ඩීසයිඩ් වතු කම්කරුවෝ තම අරගලය ඉදිරියට ගෙනයාමට කම්කරු කි‍්‍රයාකාරී කමිටුවක් පිහිටුවා ගනිති

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 නොවැම්බර් 03

රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා පසුගිය සැප්තැම්බර් 26 දා සිට විරෝධතා ව්‍යාපාරයක නිමග්නව සිටින දහස් සංඛ්‍යාත වතු කම්කරුවන් අතරින් කොටසක් වන මස්කෙලිය ග්ලෙනුගී වතුයායට අයත් ඩීසයිඩ් වත්තේ කම්කරුවෝ, පසුගිය 26 දා, තම අරගලය ඉදිරියට ගෙනයාම සඳහා කම්කරු-කි‍්‍රයාකාරී කමිටුවක් පිහිටුවා ගත්හ.

ද්‍රෝහී වෘත්තීය සමිති නිලධරය තම අරගලයට එරෙහිව, දෛනික වැටුප රුපියල් 730 ක් වූ ඵලදායීතාවට ගැටගැසුනු සාමූහික ගිවිසුමකට අත්සන් තැබීමෙන් අනතුරුව, අරගලය තමාගේ ම අතට ගැනීම සඳහා ඩීසයිඩ් කම්කරුවන් ගත් මෙම පියවර වතු කම්කරුවන්ට පමනක් නොව සියලු කම්කරු කොටස් වලට වැදගත් මෙන්ම තීරනාත්මකය.

ශී‍්‍ර ලංකාවේ වඩාත්ම පරිපීඩිත කම්කරු ඛන්ඩය වන වතු කම්කරුවන්, පසුගිය වසර කීපය පුරා තම වැටුප් සහ ජීවන කොන්දේසි වලට එල්ල කෙරුනු සහ එල්ල කිරීමට යත්න දැරූ ප‍්‍රහාරයන්ට එරෙහිව නිරන්තරව අරගලයක නිමග්නව සිටියහ. විශේෂයෙන්ම, ලෝක ආර්ථික සහ දේශපාලන අර්බුදය මධ්‍යයේ වඩාත් හැකිලෙමින් පවත්නා ජාත්‍යන්තර තේ වෙලඳපොලෙහි තරගකාරිත්වයට මුහුනදීම සඳහා ශී‍්‍ර ලංකාවේ වතු සමාගම් විසින්, තම අර්බුදය කම්කරුවන් මත පැටවීම සඳහා සැලසුම් කෙරුනු ඵලදායීතාව ඉහල නැංවීමේ සෑම පියවරයකටම එරෙහිව කම්කරුවෝ නැගී සිටියහ.

සමාගම්කරුවන්ගේ මෙම රුදුරු සැලසුම් කි‍්‍රයාවට නැංවීම සඳහා සමස්ත සමිති නිලධරය කම්කරුවන්ට එරෙහි කාර්මික පොලීසියක් ලෙස විවෘතවම වැඩ කරමින් සිටින ආකාරය කලක සිට නිරීක්ෂනය කරමින් සිටි කම්කරුවන් අතර වෘත්තීය සමිති කෙරෙහි වැඩෙමින් පැවතියේ බලගතු විරෝධයකි.

අතීතයේදී මෙන්ම, ලංකා කම්කරු කොන්ග‍්‍රසය (සීඩබ්ලිව්සී), ලංකා ජාතික වතු කම්කරු සමිතිය (එල්ජේඊඩබ්ලිව්යූ) සහ ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ජේපීටීයූසී) ගිවිසුමට අත්සන් තැබූහ. මේ අතර, ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු කොන්ග‍්‍රසය (ඩීඩබ්ලිව්සී) ගිවිසුමට තම සහයෝගය පල කලහ. එන්යූඩබ්ලිව්, ඩීඩබ්ලිව්සී, යූපීඑෆ් සහ එල්ජේඊඩබ්ලිව්යූ වත්මන් ආන්ඩුවේ කොටස්කරුවන් වන අතර, සීඩබ්ලිව්සී සහ ජේපීටීසීයූ පෙර පැවති ආන්ඩුවලට සහාය දුන්හ.

පසුගිය සාමූහික ගිවිසුම කල් ඉකුත් වී ගත වූ මාස 18 ක දීර්ඝ කාලය තුල, සමිති නිලධරය, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව සමග එක්ව, වැසුනු කාමර තුල සමාගම් සමග කල සාකච්ඡාවන්හි පූර්න අන්තර්ගතය කුමක්ද යන්න කම්කරුවන් නොදැන සිටි නමුත්, මෙම ති‍්‍රත්වය තමාට එරෙහිව කුමන්ත‍්‍රනයක යෙදී සිටින බැව් කම්කරුවෝ අවබෝධ කර ගනිමින් පැවතියහ. පසුගිය සැප්තැම්බර් 26 දා සමිති නිලධරයට පිටින් මෙම අරගලය පුපුරා ගියේමත් මෙහි ප‍්‍රතිඵලයක් ලෙසිනි.

මෙම අවබෝධය වර්ධනය කිරීමේ ලා මූලික සහ තීරනාත්මක කි‍්‍රයා කලාපය ඉටුකලේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) යි. ගිවිසුම අත්සන් කිරීමත් සමග නිලධරයට එරෙහිව පුපුරා ගිය විරෝධය, සමිතිවලින් ඉවත්වීමෙන් නතර නොකොට, වෘත්තීය සමිති වලින් මුලුමනින්ම ස්වාධීන වූ නව සංවිධාන රූපයන් ගොඩනගා ගනිමින් අරගලය තමාගේම අතට ගැනීම සඳහා ඉදිරියට එන ලෙස සසප කල කැඳවුමට කම්කරුවන් අතරින් ලැබුනේ වැදගත් ප‍්‍රතිචාරයකි. ඩීසයිඩ් කම්කරු-කි‍්‍රයාකාරී කමිටුව එහි සෘජු ප‍්‍රතිඵලයකි.

කමිටුව ගොඩ නැගුනේමත් සසප සාමාජිකයන් ඩීසයිඩ් කම්කරු කන්ඩායමක් සමග කල සාකච්ඡා වට කීපයකින් පසුවයි. වෘත්තීය සමිතිවල පරිහානියේ ඓතිහාසික මූලයන් පිරික්සමින් එම යල්පිනූ ප‍්‍රතිගාමී උපකරනයට එරෙහිව සහ එයින් මුලුමනින්ම ස්වාධීනව ගොඩ නගන නව සංවිධාන රූපය වන කම්කරු-කි‍්‍රයාකාරී කමිටු වල ප‍්‍රජාතන්තී‍්‍රය යාන්ත‍්‍රනය සහ ඒවායේ දේශපාලන කි‍්‍රයාමාර්ගයන් පදනම් විය යුතු ඉදිරි දර්ශනය ආදී වැදගත් ගැටලු පැහැදිලි කර ගැනීමට මෙම සාකච්ඡාවන්හි දී විශේෂ ප‍්‍රයත්නයක් දැරුනි.

මෙම සාකච්ඡාවන් තුලින් පෙරට පැමිනි දසදෙනෙකුගෙන් පමන යුත් කන්ඩායමක් කමිටුව පිහිටුවා ගැනීම සඳහා මූලිකත්වය ගත්හ. කමිටුවේ සභාපතිවරයා ලෙස, සසප දේශපාලන මන්ඩල සභික එම්.දේවරාජා ඒකමතිකව පත් කෙරුනු අතර ලේකම් ඇතුලු අනෙකුත් නිලයන් ඩීසයිඩ් කම්කරුවන් අතරින්ම තෝරා පත්කර ගැනුනි.

අනතුරුව කෙරුනු සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් ලෙස, සමස්ත වතුකම්කරුවන්ට කෙරෙන කැඳවුමක් කෙටුම්පත් කෙරුනු අතර අවසානයේදී එම කැඳවුම ඒකච්ඡන්දයෙන් සම්මත විය.

ගිවිසුමෙහි රුදුරු බව සහ එම ප‍්‍රහාර පරාජය කිරීම සඳහා කි‍්‍රයාකාරී කමිටුවල අවශ්‍යතාව වඩාත් අනාවරනය වෙමින් පවතී. ගිවිසුම අත්සන් කල ඔක්තෝබර් 18 වන දාට පසු දිනයේ ම සමාගම්කරුවෝ වැඩ වේගවත් කිරීම පටන් ගත්හ. ආගරපතන හෙන්ෆෝල්ඩ් වත්තේ හෙන්ෆෝල්ඩ් කොටසේ දලු ඉලක්කය කිලෝග‍්‍රෑම් 16 සිට 18 දක්වා ද අග‍්‍රා කොටසේ ඉලක්කය කිලෝග‍්‍රෑම් 16 සිට 22 දක්වා ද ඊයේ සිට ඉහල නංවා ඇත. පසුගිය 22 සෙනසුරාදා ඩීසයිඩ් වත්තේ සේවයට පැමිනි පිරිමි කම්කරුවන්ට එදින වැඩදීම පාලකයන් විසින් ප‍්‍රතික්ෂේප කෙරුනි.

ගිවිසුමට අනුව, අදාල වත්තේ සමිති නායකයන්ගේ එකඟතාව මත ඉලක්කයන් ඉහල දැමිය හැකිවන අතර නිසැකවම අනෙක් වතු වල සමිති නායකයන් කලමනාකාරිත්වය සමග එක්ව මෙම ඉලක්කයන් කොඳු කැඩෙන මට්ටමට ඉහල නංවනු ඇත.

මෙම ප‍්‍රහාරයන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ පිලිවෙත් වලින්ම ගලා එන්නක් බව පසුගිය අඟහරුවාදා අගමැති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවට කල ඊනියා ආර්ථික ප‍්‍රකාශයෙන් වඩාත් පැහැදිලිි වෙයි. තේ සහ රබර් වල මිල පහත වැටීමෙන් ශී‍්‍ර ලංකාවේ කෘෂි අපනයනයන් කඩා වැටී ඇති බැව් පැවසූ වික‍්‍රමසිංහ, වැවිලි ක්ෂේත‍්‍රයේ සමහර සමාගම් හොඳින් කි‍්‍රයාත්මක වන නමුදු අනෙක් ඒවා එසේ නොවන බව පැවසීය. ඔහු තවදුරටත් කියා සිටියේ, කාර්යක්ෂම ව්‍යවසායන් හඳුන්වා දීමෙන් සහ නව ප‍්‍රාග්ධනය ගලා ඒමට සැලැස්වීමෙන් ප‍්‍රාදේශීය වතු සමාගම් ප‍්‍රතිව්‍යුහකරනයට ලක් කරන බවයි. මෙහි අරුත වන්නේ ‘හොඳින් කි‍්‍රයාත්මක නොවන වතු’ වසා දැමිය යුතුය, නැතහොත් කම්කරුවන් මරවා වැඩ ගන්නා ‘කාර්යක්ෂම ව්‍යවසායන්ට’ ඒවා පැවරිය යුතුය. ආන්ඩුව සැරසෙන්නේ, සමිති නිලධරයේ පූර්න සහයෝගයෙන් කි‍්‍රයාත්මක කෙරෙන දැවැන්තම ප‍්‍රහාරයකට බව පැහැදිලිය.

කම්කරුවන් මත කොඳු කැඩෙන වැඩ පැටවීමේ සහ දහස් සංඛ්‍යාත වතු කම්කරුවන්ගේ රැකියා විනාශ කර දැමීමේ මෙම සැලසුම් වලට එරෙහිව සටන් වැදීම සඳහා සමාජවාදී පිලිවෙත් මත පදනම්වූ කම්කරු-කි‍්‍රයාකාරී කමිටු පිහිටුවා ගැනීමට, ඩීසයිඩ් කම්කරුවන්මෙන් සෑම වත්තකම කම්කරුවන් පෙරට පැමිනිය යුතුය.

ෆෆෆ

පහත පලවන්නේ ඩීසයිඩ් කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුමයි.

‘අරගලයේ නියුතු වතු කම්කරුවන්ට කෙරෙන කැඳවුමක්

ඵලදායීතාවට ගැට ගැසුනු රුදුරු වැටුප් සූත‍්‍රයකට එකඟතාවය පල කරමින්, වතු වෘත්තීය සමිති, පසුගිය 18 වන දා සමාගම්කරුවන් සමග නව සාමූහික ගිවිසුමකට අත්සන් කිරීමත් සමග, රුපියල් දහසක දෛනික වැටුපක් කේන්ද්‍ර කර ගනිමින් පසුගිය 26 වන දා සිට අප නියැලී සිටින අරගලය ඉතා තීරනාත්මක අවස්ථාවකට එලැඹ ඇත.

සමාගම්කරුවන් සමග සමිති නායකයන් අත්සන් කල ඊනියා සාමූහික ගිවිසුමේ සැබැවින්ම අන්තර්ගත වන්නේ කුමක්දැයි යන්න අප කිසිවෙකු මෙතෙක් නොදනී. මෙම ගිවිසුම වනාහි, සමාගම්, ආන්ඩුව සහ සමිති එකතුව හොර රහසේ සිදු කල කුමන්ත‍්‍රනයක ප‍්‍රතිඵලයකි.

මාධ්‍ය තුලින් කාන්දුවෙන තොරතුරු වලට අනුව නව ගිවිසුමෙන් කම්කරුවෙකුගේ දෛනික වැටුප වැඩි වන්නේ රුපියල් 110 කින් පමනි. ඒ අනුව නව වැටුප රුපියල් 730 කි. මෙහිදී මූලික වැටුප රුපියල් 450 සිට රුපියල් 500 දක්වා වැඩිවෙයි. මිල අනුව ගෙවන කොටස (පීඑස්එස්) රුපියල් 30 හි ම පවතින අතර පැමිනීමේ දීමනාව රුපියල් 140 සිට රුපියල් 60 දක්වා අඩු කෙරෙයි. මෙම පැමිනීමේ දීමනාව ලබා ගැනීම සඳහා කම්කරුවෙකු එක් මසක් තුල වැඩ කරන දින ගනන 25 ඉක්මවිය යුතුය.

මේ අතර රුපියල් 140 ක ඵලදායිතාව දිරිගැන්වීමේ දීමනාවක් අලුතෙන් හඳුන්වා දී ඇත. මෙය ලබාගත හැක්කේ එක් එක් වත්තේ දලු ඉලක්කයන් සපුරාලුවහොත් පමනි. මෙම දලු ඉලක්කයන් එක් එක් වත්තට වෙනස් වන නමුදු, අදාල වත්තේ සමිති නායකයන්ගේ එකඟතාව මත ඉලක්කයන් ඉහල දැමිය හැක.

නව වැටුප් ක‍්‍රමය යටතේ වැඩියෙන් උකහා ගැනෙන ශ‍්‍රම ශක්තිය සමග සසඳන කල මෙය වැටුප් වැඩි කිරීමක් නොව, නිශ්චිතවම වැටුප් කැපීමකි.

සියලු වතු කම්කරුවන් මෙම ගිවිසුම එකහෙලා ප‍්‍රතික්ෂේප කල යුතුය. එමෙන්ම මෙම ගිවිසුමට අත්සන් තැබූ සහ ගිවිසුමෙන් පිටත සිට එයට සහයෝගය දුන් සමස්ත සමිති නිලධරය ප‍්‍රතික්ෂේප කිරීමෙන් සහ හෙලා දැකීමෙන් නොනැවතී එම සමිති වලින් අප බිඳී වෙන්විය යුතුය.

යහපත් ජීවිතයකට සරිලන වැටුප් ඇතුලු අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ගෙනයන මෙම අරගලය අපේ අතට ගත යුතුය. අපේ අරගලය ඉදිරියට ගෙනයාම සඳහා නව සංවිධාන රූපයක් ලෙස කම්කරු කි‍්‍රයාකාරී කමිටුවක් පිහිටුවා ගනිමින් මස්කෙලිය ඩීසයිඩ් වත්තේ අපි ආරම්භකත්වයක් ගත්බව සියලු වතු කම්කරුවන්ට සතුටින් දැනුම් දෙමු.

අපේ කි‍්‍රයාකාරී කමිටුව හරහා අපේ වැටුප් ඉල්ලීම් දිනාගැනීම සඳහා අපට ඉදිරි දර්ශනයක් හා වැඩපිලිවෙලක් තිබිය යුතු ය. වෘත්තීය සමිතිවල, හාම්පුතුන්ගේ හා ආන්ඩුවේ වැඩපිලිවෙල පරාජය කිරීම ඉලක්ක කරගත් දේශපාලන ඉදිරිදර්ශනයක් අපට අවශ්‍ය ය. ක‍්‍රියාකාරී කමිටුව තුල අපේ ඉල්ලීම් දිනාගත හැකි මෙවන් වැඩපිලිවල සාකච්ඡා කොට සම්මත කරගැනීමට අවශ්‍ය ය. එහිදී සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශනය මගින් ඉදිරිපත් කොට ඇති වැඩපිලිවෙල සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

අපේ කි‍්‍රයාකාරී කමිටුව වෘත්තීය සමිති වලින් මුලුමනින්ම ස්වාධීනය. එයට නියෝජිතයන් තෝරා පත්කර ගැනෙන්නේ කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡන්දයෙනි. අපේ ඉල්ලීම් සහ අපේ සටන් කි‍්‍රයා මාර්ග තීන්දු කෙරෙන්නේ කමිටුව තුල සිදු කෙරෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡාවන්ගෙනි.

ඩීසයිඩ් වත්ත අයත් ග්ලෙනුජී වතුයායේ සියලු කම්කරුවන්ට අපේ කි‍්‍රයාකාරී කමිටුවට එක්වන ලෙස අපි ඉල්ලා සිටිමු. එමෙන්ම සහ අනෙකුත් සෑම වත්තකම මෙවන් කමිටු ගොඩ නැගීමට පෙරමුන ගන්නා ලෙස එම වතුවල කම්කරු සහෝදර සහෝදරියන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

මෙම කි‍්‍රයාකාරී කමිටු ඒකාබද්ධ කෙරෙන මධ්‍යක කොමිටියක් හරහා අපේ අරගලය ඉදිරියට ගෙන යාම අපේ අරමුනයි.

වතු කම්කරු අරගලයට ජයවේවා!

කම්කරු කි‍්‍රයාකාරී කමිටුව,

ඩීසයිඩ් වත්ත,

මස්කෙලිය.

2016.10.26

Share this article: