ප‍්‍රන්ස වැඩ වර්ජකයින් ආරක්ෂා කිරීමට යුරෝපීය කම්කරුවන් බලමුලු ගන්වනු!

Mobilize European workers to defend French strikers!

2016 මැයි 26

තෙල් පිරිපහදු වැටලීම් ද වාඩිලාගැනීම් ද වරාය වැඩවර්ජන ද, කැරලි මර්දන පොලීසියේ ප‍්‍රහාරයන්ට එරෙහිව තව තවත් වැඩ වර්ජන සඳහා කැඳවීම ද ප‍්‍රන්සය හරහා පැතිර යන තතු තුල, සමාජවාදී පක්ෂ (පීඑස්) ආන්ඩුවේ ප‍්‍රතිගාමී කම්කරු නීති වලට එරෙහි අරගලයේ ප‍්‍රමුඛ බලවේගය ලෙස කම්කරු පන්තිය ඉස්මත්තට එමින් පවතී. මෙම ව්‍යාපාරය ජාත්‍යන්තරව පැතිරීමට පටන්ගෙන තිබේ. දක්ෂිනාංශික ආන්ඩුවේ සමාජ කප්පාදුවට විරුද්ධව අඟහරුවාදා 60,000ක් කම්කරුවන් පෙලපාලි දැක්වූ බෙල්ජියමේ ද වර්ජන සඳහා කැඳවුම පැතිරයමින් පවතී.

මහාජනතාව යුරෝපීය සංගමයේ කප්පාදු පිලිවෙත් ප‍්‍රතික්ෂේප කරන තතු තුල මහාද්වීපය හරහා පැතිරයන ගැඹුරු දේශපාලන අර්බුදය සිද්ධීන් විසින් වේගවත්ව එලිදරව් කරනු ලැබ ඇත.

පීඑස් ආන්ඩුව අපේක්ෂා කලේ, මහජන විරෝධය නොතකාම පාර්ලිමේන්තුව තුලින් කම්කරු (විරෝධී) නීතිය සම්මත කොට, ඉන් ඉක්බිති පැතිර යන සකල විරෝධතාවන්ම මැඩ ලා කම්කරු පන්තියේ වැඩී එන පෙරලිකාරිත්වය බිඳ දැමීමට ය. ආන්ඩුව දැන් තම අවජාතක නීතිය ට විරුද්ධව පුපුරායන විරෝධයේ ගැඹුර දැක වික්ෂිප්තව සිටී. ප‍්‍රන්ස ජනතාවගෙන් සියයට හැත්තෑවක් මෙම කම්කරු නීතිය ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටිති. මුර්ග මර්දනය මගින් ව්‍යාපාරය වලකාලීමට ආන්ඩුව ගත් උත්සාහය අසාර්ථකව තිබේ.

අඟහරුවාදා, බ‍්‍රසල්ස් නගරයේ විරෝධතා කරුවන්ට එරෙහිව පොලිසියේ ජල ප‍්‍රහාර යොදාගත් පීඑස් ආන්ඩුව, ෆොස්-සුර්-මෙර් වරායේ තෙල් පිරිපහදු වල වාඩිලා සිටින කම්කරුවන්ට එරෙහිව සියගනනක් කැරලි මර්දන පොලීසිය ලවා රබර් උන්ඩ, කඳුලු ගෑස් සහ ජලය විදින තුවක්කු වලින් පහර එල්ල කලේය. ඊයේ පොලිසිය ඩ්‍යු-ෂීල-මයින්ස් හී ඉන්ධන ගබඩාවක කම්කරු වාඩිලාගැනීම බිඳ හෙලී ය. එසේ වුවද, කප්පාදු පිලිවෙතට එරෙහිව කම්කරු පන්තිය බලමුලුගැන්වීම් දිගින් දිගටම සිදු වෙමින් ඇත.

ස්ටැලින්වාදීන් විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීම මගින් උග‍්‍ර කරනු ලැබූ, සියලු ඊනියා වාම පක්ෂයන් ගේ දකුනට හැරීමේ හා දේශපාලන අවමංගතයේ දීර්ඝ විසි පස් වසරක කලපරිච්ඡේදය දැන් අවසන් වෙමින් පවතී. කම්කරු පන්තියේ ව්‍යාපාරයක් පැන නැගී ඇත. ස්ටැලින්වාදී ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය විසින් 1968 ප‍්‍රන්ස මහා වැඩවර්ජනය පාවාදීමත් සමග මාධ්‍යම පන්තික බුද්ධිජිවී කවයන් තුල කම්කරු පන්තිය සහ මක්ස්වාදය හා සමාජවාදයම සහමුලින් ප‍්‍රතික්ෂේප කර දැමීම, දැන් යුරෝපීය ධනවාදයේ දේශපාලන අර්බුදයේ වෛෂයික වර්ධනය ද පන්ති අරගලයේ පුනර්ජීවනය ද මගින් නිෂ්ප‍්‍රභා කරනු ලබමින් පවතී.

මෙම අරගලය මුල් ඇද තිබෙන්නේ, 2008 මුල්‍ය බිඳවැටීම විසින් ප‍්‍රකාශිත ගෝලීය අර්බුදය තුලය. එවක් පටන් කම්කරු පන්තිය, විශේෂයෙන්ම යුරෝපය තුල, කොන්සර්වේටිව් හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පමනක් නොව, ග‍්‍රීසියේ සිරිසා වැනි ඊනියා රැඩිකල් වම්මුන් ද යනාදී සකල ආකාර ධනේශ්වර ආන්ඩු පිලිබඳ ගනන් නැති කටුක අත්දැකීම් විඳගෙන තිබේ. ඒ හැම ආන්ඩුවක්ම බැංකු වල අන පරිදි තමන්ට පෙර පැවති ආන්ඩු විසින් ගෙනයනු ලැබූ කප්පාදු පිලිවෙත් තවතවත් උග‍්‍ර කර ඇත.

කම්කරු පන්තියට එරෙහි ජාත්‍යන්තර ප‍්‍රහාරය, බලගතුව වැඩී එන ප‍්‍රතික‍්‍රියාවක් ජනනය කරමින් තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ විදුලි පනිවුඩ කම්කරුවන් හා ගුරුවරුන්ගේ වැඩවර්ජන ද, බි‍්‍රතාන්‍යයේ කනිෂ්ට වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවා කප්පාදුවලට එරෙහිව කරන වර්ජන ද, සිරිසා පාලනයේ කප්පාදු පියවර වලට එරෙහිව ග‍්‍රීසියේ මහා වැඩ වර්ජන ද ඉන්දියාවේ සහ චීනයේ ආන්ඩු සහ කාර්මික අංශවල ස්ට‍්‍රයික් සටන් ද මීට ඇතුලත් වේ.

ප‍්‍රන්සය තුල කම්කරු නීතිය වනාහි -මුල්‍ය ප‍්‍රාග්ධනයේ නියෝජිතයන් වන- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපීය මහ බැංකුව විසින් නිර්දේශිත, “ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරන” වැඩ සටහන ක‍්‍රියාවට දැමීමයි. එම නීති සකස් කරනු ලැබුවේ බර්ලින් පාලනය සමග විෂේශයෙන් ම - පීටර් හාර්ට්ස් නැමති සාමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෘත්තීය සමිති කාරයා සහ ලේඛකයා සමග සමීප සහයෝගයකිනි. දශකයකට පෙර ජර්මනියේම කම්කරුවන්ගේ වැටුප් සහ සමාජ තත්වයන් කපාදැමීමට පනවන ලද හර්ට්ස් නීති සම්පාදනය කරන ලද්දේ ද හාට්ස් විසිනි. මාර්තු මාසයේදී කම්කරු නීතිවලට එරෙහිව විරෝධතා ඇරඹුනු කල්හි ජර්මනියේ, ඉතාලියේ සහ පෘතුගාලයේ සමාජප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂවල නියෝජිතයෝ පැරීසියේදී හමුව අර්බුදය ට කෙසේ මුහුන දිය යුතු දැයි මන්ත‍්‍රනය කලෝය.

ප‍්‍රන්ස කම්කරුවන් මත ට එල්ල කරනු ලැබ ඇති මර්දනය ජාත්‍යන්තර කම්කරු පන්තියටම කෙරෙන අනතුරු හැඟවීමකි. සමාජ ආතතීන් සහ කම්කරු පන්තියේ ප‍්‍රතිරෝධය නැග ඒමට ප‍්‍රන්සයේ ද ජාත්‍යන්තරව ද පාලක ප‍්‍රභූව දක්වා තිබෙන මූලික ප‍්‍රතිචාරය නම් එකාධිපතිත්වය කරා ගමන තව තවත් වේගවත් කිරීමයි.

කෙසේ වෙතත් පසුගිය වර්ෂයේ දී සිරියාවේ නැටෝ පිලිවෙතේ උපකරන ලෙස සේවය කලා වූ පැරිස් ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ට පසුව, ප‍්‍රන්සයේ ද බෙල්ජියමේ ද පනවන ලද හදිසි තත්වයන් ගේ සැබෑ ඉලක්කය වූයේ, එම ත‍්‍රස්ත ප‍්‍රහාරයන් නොව රට තුලම කම්කරු පන්තිය හා පීඩිත ජන කොටස් තුලින් නැගෙන ප‍්‍රතිරෝධයය යන්න පැහැදිලි කරුනක් වේ. පීඑස් පාලනය වාඩිලාගැනීම් තලාදැමීමට සහ සාමකාමී පෙලපාලි වලට පහර දීම සඳහා ද දීර්ඝ සිරදඬුවම් පැනවීමේ තර්ජන සඳහා ද හදිසි නීති බලතල යොදාගනී.

ප‍්‍රන්සයේ සිද්ධීන් විදහා දක්වන්නේ, ප‍්‍රන්සයේ ද යුරෝපය පුරා ද කාප්පාදු පටවන ආන්ඩු පෙරලා දමමින් විප්ලවවාදී මාවත ගැනීම හැර වෙනත් විකල්පයක් කම්කරු පන්තියට ඇත්තේ නැති බවය. මෙම අරගල පැතිරෙත්ම ප‍්‍රන්සය ද යුරෝපය ද පූර්ව විප්ලවවාදී තත්වයකට අතුලුවෙමින් සිටී.

මෙම අරගලයේ දී ප‍්‍රන්ස, බෙල්ජියම්, සහ ග‍්‍රීක කම්කරුවන් ගේ අනිවාරනීය මිත‍්‍රයා වන්නේ යුරෝපීය සහ ජාත්‍යන්තර කම්කරු පන්තියයි. පීඑස් ආන්ඩුව විසින් එල්ල කර ඇති මර්දනයට විරුද්ධව ප‍්‍රන්සයේ තම සහෝදර කම්කරුවන් ට සහාය දී ආරක්ෂා කිරීම ලෝකයේ කම්කරුවන් මුහුන දී සිටුනා මූලික දේශපාලන කර්තව්‍යයක් වන්නේ ය.

මෙම අරගල ඉතා පරෙස්සමින් නිරීක්ෂනය කරන්නාවු යුරෝපීය කම්කරුවන්ට බලගතු ආයාචනයක් කිරීම, ප‍්‍රන්සයේ කම්කරුවන් විසින් කල යුතු දෙයකි.

සිය අරගල ජාතික පිලිවෙත් මත භේදභින්න කිරීම ට දැරෙන ප‍්‍රයත්නයන්, කම්කරු පන්තිය විසින් ප‍්‍රතික්ෂේප කල යුතුව ඇත. ප‍්‍රන්සයේ නම් දක්ෂිනාංශික රිපබ්ලිකන්වාදීහු ද අන්ත -දක්ෂිනංශික ජාතික පෙරමුන (එෆ්එන්) ද බලයට පැන ගැනීම සඳහා කම්කරු නීති අර්බුදය සහ යුරෝපීය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගරා වැටීම ගසාකමින්, යුරෝපීය සංගමයට පහර ගසති. ඊයේ එෆ්එන් නායක මැරීන් ලේ පෙන් ආන්ඩුව කම්කරු නීතිය ඉවත් කරගත යුතු යයි ද නව මැතිවරනයක් පැවැත්විය යුතු යයි ද ප‍්‍රකාශ කලේ ය.

මහ සංගත වල ද බැංකු වල ද උපකරනය වන යුරෝපීය සංගමය, කම්කරු පන්තියට හිරගෙයක් වන අතර ජාත්‍යෝත්තමවාදය ට ද යුදවාදය ට ද යුද්ධයට ද තෝතැන්නකි. එය පෙරලා දැමිය යුතුය. එහෙත් ප‍්‍රන්ස, ජර්මානු, ග‍්‍රීක බි‍්‍රතාන්‍ය හෝ අනි කිසියම් ජාතික සීමාවන් උඩ කරන්නාවූ සෑම පසුබෑමක් ම, ප‍්‍රතිගාමී බැවින් එයට වඩා අඩුවක් නැත. ඒවා කම්කරු පන්තියේ ආස්ථානයෙන් ගත් කල්හී විනාශ කාරී වේ. යුරෝපීය සංගමයට එරෙහිව එකම ප‍්‍රගතිශීලී විකල්පය නම්, යුරෝපීය කම්කරු පන්තියේ එකාබද්ධ අරගලය මගින් යුරෝපය, නව විප්ලවවාදී, සමානතාවාදී, පදනමක ඒකාබද්ධ කිරීමය.

විශේෂයෙන්ම ප‍්‍රතිගාමී වූ එක නීතියක් ඉවත් කිරිමට හෝ කප්පාදු න්‍යායපත‍්‍ර සහිත එක ආන්ඩුවක් වෙනුවට තවත් එවන් ආන්ඩුවක් පත්කරගැනීමට හෝ තමන්ගේ ව්‍යාපාරය සීමාකර ගැනීම කම්කරුවන්ට කල නොහැකි වේ. යුරෝපීය කම්කරු පන්තිය සමානතාවාදී, නව විප්ලවවාදී පදනමක ඒකාබද්ධ කිරීම කලහැකි වන්නේ, හැම යුරෝපීය රටක් තුලම සමාජවාදය සඳහා පොදු අරගලයක පදනමේ පමනි.

මෙය ඉල්ලා සිටින්නේ, කම්කරු පන්තියේ පූර්න මූලෝපායාත්මක හැරීමකි. ඒ සඳහා වෘත්තීය සමිති සහ සියලු දේශපාලන පක්ෂවලින් ද පාලක පන්තියේ නියෝජිතයන්ගෙන් ද ස්වාධීන වූ, අරගලයේ සංස්ථා ගොඩනැගීමය.

අන් සියල්ලටමත් වඩා යුරෝපීය රටවල් හරහා කම්කරු පන්තියේ නව මාක්ස්වාදී නායකත්වයක්, එනම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ගොඩ නගමින් යුරෝපීය එක්සත් සමාජවාදී සමුහාන්ඩුවක් පිලිබඳ ඉදිරිදර්ශනය සඳහා සටන් වැදීම තීරනාත්මක වේ.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: