ෆැසිස්ට්වාදී අපේක්ෂක රුද්‍රිගූ දුතර්තේ පිලිපීන ජනාධිපතිවරනය ජය ගනී

Fascistic candidate Rodrigo Duterte wins Philippine presidential election

ජෝශප් සැන්ටොලන් විසිනි. 2016 මැයි 10

දකුනු පිලිපීනයේ දවාවෝ නගරයේ නගරාධිපති මෙන් ම පසුගිය විසි වසර තුල පුද්ගලයන් 1400ට වඩා ඝාතනය කර ඇති නගරයේ ඝාතක කල්ලියේ දීර්ග කාලීන නායකයා ද වන රුද්‍රිගූ දුතර්තේ ඊයේ පිලිපීනයේ ජනාධිපති වශයෙන් තෝරා ගන්නා ලදි.

ඊයේ රාත්‍රිය වන විට පෙල ගස්වන ලද සියයට 75ක ඡන්දවලින් දුතර්තේ මිලියන 15ට වඩා ඡන්ද ලබා තිබුනි. ඔහුගේ ලඟ ම තරගකරුවා වන මාර් රොක්සාස් ලබා ගෙන තිබුනේ මිලියන නවයක සුළු ඡන්ද සංඛ්‍යාවකි; ග්‍රේස් පෝ මිලියන 8.කි; ජෙජෝමාර් බිනේ මිලියන පහකි.

මධ්‍යම රාත්‍රියට පසුව රූපවාහිනී මාධ්‍ය හමුවක් පවත්වමින් පෝ, මේ වන විටත් දුතර්තේගේ ජයග්‍රහනය පිලිගෙන ඇත.

බිනේ හෝ රෝසාස් මාධ්‍ය හමුව පවත්වන විට ඔහුගේ ජයග්‍රහනය පිලිගෙන නො තිබුන ද පිලිපීන මාධ්‍ය තුල දුතර්තේගේ ජයග්‍රහනය පිලිගැනුනේ එය පූර්ව නිර්මිත නිගමනයක් ලෙස යි. දුතර්තේ මේ අයුරින් ජනාධිපති වුවත් ඔහු ලබා ගෙන ඇත්තේ මුලු ඡන්දවලින් හරියට ම සියයට 38ක් පමනි.

උප-ජනාධිපති තරගය පිලිපීන ඉතිහාසයේ තියුනම එක යි. ඉවත්ව යන ඇකිනෝ පාලනාධිකාරය සමග කිට්ටු ලෙස සම්බන්ධ ලෙනී රොබ්‍රෙඩෝ හා හිටපු ඒකාධිපති ජනාධිපතිගේ පුත්‍රයා වන කනිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් යන දෙදෙනා කරටකර තරගයක යෙදී සිටියි. මෙම තරගය අවසාන වශයෙන් විසඳෙන්නට කාලයක් ගත වනු ඇති බව පෙනේ .

පිලිපීනය තුල පැවැත්වෙන මැතිවරන, ප්‍රචන්ඩ මෙන් ම දූෂිත කටයුත්තකි. 2016 මැතිවරනය ද ඊට වෙනස් නො වේ. ගනන් බැලූ අන්දමට ජනවාරි 10 දා සිට පුද්ගලයන් 50 දෙනෙක් ඝාතනය කෙරී ඇත. වාර්තා එකිනෙකට වෙනස් වන නමුත් මැතිවරන දිනයේ දී අතිරේක වශයෙන් 13 -18 අතර පුද්ගලයන් සංඛ්‍යාවක් ඝාතනය කෙරුනි.

ඉවත්ව යන ජනාධිපති බෙනිග්නෝ ඇකිනෝ පාලනාධිකාරයේ අවසන් හය වසර විශේෂයෙන් ම හැඩ ගැසුනේ චීනයට එරෙහි වොෂින්ටනයේ යුද තල්ලුව සමගිනි. එහි ඊනියා “ආසියාවට හැරීම” යටතේ ඔබාමා පාලනාධිකාරය කලාපයේ ආතතිය යුද්ධය අද්දරට ම ගෙනැවිත් ඇත.

ඇකිනෝ යටතේ, මැනිලා තන්ත්‍රය ක්‍රියාකාර ඇත්තේ මෙම ගැටුමේදී වොෂින්ටනයේ ප්‍රමුඛ බලල් අතක් ලෙස ය. සවිමත් ආරක්ෂක සහයෝගිතා ගිවිසුම (ඊඩීසීඒ) යටතේ ඇකිනෝ ආන්ඩුව රට තුල ඇමරිකානු කඳවුරු ආරක්ෂා කිරීම සඳහා සූදානම් කෙරුනි. දකුනු චීන මුහුදේ භූමිභාගයන්ට චීනයේ හිමිකම් පෑමට එරෙහිව මැනිලා තන්ත්‍රය, හේග් නුවර නඩුවක් ගොනු කලේ ය. එය සකසන ලද්දේ ඇමරිකාව විසිනි. වොෂින්ටනයේ පූර්න අනුග්‍රහය ඇතිව ඇකිනෝ, මතභේදයට ලක්ව ඇති මුහුදු ප්‍රදේශයේ යලි යලිත් මිලිටරි ප්‍රකෝපකිරීම් සිදු කර ඇත.

පිපිරෙන සුළු සමාජ ආතතීන් හා ගෝලීය යුද තර්ජනය අභිමුවෙහි ලෝකය පුරා පැවැත්වෙන මැතිවරන ඉක්මනින්ම අර්බුදයට යන අස්ථිර කාර්යයක් වී ඇත. ධනේශ්වර දේශපාලන නියෝජිතයෝ තියුනු ලෙස දකුනට ගමන් කරමින් සිටිති.

දුතර්තේ, පිලිපීනය තුල මෙම ප්‍රවනතාවේ ප්‍රතිමූර්තිය යි. මුලු ධනේශ්වර න්‍යාය පත්‍රයේ ම ඇත්තේ යුද්ධය හා ඒකාධිපතිත්වය යි. කෙසේ නමුත් දුතර්තේ, පාලක පන්තිය තුල පවතින මෙම කුලප්පුවට ලබා දුන්නේ, එහි ඉතාමත් විවෘත ෆැසිස්ට්වාදී ප්‍රකාශනය යි.

දුතර්තේ යලි යලිත් ශථප කලේ, ඔහු බලයට පැමිනීමත් සමග රට පුරා චූදිත අපරාධකරුවන් ඝාතනය කිරීමට ව්‍යාපාරයක් දියත් කරන බව යි. මැනිලා බොක්කේ මලකඳන් 100,000ක් “ගොඩගසන” බවට ඔහු කයිවාරු ගැසුවේ ය. අපනයන සැකසුම් කලාපයේ කම්කරුවන් වෘත්තීය සමිති හැදීමට උත්සාහ කලොත්, ඔවුන් මරා දමන බව ඔහු අවධාරනය කර ඇත.

දුතර්තේගේ ෆැසිස්ට්වාදී දේශපාලනය සම්බන්ධයෙන් වොෂින්ටනයට විරුද්ධත්වයක් නැති නමුත්, දුතර්තේ ද අස්ථාවර මෙන් ම තාවකාලික නායකයෙකි. චීනයෙන් විශාල ආයෝජන ආකර්ෂනය කර ගැනීමට චීනය සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා ඉල්ලා පෙරැත්ත කිරීමත්, චීනය සමග යුද්ධයට සූදානම්වීම සඳහා සියලුම තරුනයන් අනිවාර්ය මිලිටරි සේවාව සඳහා කැඳවීමත් අතර ඔහු දෙපසට පැද්දෙමින් සිටියි.

තරගකාරී අපේක්ෂකයින්ගෙන් වොෂින්ටනයේ කැමත්ත දක්වන්නට ඇත්තේ, දීර්ගකාලීන දේශපාලන පෙලපතක හිටපු ආයෝජන බැංකුකරුවෙකු වන රෝෂාස්ට ය. නැතහොත් සිය සැමියා එක්සත් ජනපදයේ සීඅයිඒ සංවිධානයට වැඩ කරන්නාවූ පුද්ගලික ඔත්තුසේවා සමාගමක කොන්ත්‍රාත්කරුවෙකු ලෙස සිට ඇති බවට මෑත දී අනාවරනය කෙරුනු පෝ නැමත්තියට ය.

බිනේ නියෝජනය කලේ, චීනයට එරෙහි වොෂින්ටනයේ යුද ව්‍යායාමය ව්‍යාපාරික කටයුතු වලට බාධාවක් ලෙස සැලකූ පිලපීන ධනේශ්වරයේ කොටස් ය. රට තුල ඇමරිකානු හමුදා කඳවුරු බැඳීමට බිනේ විරුද්ධ නැති නමුත්, බීජීනයට වඩා සහනදායි ප‍්‍රවේශයක් බලාපොරොත්තුවූ අතර ඇකිනෝගේ ගැටුම්කාරී පියවර ලිහිල් කිරීමට අපේක්ෂා කලේ ය. දූෂන සෝලි මාලාවක් ඔහුගේ මැතිවරන ව්‍යාපාරයට වල කපන තෙක්, ඔහු ඔහුගේ දේශපාලන තරගකරුවන්ට වඩා බොහෝ ඉදිරියෙන් මනාප ලබමින් සිටියේ ය.

චීනයට එරෙහි මැනිලාහි නඩුව වොෂින්ටනය දකින්නේ, නව පාලනාධිකාරයේ දේශපාලන අවනතභාවය සඳහා සංඥාවක් ලෙස ය. ‍තෝරා ගැනුනු ජනාධිපතිවරයා වැඩ බාර ගනු ඇත්තේ ජූනි 30 දා ය. සාගර නීතිය පිලිබඳ ජාත්‍යන්තර අධිකරනය (අයිටීඑල්ඕඑස්) එම දිනට පෙර තීන්දුවක් ලබා දීමට අපේක්ෂිත ය. වොෂින්ටනය අදහස් කරන්නේ, දකුනු චීන මුහුදේ දී චීනය මත පීඩනය නාටකාකාරව උත්සන්න කිරීමට අයිටීඑල්ඕඑස් තීන්දුව කඩතුරාවක් ලෙස යොදා ගැනීමට ය.

දුතර්තේ වොෂින්ටන් මාවතේ පිය මනිනු ඇති බව ඇගවුම් කර ඇත. දුතර්තේ අපේක්ෂා කරන්නේ වොෂින්ටනයේ නියෝග අනුගමනය කරමින්, දකුනු චීන මුහුදේ ගැටලු විසඳිය යුත්තේ බහුපාර්ශ්වීය සාකච්ඡා මගින් බව ය. අද ඔහු ඒ පිලිබඳ නිවේදනය නිකුත් කර ඇත. මෙයට ජපානය, ඕස්ට්‍රේලියාව හා එක්සත් ජනපදය ඇතුලත් විය යුතු ය. දීර්ග කාලයක් තිස්සේ චීනය අවධාරනය කර ඇත්තේ ගැටළු විසඳා ගත යුත්තේ ද්විපාර්ශ්වීය සාකච්ඡා මගින් බව යි. මේ අතර වොෂින්ටනය ඉල්ලා ඇත්තේ ඔවුන්ට ද එයට පාර්ශ්වකරුවන් විය හැකි බහුපාර්ශ්වීය සාකච්ඡා ය.

වොෂින්ටනය දැනටමත් දුතර්තේ තෝරා ගැනීමට යන ඇමති මන්ඩලය සැලකිල්ලෙන් නිරීක්ෂනය කරමින් සිටී. මූලෝපාය හා ජාත්‍යන්තර අධ්‍යයනය පිලිබඳ මධ්‍යස්ථානයේ (සීඑස්අයිඑස්) ගිනිකොනදිග ආසියා වැඩසටහනේ ජ්‍යෙෂ්ට උපදේශක අර්නස්ට් බෝවර් මැයි 9 දා රොයිටර් සේවයට මෙසේ පැවසී ය: “ඔහු අත්දැකීම්, යහපත් අතීත ජයග්‍රහන හා ශක්තිමත් සම්බන්ධකම් සහිත තාක්ෂන‍වේදීන් තෝරා ගන්නේ නම් එය, උද්ඝෝෂන කයිවාරු තුල යෝජිත ඒවා තරම් නරක නොවීමට ඉඩ ඇත. ” දුතර්තේ හා ඇමරිකාවේ රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂක ඩොන්ල්ඩ් ට්‍රම්ප් අතර සමාන්තරයක් අඳිමින් බෝවර් මෙසේ පැවසී ය: “බිය හා ශාංකාව පැමිනෙන්නේ අප කිසිවක්ම දන්නේ නැත යන කාරනයෙනි. ඔවුන් ජය ගත හොත් ඔවුන්ගේ කැබිනට් මන්ඩලවලට කවුරු ඇතුලත් වේවිද යන්න දුතර්තේ හෝ ට්‍රම්ප් නො දනී.”

මැතිවරන දිනයේ සම්මුඛ සාකච්ඡාවක දී දුතර්තේ ඔහු අපේක්ෂා කරන පාලනාධිකාරය පිලිබඳ ප්‍රාරම්භක අදහසක් ඉදිරිපත් කලේ ය. තම කැබිනට් මන්ඩලයට “මිලිටරි නිලධාරීන්” පත්කරන බව ඔහු මාධ්‍යයට පැවසී ය. රට තුල විදේශ හිමිකාරිත්වය සීමා කරන නීති සැහැල්ලු කිරීමට ඔහු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව ද පැවසී ය.“මම ආයෝජන නිදහස් කරන්නෙමි. හැකි නම්, සෑම කලාපයක ම, ආර්ථික කලාප ඇති කරන්නෙමි. විදේශිකයන් එනු ඇත, ඔවුන් සියලු දෙනාට ම සමාන ආරක්ෂාව තිබෙනු ඇත. ඉක්මනින් ඔවුන්ට හැරවෙන ලාභ මම ඔවුන්ට සහතික කරමි.”

ජනාධිපති ලෙස තෝරා ගැනීමත් සමග කූඨප්‍රාප්ත වුනු දුතර්තේගේ සාර්ථක දේශපාලන නැගීම සඳහා වගකීම දරන්නේ, ජාතිකවාදී හා කම්කරු විරෝධී සංවිධානයක් වන පිලිපීන මාඕවාදී (සීපීපී) පක්ෂය යි .

දවාවෝ හි නගරාධිපති හා දවාවෝ ඝාතක කල්ලියේ ප්‍රධානියා ලෙස ඔහුගේ මුල් දවස්වල සිට ම, සීපීපීයේ මහජන හමුදාව (එන්පීඒ) එක දිගටම ඔහුට සහාය ලබා දුන්නේ ය. දුතර්තේගේ මැතිවරන උද්ඝෝෂන කලමනාකරු වූයේ සීපීපීයේ හිටපු ඉහල මට්ටමේ සාමාජිකයෙකි.

දුතර්තේ ඔහුගේ ෆැසිස්ට්වාදී දේශපාලනය නැවත නැවතත් හඳුන්වා දී ඇත්තේ, “වාමාංශික” දේශපාලනය ලෙස ය. සීපීපීය මෙම කථාන්තර අනුමත කර ඇත. මැතිවරනය දක්වා සතිවල දී එන්පීඒ අවස්ථා දෙකක දී උත්සව පැවත්වී ය. අල්ලාගත් පොලිස් නිලධාරීන් පිලිපීන ආන්ඩුවට බාරදීමට දුතර්තේ මැදිහත්කර ගැනීම මගින් එන්පීඒ, ඔහු දෑකැත්ත හා මිටිය ඉදිරියට ගෙනාවේ ය.

සීපීපීයේ ආරම්භකයා හා ප්‍රධානියා වන ජොසේ මා.සිසොන්, දුතර්තේ සමග ස්කයිප් ඔස්සේ රැස්වීමක් පැවත්වී ය. ඊට පසු එය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කෙරුනි. එන්පීඒ හා දුතර්තේ පාලනාධිකාරය සමග සාම සාකච්ඡා පැවැත්වීම පිලිබඳ බලාපොරොත්තු වලින් ඔහු ප්‍රබෝධමත් වූයේ කෙසේ දැ යි සිසොන් ප්‍රකාශ කලේ ය. දුතර්තේ තෝරා ගැනුනොත්, නෙදර්ලන්තයේ තිස්වසරක පිටුවහලේ සිටීමෙන් පසු තමන් පිලිපීනයට පෙරලා පැමිනෙන බව ඔහු නිවේදනය කලේ ය.

සිසොන් දුතර්තේට ප්‍රශංසා කල පලමු ප්‍රසිද්ධ පුද්ගල‍යා ය. මැතිවරනය අවසන් කිරීමෙන් පසු පැයක් ඇතුලත ඔහු ප්‍රකාශනයක් නිකුත් කල අතර එය ප්‍රධාන පිලිපීන දිනපතා පුවත්පත වන ඉන්ක්වයර් හි ප්‍රසිද්ධ කෙරුනි. ඔහු තම “උනුසුම් ශුභපැතුම්” දුතර්තේට පුද කලේ ය. “ඉක්මන් සාම සාකච්ඡා, සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, මව් රටට මගේ පුනරාගමනය හා සාම සාකච්ඡා වේගවත් කිරීමට ජනාධිපති දුතර්තේ සමග වැඩි දුරටත් සාකච්ඡා සඳහා මම බලා සිටිමි. ජාතික ඒකාබද්ධතාව, සාමය හා සංවර්ධනයේ ආන්ඩුවක ඉලක්කය අපට තිබෙනවා” යයි සිසොන් පැවසී ය.

සීපීපීයේ පෙරමුනු සංවිධානය වන බයාන් මූනා නියෝජිත කාර්ලොස් සරාටේ, ඒ ආකාරයෙන් ම දුතර්තේගේ ජයග්‍රහනය පිලිගත්තේ, එය “ආශ්චර්යවත්” යැයි ප්‍රශංසා කරමින් හා එය “පෙරලිකාරී ලෙස පිලිපීනයේ දේශපාලනය වෙනස් කරන” බව පවසමිනි.

Share this article: