ඩොනල්ඩ් ට‍්‍රම්ප් ජනාධිපතිවීම, ආසියාව තුල වෙලඳ යුද්ධයේ අනතුර මතුකරයි

Election of Donald Trump foreshadows trade war in Asia

2016 නොවැම්බර් 25

එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්, චීනයට එරෙහිව ජනාධිපති බරක් ඔබාමාගේ “ආසියාවට හැරීමේ” ආර්ථික බල කේන්ද්‍රය හැඩ ගස්වන ලද පුලුල් වෙලඳ හා ආයෝජන ගිවිසුමක් වන අන්තර් ශාන්තිකර හවුල්කාරිත්වය (ටීටීපී) අත්හිටුවා ඇත. සඳුදා ඔහුගේ කෙටි ප‍්‍රතිපත්ති වීඩියෝ පටය තුල ට‍්‍රම්ප්, “පලමුවෙන් ඇමරිකාව” යන ආර්ථික ජාතිකවාදී පිලිවෙත යලි තහවුරු කරමින්, ඔහුගේ නිල කාලයේ පලමු දිනයේ දී ම ගිවිසුමෙන් ඉවත්වීමේ අභිමතය පල කලේය.

ට‍්‍රම්ප්ගේ නිවේදනය, ගෙවී ගිය සති අන්තයේ පේරු හි පැවති ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගිතා (ඒපෙක්) සමුලුවට එක්වුනු එක්සත් ජනපද සහචරයන්ට හා ටීටීපී හවුල්කරුවන්ට ගැසූ කනේ පාරකි. ආස්ථානය නැවත සලකා බලන මෙන් ඔවුහු නව ජනාධිපතිට කන්නලව් කරමින් සිටියහ. මෙම තීරනය ට‍්‍රම්ප් පත්වීමත් සමග ආසියානු අගනගරවල පැතිර ගිය අවිනිශ්චිත බව වැඩි කරනු ඇත. ට‍්‍රම්ප්, ඔබාමාගේ “ආසියාවට හැරීම” පමනක් නොව ආසියා-ශාන්තිකර කලාපයේ පශ්චාත් යුද පදනම, විශේෂයෙන් ම එක්සත් ජනපද-ජපන් ආරක්ෂක ගිවිසුම ද ප‍්‍රශ්නයට ලක් කර ඇත.

මැතිවරන උද්ඝෝෂනය අතරතුර දී ට‍්‍රම්ප්, ජපානය මෙන් ම අසාධාරන වෙලඳ හවුල්කරුවෙකු ලෙස චීනය ද ඊට අමතරව, දකුනු කොරියාවේ පිහිටි ඇමරිකානු මිලිටරි කඳවුරුවලට අවශ්‍ය තරම් සැලකිල්ලක් දක්වා නැති බව පවසමින් එරට ද නැවත නැවතත් විවේචනයට ලක් කලේ ය. ඔහු ජපාන-එක්සත් ජනපද සන්ධානයට පහර ගැසුවේ මෙසේ පවසමිනි: “යමෙකු ජපානයට පහර දුනහොත් අපට තුන්වැනි ලෝක යුද්ධය ඇරඹීම තරම් දුර යාමට සිදුවෙනවා... අපට පහර දුන හොත් නිශ්චිතවම ජපානය, අපගේ උදව්වට නොපැමින සෝනි රූපවාහිනිය නරඹමින් සිටිනු ඇත.”

ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිපත්ති වීඩියෝව නිකුත් කිරීමට යන්තම් පැය කීපයකට පෙර, ජපාන අගමැති ෂින්සෝ අබේ ප‍්‍රකාශ කලේ, “එක්සත් ජනපදය නොමැතිව ටීටීපීය නිෂ්පල” වනු ඇති බව යි. ඒපෙක් සමුලුවට සහභාගීවන අනෙකුත් ටීටීපී හවුල්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද, ඇමරිකානු සහභාගිත්වය නොමැතිව වෙලඳ පෙරමුනක් ගොඩනැගීමට සහාය දැක්වීමේ යෝජනා ඔහු පසෙකට දැමීය. පිලිවෙලින් ලෝකයේ විශාල ම හා තුන්වැනි විශාල ම ආර්ථිකයන් වන එක්සත් ජනපදය හා ජපානය නොමැතිව, කෙසේ හෝ එය පෙරට ගෙනයනු ලැබුවත්, ටීටීපීය ම හෙවනැල්ලක් බවට පිරිහෙනු ඇත.

ටීටීපීය කිසි දා ”නිදහස් වෙලඳ” ගිවිසුමක් නො වී ය. ඒ මගින් චීනයේ ආර්ථික බලපෑම් යටපත් කිරීමටත් ආසියාව හා ජාත්‍යන්තරව තමාගේ ම ආධිපත්‍යය ශක්තිමත් කර ගැනීමටත් වොෂින්ටනය උත්සාහ කල ආර්ථික මාධ්‍යය වූයේ එය යි. ඔබාමා ප‍්‍රකාශ කල පරිදි ටීටීපීය හරහා එක්සත් ජනපදය , 21වැනි සියවසේ ගෝලීය ආර්ථිකය සඳහා රෙගුලාසි ලියන්නේ චීනය නොවන බව තහුවරු කරනු ඇත. එක්සත් ජනපද බුද්ධිමය දේපල ආරක්ෂා කිරීම, ජාතික රෙගුලාසි ඔවුන්ගේ ලාභවලට නොනිසි සේ බලපාන්නේ නම් ආන්ඩුවලට නඩු පැවරීම සඳහා ඇමරිකානු සංගත සඳහා විධිවිධාන සැපයීම, හා රජයට අයත් ව්‍යාපාරයන්ට එරෙහි නියමයන් මෙයට ඇතුලත් කෙරුනි.

ටීටීපී හැමවිට ම පැවතී ඇත්තේ චීනය සමග යුද්ධය සඳහා ඔබාමා පාලනාධිකාරයේ රාජ්‍යතාන්ත්‍රික ප‍්‍රහාරයේ හා මිලිටරි මෙහෙයුම්වල අවශ්‍ය කොටසක් ලෙස ය. ඔබාමාගේ ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් එහි මූලෝපායික වැදගත්කම ප‍්‍රකාශ කලේ මෙසේය: “ටීටීපී මට වැදගත් වන්නේ, ප‍්‍රහාරක ගුවන්යානා ගෙන යන තවත් නෞකාවක් මට වැදගත් වන්නා සේ ය.” කලාපය පුරා මිත‍්‍රකම් ශක්තිමත් කිරීම, ඕස්ට්‍රේලියාව, පිලිපීනය හා සිංගප්පූරුවේ නව කඳවුරු ස්ථාපිත කිරීම, සහ 2020 වන විට නාවික හා ගුවන් හමුදාවන්ගෙන් සියයට 60ක් ස්ථානගත කිරීමේ සැලැසුම් සකස් කිරීම ආසියාව තුල එක්සත් ජනපද මිලිටරි ශක්තිමත් කිරීම්වල අරමුනුය.

ආපස්සට ගැනීම වෙනුවට, ට‍්‍රම්ප් සූදානම් කරමින් සිටින්නේ චීනයට එරෙහි වෙලඳ යුද්ධයකි, එය විශාල වසයෙන් ආසියාව පුරා ආතතීන් තීව‍්‍ර කරනු ඇති අතර යුද්ධයේ අනතුර වැඩි කරනු ඇත. ඔහු චීනය “මුදල් අවභාවිතා කරන්නෙකු” ලෙස නම් කිරීමට තර්ජනය කර ඇත්තේ, එක්සත් ජනපදයට කෙරෙන චීන ආනයනවලට සියයට 45ක තීරු බදු දඩ පැනවීමේ හැකියාව ඇති කරමිනි. චීන රජයට අයත් යුදවාදී ග්ලෝබල් ටයිම්ස් පත‍්‍රයේ කතුවැකියක්, එකට එක කිරීමක් වසයෙන් මෙසේ යෝජනා කර ඇත: “බෝයින් ගුවන් යානා ඇනවුම් එයාර් බස් මගින් විස්ථාපනය කෙරෙනු ඇත, චීනය තුල එක්සත් ජනපද මෝටර් රථ හා අයිෆෝන් අලෙවිය පසුබසිනු ඇත, එමෙන් ම එක්සත් ජනපද සෝයා බෝංචි හා ඉරිඟු ආනයනය නවතිනු ඇත.”

ට‍්‍රම්ප්ගේ දන්ඩනීය වෙලඳ පියවරයන් බලපානු ඇත්තේ චීනයට පමනක් නොවේ. ජපානය, දකුනු කොරියාව හා ඕස්ට්‍රේලියාවට ද ඒවා බලපානු ඇත. චීනය එම රටවල විශාලම වෙලඳ හවුල්කරුවා ය. ඩයිවා සෙක්යුරිටි නම් ජපාන ආයෝජන බැංකුවට අනුව, චීන භාන්ඩ මත සියයට 15ක තීරු බද්දක් පැනවීම, චීන ආර්ථික වර්ධනයේ සියයට 1ක වැටීමකට හේතු වනු ඇති අතර සැලකියයුතු ලෙස එහි වෙලඳ පාර්ශ්වකරුවන්ගේ වර්ධන අනුපාතයන් ද පහල දමනු ඇත.

ට‍්‍රම්ප් පත්වීමෙන් පසුව පැන නැගුනු බරපතල අවිනිශ්චිතතාව මධ්‍යයේ, ආර්ථික හා මිලිටරි මූලෝපායන් යලි-ඇගයීමට ආසියාව හා ලෝකය පුරා ආන්ඩුවලට බල කෙරෙමින් පවතී.

ට‍්‍රම්ප් ටීටීපීය ගිල්වා දැමුව හොත් එහි එදිරිවාදී වෙලඳ ගිවිසුම―විස්තෘත කලාපීය ආර්ථික හවුල්කාරිත්වයකි (Regional Comprehensive Economic Partnership-)― පනගැන්වීම සඳහා චීනය සමග වැඩ කිරීමට ඔවුන්ට බල කෙරෙනු ඇතැ යි ජපාන අගමැති අබේ හා අනෙකුත් විදේශීය නායකයන් මේ වන විටත් අනතුරු අඟවා ඇත. ඒපෙක් රැස්වීමට පෙරාතුව අබේ දැඩි ලෙස සඳහන් කලේ, ආර්සීඊපී ආසියානු රටවල් බොහොමයක් මෙන් ම ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය ඇතුලත් කර ගන්නා නමුත් එක්සත් ජනපදය ඇතුලත් නො කර ගන්නා බව යි.

එක්සත් ජනපදය නොමැතිව ටීටීපීය ”පලක් නැතැ යි” කීමෙන් අබේ බැහර කලේ, සැබවින් ම ජපානයට නායකත්වය දීමට සිදුවන්නා වූ ද ඒ මගින් ආසියාව තුල වොෂින්ටන් ආධිපත්‍යයට තවත් අභියෝගයක් එල්ල කිරීමට සිදුවන්නා වූ ද වෙලඳ හවුලකි. වොෂින්ටනය සමග ගැටුමකට අබේ සූදානම් නොවීමට ඉඩ ඇති අතර, ජපාන පාලක ප‍්‍රභූවේ අනෙකුත් අය මේ වන විටත් යෝජනා කරමින් සිටින්නේ තමන්ගේම ආර්ථික හා මූලෝපායික උත්සුකයන් පිලිබඳ වඩා ආක‍්‍රමනකාරී ආරක්ෂාවක් පිලිබඳව ටෝකියෝව සලකා බැලිය යුතු බව යි.

දෙවතාවක් අබේ නායකත්වයට අභියෝග කර ඇති ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂයේ බලගතු නායකයෙකු වන ෂිගෙරු ඉෂිබි සඳුදා ප‍්‍රකාශ කලේ, ට‍්‍රම්ප් පාලනය බාර ගැනීමෙන් පසු ජපානයට වෙනස් ප‍්‍රවේශයක් ගැනීමට සිදුවනු ඇති බව යි. “ජපානයට නිකම්ම පසුපස වාඩි වී එක්සත් ජනපදය විසින් නියම කරන දේ කල නො හැක. අප ක්‍රියාකාරී යෝජනා ඉදිරිපත් කල යුතු අතර අවශ්‍ය තැන්වල දී අපගේ විදේශ ප‍්‍රතිපත්තිය වහා වෙනස් කල යුතු ය” ඔහු ප‍්‍රකාශ කලේ ය. එක්සත් ජනපද-ජපාන ආරක්ෂක ගිවිසුම අවසන් කිරීමට යෝජනා නො කරන අතර ඉෂිබි ඉල්ලා සිටියේ, ටෝකියෝව පැත්තෙන් සම්පූර්න සූදානම්වීමක් හා වඩාත් බලය අතට ගැනීමකි.

ට‍්‍රම්ප්ගේ ආක‍්‍රමනකාරී වෙලඳ යුද්ධ පියවර විශාල වසයෙන් කලාපය පුරා භූ-දේශපාලනික විරෝධයන් ඇවිස්සිය හැකි අතර එය චීනය සමග පමනක් නොව ජපානය වැනි චිරාගත මිත‍්‍රයන් සමග ද ගැටුමකට එක්සත් ජනපදය ඇද දැමිය හැක. ඓතිහාසික පරිහානිය තුල, අසියාව හෝ වෙන කිසි තැනක පැවතිය යුතු නීතිය තීන්දු කිරීමට වොෂින්ටනයට තව දුරටත් ආර්ථික හයි හත්තිය නොමැති අතර මිලිටරි මාධ්‍යයන්ගේ පිහිට පැතීමට එයට බල කෙරෙන්නේ ය.

යුද හමුදාව භට පිරිස් 90,000න් ද නාවික හමුදාව යුද නැව් 350 දක්වා 40න් ද තර කරමින් ඔහු එක්සත් ජනපද මිලිටරි ශක්තිය දෙගුන කරන බව ට‍්‍රම්ප් මේ වන විටත් ඇඟවුම් කර ඇත. ට‍්‍රම්ප්ගේ උපදේශක රූඩි ගුලියානි පසු ගිය සතියේ මෙසේ කයිවාරු ගැසුවේ ය: “350ක් නිසා, චීනයට ශාන්තිකර සාගරයේ දී අපට සම විය නො හැක... සාම්ප‍්‍රදායික මෙන් ම අසමමිතික යුදකාර්යයේ දී ඔබ ඔවුන්ට මුහුන දෙන්නේ නවීන, යෝධ, ඉතා ප‍්‍රභල මෙන් ම විශ්වාස කල නො හැකි තරම් හොඳ මිලිටරියක් සහිතවය. ඔවුන් අභියෝග කිරීමට ඉඩ ඇත, නමුත් මට එය සැක සහිත ය.”

යථාර්ථයේ දී, ට‍්‍රම්ප් පාලනාධිකාරය ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටින්නේ, ආසියාව තුල වෙලඳ යුද්ධය හා අවි තරඟය යි. එය විවෘත මිලිටිරි ගැටුමක අනතුර ගෙන එයි. යුද්ධය සඳහා වේගවත් වන මෙම තල්ලුවේ මූලයන් පවතින්නේ ට‍්‍රම්ප්ගේ පුද්ගලභාවය තුල නො ව, විදේශයන් හි දී සිය තරඟකරුවන් මත ද රට තුල කම්කරු පන්තිය මත ද බර පැටවීමට ගෝලීය හා කලාපීය බලවතුන් තල්ලු කෙරෙමින් පවතින ධනවාදයේ ගැඹුරුවන අර්බුදය තුල ය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: