ට‍්‍රම්ප්ගේ නාමයෝජනා මුල්කරගෙන රිපබ්ලිකන් පක්ෂයේ බෙදීම් ගැඹුරු වෙයි

Republican split deepens over Trump nomination

පැටි‍්‍රක් මාටින් විසිනි, 2016 මැයි 9

රිපබ්ලිකන් පක්ෂයේ හිටපු නායකයින්, ජනාධිපති අපේක්ෂකයා වීමට නියමිතව ඇති ප‍්‍රකෝටිපති දේපොල ජාවාරම්කාර ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට තමන් සහාය නොදෙන බව ප‍්‍රකාශ කර ඇත. ඔවුන්ගේ ප‍්‍රකාශ සලකුනු කරන්නේ, සියවසකටත් වැඩි කාලයක් තිස්සේ දේශපාලන ඒකාධිකාරයක් පවත්වාගෙන ගිය මහා ව්‍යාපාරිකයේ ද්වි පක්ෂ ක‍්‍රමය බිඳ දමන, දේශපාලන අර්බුදයේ පුපුරන සුලු ස්වාභාවයයි.

ජනාධිපති තනතුර වෙනුවෙන් තමන් ට‍්‍රම්ප් පිලිගැනීමට “මේ අවස්ථාවේ සූදානම් නැති” බව ව්‍යවස්ථාදායක සභාවේ කථානායක පෝල් රයන් පසුගිය 5දා නිවේදනය කිරීමෙන් පටන්ගෙන, ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් හා ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යන ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා ද 2012 ජනාධිපතිවරනයේ අපේක්ෂක මිට් රොම්නි, මෙවර රිපබ්ලිකානු අපේක්ෂකත්ව තරගයට ඉදිරිපත්වූ ගනනාවක් ද තවත් ඡන්දයෙන් පත්ව සිටින නිලධාරීන් සංඛ්‍යාවක් ද එම ලැයිස්තුවට ඇතුලත් වෙති.

තමන් ට‍්‍රම්ප් ප‍්‍රතික්ෂේප කරන්නේ කොන්දේසි සහගතව බව පවසන අතර රයන්, දෙදෙනා අතර සාකච්ඡාවක් මැයි 12දාට යොදාගෙන ඇති අතර, රිපබ්ලිකානු අපේක්ෂකයා ප‍්‍රතික්ෂේප කිරීම පිලිබඳව අනෙකුත් අය වඩා නිශ්චිත තීරනයක් ගෙන ඇත. හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා වෙනුවෙන් නිකුත් කල ප‍්‍රකාශයකදී ඔවුන් ට‍්‍රම්ප්ට අනුමැතිය පල නොකිරීමෙන් ඇඟවුම් කර ඇත්තේ, නොවැම්බර් 8දා මැතිවරන ව්‍යාපාරය නිමාවන තෙක් ඒ පිලිබඳව කිසිවක් නොපවසන බවයි.

ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ බාල සොහොයුරා හා රිපබ්ලිකානු අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටි එහෙත් අසාර්ථකවූ ෆ්ලොරිඩාවේ හිටපු ආන්ඩුකාර ජෙබ් බුෂ්, 6දා ෆේස් බුක් පිටුවේ ප‍්‍රකාශයක් කර තිබුනි. එහිදී ඔහු, “ජනාධිපතිවරයෙකුට අවශ්‍යයන්ම තිබිය යුතු ඉවසීම හා ශක්තිය ඩොනල්ඩ් ට‍්‍රම්ප් තුලින් ප‍්‍රකාශ නොවන්නේ” යයි පවසා තිබුනි. “ඔහු ව්‍යවස්ථාවට ගරු කරන බව පෙන්වා නොමැත. ඔහු දිගටම කොන්සවේටිව් වාදියෙක් ද වී නොසිටියේය. මම ඔහුගේ අපේක්ෂකත්වයට සහාය නොදැක්වීමට නොයෙකුත් හේතු තිබේ.” යයි ප‍්‍රකාශ කර තිබුනි.

ජෙරුසලමේ හීබෘ විශ්වවිද්‍යාලයකට ආධාර පිනිස 5දා රාත‍්‍රියේ වොෂින්ටන් ඩීසීහි පැවැත්වූ සම්භාෂනයකට සහභාගීව සිටි මිට් රොම්නිගෙන් තමා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපති තරගයට ඉදිරිපත් වන්නේදැයි ඇසූ විට පැවසුවේ, “තමන් ඒ ගැන උනන්දු නොවන බවයි. මේ අවස්ථාවේ ප‍්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින්ගෙන් කවරෙකුටවත් සහාය නොදැක්වීමට අදහස් කරගෙන සිටිමි. අප දැන් සිටින්නේ කොතැනක ද යන්න ගැන මම මවිතයට පත්ව සිටිමි, මම හිතන්නේ අපට මීට වඩා හොඳ තේරීමක් තිබිය යුතුය කියලාය. එසේම තත්වය කෙසේ හෝ හොඳ අතට හැරෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. අපි ඉන්නා තැන සිට ලෙහෙසි පිලිතුරක් දිය හැකි වෙතැයි මම සිතන්නේ නැත” යනුවෙන් ඔහු පවසා තිබුනි.

ජෙබ් බුෂ් මෙන්ම මෙවර රිපබ්ලිකානු අපේක්ෂකත්ව තරගයට ඉදිරිපත්ව සිටි, පසුගිය වසරේදී අවසානයේ තේරෙන අපේක්ෂකයාට සහාය දෙන්නෙමැයි සපථ කල, දකුනු කැරොලිනාහි සෙනේට් සභිකයෙක් වන ලින්ඩ්සේ ග්‍රෙහැම් 6දා පැවසුවේ, රටේ ප‍්‍රධානියා වීමට ට‍්‍රම්ප් සුදුසු තත්වයක නොසිටින බවය. “මම හිතන්නෙ නෑ ඔහු විශ්වාස කටයුතු රිපබ්ලිකන් කොන්සවේටිව් වාදියෙකු කියලා. මම හිතන්නෙ නෑ ඩෙනල්ඩ් ට‍්‍රම්ප්ට රටේ ප‍්‍රධානියා වීමට තරම් තීක්ෂන බවක් හා ඉවසීමක් ඇතැයි කියා. මම හිතන්නෙ ඔහු බොහෝ සුලු පිරිසක් පමනක් ගොස් ඇති තැන් වලට යන බව හා මම ඔහු සමග නොයන බවත්ය.”

ඊටත් වඩා හෙලාදැකීමක් නිකුත් වූයේ, ඔහියෝ ආන්ඩුකාර ජෝන් කසික්ගෙනි. පොරොන්දුවූ රිපබ්ලිකානු ජාතික සමුලුවේ නියෝජිතයෙකු වීමට සිටි, නිව්හැම්ෂයර්හි හිටපු සෙනේට් සභිකයෙකු වූ ගෝඩන් හම්ප‍්‍රි ද එවැන්නෙකි. “පැහැදිලිවම මම ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට සහාය නොදක්වමි. මම හිතන්නෙ ඔහු සමාජ පිලිලයක් කියලයි.” හෙතෙම පැවසීය.

2008 රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂකයා වූ ඇරිසෝනාහි සෙනේට් සභික ජෝන් මැකේන්, තමා නොවැම්බර් මැතිවරනයේදී ට‍්‍රම්ප්ට ඡන්දය දෙනු ඇති නමුත්, ක්ලීව්ලන්ඩ්හි පැවැත්වෙන ජූලි සමුලුවට සහභාගී නොවන බව පැවසීය. මෙය වනාහි ට‍්‍රම්ප්ට ප‍්‍රසිද්ධියේ විරුද්ධ විය නොහැකි, ඔහු අපේක්ෂකයා ලෙස පදවිප‍්‍රාප්ත වීම සමග අනන්‍ය වීමට අකමැති අයගේ පොදු ආස්ථානයයි.

ජාතික රිපබ්ලිකානු සෙනේට් සභික කමිටුවේ විධායක අධ්‍යක්ෂ වෝඩ් බේකර්, අනුග‍්‍රාහකයින් හා බලපෑම් දමන්නන් හමුවේ පැවසුවේ, නොවැම්බරයේදී තමන්ගේ වාසියට හේතුවන්නේ යයි ඒත්තු ගන්නා රිපබ්ලිකානු අපේක්ෂකයින්, මෙම සමුලුව මහැරිය යුතු බවය.

ව්‍යවස්ථාදායකයේ සිටින අතිශයින්ම දක්ෂිනාංශික රිපබ්ලිකානු සාමාජිකයින්, ට‍්‍රම්ප් කෙරේ තම විරුද්ධත්වය පල කොට ඇත. පුලුල් දැක්මක් ඇති බව කියාගන්නා මිචිගන්හි ජස්ටින් ඇමාෂ් ද අන්තවාදී ක‍්‍රිස්තියානි මූලධර්මවාදීන් සමග පෙල ගැසී සිටින, ටෙක්සාස් සෙනේට් සභික ටෙඩ් කෘස්ට සහාය දුන්, රුදුරු සංක‍්‍රමන විරෝධී අධානග‍්‍රාහකයෙක් වන ඉයෝවාහි ස්ටීව් කිං ද ඒ අතර වෙති.

එනමුත් ට‍්‍රම්ප්ට ප‍්‍රසිද්ධියේම විරුද්ධත්වය දක්වන, වඩාත් කැපී පෙනෙන රිපබ්ලිකන් පක්ෂ නායකයින් ඇත්තේ සුලු පිරිසකි.

රිපබ්ලිකන් ජාතික කමිටුවේ සභාපති රේන්ස් පෙරිබාස් හා සෙනේට් සභාවේ බහුතර නායක මිච් මැක්කොනල් යන දෙදෙනාම වියහැකි අපේක්ෂකයා ලෙස ට‍්‍රම්ප්ට සහාය දක්වන බව කියා ඇත. හිටපු උප ජනාධිපති ඩික් චේනි, 1996 රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂක රොබට් ඩෝල්, ඉන්ඩියානාහි මයික් ස්පෙන්ස්, නෙබ්‍රෙස්කාහි පීට් රිකට්ස් වැනි ජනාධිපති අපේක්ෂකත්ව තරගයේදී ට‍්‍රම්ප්ගේ එදිරිවාදී අපේක්ෂකයින්ට සහාය දැක්වූ අය ද ආන්ඩුකාරවරු ද ඊට එක්ව සිටිති.

පසුගිය සැප්තැම්බරයේදී ජනාධිපති අපේක්ෂක තරගයෙන් ඉවත්ව, ට‍්‍රම්ප්ට විරුද්ධව පෙල ගැසෙන ලෙස සිය ප‍්‍රතිවාදීන්ගෙන් ඉල්ලා සිටි විස්කොන්සින් ආන්ඩුකාර ස්කොට් වෝකර්, ඩිමොක‍්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට විරුද්ධව තමා ට‍්‍රම්ප්ට සහාය දෙන බව දැන් පවසයි.

දරුනු වචන වලින් ට‍්‍රම්ප් හැඳින්වූ ඔහුගේ විරුද්ධවාදීන් දැන් ඔහු අනුමත කරමින් සිටියි. “උඩුබුරලන කානිවල්කාරයෙක්” හා “කොන්සවේටිව්වාදයේ පිලිකාවක්” ලෙස පසුගිය වසරේදී ට‍්‍රම්ප් හඳුන්වා දුන්, ඔහුගේ තරගකාරයෙක්ව සිටි හිටපු ටෙක්සාස් ආන්ඩුකාර නික් පෙරී එවැන්නෙකි. 05දා ඔහු ට‍්‍රම්ප්ට අනුමැතිය පල කරමින් කියා සිටියේ, තමා ඔහුගේ තරග සහචරයා වීමට ද ඉඩ ඇති බවයි.

තමා ජනාධිපති අපේක්ෂකත්ව තරගයෙන් ඉවත්වීමට පෙර ට‍්‍රම්ප්, “භයානක, ආත්මරාගියෙක් හා මානසික රෝගියෙක්” ලෙස හැඳින්වූ ලූවිසියානාවේ ආන්ඩුකාර බොබි ජින්ඩාල්ට දැන් ඔහු අනුමත කිරීමට එය බාදාවක්ව නැත.

රිපබ්ලිකානු අපේක්ෂකත්ව තරඟයේ තවත් අසාර්ථක වූ අයෙක් වන කෙන්ටුකි සෙනේට් සභික රුන්ඩ් පෝල්, ට‍්‍රම්ප් හැඳින්වූයේ, “රැවටිලිකාර ආත්මරාගියෙක් හා තැඹිලිපාට මුහුනක් ඇති බැලුම් බෝලයක්” ලෙසය. “කුනු බාල්දියක් ජනාධිපතිකමට ඊට වඩා සුදුසු වීමට තිබුනි” යයි ද ඔහු පවසා තිබුනි. පසුගිය මාසයේ ඔහු පැවසුවේ ට‍්‍රම්ප් ජනාධිපති අපේක්ෂකයා වුනොත් තමා ඔහුට සහාය දෙන බවයි.

රිපබ්ලිකන් භේදයේ දෙපැත්තෙන්ම හමන්නේ දෙපිටකාට්ටුවේ හා නරුමත්වයේ දුගඳයි. එහෙත් ට‍්‍රම්ප් පිස්සෙක් හෝ විකටයෙක් ලෙස හැඳින්වීමට කිසිම සම්බන්ධයක් නැති, සැලකිය යුතු දේශපාලන ගැටුම් ද දැකිය හැකිය.

විදෙස් පිලිවෙත සම්බන්ධයෙන් ප‍්‍රකෝටිපතියාගේ අච්චාරු අදහස් පිලිබඳව පවතින්නේ සැලකිය යුතු විරුද්ධත්වයකි. ඒවා හුදෙකලාවාදයේ සම්මිශ‍්‍රනයක් ද ආන්තික මිලිටරිවාදය ද අඩංගු කර ගනියි. ඔහු ආර්ථික ජාතිකවාදය ප‍්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වන, වෝල් වීදියේ හා මිලිටරි ඔත්තු සේවා අංශවල ප‍්‍රමුඛ කොටස් දකින්නේ, ඩිමොක‍්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් සිය අවශ්‍යතා පිලිබඳව වඩා විශ්වාසනීය අපේක්ෂිකාව ලෙසය.

ව්‍යාපාරික ඇමරිකාවේ බලගතු කොටස්, ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් යන දෙපාර්ශවයේම පාලනයන් යටතේ, විශාලතම ඇමරිකානු සංගත හා බැංකුවල අවශ්‍යතාවන්ට වාසිදායක ලෙස, එලඹගෙන ඇති වෙලඳ ගිවිසුම් වලට එල්ල කරන ට‍්‍රම්ප්ගේ ප‍්‍රහාර ප‍්‍රතික්ෂේප කරති.

මේ කොටස් අතර, බි‍්‍රතාන්‍ය යුරෝපීය සංගමයෙන් ඉවත් විය යුතු බවට ට‍්‍රම්ප් කරන ප‍්‍රකාශ පිලිබඳව ද ඇත්තේ නොසතුටකි. එසේම ජාතික නයෙන් කොටසක් පමනක් ගෙවීම පිලිගන්නා ලෙස, නය හිමියන්ට ඇමරිකානු ආන්ඩුව බලපෑම් කල යුතුය යන ට‍්‍රම්ප්ගේ අවධාරනය ද ඔවුහු ප‍්‍රතික්ෂේප කරති. ඒ කාරනා දෙක සම්බන්ධයෙන්ම වෝල් වීදිය දැඩි ලෙස විරුද්ධ වන්නේ, සිය මූල්‍ය අවශ්‍යතාවන්ට ඉන් සිදු විය හැකි විනාශකාරී හානිය නිසාය.

Share this article: