ට‍්‍රම්ප් පත්වීමෙන් පසු: එක්සත් ජනපද දේශපාලනයේ යලි කාන්ඩගැසීම

After the election of Trump: The realignment of US politics

2016 නොවැම්බර් 18

ඩොනල්ඩ් ට‍්‍රම්ප් 2016 ජනාධිපතිවරනය ජය ගැනීමෙන් සති එක හමාරකට පසුව ප‍්‍රමුඛ ඩිමොක‍්‍රටිකයන්, අසමාන වේගයකින් ඔහු වැලඳගැනීම කරා හැරී ඇත. නොවැම්බර් 8ට පෙර ට‍්‍රම්ප්, රටට මෙන් ම ලෝකයේ ම පැවත්මට තර්ජනයක් ලෙස හෙලා දුටු පුද්ගලයෝ ම දැන් ඔහු සමග වැඩ කිරීමට හා සහයෝගය දැක්වීමට පොරොන්දු දෙමින් සිටිති.

මැතිවරනයෙන් පසුව ගතවූ දින දහය තුල සිදුවූයේ කුමක් ද? පලමුව, ජනාධිපති බරක් ඔබාමා හා මැතිවරනයේ දී ට‍්‍රම්ප්ගේ විරුද්ධවාදියා වූ හිලරි ක්ලින්ටන් සමාදානය ප‍්‍රකාශ කලෝය. දිනකට පසුව ඔබාමා ප‍්‍රකාශ කලේ, සිය “අංක එකේ ප‍්‍රමුඛත්වය” ට‍්‍රම්ප්ගේ “සාර්ථකත්වය” තහවුරු කිරීම බව යි. ඉන් පසුව, එක්සත් ජනපදයේ ප‍්‍රධාන ජාතික පුවත්පත මෙන් ම සිය මැතිවරන ආවරනයේ දී ක්ලින්ටන්ගේ උද්‍යෝගීමත් හොරනෑවවූ නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය, තම ක්ෂමාලාපය පල කලේය.

සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් හා එලිසබෙත් වොරන් ඇතුලු ව්‍යාජ “වාම” ප‍්‍රජාතන්ත‍්‍රවාදීහු, ඒඑෆ්එල්-සීඅයි ඕ (වෘත්තීය සමිති) සභාපති රිචඩ් ටෘම්කා හා යූඒඩබ්ලිව් සබාපති ඩෙනිස් විලියම්ස් වැනි ඉහල වෘත්තීය සමිති විධායකයින් කර ඇති ආකාරයට ම, ට‍්‍රම්ප්ගේ න්‍යාය පත‍්‍රයේ මූලික කරුනු මත ඔහු “සමග වැඩ කිරීම” සඳහා සූදානම ප‍්‍රකාශ කලහ. අලුත් උප ජනාධිපති මයික් පෙන්ස් සමග හමුවකින් පසු ව මෙම සතියේ දී උප ජනාධිති ජෝශප් බිඩෙන්, නව පාලනාධිකාරයේ “පලමු දිනයේ” සිටම රාජකාරිය “ප‍්‍රවීනයෙකු” අතට පත්ව තිබෙන බව පවසමින් එයට ප‍්‍රශංසා කලේය.

එලඹෙන පාලනාධිකාරයේ අන්ත දක්ෂිනාංශික න්‍යාය පත‍්‍රය ―වර්ගවාදියෙකු මෙන් ම ෆැසිස්ට්වාදියෙකු වන ස්ටීවන් බෙනන්, ට‍්‍රම්ප් විසින් තෝරා ගැනිම තුල මූර්තිමත් කෙරෙන― මෙම ක්‍රියාවලිය පුරාවටම, නො සලකා හැර හෝ යටගසා ඇත. ඡන්ද මිලියන දෙකකින් පමන ට‍්‍රම්ප් සමස්ත මැතිවරනයෙන් පැරදීමට ඉඩ ඇතැ යි යන කාරනය, නව ආන්ඩුවේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ඩිමොක‍්‍රටිකයන් හා මාධ්‍ය විසින් දරනු ලබන උත්සාහයට හරස්ව පිහිටා ඇත.

ඩිමොක‍්‍රටික් පක්ෂයේ දීර්ගකාලීන ලක්ෂනයක් වී ඇති නියාලුකමට අමතර ව, නිශ්චිත දේශපාලන තර්කයක් ක්‍රියාත්මක වේ. මැතිවරන ව්‍යාපාරය පාලක පන්තිය තුල කාකොටාගැනීම් හා ගැටුම්වලට තුඩුදුන් අතර මැතිවරන ප‍්‍රතිඵලය, පන්ති ප‍්‍රතිපත්තියේ නව පෙලගැස්මක් සඳහා, එනම් බිහිසුනු ජාතිකවාදී දිසාවක් සඳහා මාවත සකසා ඇත.

කැපී පෙනෙන කාරනය නම්, වොෂින්ටනයේ නව පාලනය සම්බන්ධයෙන් කොංග‍්‍රස් මන්ඩල ඩිමොක‍්‍රටිකයන්ගේ ප‍්‍රතිචාරය යි. මෙම හැරීමට නායකත්වය දෙනු ලබන්නේ, නෙවාඩා ප‍්‍රාන්තයේ විශ‍්‍රාම යන හැරී රීඩ් වෙනුවට නායකත්වය සඳහා 16දා චාල්ස් ෂූමර් තෝරා ගනු ලැබූ, සෙනේට් ඩිමොක‍්‍රටිකයන් විසිනි.

නිව් යෝක් ප‍්‍රාන්තයේ සෙනෙට් සභිකයෙකු වන ෂූමර්, වොල් වීදියේ උත්සුකතා වෙනුවෙන් උද්‍යෝගීමත්ව පෙනී සිටින්නෙකි. එහෙත් ආර්ථික හා වෙලඳ ප‍්‍රතිපත්තිවල දී ඔහු සැලකෙන්නේ, වඩාත් ආක‍්‍රමනකාරී චීන විරෝධී ආස්ථානයක් ඇත්තෙකු ලෙස ය. දකුනු කැරොලිනා ප‍්‍රාන්තයේ රිපබ්ලිකානු යුදවාදියෙකු වන ලින්ඞ්සේ ග‍්‍රැහැම් සමග ඔහු වසරින් වසර, ව්‍යවස්ථා සම්පාදනයට සම අනුග‍්‍රහය දක්වා ඇති අතර, චීන ආනයන මත දන්ඩනීය තීරු බදු පැනවීමේ තර්ජනය ද සමග එරට මුදලේ අගය ඉහල දැමීමට එක්සත් ජනපද ආන්ඩුව බල කල යුතු යැයි ඉල්ලා සිටියේය.

එවැනි ප‍්‍රතිපත්තියක් වෙනුවෙන් නව ජනාධිපති ට‍්‍රම්ප් බලගතු මූලිකත්වයක් ගෙන ඇති අතර, විධායක නියෝගයක් මගින් චීනය මූල්‍ය වංචනිකයෙකු ලෙස නම් කරන බව කියන ඔහු, බීජීනයට තම මුදලේ අගය වැඩි කිරීමට බල කිරීම සඳහා සියයට 45ක තීරු බදු පනවන බව ද පවසයි. ට‍්‍රම්ප් හා ෂූමර් දශක ගනනාවක් තිස්සේ ඔවුනොවන් දැන හැඳින සිටින අතර, නියෝජිත මන්ත්‍රී මන්ඩලය හා සෙනේට් සභාවේ සාමාජිකත්වය සඳහා ෂූමර්ගේ උද්ඝෝෂනයන්ට ද ට‍්‍රම්ප් සම්මාදම් වී ඇත.

ට‍්‍රම්ප්ට පක්ෂ ඩිමොක‍්‍රටිකයන්ගේ උද්ඝෝෂනයට විශාල වසයෙන් සහාය දෙන නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය, 17දා සිය ප‍්‍රධාන ලිපියේ ශීර්ෂපාඨය යෙදුවේ, “සෙනෙට් ඩිමොක‍්‍රටිකයන්ගේ මවිතකර මූලෝපාය: ට‍්‍රම්ප් සමග මිත‍්‍රවීමට උත්සාහ දැරීම” යනුවෙනි. කොංග‍්‍රස් මන්ඩල ඩිමොක‍්‍රටිකයෝ, “ඩොනල්ඩ් ජේ. ට‍්‍රම්ප්ගේ බොහෝ යෝජනා සමග පෙල ගැසීමට න්‍යායපත‍්‍රයක් සකසමින් සිටිති. එය ඔහුගේ ම පක්ෂය සමග ඔහු නොගැලපෙන තත්වයකට පත් කරනු ඇතැ” යි ද ලිපිය කියා සිටියි.

රිපබ්ලිකානු කොංග‍්‍රස් මන්ඩල නායකයින් සමග ට‍්‍රම්ප්ට සම්බන්ධකම් නොතිබීම ගැන සලකන විට, තමන් ද විශාල වසයෙන් එකඟවන ඔහුගේ වෙලඳ යුද්ධයේ ප‍්‍රතිපත්තිය වැලඳ ගත හොත්, ඇතැම් කාරනාවල දී ඔහු තමන්ගේ පැත්තට දිනා ගත හැකි වෙතැ යි ඩිමොක‍්‍රටිකයෝ බලාපොරතේතු වෙති. ටයිම්ස් පත‍්‍ර වාර්තාව මෙසේ ද සඳහන් කර යි: “බදාදා නව ඩිමොක‍්‍රටික සුලුතර නායකයා ලෙස තෝරා ගැනුනු, නිව් යෝක්හි චක් ෂූමර්, ට‍්‍රම්ප් මහතා සමග අවස්ථා කීපයක දී ම කතා කර ඇති අතර, ට‍්‍රම්ප් මහතා කැමති වනු ඇතැ යි ඔවුන් සිතන ජනතාවාදී ආර්ථික හා ආචාර ධර්ම නිවේදනය කිරීමට ඩිමොක‍්‍රටිකයින් එලඹෙන සතිවල දී සැලැසුම් කරනු ඇත.”

ට‍්‍රම්ප් සමග ඩිමොක‍්‍රටිකයන්ගේ සන්ධානය “සුදු කම්කරු පන්තිය” වෙතට “ජනතාවාදී” හැරීමක් ලෙස පෙන්වීමට ගන්නා උත්සාහය වංචාවකි. ජාතිකවාදී න්‍යායපත‍්‍රය ඉලක්ක කෙරෙන්නේ, ඇමරිකානු සංගත තම තරඟකරුවන් සම්බන්ධයෙන් දක්වන උත්සුකයන් ආක‍්‍රමනකාරී ලෙස සහතික කිරීමට ය. මෙම ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිපලය වන්නේ, ලෝකය පුරා පෙර නො වූ විරූ ප‍්‍රචන්ඩ මිලිටරි මැදිහත්වීම යි.

ඩිමොක‍්‍රටික් පක්ෂය තුල දැන් ඉහලට එසවුනු සෑන්ඩර්ගේ (මෙම සතියේ දී ඔහු සෙනේට් සභාවේ ඩිමොක‍්‍රටික් නායකයා ලෙස පත් කෙරුනි) කාර්යභාරය විශේෂයෙන් ම වැදගත් ය. ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සෑන්ඩර්ස් ගෙන ගිය උද්ඝෝෂනයේදී වැඩි බරක් යොදා තිබුනේ, වෙලඳ ගිවිසුම් කෙරෙහි විරුද්ධත්වය පල කිරීමට ය. රිපබ්ලිකානු පක්ෂයට පැනීමට සාකච්ඡා කර ඇති අන්තගාමී ආරක්ෂනවාදියෙකු වන වර්ජීනියා ප‍්‍රාන්ත සෙනේට් සභික ජෝ මන්චින් සෙනේට් නායකත්වයට පත් කරනු ලැබූ අනෙකාය.

ඇතැම් කාරනාවල දී විරුද්ධ වන අතර, සමහර කාරනාවල දී ට‍්‍රම්ප් “සමග වැඩ” කරනු ඇතැ යි යන ඩිමොක‍්‍රටිකයන්ගේ ප‍්‍රකාශය දේශපාලන ප‍්‍රබන්ධයකි. ජාතිකවාදී ආර්ථික ප‍්‍රතිපත්තියක් අනිවාර්යයෙන් ම අත්වැල් බැඳගනු ඇත්තේ විදේශයන්හි දී ආක‍්‍රමනකාරී ලෙස මිලිටරි බලය යොදා ගැනීම සමගිනි. 17දා රාත්‍රියේ මෙය ඇඟවුම් කෙරුනේ, ට‍්‍රම්ප් සිය ජාතික ආරක්ෂක උපදේශක ලෙස, ප‍්‍රධාන යුද උද්ඝෝෂකයෙකු වන විශ‍්‍රාම ලත් ජනරාල් මයිකල් ෆ්ලින් පත් කරනු ඇතැ යි නිවේදනය කිරීම සමගිනි.

තව ද, ජාතිකවාදී පියවරයන් හරහා ආර්ථික වර්ධනය අත්කර ගැනීමට පාලක පන්තිය උත්සාහ ගන්නා තාක් දුරට, එය පදනම් කරනු ඇත්තේ එක්සත් ජනපදය තුල කම්කරු පන්තිය සූරාකෑම තීව‍්‍ර කිරීම මත ය. ට‍්‍රම්ප් වෙත හැරීම ඇඟවුම් කරන්නේ, සමාජ විරෝධය උත්සන්න වීමත් සමග ඊට එරෙහිව පාලක ප‍්‍රභූව වඩා ඒකාධිපතිවාදී පාලන ක‍්‍රමවේදයන් හා පොලිස් රාජ්‍ය ප‍්‍රචන්ඩත්වය යොදා ගැනීම සූදානම් කරමින් සිටින බව යි.

ට‍්‍රම්ප්ගේ පත්වීම, පාලක පන්තියේ දේශපාලන ක‍්‍රමවේදයේ සැලකියයුතු වෙනසක් සලකුනු කරන අතර, ඔහුගේ ප‍්‍රතිපත්ති දශක ගනනාවක් ආපස්සට යන පොදු ගමන් මගකට අනුකූල වේ.

වොෂින්ටනය තුල හැඩ ගැසෙමින් ඇති අන්ත දක්ෂිනාංශික, ඒකාධිපතිවාදී, මිලිටරිවාදී තන්ත‍්‍රයට එරෙහිව අවංක අරගලයක් සඳහා ඇමරිකානු පාලක ප‍්‍රභූව හා දේශපාලන පක්ෂ දෙක තුල පාවිච්චි කල හැකි ආධාරක කන්ඩායමක් නොමැත. ජනගහනයෙන් හතරෙන් එකක් අඩු ඡන්දයකින් පත් වු ද එය මුදා හරිනු ඇති ප‍්‍රචන්ඩකාරී හා ප‍්‍රතිගාමී ප‍්‍රතිපත්තිවලට මහජන අනුමැතියක් නැත්තා වූ ද එලඹෙන ට‍්‍රම්ප් පාලනාධිකාරය, දැවන්ත අර්බුදයක් දරා සිටියි.

ට‍්‍රම්ප්ට එරෙහි අරගලය අපකීර්තිමත් ඩිමොක‍්‍රටික් පක්ෂයේ මොනයම් කන්ඩායමක් හෝ ධනේශ්වර ආන්ඩුවේ මොන ම ආයතනයක් සමග හෝ ගෙන යා නො හැක. එය ඉල්ලා සිටින්නේ, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් ව, තමන්ගේම පක්ෂයක් ගොඩනැගීම හරහා, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන් වීම යි.

පැට්‍රික් මාටින්

Share this article: