දා රාත‍්‍රියේ, කැලිෆෝනියා වෙරලේ භූගත බන්කරයක සිට මිනිට්මන් 3 න්‍යෂ්ටික මිසයිලයක් ගුවනට විදිනු ලැබූ අතර සතියක් තුල තවත් ගුවන්ගත කිරීමක් සිදුකල අතර ඒ, අයිසීබීඑම් යන නිරවි අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයකි.

මිනිසුන් 350,000කගේ ජීවිත බිලිගනිමින් 1945දී හිරෝෂීමා, නාගසාකි නගර වලට හෙලන ලද බෝම්බවල විනාශකාරී බලය මෙන් 20 ගුනයක බලයක් සහිත, බෝම්බ තුනක් සාමාන්‍යයෙන් සවිකර ඇති මිසයිලය, බෝම්බ රහිතව, හොනලුලු සිට නිරිත දෙසින් පිහිටි ක්වාජලින් දිවයින් අසල මුහුදට පතිත විය. එම දුර ගමන් කිරීමේදී පරීක්ෂන මෙවලම් තොගයක් එහි රැගෙන යන ලදී.

වසර 2011 සිට එවන් පරීක්ෂන 15ක් පිට පිට සිදුකර ඇති එම මිසයිල විදීම් වල දේශපාලන වැදගත්කම හුවා දක්වමින් ඇමරිකානු නියෝජ්‍ය ආරක්ෂක ලේකම් රොබට් වර්ක්, 25දා පවත්වන ලද හමුවකදී රුසියාව හා චීනය ගැන විශේෂයෙන් සඳහන් කරමින් පැවසුවේ, එය “අවශ්‍ය වේලාවකදී අපගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් න්‍යෂ්ටික අවි පාවිච්චි කිරීමට අප සූදානම් බවට නිකුත් කල සංඥාවකි” යනුවෙනි.

න්‍යෂ්ටික යුද්ධයක් සඳහා වොෂින්ටනයේ සූදානම පල කෙරෙන මෙම බෙහෙවින් අසාමාන්‍ය හා ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශය නිකුත් වූයේ, චීනය සමග දකුනු චීන මුහුදේ ද රුසියාව සමග සිරියාවේ මෙන්ම නැගෙනහිර යුරෝපයේ ද ආතතීන් ඉහල නගිමින් පවතින තත්වයකය. එම න්‍යෂ්ටික තර්ජනය සමග ඇමරිකානු කොන්ග‍්‍රසය හමුවේ සාක්ෂි දුන් පෙන්ටගනයේ නිලධාරීන් විසින් මිලිටරි වියදම් වැඩිකිරීමට සහාය පල කරමින් කඩුව ලෙලවනු ද දැකගත හැකි විය.

ඊට ඇමරිකානු නාවික හමුදාවේ පැසිෆික් අනදෙන මන්ඩලයේ ප‍්‍රධානී අද්මිරාල් හැරී හැරිස් දුන් සාක්ෂිය ද ඇතුලත් විය. දකුනු චීන මුහුදේ චීන නාවික මෙහෙයුම් වලට එරෙහි ඇමරිකාවේ මිලිටරි සූදානම ගැන පවසමින් ඔහු, “නැගෙනහිර ආසියාවේ ආධිපත්‍යය” ගැනීමට බීජිනය උත්සාහ දරන්නේ යයි චෝදනා කලේය. වොෂින්ටනය ද මිලිටරි මාධ්‍යයන් තුලින් අත්කර ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින්නේ එම මූලෝපායික අරමුනමය.

එදිනම කොන්ග‍්‍රසය හමුවේ ඊටත් වඩා ගිනියම් ප‍්‍රකාශයක් නිකුත් කලේ, යුරෝපයේ නේටෝ මිත‍්‍ර හමුදා ආඥාපති හා ඇමරිකාවේ යුරෝපීය අනදෙන මන්ඩල ප‍්‍රධානී ෆිලිප් බී‍්‍රඩ්ලොව්ය. “නැගී එන” හා “ආක‍්‍රමනකාරී” බලවතෙකු ලෙස රුසියාව ගැන සඳහන් කල බී‍්‍රඩ්ලොව්, මොස්කෝව ඇමරිකාවේ “එදිරිවාදියෙකු ලෙස කටයුතු කරමින්, දිගු කාලීනව පවත්නා තර්ජනයක් එල්ල කරන්නේ” යයි චෝදනා නැගීය.

“ඇමරිකාව හා නේටෝව, ආරක්ෂාව සම්බන්ධයෙන් අංශක 360ක් කැරකුනු ප‍්‍රවිෂ්ටයක් ගත යුතුය.” ඕනෑම පැත්තකින් එන ආරක්ෂක අභියෝගයන් පිලිබඳව කථාකරමින් ඔහු, “අපගේ ජාතිය සතු සෑම වර්ගයකම දේ අපි පාවිච්චි කරන්නෙමු.” යයි පැවසීය. ඇමරිකානු බලයේ “සෑම දෙයක්ම” යයි ගුවන් හමුදා ජෙනරාල් බී‍්‍රඩ්ලොව් පවසන්නේ, පෙන්ටගනයේ න්‍යෂ්ටික අවි තොග ගැනය.

රුසියාව මාස පහක් තිස්සේ සිරියාව තුල කරන මැදිහත්වීමට ඔහු පහර දුන්නේය. ඇමරිකාවේ ප‍්‍රධාන ගොඩබිම් කුලීකාර හමුදාව ලෙස කටයුතු කරන අල් කයිඩාව ගෙන යන යුද්ධය මගින් සිරියාව තුල තන්ත‍්‍ර මාරුවක් ඇති කරන, වොෂින්ටනයේ ව්‍යායාමය කඩාකප්පල් වීම, එහිදී ඔහු පැවසූ “ගැටලුව බෙහෙවින් උත්සන්න” කිරීමය. ඇමරිකාව විසින් අවුලුවනු ලබන සිරියාවේ සිවිල් යුද්ධය හා ඉරාක හා ඇෆ්ගනිස්ථාන යුද්ධ නිසා ඇතිව තිබෙන, යුරෝපය තුල සරනාගත භාවය සොයා ඇදෙන සංක‍්‍රමනිකයන්ගේ රැල්ල, “දිරිමත් කිරීම” ගැන ඔහු මොස්කෝවට චෝදනා නගන තරම් දුරට ගමන් කලේය.

“රුසියාවට මුහුන දීම පිනිස ඉයුකොම්, (යුරෝපයේ ඇමරිකානු අන දෙන මන්ඩලය) මිතුරන් හා හවුල්කාරයින් සමග කටයුතු කරමින්, දැන් රුසියාව අධෛර්යමත් කර තිබෙන අතර, අවශ්‍ය වුවහොත් සටන් වැද ජය ගැනීමට සූදානම් වෙමින් සිටියි.” බී‍්‍රඩ්ලෝව්ගේ ප‍්‍රකාශයන්හි පිස්සුවකට වැඩි යමක් ඇත. යුරෝපයේ සිටින ඉහලම ඇමරිකානු ආඥාපති, රුසියාවට එරෙහිව “සටන්කර දිනීමට” සූදානම් වන්නේ යයි විවෘතවම පැවසීම, න්‍යෂ්ටික ව්‍යසනයකට අතවැනීමකි.

බී‍්‍රඩ්ලොව්ගේ ප‍්‍රකාශ, ඇමරිකානු ආරක්ෂක ලේකම් ඈෂ්ටන් කාටර් විසින් ඌනපූරනය කලේය. කොන්ග‍්‍රස් විසර්ජන කමිටුව හමුවේ ඔහු, කියනු ලබන, මොස්කෝව විසින් “න්‍යෂ්ටික කඩුව ලෙලවීම,” රුසියානු නායකත්වයේ “මූලෝපායික ස්ථායීකරනය වෙනුවෙන්” ඇති කැපවීම ප‍්‍රශ්නයට බඳුන් කරන බවත්, “න්‍යෂ්ටික අවි ලෙලවීම පිලිබඳ කාරනයේදී න්‍යෂ්ටික යුගයේ නායකයින් පෙන්වා තිබෙන ප‍්‍රගාඪ සුපරීක්ෂාකාරිත්වයට ඔවුන් ගරුකරන්නේ ද යන ප‍්‍රශ්නය මතු කරන බවත්” පැවසීය. මෑත සිදුවීම් පෙන්නුම් කර තිබෙන ආකාරයට වොෂින්ටනයමත් එවන් කැපවීමක් හෝ සුපරීක්ෂාකාරිත්වයක් පෙන්වා ඇත්තේ නැත.

යම් සුජාත භාවයක් සහිතව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය, මේ වර්ගයේ යුදකාමී කයිවාරු, ඇමරිකානු මිලිටරි අයවැය පිලිබඳ විවාදයට සම්බන්ධ කලේය. එම “වඩදිය සෑම වසරකම නගියි” යනුවෙන් එය සඳහන් කලේය. කෙසේ වෙතත් පොදුවේ ගෝලීය යුද්ධයට ද විශේෂයෙන් රුසියාව සමග මිලිටරි ගැටුමකට ද වොෂින්ටනය විසින් ගැනෙමින් තිබෙන ඉහල මට්ටමේ සූදානම් කටයුතු අඩු තක්සේරු කිරීම අන්තරාදායක වැරැද්දක් වනු ඇත.

යලි සහතික කිරීමේ යුරෝපීය වැඩසටහන සඳහා මේ වසරට යෝජිත පෙන්ටගන් අයවැයට, පසුගිය වසරේ ප‍්‍රතිපාදන මෙන් හතර ගුනයක් වැඩි, ඩොලර් බිලියන 3.4ක් වෙන් කර තිබේ. රුසියාවේ බටහිර දේශසීමාව මිලිටරිමය වශයෙන් ස්ථිර ග‍්‍රහනයට ගැනීමට සමාන ආකාරයට, ඇමරිකානු සටන් සේනාංක, පැරනි සෝවියට් බොල්ටික් සමූහාන්ඩු මෙන්ම නැගෙනහිර යුරෝපීය රටවල් තුනක ද ඇතුලතට හා පිටතට මෙහෙයවීම පිනිස මෙම විශාල මුදල යොදවනු ලැබේ. වඩාත් විශාල මිලිටරි ඒකකයන්හි ක්ෂනික විහිදුම් සඳහා ඉඩ සැලසෙන පරිදි, එම ප‍්‍රදේශයන්හිම යුද ටැංකි හා බැර කාලතුවක්කු වැනි මිලිටරි ආම්පන්න යලි ස්ථානගත කිරීමේ පිරිවැය ද ඊට ඇතුලත්ය. එසේම එම මුදල් කලාපයේ උග‍්‍ර රුසියානු විරෝධී රටවලට තවත් අවි සැපයීමට හා පුහුනු කටයුතු පුලුල් කිරීමට යෙදවේ.

පසුගිය දෙවසර තුල, යුකේ‍්‍රනය තුල බටහිර පිටුබලය ලත් කුමන්ත‍්‍රනයෙන් පැනනැංවූ අර්බුදයත්, පසුව ක‍්‍රිමියානු ජනතාව විසින් අනුමත කල පරිදි රුසියාව එම අර්ධද්වීපය ඈඳා ගැනීමත් උපයෝගි කර ගනිමින් වොෂින්ටනය හා එහි සහචරයෝ, බියගැන්වීම, දනගැස්වීම හා අවසානයේ රුසියානු සමූහාන්ඩුව කැබලි කිරීම අරමුනු කර ගත්, වඩ වඩාත් ප‍්‍රකෝපකාරී මිලිටරි තරකිරීම්වල යෙදී සිටිති. මෙයට නේටෝ සෙබලුන් 40,000ක් මෙහෙයවිය හැකි “ක්ෂනික විහිදුම් බලකායක්” ගොඩනැගීම ද ඇතුලත්ය. එසේම එයට, රුසියානු දේශසීමාවට පහරදිය හැකි තරම් දුරකින් පෙර නොවූ විරූ මිලිටරි අභ්‍යාස මාලාවක් පැවැත්වීම ද සම්බන්ධය.

ඇමරිකානු මිලිටරියට හා ඔත්තු සේවාවන්ට සම්බන්ධ දෘෂ්ටි මන්ඩල කිහිපයක්ම මේ සිදුවීම් වලට සහාය දක්වන ප‍්‍රකාශ නිකුත් කර ඇත. සීඑස්අයිඑස් යන මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය මේ මාසයේ මුල ඇමරිකානු යුරෝපීය හමුදාවේ අනුමැතිය ඇතිව වාර්තාවක් නිකුත් කලේය. එය මෙසේ තර්ක කරයි. “යුරෝපීය හා අන්තර් අත්ලාන්තික් ආරක්ෂක වැඩසටහනට, මිත‍්‍ර පක්ෂයේ භූමිභාගයන්හි හා ඒ අවට මදාවිකාර කටයුතු වලින් රුසියාව පසුබැස්සවීම පිනිස, ඇමරිකාව ගත යුතු පියවර යලි තක්සේරු කිරීම අවශ්‍යය.”

“මිත‍්‍ර පාර්ශවය අනතුරේ: යුරෝපීය ආරක්ෂාව සවිමත් කිරීම” යන හිසින් නේටෝවේ හස්තයක් වන අත්ලාන්තික් කමිටුව විසින් 29දා පල කරන ලද වාර්තාවක සඳහන්කර ඇත්තේ, යුරෝපය පුරා මිලිටරි තරකිරීම් වේගවත් කල යුතු බවයි. ජූලි මාසයේ වෝර්සෝහි පැවැත්වීමට නියමිත නේටෝ සමුලුවට තානය සපයමින් එය කියා සිටින්නේ, “යුරෝපයේ ආරක්ෂාව ශක්තිමත් කිරීමෙන්, නැගෙනහිරෙන් එන තර්ජනය අවම කිරීමටත් දකුනෙන් එන තර්ජනයන්ට වැට බඳින්නටත් අවස්ථාව සැලසෙන” බවයි.

ඉහල දේශපාලන හා මිලිටරි නිලධාරීන් විසින් කෙටුම්පත් කර තිබෙන වාර්තාව, බි‍්‍රතාන්‍යයේ මෙන්ම ප‍්‍රන්සයේ, ජර්මනියේ, නෝර්වේ, ඉතාලියේ හා පෝලන්තයේ මිලිටරි තත්වය “වැදගැම්මකට නැති” බව පවසයි.

ජර්මනියේ කොටසක්, ජනතාව අතර ඇති “ප‍්‍රබල මිලිටරි විරෝධයේ පිලිවෙත” විවේචනය කරමින් තර්ක කරන්නේ, “දේශපාලන නායකයින් හා අටුවා කාරයින්, සවිමත් ආරක්ෂක ආස්ථානයක වැගත්කම ගැන ජනතාව උගන්වා ගැනීම හා ඒත්තුගන්වා ගැනීමට යොමු විය යුතු බවය.”

වඩාත් ඇඟ සලිත කරන්නේ, පෝලන්තය පිලිබඳව ටොමෑස් සට්කොව්ස්කි කෙටුම්පත් කර ඇති කොටසයි. ඔහු ජාතික ආරක්ෂාව පිලිබඳ පෝලන්ත අමාත්‍යාංශයේ සහකාර රාජ්‍ය ලේකම්ය. ඔහු වෝර්සෝව, රුසියාවට එරෙහිව “න්‍යෂ්ටික නොවන” බාධක වර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙයි. ඊට, “කෲස් මිසයිලවල සවි කල වඩාත් බලගතු හා දිගු දුර ගෙන යන බෝම්බ වැනි නව අංගෝපාංග ද මයික්‍රෝවේව් තාක්ෂනය වැනි නව වර්ගයේ අවි ද ප‍්‍රහාරාත්මක සයිබර් අවකාශ මෙවලම් ද විශේෂ මෙහෙයුම් බලකායන් ද ඇතුලත් විය යුතු” බව සඳහන්ය.

ඇමරිකාවේ හෝ ලෝකයේ ජනතාවන්ට කිසිවක් නොපවසන, තිරය පිටුපස කෙරෙන ඇමරිකානු හා නේටෝ නිලධාරීන්ගේ සාකච්ඡා තුල, මධ්‍යම දුර න්‍යෂ්ටික අවි ගිවිසුම මොස්කෝව විසින් උල්ලංඝනය කලාය යන, රුසියාව ප‍්‍රතික්ෂේප කරනු ලබන, කඩතුරාව යටතේ, බටහිර න්‍යෂ්ටික අවි බලය හා ඒ පිලිබඳ රෙගුලාසි වෙනස්කිරීම ගැන කථාකෙරේ.

ආක‍්‍රමනික න්‍යෂ්ටික යුද්ධයකට සූදානම් වීමේදී ඔබාමා පාලනය, ඩොලර් ටි‍්‍ර‍්‍රලියනයක න්‍යෂ්ටික අවි නවීකරන වැඩසටහනක් වර්ධනය කර තිබේ. එයට ඊලඟ වසර 30 තුල, නව පරම්පරාවක දිගු දුර බෝම්බ හෙලන යානා, න්‍යෂ්ටික සබ්මැරින, අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල් හා කෲස් මිසයිල් ස්ථානගත කිරීම ඇතුලත්ය. දැන් සාකච්ඡාවට බඳුන්ව ඇති 2017 වසරේ පෙන්ටගන් අයවැය තුල පරිපාලනය, වොෂින්ටනයේ න්‍යෂ්ටික බෝම්බ තොගය වර්ධනය කිරීම සඳහා වන බලශක්ති දෙපාර්තමේන්තුවේ අංශයක් වන ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය සඳහා ඩොලර් බිලියන 9.2ක් ඉල්ලා ඇත.

Share this article: