ප්‍රතිගාමී සුදු කම්කරු පන්තිය පිලිබඳ මිථ්‍යාව

The myth of the reactionary white working class

2016 නොවැම්බර් 12

ජනාධිපතිවරනයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ලද ජයග්‍රහනයෙන් අනතුරු ව ගත වූ දින කිහිපය තුල, ඩිමොක්‍රටික් පක්ෂය හා මාධ්‍ය ඊට වරද පටවා ඇත්තේ “සුදු කම්කරු පන්තියේ” නූගත්කම, පසුගාමීත්වය, ආවේනික වර්ගවාදය හා කාමසුඛල්ලිකානු යෝගයට යි. නොවැම්බර් 9 දින නිව් යෝක් ටයිම්ස් ලිපියක මාතෘකාව වූයේ “ට්රම්ප් දිනුවේ කම්කරු පන්තික සුද්දන් නිසා” ය යන්න යි. එහිම තීරු ලිපි රචක චාල්ස් බ්ලෝ 10දා ලිපියක මෙසේ සඳහන් කර තිබුනි. “මට සිතාගත හැකි එක ම දෙය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්වෝත්තමවාදියෙක් වනු ඇති බව යි. නිශ්චිතවම ඇමරිකාව ඔහු තෝරා ගෙන ඇත්තේ එම කරුන නො සලකා නො ව ඒ හේතුව නිසා ම ය.

ඊනියා “වමේ” මාධ්‍ය ද එම වර්ගවාදී කතන්දරය ම පෙරටුකරගෙන ඇත. “මෙම මැතිවරන සමය තුල සුදු කම්කරු පන්තිය පිලිබඳ මෘදු, කනස්සලු සහගත මෙන්ම, ඔවුන්ගේ ආර්ථික දුක්ගැනවිලි හුවාදැක්වීම් ද හිඟ නොවී...” යයි ද්වේෂය දනවන උපහාසයෙන් යුතු ව ද නේෂන් සඟරාවේ මොනිකා පොට්ස් සටහන් කලා ය.

පොට්ස් ට්‍රම්ප්ගේ ජයග්‍රහනය විස්තර කරන්නේ, අනන්‍යතා (දේශපාලනය), වර්ගය හා ලිංගිකත්වය යන පදවලිනි. ග්‍රාමීය ප්‍රජාවන්ගේ කම්කරු පන්තිය, “සිය දිලිඳු අසල්වාසීන්ට වඩා මුදල් හම්බ කරති”යි ඇය ලියයි. “තමන් මහන්සි වී වැඩ කරන බව සිතන ඔවුහු, ‘අභ්‍යන්තරයේ නගරවල’ සිය අසල්වැසියන්, සංක්‍රමනිකයන් හා අප්‍රිකානු ඇමරිකානුවන් යනාදී අනෙකුත් මිනිසුන් එලෙස නො කරන බව සිතති... ඔවුන් වැඩ කරමින්, ජීවත්වීම පිනිස අරගලයක යෙදීම සත්‍යය විය හැකි වුවත්, මේ මැතිවරනයේ දී වැදගත් සාධකය, ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාව යි...මෙය දුක් විඳීම පිලිබඳ කාරනාවක් නො ව ඔවුන්ගේ අනන්‍යතාව පිලිබඳ කාරනාවකි.”

මෙම අනන්‍යතා පාදනම් මත, නොවැම්බර් 8 දින මැතිවරනය පිලිබඳව කරුනු දැක්වීම, මැතිවරන ප්‍රතිපල පිලිබඳ සංඛ්‍යා-දත්ත පිලිබඳ මූලික විශ්ලේෂනයකින් කුඩුපට්ටම්වී යන ව්‍යාජ කතන්දරයකි.

(අනෙකුත් අපේක්ෂකයන් ට්‍රම්ප් හා ක්ලින්ටන්ට එරෙහි ව ලද ඡන්ද ප්‍රමාන- ප්‍රස්ථාරය)

ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා තනි තනිව ගත් ඡන්ද ගනනට වඩා, 2016 මැතිවරනයේ දී ඡන්දය නො දුන් හෝ තුන්වන අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කල අයගේ එකතුව වන මිලියන 99ක සංඛ්‍යාව විශාල ය. මෙය වනාහි සමාජ අතෘප්තියෙහි මිනුමක් මිස අලසකමෙහි දර්ශකයක් නො වේ. වෙනත් වචනවලින් කියතොත්, ක්ලින්ටන් හා ට්‍රම්ප් ලියාපදිංචි ඡන්දවලින් පිලිවෙලින් සියයට 26.6ක් 25.9ක් ලබා ගනිද්දී සියයට 43.2ක් දෙනා දෙදෙනාට ම ඡන්දය නො දුන්හ.

ඡන්ද ප්‍රකාශ කල අය අතුරින්, 2012 දී මිට් රොම්නි ලද මිලියන 27.2ට ආසන්න වසයෙන් සමාන වන සුදු පිරිමි මිනිසුන් මිලියන 27ක් පමන ට්‍රම්ප්ට ඡන්දය දුන්හ. කාන්තාවන් ගතහොත් 2012 දී ඔබාමා ලැබූ මිලියන 37.6හි සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කරමින් ක්ලින්ටන්ට ලැබුනේ මිලියන 35.5ක් පමනි. ඡන්දය ප්‍රකාශ නො කල කාන්තාවන් ද ඇතුලු ව සුදුසුකම් ලත් කාන්තාවන්ගෙන් ක්ලින්ටන්ට ඡන්දය පල කලේ සියයට 30ක් පමනි.

අප්‍රිකානු-ඇමරිකානුවන්, ලතින් ඇමරිකානුවන් හා තරුනයන් අතරදී ද ක්ලින්ටන් දැඩි ලෙස පසුබෑවා ය. 2012 දී බැරැක් ඔබාමා අප්‍රිකානු-ඇමරිකානු ඡන්ද මිලියන 16.9ක් ලැබූ අතර, ඊට මිලියන 3කටත් අඩුවෙන් ක්ලින්ටන්ට ලැබුනේ, මිලියන 13.7ක් පමනි. පසුගිය වසර හතර පුරා ලතින් ඇමරිකානු ඡන්ද දායක ගනන සැලකිය යුතු ලෙස ඉහල ගිය ද ක්ලින්ටන් හා ඔබාමා යන දෙදෙනාටම ලැබී තිබුනේ, මිලියන 9කට යන්තම් වැඩියෙනි. වයස 18-29 ඡන්ද දායකයන් අතුරින් ක්ලින්ටන් මිලියන 13.6ක් ලබාගත් නමුත් එය 2012 දී ඔබාමා ලද මිලියන 14.8ට වඩා සියයට 8ක පමන අඩුවකි. එ ද එම වයස් පරතරයේ පිරිස ඉහත සඳහන් ආකාරයටම ඉහල නැඟී තිබියදී ය.

2012 මැතිවරනයට සාපේක්ෂ ව 2016 දී ක්ලින්ටන් ලද සුලුතර හා තරුන ඡන්දවල අඩුවීම

ප්‍රකාශිත ඡන්දවල ප්‍රතිශතයක් ලෙස 2012ට සාපේක්ෂ ව 2016 දී සියලු ම වාර්ගික කන්ඩායම් රිපබ්ලිකන් අපේක්ෂකයා වෙත පැද්දුනි. එහෙත් එලෙස පාවුනු ඡන්ද දායකයන්ගෙන් අවම පිරිස සුදු ජාතිකයන් ය -එය සියයට 1කි. මීට සාපේක්ෂ ව අප්‍රිකානු-ඇමරිකානුවන් සියයට 7න්, ලතින් ඇමරිකානුවන් සියයට 8න් හා ආසියානු ඇමරිකානුවන් සියයට 11න් රිපබ්ලිකානු අපේක්ෂකයා වෙත පාවී ගොස් ඇත.

දැවැන්ත පිරිසක් ඡන්දය දීමෙන් වැලකෙද්දී සිදු වුනු මෙම මාරුවීම්වලට බොහෝ සෙයින් හේතු වූයේ, ආර්ථික කාරනා ය. ඡන්ද දායකයන්ගෙන් සියයට 42ක් පමන මැතිවරනයේ වැදගත් ම ප්‍රශ්නය ආර්ථික කරුනු බව පැවසූහ. ඊ ලඟ වැදගත් ම කාරනාවට තිබුනේ සියයට 18ක් පමනි . වාර්ගික හා ලිංගික ප්‍රශ්න කිසිවෙක් ඉදිරිපත් නො කල අතර ඡන්ද දායකයන්ගෙන් සියයට 68ක් ප්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය වසර හතරකට පෙර පැවතියාක් මෙන් හෝ ඊටත් වඩා නරක බව යි. සියයට 39ක් “වෙනසක් සිදු කලහැකි අපේක්ෂකයාට” මනාප බව කී අතර ඉන් සියයට 83ක් ම ඡන්දය දුන්නේ ට්‍රම්ප්ට ය. මෙය ට්‍රම්ප් ලද සමස්ත ඡන්ද ප්‍රමානයෙන් තුනෙන් දෙපංගුවක් හෝ දල වසයෙන් මිලියන 40කි.

ට්‍රම්ප් “වෙනසක්” නියෝජනය කරන අපේක්ෂකයා ලෙස දැකගනු ලැබූ බවට තවත් දර්ශකයක් වන්නේ, සියයට 18ක් අපේක්ෂකයන් දෙදෙනාට ම අකමැති බව පැවසූ අතර සියයට 49ක් ට්‍රම්ප්ට ඡන්දය දෙද්දී ක්ලින්ටන්ට එයින් ලැබුනේ සියයට 29ක් පමනක් වීම යි. සියයට 14ක් දෙනා අපේක්ෂකයන් දෙදෙනාට ම ජනාධිපති තනතුර දැරීමට අවශ්‍ය පෞරුෂත්වය නැතැයි කී අතර සියයට 71ක් ට්‍රම්ප් තෝරා ගත්හ; ක්ලින්ටන්ට ලැබුනේ, සියයට 17ක් පමනි. සිත් කාවදින දෙය වන්නේ, ට්‍රම්ප් ජනාධිපති වීම ගැන සැක පල කල හෝ බිය පල කල සියයට 57න් සියයට 14ක් ම ඔහුට ඡන්දය දී තිබීමයි. මෙම සංඛ්‍යා ලේඛන ඇඟවුම් කරන්නේ දේශපාලන සංස්ථාපිතය කෙරෙහි පවත්නා ගැඹුරු වෛරයයි.

මෙම මැතිවනරය, දිලිඳු ම හා ධනවත් ම ඡන්ද දායකයන්ගේ සහයෝගය ලබාගත් පක්ෂය වෙත දැවැන්ත මාරුවක් දැකගත්තේ ය. වාර්ෂික ආදායම ඩොලර් 30,000ට අඩු ජනගහනයේ වඩාත් ම දුප්පත් කම්කරුවන්ගෙන් රිපබ්ලිකන් පක්ෂයට ලැබුනු ඡන්ද ගනන 2012ට සාපේක්ෂ ව සියයට 10කින් ඉහල ගියේ ය. මධ්‍ය බටහිර ප්‍රාන්ත කිහිපයකින් ට්‍රම්ප්ට ලැබුනු ඡන්ද ගනන ඊටත් වඩා වැඩි විය: විස්කොන්සින් (සියයට 17ක්), අයෝවා (සියයට 20ක්), ඉන්ඩියානා (සියයට 19ක්) හා පෙන්සිල්වේනියා (සියයට 18ක්) වසයෙනි.

2012ට සාපේක්ෂ ව 2016 දී ආදායම අනුව ඡන්ද බෙදුනු ආකාරය - ධනවත්තු ක්ලින්ටන්ට සහාය දෙති

පවුලේ ආදායම ඩොලර් 30,000ත් 50,000ත් අතර පිරිස අතුරින් සියයට 6ක් රිපබ්ලිකන් පක්ෂය වෙත මාරුවී ඇත. එහෙත්, 2012ට සාපේක්ෂව, ආදායම ඩොලර් 50,000ත් 100,000ත් අතර වන පිරිසෙන් සියයට 2ක් එම පක්ෂයෙන් ඉවත් වුනි.

ධනවත්තු හා පොහොසත්තු 2012 දී ඩිමොක්‍රටික් අපේක්ෂකයාට දුන්නාට වඩා වැඩි පරතරයක් සහිතව ක්ලින්ටන්ට ඡන්දය දුන්හ. ඩොලර් 100,000ත් 200,000ත් අතර ආදායම් ලබන පිරිස අතුරින්, සියයට 9ක් ක්ලින්ටන් වෙත හැරී ඇත. ඩොලර් 250,000ට වඩා ආදායම් ලබන පවුල්වලින් ඇය වෙත හැරුනු කොටස සියයට 11ක් විය. ධනවත් ම ඡන්ද දායක පිරිස අතුරින් ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දුන් ප්‍රමානය 2012 දී මිලියන 2.16ක් වූ අතර එය 2016 දී මිලියන 3.46 දක්වා ඉහල ගියේ සියයට 60ක වැඩි වීමක් පෙන්නුම් කරමිනි.

බොහෝ සෙයින් දිලින්දන් හා කම්කරු පන්තියට අයත් වන කාන්තාවන් (මිලියන 2.1), අප්‍රිකානු-ඇමරිකානුවන් (මිලියන 3.2) හා තරුනයන් (මිලියන 1.2) අතර ඡන්ද හොදාපාලුව වලක්වා ගැනීමට ක්ලින්ටන් අසමත් වූ අතර ධනවතුන්ගෙන් ඇය ලද ඡන්ද ගනන මිලියන 1.3කින් වැඩි වුනි.

ක්ලින්ටන්ගේ මැතිවරන පරාජය බැඳී තිබෙන්නේ, වාර්ගික, ලිංගිකත්ව හා ලිංගික යොමුව මත සිය දේශපාලනය පදනම් කරන ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස්, වෝල් වීදිය හා මිලිටරි-රහස් තොරතුරු යන්ත්‍රනයේ සංධානයක් වන ඩිමොක්‍රටික් පක්ෂයේ ස්වභාවය සමඟ යි. පසුගිය වසර හතලිහ පුරා තමන් සමාජ ප්‍රතිසංස්කරන වෙනුවෙන් පෙනී සිටින්නේ යයි ඩිමොක්‍රටික් පක්ෂය කල ව්‍යාජ මවාපෑම් සියල්ල දැන් ඉවත දමා ඇති අතර ඔබාමා යටතේ එය උග්‍ර අතට හැරුනි. රිපබ්ලිකන් පක්ෂය හා වෘත්තීය සමිති සමඟ හවුල් ව, වර්ගය හෝ ලිංගිකත්වය නො තකා කම්කරු පන්තියේ බොහෝ කොටස් දරිද්‍රතාවට ඇද හෙලා ඇති සමාජ පිලිවෙත් ක්‍රියාවට දැමීම පිලිබඳ ව ඩිමොක්‍රටික් පක්ෂය වගකිව යුතු ය.

ඩිමොක්‍රටික් පක්ෂයේ ඡන්ද කඩා වැටීම

වර්තමාන දේශපාලන සන්ධිස්ථානය, ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියට සැබෑ අන්තරායන් මතු කරයි. ට්‍රම්ප් ආන්ඩුව, ඇමරිකානු ඉතිහාසයේ වඩාත් ම ප්‍රතිගාමී පරිපාලනය වනු ඇත. ඒ අතර ම, ට්‍රම්ප්ගේ පාලනය දැක ගනු ඇත්තේ, පුපුරන සුලු සමාජ කලබගෑනිවල යලි අලුත් වුනු කාල පරිච්ඡේදයකි. සමාජවාදී සමානතා පක්ෂය පෙනී සිටින්නේ කම්කරු පන්තියේ එක්සත්කම වෙනුවෙනි. සමාජවාදීන්ගේ කර්තව්ය වන්නේ වර්ගය, ජාතිකත්වය හෝ ලිංගිකත්වය මත පදනම් ව කම්කරු පන්තිය බෙදාලීමට දරන උත්සාහයන්ට වෙහෙස නො තකා විරුද්ධ වෙමින්, එලැඹෙන අරගල සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීම යි. මෙම ඉදිරි දර්ශනය සමඟ එකඟ වන සියලු දෙනා සමාජවාදී සමානතා පක්ෂයට බැඳිය යුතු ය.

එරික් ලන්ඩන්

Share this article: