භූතයාගේ සිට බලයට පත් ජනාධිපති දක්වා: ඩෙමොක‍්‍රටිකයෝ ට‍්‍රම්ප් ඉදිරියේ දන්ඩ නමස්කාර කරති

From monster to Mr. President-Elect: Democrats grovel before Trump

2016 නොවැම්බර් 11

ඩොනල්ඩ් ට‍්‍රම්ප් පත්වී දවසක් ගතවෙන්නටත් පෙර, ප‍්‍රමුඛ ඩෙමොක‍්‍රටික් නායකයින් නව ජනාධිපතිට තම සහාය පල කිරීමට අසාමාන්‍ය තදියමක් පෙන්වයි.

10දා ජනාධිපති බරක් ඔබාමා විනාඩි 90ක සුහද හමුවක් සඳහා ට‍්‍රම්ප් ධවල මන්දිරයට කැඳවූයේ ය. ඊට පසු ඔහු පැවසුවේ “එලඹෙන මාස දෙක තුල අංක එකේ ප‍්‍රමුඛත්වය වනුයේ අපගේ නව ජනාධිපතිතුමාගේ සාර්ථකත්වය තහවුරු කෙරෙන පරිවර්තනයකට ඉඩ සැලසීම” බව යි. ට‍්‍රම්ප් සමග කතා කරමින් ඔහු මෙසේ ද පැවසී ය, “තේරී පත් වූ ජනාධිපතිතුමනි, මට ඔබට අවධාරනය කිරීමට අවශ්‍ය වන්නේ, ඔබට සාර්ථකවීමට අපට කල හැකි සෑම දෙයක් ම කිරීමට අප සූදානම වෙමින් සිටින බව යි― ඒ ඔබ සාර්ථක වන්නේ නම්, රට ද සාර්ථක වන බැවිනි.”

ඔබාමාගේ ප‍්‍රකාශය ඊට යන්තම් දින කීපයකට පෙර ඔහු විසින් ම කරන ලද ප‍්‍රකාශයන්ට හාත්පසින් ම වෙනස් ය. එහිදී ඔහු සහතික කලේ ට‍්‍රම්ප් “තමන් ගැන පමනක් සිතන බව පෙනෙන, ජනාධිපතිවරයෙකු වීමට දැන ගත යුතු ව ඇති මූලික කාරනා නො දන්නා” බව යි. ට‍්‍රම්ප් “වැඩ කරන මිනිසුන් වෙනුවෙන් සැලකිල්ලක් නොපෙන්වමින් මිහිපිට වසර 70ක් ගත කර ඇතැ” යි ද ඔහු පැවසී ය

ඒ මැතිවරන දිනයේ ඩෙමොක‍්‍රටික් පක්ෂයේ වැටීමට පෙර ය. දැන් ඔහු පවසන්නේ ඔහුගේ ඉහල ම ප‍්‍රමුඛත්වය ට‍්‍රම්ප්ගේ “සාර්ථකත්වය” තහවුරු කිරීම බව යි.

ඔබාමාගේ අදහස් දැක්වීම සිදුවුනේ, “(ට‍්‍රම්ප්) සියලු ඇමරිකානුවන්ගේ සාර්ථක ජනාධිපති වනු ඇතැ” යි හිලරි ක්ලින්ටන් බදාදා කරන ලද ප‍්‍රකාශයෙන් පසු ය. සමාජවාදී යැයි පිලිගැනුනු සෙනේට් සභික බර්නී සෑන්ඩර්ස් යටහත්පහත් ප‍්‍රකාශනය නිකුත් කලේ, “මෙම රටේ වැඩකරන පවුල්වල ජීවන තත්වයන් වැඩිදියුනු කරන ප‍්‍රතිපත්ති හඹායෑම සම්බන්ධයෙන් ට‍්‍රම්ප් මහතා කල්පනාකාරී වන තාක් දුරට, මා සහ අනෙකුත් ප‍්‍රගතිශීලීන් ඔහුත් සමග වැඩ කිරීමට සූදානම්” යැයි ප‍්‍රකාශ කරමිනි.

එවැනි ප‍්‍රකාශන සමග ඩෙමොක‍්‍රටිකයන්, ඇත්ත වසයෙන් ම ට‍්‍රම්ප් වැනි ජනාධිපතිවරයෙකුට හා රිපබ්ලිකානුවන් විසින් පාලනය කෙරෙන කොංග‍්‍රසයට එරෙහි විරුද්ධ පක්ෂයක් ලෙස කිසියම් හෝ මවාපෑමක් පවා අතහරිමින් සිටී.

ප‍්‍රධාන පෙලේ ඩෙමොක‍්‍රටිකයන්ගෙන් එවැනි සහයෝගිතා ප‍්‍රකාශන නිකුත්වන්නේ ඇමරිකානු දේශපාලනයේ තීරනාත්මක අවස්ථාවක් සලකුනු කරන පුද්ගලයෙකු බලයට පත්වීම සම්බන්ධයෙනි. බලය ගොනු වෙමින් තිබෙන්නේ පැසිස්ට්වාදී ගුනාංග සහිත අන්ත දක්ෂිනාංශික ආන්ඩුවක් වටාය. ට‍්‍රම්ප්ට ඔහුගේ කාර්ය මන්ඩල ප‍්‍රධානියා ලෙස පත් කර ගැනීමට අවශ්‍ය ව ඇත්තේ, අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී මාධ්‍ය වක්කඩයක් වන, බ්රේයිබාර්ට් ප‍්‍රවෘත්ති ජාලයේ ප‍්‍රධානී ස්ටීවන් බෙනන් බව වාර්තාවේ. ඔහුගේ උපදේශකයින් විය හැකි කැබිනට් පත් කිරීම්වලට හිටපු නිව් යෝක් නගරාධිපති රුඩොල්ෆ් ගියුලියානි හා නිව් ජර්සි ප‍්‍රාන්ත ආන්ඩුකාර ක්‍රිස් ක්‍රිස්ටි ඇතුලත් ය.

අසාමාන්‍ය තත්වයේ අරුනාලෝකයක් වෙත බලය පැවරීම සඳහා ඔවුන්ට ඇති තකහනිය තුල ඩෙමොක‍්‍රටික්වරු හා මාධ්‍යය, මැතිවරනයේ නිශ්චිතව ම බොහෝ සිත් කාවදින මූලික කරුනු සම්බන්ධයෙන් හිතා මතාම නිශ්ශබ්දව සිටිති.

ට‍්‍රම්ප් තේරී පත්වීමට ප‍්‍රධාන හේතුව, ඡන්දදුන් සංඛ්‍යාව සැලකිය යුතු තරම් පහල යාම බව කිසිවෙකු විසින් සඳහන් නො කෙරේ. ට‍්‍රම්ප් පිටුපස සුදු කම්කරු පන්තික ඡන්ද “සැඩ පාරක්” පිලිබඳ සියලුම මාධ්‍ය කතා සම්බන්ධයෙන් ගත් විට, රිපබ්ලිකානු අපේක්ෂකයා සැබවින් ම ලබා ගෙන ඇත්තේ 2012දී ඔබාමාට පරාජය වීමේදී මිට් රොම්නි ලබා ගත් ඡන්දවලටත් වඩා මිලියනයක් අඩුවෙනි. ක්ලින්ටන් ලැබූ ඡන්ද සංඛ්‍යාව ඔබාමා ඔහුගේ දෙවන වර පත්වීමේ දී ලබා ගත් ඡන්දවලට වඩා මිලියන හයකින් අඩු ය. තව ද ට‍්‍රම්ප් මහජන කැමත්ත පවා දිනා ගැනීමට අසමත් වී ය යන අත්‍යාසමාන කාරනය ද හිතාමතා ම නොසලකා හැරේ. කලින්ටන්ට ජාතික ඡන්දවල ඉහල ප‍්‍රතිශතයක් තිබුන ද ඇය ඡන්දදායක ගනයේ දී පරාජයට පත්වුනි, ඡන්දදායක ගනය සමන්විත වන්නේ තනි තනි ප‍්‍රාන්තවල ජයග‍්‍රහන මත පාදක සංකීර්න හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පංගුකිරීමකිනි. ට‍්‍රම්ප් තනතුර බාර ගනු ඇත්තේ සමස්ත ඡන්දයේ බහුතරය කෙසේ වෙතත් වැඩි සංඛ්‍යාවක් පවා අත් කර ගැනීමට අසමත් වූ පුද්ගලයෙකු ලෙසයි.

වසර 240ක් වන එක්සත් ජනපදයේ මුලු ඉතිහාසය තුල දී ම, බලයට එන ජනාධිපතිට මහජන කැමැත්ත දිනා ගැනීමට නොහැකිවූ මැතිවරන තිබී ඇත්තේ පහක් පමනි. මෙය 1876දී සිදුවුන අවස්ථාවේ දී රිපබ්ලිකානු රදර්ෆර්ඞඩ් බී. හේස් ජනාධිපති වූ ව ද ඔහුට තිබුනේ ඩෙමොක‍්‍රටික සැමුවෙල් ජේ.ටිල්ඩෙන්ට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවකි. ප‍්‍රතිඵලය පිලිබඳ දේශපාලන ගැටුම ඉතා තියුනු වූ අතර, රිපබ්ලිකානුවන්ට ධවල මන්දිරය රැක ගත හැකි වූයේ, දකුනෙන් ෆෙඩරල් හමුදා ඉවත් කර ගැනීම හරහා පශ්චාත් සිවිල් යුද්ධ ප‍්‍රතිසංස්කරන අවසාන කරන බවට එකඟවීමෙන් පසු ය.

ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් 1888දී බෙන්ජමින් හැරිසන්ට පැරදුනු, බෙදී ගිය ඡන්දයෙන් පසුව එලඹි වසර 112 තිස්සේ, මැතිවරන ජයග‍්‍රාහකයා මහජන කැමත්තේ ද ජයග‍්‍රාහකයා විය. 21වැනි සියවස තුල මෙම විෂමතාව දෙවතාවක දී ―2000 හා 2016දී ―සිදුව ඇත. මුල් අවස්ථාවේ දී, ජනාධිපති ලෙස ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් තෝරා ගැනීම සඳහා ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ ඡන්ද යලි ගනන් කිරීම නැවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරනයේ මැදිහත්වීම අවශ්‍ය කෙරුනි.

ක්ලින්ටන්ගේ තත්වයට මුහුන දුන්නා නම් ට‍්‍රම්ප්, පරාජය බාර ගැනීමට හදිසි නොවනු ඇත. එසේ වුනා නම් ඔහුගේ කතාවෙන් අවධාරනය කිරීමට ඉඩ තිබුනේ, තමා මහජන කැමත්ත දිනූ බවත් “වංක හිලරිට” වරමක් ලැබී නැති බවත් ය.

මාධ්‍ය පනිවුඩ, ක්ලින්ටන් සන්සුන් වී සිටීමේ අවශ්‍යතාව හා ඡන්දදායකයින්ගේ බහුතරය ට‍්‍රම්ප් තෝරා ගෙන ඇති බව පිලිගන්නා ලෙස අවධාරනය කරනවා ඇත. ක්ලින්ටන් ශ්‍රේෂ්ඨාධිකරනය සඳහා ඔබාමාගේ තේරීම අවලංගු කරමින්, අභාවප‍්‍රාප්ත, හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු ඇන්ටෝනින් ස්කාලීයා වෙනුවට වෙනත් අයෙකු යෝජනා කරන ලෙස රිපබ්ලිකානුවන්ට ආරාධනය කල බව සීඑන්එන් “හදිසි ප‍්‍රවෘත්ති” පල කෙරෙනු ඇති බව යමෙකුට පහසුවෙන් මතකයට ආ හැකිය.

එහෙත් ඩෙමොක‍්‍රටිකයන් කරනු ලැබුවේ හරියටම විරුද්ධ දේ ය.

මෙම සීමා රහිත කන පිට ගැසීම පිටුපසින් ඇත්තේ කුමක් ද? “අප සැබවින් ම එකම කන්ඩායමක බව මතක් කර ගත යුතු ව ඇත. මෙය ගෙදර ඇතුලත කෝලාහලයකි”― එනම්, එකම පැත්තේ ක්‍රීඩකයින් සම්බන්ධ පරීක්ෂන තරඟයකි― යි බදාදා ජනාධිපති ඔබාමා, සමහර විට ඔහු බලාපොරෙත්තු වූවාට වඩා වැඩිමනත් දෙයක් පැවසීය.

එක්සත් ජනපදයට සැබවින් ම විරුද්ධපාර්ශ්වීය දේශපාලන පද්ධතියක් නොමැත. ඩෙමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් අතර ද ක්ලින්ටන් හා ට‍්‍රම්ප් අතර ද බෙදීම මුලුමනින් ම උපක‍්‍රමික ස්වභාවයේ එකකි. ඔවුන් සියලු දෙනාම ආරක්ෂා කරන්නේ එක ම මූලික උත්සුකයන්ය. එනම් දේශපාලන පද්ධතිය පාලනය කරනු ලබන සංගත හා මූල්‍ය පැලැන්තියේ උත්සුකයන් ය.

මෙම රාමුව තුල, ඩෙමොක‍්‍රටිකයන් හැම විට ම වඩා අවස්ථානුරූප හා සන්සුන් පක්ෂයකි, ඒ නිසා බර්නී සෑන්ඩර්ස් වැනි අය ද ඇතුලුව, කම්කරු පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කිරීම පිලිබඳ ඔවුන්ගේ වාචාල කථා මුලුමනින් ම පුහු මෙන් ම වංක ය. ට‍්‍රම්ප් හා ඔහුගෙන් එල්ල වන අනතුරු සම්බන්ධයෙන් ගත් විට, ස්වයං තෘප්තිය සඳහා මූලික කරුනක් ඔවුන්ට තිබේ, එනම්, අනතුරු එල්ල වන්නේ, ඩෙමොක‍්‍රටිකයන් හෝ ඔවුන් පෙනී සිටින වරප‍්‍රසාදිත සමාජ කන්ඩායම්වලට නොව, කම්කරු පන්තියට වීමයි.

ඩෙමොක‍්‍රටිකයන්ගේ ප‍්‍රධාන උත්සුකය වන්නේ මහජන කෝපය මැඬලීම යි. සියල්ලට ම වඩා ට‍්‍රම්ප් ආරක්ෂා කිරීමට ඔවුන් ඉදිරිපත්වීම, එලඹෙන ආන්ඩුවට පමනක් නො ව ධනේශ්වර පද්ධතියට ම තර්ජනය කරන මහජන විරුද්ධත්වය මතු වීම තුල, ඔවුන් දකින අනතුරට ප‍්‍රතිචාර දැක්වීමකි.

ඔබාමා, ක්ලින්ටන්, සෑන්ඩර්ස් හා සමාගම මුනින් වැටී ට‍්‍රම්ප්ට ඔවුන්ගේ පක්ෂපාතිත්වය පොරොන්දු වන අතර, රට පුරා දහස් ගනනක් තරුනයෝ හා කම්කරුවෝ නව ජනාධිපතිට එරෙහිව පෙලපාලි පවත්වමින් සිටිති. මෙම විරෝධතා, එලඹීමට නියමිත කම්කරු පන්තියේ දැවන්ත අරගලයන්හි අපැහැදිලි හා දේශපාලනිකව විෂම පූර්වාපේක්ෂාවන් ය.

තීරනාත්මක වන්නේ 2016 ජනාධිපතිවරනයේ පාඩම් උකහා ගැනීම සහ යුද්ධයට හා කප්පාදුවලට එරෙහි විරුද්ධත්වය ඩෙමොක‍්‍රටික් පක්ෂයේ දේශපාලන මලකුනට ගැටගැසීමේ සියලු උත්සාහයන් ප‍්‍රතික්ෂේප කිරීම යි. කර්තව්‍යය වන්නේ ඩෙමොක‍්‍රටික් පක්ෂය ආපසු ගැනීම හෝ එය වමට හැරවීම නො ව ― එම ව්‍යාජ ඉදිරිදර්ශනයේ අනිවාර්ය ප‍්‍රතිඵලය සෑන්ඩර්ගේ උද්ඝෝෂනයේ ප‍්‍රතිගාමී ප‍්‍රතිඵලය තුල මේ වන විටත් ප‍්‍රදර්ශනය කෙරී ඇත― මහා ව්‍යාපාරයන්ගේ පක්ෂ දෙකෙන් හා සියලු ආකාරයේ ධනේශ්වර දේශපාලනයෙන් කැඩී වෙන් වී කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම යි.

ඇන්ඩ්‍රේ ඩැමොන්

Share this article: