ඇමති පොරොන්දුව මත ටෙලිකොම් මිනිස්බල කම්කරු වර්ජනය නතර කරයි

ජෝතිපාල දැදිගම සහ ශ‍්‍රී හරන් විසිනි, 2016 මැයි 9

අරගලය ට පිවිසි ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මිනිස්බල කම්කරුවන්

සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මිනිස්බල කම්කරුවන් සඳුදා (3) සිට ආරම්භ කල අඛන්ඩ වැඩ වර්ජනය බ‍්‍රහස්පතින්දා (5) නතර කෙරුනි. ඔවුන් ව ටෙලිකොම් ආයතනයට අනුයුක්ත කර රැකියා ස්ථිර කරන බවට කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න පොරොන්දු වූ බැවින් වර්ජනය නතර කරන ලෙස වෘත්තීය සමිති විසින් වර්ජිත කම්කරුවන්ට දැනුම් දී ඇත.

කම්කරු ඇමති සමිති නායකයන් ට මෙම පොරොන්දුව දී ඇත්තේ ඔහු සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දු, කම්කරු කොමසාරිස් සහ ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් සහ වෘත්තීය සමිතිය අතර 4 වෙනිදා කම්කරු අමාත්‍යංශයේ පැවති සාකච්චාවක දී ය.

වර්ජනය කැඳවුම් කලේ තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය විසිනි. වර්ජනයක් කැඳවීමට සමිති නායකයන් ට බල කෙරුනේ 2006 සිට දසවසරක් පුරා සිය රැකියා ස්ථිර නොකිරීමට සහ ධනපති ආන්ඩුව විසින් ජීවන තත්වයන්ට එල්ල කරන ප‍්‍රහාර වලට එරෙහිව බරපතල විරුද්ධත්වයක් කම්කරුවන් අතර වර්ධනය වන තතු තුලය.

රියදුරන්, රැහැන් අදින්නන්, දෝෂ නිවැරිදි කරන්නන්, දුරකථන සවිකරන්නන්, පාරිභෝගික සේවා නිලධාරීන් සහ අලෙවි නිලධාරීන් ඇතුලු 2100 පමන වන මුලු මිනිස්බල ශ‍්‍රම බලකායෙන් අලුතෙන් බඳවා ගත් සේවකයන් හා ඇමතුම් මධ්‍යස්ථාන (කෝල් සෙන්ටර්) සේවකයන් හැර 1500 කට ආසන්න සෙසු කම්කරුවෝ විරෝධතා උද්ඝෝෂනයට සහභාගී වූ හ. රැකියා ස්ථිර කිරීම පිලිබඳ ව නිශ්චිත පොරොන්දුවක් ආයතන බලධාරීන්ගෙන් ලැබෙන තුරු අරගලය පෙරට ගෙන යන බවට වර්ජිත කම්කරුවෝ සපථ කලහ.

එහෙත් වෘත්තීය සමිතිය මුල සිට ම අනුගමනය කලේ කම්කරුවන් දුර්මුඛ කර ආපසු වැඩට යැවීමේ පිලිවෙතකි. ටෙලිකොම් මිනිස්බල කම්කරුවන්ගේ වර්ජනය සෙසු කම්කරුවන්ගේ හුදකලා වූ අරගලයකට සීමාකල සමිති නායකයෝ ඒ වෙනුවට බුද්ධ පූජා සහ දෙවියන්ට පොල් ගැසීම වැනි නිස්සාර, පසුගාමී හා මිථ්‍යාමය වැඩ වලට කම්කරුවන් යොමු කලහ.

කම්කරු ඇමති සමග සාකච්චා “සාර්ථක මට්ටමක” පැවති බව තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමයේ සම ලේකම් ජේ.බී. ගුරුසිංහ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේය. කෙසේ වුව ද මිනිස්බල කම්කරුවන් ටෙලිකොම් ආයතනය ට අනුයුක්ත කරන නිශ්චිත දිනයක් ඇමති ප‍්‍රකාශ කර නැත. දිනයක් තීන්දු කෙරෙන්නේ මැයි 10 වෙනිදා ටෙලිකොම් පාලනාධිකාරය සමග පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව බව ගුරුසිංහ කීවේ ය. එමෙන් ම පරිගනක පුහුනුව වැනි “අවශ්‍ය සුදුසුකම්” සපුරා නැති අය අනුයුක්ත කෙරෙන්නේ එම සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව ය. ආබාධිත සේවකයන් සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීම පිනිස ආන්ඩුවේ ආර්ථික කමිටුවට කෙටුම් පතක් ඉදිරිපත් කරන බව ද කම්කරු ඇමති කියා ඇත.

සියලු ම ආයතනවල මිනිස්බල කම්කරුවන්ගේ රැකියා ස්ථිර කරන බවට 2015 ජනාධිපති වරනය ආසන්නයේ වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පොරොන්දු විය. ජනාධිපතිවරනයෙන් පසුව ඉදිරිපත් කල අන්තර්කාලීන අයවැයේදී පොරොන්දුව සංශෝධනය වී සේවා කාලය වසර 7 ක් වූ සියලුදෙනාම ස්ථිර කරන බවට යෝජනා කෙරිනි. එහෙත් ඒ පොරොන්දු කිසිවක් ඉටු වී නැති හෙයින් කම්කරු ඇමතිගේ පොරොන්දුව කෙරෙහි ටෙලිකොම් කම්කරුවන් තුල පවතින්නේ බරපතල අවිශ්වාසයකි.

2006 සිට වරින් වර කිහිප වතාවක් වෘත්තීය සමිති විසින් විරෝධතා කැඳවුම් කල නමුත් ඒ හැම විටම ඔවුන් කලේ ආන්ඩුවේ සහ ටෙලිකොම් පාලනාධිකාරයේ පොරොන්දු වලට යටත් කොට කම්කරුවන්ගේ අරගලය දිය කර දැමීම ය.

එමෙන් ම ටෙලිකොම් ආයතනය තුල ඉංජිනේරු සංගමය, විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති ගනනාවක් මිනිස්බල කම්කරුවන් ටෙලිකොම් ආයතනයට අනුයුක්ත කිරීමට විරුද්ධව සිටිති. ආයතනයේ බඳවා ගැනීමේ පටිපාටියට පිටින් එනම් නියමිත අධ්‍යාපන සුදුසුකම්, පලපුරුද්ද සහ වයස ආදිය සැලකිල්ලට නොගෙන මෙම සේවකයන් අනුයුක්ත කිරීමට කටයුතු කරන බැවින් තමන් ඊට විරුද්ධ වන බව ටෙලිකොම් වෘත්තීය සමිති සන්ධානයේ හා සමස්ත ලංකා ටෙලිකොම් සේවා සංගමයේ සභාපතිඅනුර පෙරේරා ලෝක සමාජවාදී වෙබ් අඩවියට උජාරුවෙන් ප‍්‍රකාශ කලේ ය.

ඔහු සඳහන් කරන පටිපාටිය පිටින් ටෙලිකොම් සමාගම සියලුම අංශවල සේවය අඩු වැටුප් සහ අඩු පහසුකම් සහිතව මෙම කම්කරුවන්ගෙන් ලබා ගනී. නමුත් ශ‍්‍රමය රුදුරු ලෙස සූරාකන නුතන වහල් ක‍්‍රමයක් බඳු මිනිස්බල සමාගම් විසින් පවත්වාගෙන යන ජාවාරමට හෝ ඒ යටතේ එම කම්කරුවන් මත ක‍්‍රියාත්මක වන අයහපත් සේවා කොන්දේසිවලට හෝ විරුද්ධව කල සටනක වාර්තාවක් මෙම සමිති වලට නැත. ධනපති රාජ්‍යයේ සහ හාම්පුතුන්ගේ අත්ගෙඩි ලෙස ක‍්‍රියාත්මක වන වෘත්තීය සමිති ශ්‍රේනිවාදී ආකාරයට කම්කරුවන් කා කොටවති. එමගින් සිය අයිතීන්ට එල්ල වන ප‍්‍රහාරවලට එරෙහිව ඒකාබද්ධ අරගලයක් ඇතිවීම ඔව්හු දැනුවත් ව ම වලක්වති.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් මානව ප‍්‍රාග්ධන විසඳුම් සමාගම යටතේ කොන්ත‍්‍රාත් පදනම මත මෙම කම්කරුවන් වසර 5-15 අතර කාල පරාසයක සේවය කරන නමුත් මෙතෙක් ඔවුන්ගේ සේවය ස්ථිර කර නැත. පවතින කම්කරු නීති වලට අනුව දින 180 අඛන්ඩ සේවයක් සම්පූර්න කරන රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ කම්කරුවෙකුගේ සේවය ස්ථිර කල යුතු ය. එමෙන් ම ටෙලිකොම් ආයතනයේ ස්ථිර කම්කරුවන් ට හිමි වාර්ෂික නිවාඩු, අනතුරු දීමනා, සෞඛ්‍ය සහ නය පහසුකම් ද ඔවුන් ට අහිමිය.

මෙම කම්කරුවන්ට ලැබෙන්නේ දෛනික වැටුපකි. මාසයකට දින 25 වැඩ කල යුතු ය. ලෝක සමාජාවාදී වෙබ් අඩවියට කතා කල කම්කරුවන් කිහිප දෙනෙකු ම සිය දුෂ්කර සේවා කොන්දේසි ගැන විස්තර කලහ.

48 වියැති දෙදරු පියෙකු වන ඩී.එම්.සී. රාජපක්ෂ සේවයට බැඳී ඇත්තේ 2006 වසරේ දී ය. “මාසයකට දින 25 ක් වැඩ කරන්න ඕන. අතිකාල පැය 100 ක් කලොත් මාසේ පඩිය රුපියල් 35,000 පමන වෙනවා. අතිකාල තියෙන්නේ කොලඹ ඇතුලත ප‍්‍රදේශවල පමනයි. මාසේ පඩිය රුපියල් 25,000 ට වැඩි උනොත් උපයන විට ගෙවීමේ බද්දට මුදලක් කපා ගන්නවා. ස්ථිර සේවකයන් ට වගේ නය හෝ වෙනත් පහසුකම් අපට නැහැ. පඩිය අඩු නිසා බැංකුවකින් නයක් ගන්නත් බැහැ. ජීවත් වෙන්නේ හරි ම අමාරුවෙන්.”

2008 වසරේ දී සේවයට බැඳී ඇති චතුරංග :“මගේ සාමාන්‍ය මාසික වැටුප රුපියල් 24,000 පමන වෙනව. කෑම නැතිව බෝඩිමට මාසෙකට රුපියල් 3000 ක් ගෙවනවා. කැන්ටිමෙන් අඩු මුදලට කෑවත් දවසකට රුපියල් 200 වැඩිය යනවා. මෑන් පවර් කිව්වම මංගල යෝජනාවක් වත් හරි යන්නේ නැහැ. මෑන් පවර් කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පලමුවෙන් ම අරගලය පටන් ගත්තේ අපි. නමුත් මෙතෙක් කිසිම ජයග‍්‍රහනයක් ලැබිල නැහැ”

තවත් කම්කරුවෙකු වන ජීවන්ත ආන්ඩුවේ බොරු පොරොන්දු ගැන කෝපයෙන් කතා කලේ ය. “අපි 2006 ඉඳන් අරගල කරලා තියෙනව. ඒ හැම අවස්ථාවක ම බොරු පොරොන්දු දීලා බලයේ හිටපු ආන්ඩු අපිව රැවැට්ටුව. 2006 රාජපක්ෂ ආන්ඩුව පොරොන්දු වුනා දවස් 180 සේවා කාලය සම්පූර්න අය ස්ථිර කරන ව කියල. ජනාධිපතිවරනයට කලින් 2015 ජනවාරි මාසේ කරපු උද්ඝෝෂනයේ දි රනිල් වික‍්‍රමසිංහ, සුජීව සේනසිංහ සහ රාජිත සේනාරත්න ඇවිල්ලා ඒ විදිහෙම පොරොන්දුවක් දුන්නා. ඒ නිසා අපි යහපාලන ආන්ඩුවට චන්දෙ දුන්න. නමුත් පොරොන්දු ඉෂ්ඨ වුනේ නැහැ.”

ඊනියා මිනිස්බල සමාගම් හරහා කම්කරුවන්ගේ ශ‍්‍රමය සුරා කෑම ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය යටතේ සෑම රටක ම ධනපති පාලක පන්තීන් සහ සමාගම් විසින් ක‍්‍රියාවට දමා ඇති පිලිවෙතකි. ශ‍්‍රී ලංකාව තුල රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික ආයතන තුල ද ක‍්‍රියාවට දමා ඇත්තේ එම පිලිවෙත ය.

එය ධනපති සමාගම් වල ලාබ රැක ගැනීමේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ රාජ්‍ය වියදම් කපා හැරීමේ සමස්ත කම්කරු පන්තියට එරෙහි ආර්ථික හා සමාජ ප‍්‍රහාරවල ද කොටසකි. සියලු සේවක සංගමයේ නායකයන් කියන පරිදි හුදෙක් ටෙලිකොම් විධායක නිලධාරියා ගේ විරුද්ධත්වය සම්බන්ධ කාරනාවක් නොවේ.

ධනපති ආන්ඩුවට සුදුහුනු ගාමින් කම්කරුවන්ගේ විරුද්ධත්වය හුදෙක් ටෙලිකොම් කලමනාකරනය දෙසට යොමු කිරීම, තම රැකියා ස්ථිර නොකිරීමේ සැබෑ හේතුන් කම්කරුවන්ගෙන් වසන් කිරීමේ සමිති නායකයන් ගේ දැනුවත් ද්‍රෝහී ක‍්‍රියා කලාපයේ කොටසකි. සියලු සේවක සංගමය ඇතුලු ටෙලිකොම් සමිතිවලින් බහුතරය මෛත‍්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි සංවිධානයන් ය. ඊට පෙර ඔවුන් මහින්ද රාජපක්ෂ ආන්ඩුවට පන්දම් ඇල්ලූහ.

ශ‍්‍රී ලංකාවේත්, පොදුවේ ජාත්‍යන්තරවත් සියලුම වෘත්තීය සමිති අද ක‍්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ හා තම රටේ මහ ව්‍යාපාරිකයන්ගේ සහ ධනපති රාජ්‍යයේ උපකරන ලෙසය. රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීම සහ පුද්ගලීකරනය යටතේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය 1991 එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව විසින් රාජ්‍ය සංස්ථාවක් බවට හා අනතුරුව ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ සභාග ආන්ඩුව විසින් 1997 දී පුද්ගලික සමාගමක් බවට පරිවර්තනය කෙරින. මෙම ක‍්‍රියාවලියේ දී සිය අයිතීන් කප්පාදුවීමට එරෙහිව ටෙලිකොම් සේවකයන්ගෙන් පැන නැගුන විරෝධය නිස්සාර විරෝධතාවලට කොටු කල ටෙලිකොම් සමිති නායකයෝ කම්කරුවන්ගේ අරගලය දියකර දැමූහ.

Share this article: