අධිරාජ්‍යවාදය රුසියාව හා චීනය මත පීඩනය දැඩි කරති

Imperialism intensifies pressure on Russia and China

2016 මාර්තු 02

මේ මාසයේ මුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පල කල සමාජවාදය හා යුද්ධයට එරෙහි සටන යන ප‍්‍රකාශනය, ගෝලීය යුද ගිනි මැලයක වැඩෙන තර්ජනය යටින් ඇති ලෝක අධිරාජ්‍යවාදයේ ආර්ථික හා දේශපාලන ප‍්‍රතිවිරෝධයන් විශ්ලේෂනය කලේය.

ජාත්‍යන්තර කමිටුව, රුසියාව හා චීනය ද ඇමරිකාව ද අතර වැඩෙන මිලිටරි ගැටුමක තර්ජනය කෙරෙහි අවධානය යොමු කරවීය. එය මෙසේ පැවසීය: “ඇමරිකානු පාලක පන්තිය, න්‍යෂ්ටික අවි බලය සතු චීන හා රුසියානු ත‍්‍රන්ත‍්‍රයන් කල් ප‍්‍රමාද නොකරම දනගැස්සිය යුතුය යන නිගමනයට බැසගෙන සිටිති. වොෂින්ටනයේ අරමුන චීනය හා රුසියාව අර්ධ යටත් විජිත රාජ්‍යයන්ගේ තත්වයට ඇද දැමීමයි...”

එම ප‍්‍රකාශනය පල වූයේ පෙබරවාරි 18දාය. හරියටම සතියක් ඉක්මගිය පෙබරවාරි 25දා, යුරෝපයේ ඇමරිකානු හමුදා ආඥාපති ජෙනරාල් ෆිලිප් බී‍්‍රඩ්ලෝව්, දැන් රුසියාව සමග යුද්ධය නොවැලැක්විය හැකි යයි නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමට සමාන ආඥාපති ප‍්‍රකාශයක් නිකුත් කලේය. ඔහු මෙසේ පැවසීය. “ඇතිව තිබෙන රුසියානු ගැටලුව ඉවත්ව නොයයි, එය දිගු කාලීන නව අභියෝගයක් ගෙන එයි... රුසියාව, ඇමරිකාවට මෙන්ම සමස්ත නේටෝ සන්ධානයටම කල් පවතින තර්ජනයක්ව ඇත.”

එදිනම ඇමරිකාවේ පැසිෆික් අනදෙන මන්ඩලයේ ප‍්‍රධානී අද්මිරාල් හැරී හැරිස්, දකුනු චීන මුහුදේ චීනය විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙන ගුවන් ආරක්ෂක කලාපය, ඇමරිකානු මිලිටරිය විසින් නොතකා හරිනු ඇති බව පැවසීය. රුසියාව හා චීනය යන දෙරටටම මේ අනතුරු ඇඟවීමේ පනිවිඩය නිකුත් කිරීමට මෙන් ඇමරිකානු ගුවන් හමුදාව, එදින පසු භාගයේ, සතියක් තුල දෙවන වතාවටත්, කැලිෆෝනියාවේ සිට මිනිට්මන් 3 න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බැලීය. එය හොනලුලු දිවයින් අසල මුහුදට පතිත විය.

රුසියාව හා චීනය දුබල කිරීමේ අධිරාජ්‍යවාදී ව්‍යායාමය විභාග කරමින් ජාත්‍යන්තර කමිටුව, දෙරටේම වාර්ගික, ආගමික, ජාතික හා භාෂාමය ආතතීන් ඇවිස්සීම මත පදනම්වන බෙදුම්වාදී ව්‍යාපාර, අධිරාජ්‍යවාදය විසින් අවුලුවනු ලැබීම කෙරෙහි අවධානය යොමු කර වීය. එම තක්සේරුව සනාථ කරමින් මාර්තු-අපේ‍්‍රල් ෆොරීන් එෆෙයාර්ස් සඟරාවේ අලුත් කලාපය තුල ලිපියක් පල කෙරුනි. “යුරේසියාව අරාජක වෙමින් ඇත” යන හිසින් යුත් ලිපිය තුල, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප‍්‍රමුඛ භූමූලෝපායඥයෙක් හා ඉරාක ආක‍්‍රමනය සැලසුම් කල අයෙකු වන රොබට් ඩී කැප්ලාන්, රුසියාවේ හා චීනයේ ගැඹුරු වන ආර්ථික අර්බුදය හමුවේ අභ්‍යන්තර ආතතීන් ඇවිල යා හැකි බව පවසයි. මේවා විවිධ වාර්ගික ආගමික හා භෂාමය කන්ඩායම් විසින් වඩ වඩාත් ජාතික ස්වාධීනත්වය ඉල්ලා සිටීමේ රූපාකාරයන් ගනු ඇති බව ඔහු ලියයි.

රුසියාව “කැලඹීම් තුලින් යලි වතාවක් කැබලිවී යා හැකිය.” කැප්ලාන් ලියයි. “මුස්ලිම් බහුතරයක් වෙසෙන උතුරු කොකේසියාව, හා රුසියානු සයිබීරියාවේ හා ඈත පෙරදිග දිස්ත‍්‍රික්ක” කෙරේ ඔහු අවධානය යොමු කරවයි. “ඒවා රුසියානු මධ්‍ය අක්ෂයෙන් ඈත, දේශපාලනයෙන් ඇලලී ගිය ප‍්‍රදේශයන්ය. ඒවා ක්‍රෙම්ලිනයම තුල ඇතිවන අස්ථාවරත්වය හමුවේ මොස්කෝවෙන් ගිලිහී යාමට පටන් ගනු ඇත.”

චීනය ගැන කැප්ලාන් මෙසේ පවසයි. “මෙම විශාල රටෙහි වාර්ගික ආතතීන් වැඩෙමින් ඇත. යම් දුරකට හාන්වරු ආධිපත්‍යය උසුලන චීනයේ ප‍්‍රාන්ත, විවිධ ජනවර්ගයන්ට සිරගෙවල් බවට පත්ව තිබේ. මොන්ගෝලියානුවන්, ටිබෙට්වරු උයිගූර්වරු මේ අතර සිටිති. ඔවුහු විවිධ තරාතිරම් වලින් මධ්‍යම පාලනයට ප‍්‍රතිරෝධය දක්වති. අද දිනයේ ක්ෂනික බෙදුම්වාදී තර්ජනය වන්නේ උයිගූර් සටන්කාමීන්ය.”

චීනයේ උයිගූර් සුලුතරය, බිලියන 1.3ක් වන රටේ ජනගහනයෙන් මිලියන 10ක් පමන වෙති. එහෙත් සාපේක්ෂව චීනයේ ජන හීන එහෙත් භූදේශපාලනිකව වැදගත් ෂින්හුවා ප‍්‍රාන්තයේ විශාලතම වාර්ගික කන්ඩායම වන්නේ උයිගූර්වරුය. එය වර්ග කිලෝ මීටර් මිලියන 1.6ක් පුරා විහිද යන මූලෝපායිකව වැදගත් වන මොන්ගෝලියාව, රුසියාව, කසාක්ස්තාන්, ටජිකිස්තාන්, කිර්ගිස්තාන්, ඇෆ්ගනිස්ථාන්, පකිස්ථාන හා ඉන්දියාවට මායිම්ව පිහිටා ඇත.

කැප්ලාන් මෙසේ ලියයි. උයිගූර් බෙදුම්වාදීන් “ඉරාකයේ හා සිරියාවේ පුහුනුව ලබා ඇත. එසේම ඔවුන් ගෝලීය ජිහාඩ්වාදී ව්‍යාපාරයට සම්බන්ධ බැවින්, අන්තරාය වැඩිවෙමින් තිබේ.”

සිරියාවේ යුද්ධය හා රුසියාවේ ද චීනයේ ද බෙදුම්වාදී ව්‍යාපාර අතර සම්බන්ධය ඇඳ දක්වන්නේ කැප්ලාන් පමනක් නොවේ. London Review of Books (ලන්ඩන් ග‍්‍රන්ථ විමර්ෂන) තුල 2015 දෙසැම්බරයේ ලිපියක් පල කල මාධ්‍යවේදී සීමෝර් හර්ෂ්, එක් වොෂින්ටන් නිලධාරියෙක් උපුටා දැක්වීය. ඔහු පවසා ඇත්තේ, ඇමරිකාවේ සිරියානු කුලීකාර යුද්ධය තුල ප‍්‍රමුඛ අනුචරයෙක් වන තුර්කිය, “උයිගූර්වරු විශේෂ ප‍්‍රවාහන ක‍්‍රම තුලින් සිරියාවට ගෙන එනු ලබයි. එසේම තුර්කි ආන්ඩුව චීනය තුල ඔවුන්ගේ අරගලයට සහාය දක්වයි.” යනුවෙනි. හර්ෂ් විසින් සඳහන් කරන ලද ඇමරිකානු නිලධාරියා, මෙම “මීයන්ගේ මාර්ගය” දිගේ උයිගූර්වරු 800ට වැඩි සංඛ්‍යාවක් සිරියාවට ඇතුලුවී සිටින බව පවසා ඇත.

ක‍්‍රිස්ටිනා ලින් යන හිටපු පෙන්ටගන් හා රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරිනියක් සැප්තැම්බරයේදී පවසා ඇත්තේ, බෂර් අල් අසාද්ගේ සිරියානු ආන්ඩුව ඉස්ලාමීය මිලිෂියාවන්ට යටත් වුවහොත්, “රුසියාවේ චෙච්නියාවෙන් ද චීනයේ ෂින්ජියෑන් වෙතින් ද ඉන්දියාවේ කාෂ්මීරයෙන් ද සටන්කරුවන්, ජිහාඩ් සටන සඳහා තමන්ගේ මව් බිම වෙත යොමු වෙමින්, මැද පෙරදිග හදවතෙහිම වන නව සිරියානු ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ සිට වැඩට බසිනු ඇත.”

මෙම ප‍්‍රකාශ, දිගහැරෙමින් තිබෙන සිරියානු ගැටුම සම්බන්ධයෙන් වැදගත් සහනයක් පිලිගන්වනු ලබයි. අවසානයේදී අල් කයිඩාව බවට පත්වූ ඉස්ලාමීය බලවේග පුහුනුකර, අරමුදල් සම්පාදනය කර, සංවිධානය කරන ලද 1980 ගනන්වල සෝවියට්-ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී, මුජහිඩීන්වරු වෙනුවෙන් ඇමරිකානු ඔත්තු සේවාවන් සිය සහාය දුන් ආකාරයටම, සිරියානු යුද්ධයේදී ද අවසානයේදී රුසියාව හා චීනය අස්ථාවර කිරීම අරමුනු කරගත්, ඉස්ලාමීය බෙදුම්වාදී බලවේග පුහුනුකර සංවිධානය කිරීම සඳහා ද වැඩකරනු ඇත.

කැප්ලාන් කියන ආකාරයට, “මොස්කෝවේ පාලනය ගිලිහුනහොත්, ඒ හිඩැස පිරැවීමේ වාසිය ගෝලීය ජිහාඩ්වාදී ව්‍යාපාරයට ලැබෙනු ඇත. ඔවුන් රුසියාවේ පර්යන්ත කලාප වලට ද මධ්‍යම ආසියාවට ද රිංගමින්, ‘ඉරාකයේ හා සිරියාවේදී ලබාගත් පුහුනුව’ මත කටයුතු කරනු ඇත.” මෙම ඉස්ලාමීය බෙදුම්වාදී සංවිධාන “ගෝලීය ජිහාඩ් ව්‍යාපාරයට සම්බන්ධ වනු ඇත.”

“යුගෝස්ලාවියාවේ මෙන්: එක් තැනකින් පටන්ගෙන තවත් තැන් වලට පැතිර යන ප‍්‍රචන්ඩත්වය හා බෙදුම්වාදය” එහි ප‍්‍රතිපලය විය හැකි බව ඔහු නිගමනය කරයි. වෙනත් වචන වලින් කිවහොත්, යුගෝස්ලාවියාව බිඳ දැමීම පිනිස ඇමරිකාව හා බටහිර බලවතුන් යොදාගත් උපක‍්‍රම වලට චීනය හා රුසියාව මුහුනදෙනු ඇති බවයි. එනම්, මාධ්‍යයේ හොරනෑව වන හා මිලිටරි මැදිහත්වීම් සඳහා පිනුම් පිත්ත වන ජාතික නිකායික බෙදීම් නිර්මානය කිරීමයි.

1991දී ක්‍රොඒෂියාවේ හා ස්ලෝවේනියාවේ නිදහස පිලිගැනීමේ තැන් පටන් හා 1992දී බොස්නියාව වෙන්වීම සඳහා අනුමැතිය දුන් තැන් පටන් යුගෝස්ලාවියාව බිඳ වැටීම, 1999දී සර්බියාවට බෝම්බ දැමීමෙන් කුලුගැන්වුනු, ප‍්‍රධාන බලවතුන්ගේ දේශපාලන මැදිහත්වීම් මගින් සහතික කරන ලදී.

මිලියනයක් දෙනාගේ ජීවිත බිලිගත්, 1990 ගනන්වල යුගෝස්ලාවියාව වාර්ගික පදනමක බෙදාලීම, රුසියාව වැටලීම සඳහා ද නේටෝව දිගටම නැගෙනහිර දෙසට ප‍්‍රසාරනය කිරීමට ද කොන්දේසි නිර්මානය කිරීමට ඉවහල් විය. 1999දී චෙක් සමූහාන්ඩුව, හන්ගේරියාව හා පෝලන්තය නේටෝවට එක්කර ගනු ලැබින. 2004දී බල්ගේරියාව, එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, රුමේනියාව, ස්ලොවේකියාව හා ස්ලෝවේනියාව ඊට එක්වූ අතර 2009දී ඇල්බේනියාව හා ක්‍රොඒෂියාව එක් විය. මෙහි ප‍්‍රතිපලය ලෙස නේටෝවේ සීමාව සැතපුම් 600ක් නැගෙනහිර දෙසට ගමන් කලේය.

අවසන් විග‍්‍රහයේදී චීනය හා රුසියාව මුහුනදී සිටින අයහපත් භූදේශපාලන තත්වය, ධනවාදය පුනස්ථාපනය කිරීමේ ප‍්‍රතිපලය වන්නේය. ඇමරිකා, ජපාන හා යුරෝපීය අධිරාජ්‍යවාදයෙන් එල්ලවන තර්ජනයන්ට මුහුනදීම පිනිස ධනපති තන්ත‍්‍රයන් විසින් ගනු ලැබූ පියවර, එනම්, ජාතික ස්වෝත්තමවාදය ඇවිස්සීම, රාජ්‍ය මර්දනය උත්සන්න කිරීම හා මිලිටරි පිරිවැය දැවැන්ත ලෙස ඉහල නැංවීම, අර්බුදයෙන් ගොඩයාමේ කිසිදු මගක් හෙලි නොකලේය.

රුසියානු හා චීන කම්කරු පන්තිය සිය විප්ලවවාදී සමාජවාදී උරුමය යලි නංවාගත යුතුය. ඔවුන් පසුගිය සියවසේදී කලාක් මෙන් යලි වතාවක්, විප්ලවවාදී මාවතට පිවිස, පවත්නා ජාතිකවාදී ධනපති පාලන තන්ත‍්‍ර පෙරලා දැමිය යුතුය. ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග සහයෝගීව ගන්නා මේ මාවත මත පදනම්ව පමනක්, දෙරටේම මහජනතාවන්ට අධිරාජ්‍යවාදී යටත් කිරීම හා න්‍යෂ්ටික යුද්ධයේ භීෂනය අවසන් කල හැකිය.

ඇන්ඩි‍්‍ර ඩැමෝන්

Share this article: