ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනයෙන් අනතුරුව ඔබාමා බර්ලිනයට පා තබයි

Obama visits Berlin after Trump’s victory

උලී රිපට් විසිනි, 2016 නොවැම්බර් 17

ඉවත්ව යන ජනාධිපති බරක් ඔබාමා 16දා සවස ජර්මනියේ අගනුවර වන බර්ලිනයට පැමින චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හමුවිය. 17 හා 18 දිනවල පැවැත්වීමට නියමිත රැස්වීම් වල දී ඔහු, ප‍්‍රන්ස ජනාධිපති ප‍්‍රන්සුවා ඔලන්ද් හා අනෙක් යුරෝපීය නායකයින් හමුවනු ඇත.

මෙය ඔබාමාගේ අටවන ජර්මානු සංචාරයයි. ඔහු තනතුරේ වැඩ බාරගැනීමට පෙර 2008 ග‍්‍රීෂ්මයේදී, වික්ටරි කොලම්හි කථාවක් පැවැත්වීම ද ඊට ඇතුලත් විය. එහිදී ඔබාමා, වසර ගනනාවක් තිස්සේ පැවතීගෙන එන ජර්මානු-ඇමරිකා මිත‍්‍රත්වය හා කොමියුනිස්ට්වාදයට එරෙහිව ඔවුන් ඒකාබද්ධව ලත් ජයග‍්‍රහනය ද පිලිබඳව පුරසාරම් දෙඩීය. මාධ්‍ය ඔහුගේ කථාව ගැන පුන පුනා කථාකල අතර “ඔබාමාඋන්මාදය” පිලිබඳව ලිවීය.

එහෙත් අද තත්වය මුලුමනින්ම වෙනස්වී ඇත. අන්තර් අත්ලාන්තික් සම්බන්ධතා පහත අඩියකට වැටී තිබේ. ට‍්‍රම්ප්ගේ මැතිවරන ජයග‍්‍රහනය පිලිබඳ මුලින් පැවති තිගැස්මෙන් පසුව, ජර්මානු දේශපාලඥයින් අතර හා මාධ්‍ය තුල අලුත් හඬක් පැනනගිමින් තිබේ. එනම්, ජනාධිපති ට‍්‍රම්ප් යටතේ ඇමරිකාව, තවදුරටත් බටහිර නායකයා ලෙස පිලිගත නොහැකි බවයි. ඇමරිකානු සියවස අවසානය කරා පැමින ඇත. ජර්මනිය බැරෑරුම් වගකීම් බාරගත යුතු අතර තවදුරටත් ඇමරිකානු පිලිවෙතට යටත් වීමට නොපුලුවන.

ඔබාමා ධවල මන්දිරයේදී ට‍්‍රම්ප්ට ශුභ පතා, සිය ධුර කාලයේ අවසන් දිනවල, අනුක‍්‍රමික ආන්ඩු මාරුවක් පිලිබඳව වගබලා ගන්නා බවට කල ප‍්‍රකාශය, චාන්සලර්වරියගේ බර්ලින් කාර්යාලය සමීපව නිරීක්ෂනය කලේය. ඔහුගේ මෑතම බර්ලින් සංචාරය විනිශ්චය කර ඇත්තේ, ඔහු ට‍්‍රම්ප්ගේ පන්දම්කාරයා ලෙස දැකගනිමින්ය.

“හිටි ගමන් බරක් ඔබාමා, ඩොනල්ඞ් ට‍්‍රම්ප් වෙනුවෙන් කථාකිරීමට පටන්ගෙන තිබේ. මේ සියල්ලේ තේරුම කුමක් ද?” යනුවෙන් සුඩෙයුට්ෂෙ සේටුං පුවත්පත එහි “දවසේ ප‍්‍රශ්නය” තීරුවෙහි අසා ඇත්තේ 16දාය. පුවත්පත ඔබාමා ගැන සඳහන් කරන්නේ, නව ජනාධිපති පිලිබඳ කනස්සල්ල දුරු කිරීම පිනිස බර්ලිනයට පැමිනෙන, “ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ මාධ්‍ය ප‍්‍රකාශක” ලෙස සලකාගෙනය. එය මෙසේ ඔබාමාගෙන් උපුටා දක්වයි, “අනාගත ජනාධිපති සමග මා කල සාකච්ඡාවේදී, අපගේ ඉතා වැදගත් මූලෝපායික හවුල්කාරිත්වය පවත්වාගෙන යාම ගැන ඔහු ඉමහත් උනන්දුවක් දැක්වීය. එබැවින් මට, ඔහු නැටෝව හා අන්තර් අත්ලාන්තික් සන්ධානයට කැපවන බව පැවසිය හැකිය.”

එහෙත් මේ පිලිබඳව ඇත්තේ සැලකිය යුතු තරමේ සැකයකි. “ට‍්‍රම්ප්ගේ විදෙස් පිලිවෙත සම්බන්ධ සැලසුම් තවමත් අපැහැදිලිය.” අනාගත රාජ්‍යතාන්ත‍්‍රිකයින් පිලිබඳව මේ දක්වාවූ ඔහුගේ තීරන ගැන සෑහීමකට පත්වීම දුෂ්කර බව ද පුවත්පත සටහන් කරයි.

හැන්ඩල්බ්ලාට් පුවත්පත ද ලියා ඇත්තේ, ඔබාමාට අවශ්‍ය ට‍්‍රම්ප් පිලිබඳව යුරෝපයේ පවතින සැක සාංකා දුරලීම බවය. “එහෙත් ඔබාමාගේ විශ්වාසනීයත්වය පලුදුවී ඇත.” පසුගිය ග‍්‍රීෂ්මයේදී ඔහු, බ්‍රිතාන්‍යයින් බ්‍රික්සිට් මාවත ගැනීම වැලැක්වීමට උත්සාහ කලේය. “ඔහු යලි යලිත් කියා සිටියේ, ට‍්‍රම්ප් ජනාධිපති නොවනු ඇති බවයි. සිදුවීම් දෙකේම ප‍්‍රතිපලය කවුරුත් දනිති.”

ඇතන්ස් වෙත කල සංචාරයේදී 15දා ඔබාමා සඳහන් කලේ, යුරෝපය හා ඇමරිකාව අතර සන්ධානය, “අපගේ පොදු ආරක්ෂාවෙහි හා සමෘද්ධියේ මුල් ගලක්” ලෙස පවතිනු ඇති බවයි. “එහෙත් දැන් යුරෝපීයන් ඔහු විශ්වාස කල යුත්තේ කුමක් නිසා ද? ඔබාමා “ඛේදනීය පරාජිතයෙක්” ලෙස නම්කරමින් පුවත්පත විමසීය.

යුරෝපය දැනටමත්, දුර්දශාවට මුහුනදීම පිනිස සිය ආරක්ෂක යාන්ත‍්‍රන ශක්තිමත් කරමින් හා යලි සන්නද්ධ වෙමින් සිටියි. ප‍්‍රන්සය මුහුනදී සිටින නායකත්ව අර්බුදය නිසා, “යුරෝපය එක්සත්ව තබාගැනීමේ මුලු වගකීමම මර්කෙල්ගේ උර මත වැටී තිබේ” යයි පුවත්පත සඳහන් කරයි. ඇමරිකාව තුල දැනටමත් “ඇමරිකානු මූලිකත්වයේ” අවසානය පිලිබඳව කථා කෙරේ. ඒ අතර විදෙස් පිලිවෙත් සඟරාව “ජර්මානු මූලිකත්වය” ගැන ලියයි.

මර්කෙල් හා ජර්මානු ආන්ඩුවේ ද අන් සියලු ආන්ඩු වල ද පිලිවෙත්, මහාද්වීපය පුරා සමාජ ව්‍යසනය නිර්මානය කිරීමට හා යුරෝපීය සංගමය කෙරේ කෝපය වැඩි කිරීමට තුඩුදුන්නේය. ඔවුන් දැන් “බටහිර ලිබරල් වටිනාකම්වල ” ආරක්ෂකයින් ලෙස හුවාදක්වනු ලැබේ.

“ප‍්‍රශ්නය වන්නේ ජර්මනිය මෙම ක‍්‍රියාකලාපය ඉටුකිරීමට සමත් ද යන්නයි. දේශීය දේශපාලන පෙරමුනේ එලඹෙන මාසවලදී චාන්සලර්වරිය රැකෙනු ඇත් ද යන ප‍්‍රශ්න දැනටමත් මතුව තිබෙන තතු තුලය ඒ. ට‍්‍රම්ප්ගේ මැතිවරන ජය, විරුද්ධවාදීන්ගේ (ඒඑෆ්ඩී) ජයග‍්‍රහනයක් වී තිබේ” යයි හැන්ඩල්බ්ලාට් පවසයි.

ඩර් ස්පීගල් පුවත්පත ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය විස්තර කරන්නේ යුගයක අවසානය ලෙසයි. “අප දන්නා පරිදි ලෝකයේ අවසානයයි.” ට‍්‍රම්ප් වනාහි “අභූත ජනාධිපතියෙකි. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස නීත්‍යානුකූල 45 වන ඇමරිකානු ජනාධිපති වනු ඇත.” එහෙත් ඔහු, “භයානක මිනිසෙකි. ඔහු භයානක ලෙස නොසැලකිලිමත්, තුලනයක් නැති, අත්දැකීම් විරහිත මෙන්ම භයානක වර්ගවාදියෙකි.” ට‍්‍රම්ප් සුද්දන්ගේ මහානුභාවය ගැන විශ්වාස කරයි. ඔහු මෙතෙක් කර තිබෙන රුදුරු නිවේදනයන්හි වඩාත් ආන්තික පියවර ක‍්‍රියාත්මක කලහොත්, එසේ කරන ඡන්දයෙන් පත්වූ පලමු රාජ්‍ය නායකයා ද ඔහු නොවනු ඇත. “දැන් ට‍්‍රම්ප් කියන පරිදි, ලැටිනෝවරුන් හු ගත්තදෙන් යන්න සලකුනු කරන්නේ, අනෙකුත් අයගේ මහානුභාවයයි, එය හරියටම වසර අසූවකට පෙර ජර්මනියේ මෙනි.”

සිය ජර්මානු සංචාරයේදී ඔබාමා, ට‍්‍රම්ප් විසින් මතුකරනු ලබන අනතුරු අඩු ලංසුවට දැමීමේ වෑයම හා වැඩි දෙයක් වෙනස්වී නැති බවට කරන ප‍්‍රකාශ, යුරෝපයේ කනස්සල්ල පහ කරනවා වෙනුවට තවත් දැඩි කරයි. 1930 ගනන්වලදී නාසීන්ගේ ස්වරූපයෙන් පාතාලය බලය අල්ලාගැනීම තුල ඇතිවූ ජර්මානු ව්‍යසනය ගැන මතකය තවමත් පහව ගොස් නැත. එය ගමන් කලේ කොතැනට ද යන්න කවුරුත් දනිති.

එහෙත් ට‍්‍රම්ප් කෙරේ දක්වන ජර්මානු පාලක පන්තියේ ප‍්‍රතිචාරයෙහි කිසිදු ප‍්‍රගතිශීලී බවක් ඇත්තේ නැත. ඒ වෙනුවට ඔවුන් ඒ අවස්ථාව ඩැහැගෙන ඇත්තේ, එවැනිම ප‍්‍රතිගාමී බලවේග ශක්තිමත් කිරීමටත්, රට තුලත් විදේශයන්හිත් රාජ්‍ය යාන්ත‍්‍රනය සවිමත් කිරීමේ දිගුකාලීන සැලසුම් ක‍්‍රියාවට නංවමින්, ජවසම්පන්න ලෙස ඉදිරියට යාමටත්ය.

මැතිවරන ප‍්‍රතිපල වලට පෙරාතුව පවා, ආන්ඩුව සමග බැඳී ඇති දෘෂ්ටි මන්ඩලයක් වන විදෙස් කටයුතු පිලිබඳ ජර්මානු ආයතනය, “ට‍්‍රම්ප් නොමැතිව පවා බොහෝ දේ වෙනස්වනු ඇත ” යන හිසින් ලිපියක් පල කලේය. අවශ්‍ය නම් වොෂින්ටනයට එරෙහිව හා ඉන් ස්වාධීනවූ, වඩා ආක‍්‍රමනකාරී ජර්මානු හා යුරෝපීය විදෙස් පිලිවෙතක් වෙනුවෙන් කතුවරු එහිදී හඬක් නඟා ඇත.

“ජනාධිපති ට‍්‍රම්ප් යටතේ එක්සත් ජනපදයෙහි විදෙස් පිලිවෙත සම්බන්ධයෙන් දැඩි අනිශ්චිත භාවයක් පවතී.” ජර්මනියට “ට‍්‍රම්ප්ගේ උපදේශක මන්ඩලය, කැබිනට්ටුව, මිලිටරිය හෝ කොන්ග‍්‍රස් සභාව මගින් ගෙන යන ආන්තික ආස්ථාන හා අනිශ්චිත ස්වභාවය මත රඳා නොපැවතිය හැකි වීම නිසැකය.”

ජර්මනිය ඇමරිකාව මත රඳාපැවැත්ම කඩා ගත යුතුව ඇත. “එසේම අන්තර් අත්ලාන්තික් සම්බන්ධතා හා අනාගත ලෝක පර්යායේ ආකෘතිය කෙසේ වනු ඇත් ද යන්න ගැන සිතා බැලිය යුතුය.” මේ සඳහා තම ආරක්ෂාව හා සිය අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීමට වඩාත් විශාල ප‍්‍රමානයක සම්පත් ඉල්ලා සිටියි.

ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනයේන් දින කිහිපයකට පසුව, පාලක ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍ර/ක‍්‍රිස්තියානි සමාජ සංගමය හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂවල පාලනය තුල, අනාගත ඒකාබද්ධ ජනාධිපති අපේක්ෂකයා ලෙස විදේශ ඇමති ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර් නම් කිරීම, ජර්මනියේ අලුත් භූමිකාවට සෘජුවම සම්බන්ධ සිද්ධියකි.

ස්ටේන්මියර් වනාහි නව ජර්මානු අධිරාජ්‍යවාදී පිලිවෙතේ ප‍්‍රධාන නියමුවෙකි. ජූනි මැද හරියේදී ඔහු, ඇමරිකානු විදෙස් කටයුතු පිලිබඳ ප‍්‍රමුඛ සඟරාවක් තුල ලිපියක් පල කලේය. “ජර්මනියේ නව ගෝලීය භූමිකාව” එහි ශීර්ෂය විය. එහිදී ඔහු, ජර්මනිය “සැලකිය යුතු යුරෝපීය බලවතෙක්” ලෙස විස්තර කලේය.“අඩ සියවසක් තිස්සේ සිය විදෙස් පිලිවෙතට මගපෙන්වූ ප‍්‍රමුඛ මූලධර්ම, අලුතින් අර්ථදැක්වීමට බලකෙරී” ඇතැයි ඔහු පැවසීය.

ස්ටේන්මියර් ජර්මනියේ මහ බලවත් අභිලාෂයන් යුක්තිසහගත කලේ, ඇමරිකානු විදෙස් පිලිවෙත, විශේෂයෙන්ම මැද පෙරදිග සම්බන්ධ, මුහුනපා ඇති බිහිසුනු ප‍්‍රතිවිපාක ගැන සඳහන් කරමිනි.

ඉක්මනින්ම හිටපු ජනාධිපති ලෙස හැඳින්වීමට නියමිත ඔබාමා, එරට නව පාලනයේ ජාත්‍යන්තර ප‍්‍රතිවිපාක අඩු ලංසුවට දැමීමට දරන උත්සාහය නොතකා, ට‍්‍රම්ප් ජයගැනීමෙන් සලකුනු කෙරෙන්නේ, තියුනු ආතතීන් හා කම්පනයන් මගින් අංග ලක්ෂිත වනු ඇති අන්තර්අත්ලාන්තික් සබඳතාවන්ගේ නව අදියරකි.

Share this article: