ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්ථාපිතය එලඹෙන ට‍්‍රම්ප් පරිපාලනයට ආයාචනා කරයි

Sri Lankan political establishment appeals to incoming Trump administration

විලානි පීරිස් විසිනි, 2016 නොවැම්බර් 19

ඇමරිකානු ගැති ආන්ඩුවේ නායකයින් සහ පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ ඇතුලු පාලක පැලැන්තියේ සියලුම කන්ඩායම්, නව ඇමරිකානු ජනපති ඩොනඩ් ට‍්‍රම්ප්ගේ පරිපාලනය සමග සහයෝගී වීම සහතික කරමින් ප‍්‍රකාශ නිකුත් කර තිබේ.

ශ‍්‍රී ලංකාව සහ ඇමරිකාව “ගැඹුරු සහ දීර්ඝකාලීන ප‍්‍රජාතාන්ත‍්‍රික සම්ප‍්‍රදායන් සහ පොදු වටිනාකම් වලින් බැඳී සිටින” බව සඳහන් කරමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ට‍්‍රම්ප්ට සුබපැතුම් පනිවුඩයක් යවා ඇත.

2015 ජනවාරියේ තමන් බලයට පත්වූ තැන් පටන්, දෙරට අතර දේශපාලන බැඳීම් “ශක්තිමත්” වී ඇති බවත්, ට‍්‍රම්ප් සමග එක්ව “රටවල් දෙක අතර සම්බන්ධතාවය තවත් සවිමත් කර ගැනීමට හැකි වනු ඇතැයි” බලාපොරොත්තු වන බවත් සිරිසේන පැවසුවේය. අගමැති රනිල් වික‍්‍රමසිංහද එවැනිම පනිවුඩයක් නිකුත්කර තිබේ.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව දැඩි ලෙස වොෂින්ටනයේ සහයෝගය මත වාරු වී සිටියි. ඔබාමා පරිපාලනය ක‍්‍රියාත්මක කල තන්ත‍්‍රමාරු සැලැස්මකට අනුව ගිය වසරේදී සිරිසේන ජනාධිපති තනතුරේ පිහිටු වූයේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ එක්සත් ජාතික පක්ෂ නායක වික‍්‍රමසිංහගේ උදව්වෙනි.

එම මෙහෙයුම, චීනය රාජ්‍යතාන්ත‍්‍රිකව හුදකලා කිරීමත්, මිලිටරිමය වශයෙන් වැටලීමත් ඉලක්ක කරගත් ඇමරිකාවේ භූ මූලෝපායික “ආසියාවට හැරීමේ” කොටසකි.

බීජිනය සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වර්ධනය වෙමින් පැවති ආර්ථික සහ දේශපාලන සබඳතාවලට වොෂින්ටනය සතුරු විය. දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය අතරතුර සිදුවූ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) යෝජනාවලියක් ඉදිරිපත් කලේය.

ඇමරිකානු මෙහෙයුමේ ඉලක්කය වූයේ, රාජපක්ෂට චීනයෙන් ඈත්වීමට බලකිරීමයි. ශ‍්‍රී ලංකාව තුල චීනයේ බලපෑමට සතුරු ඉන්දියාව, තිරය පසුපස සිට මෙහෙයුමට සහාය දුන්නේය.

සිරිසේන ජනාධිපති වූ විගසම ඔබාමා පරිපාලනය එම යෝජනාවලිය, ජාත්‍යන්තර කමිටුවක සිට “දේශීය පරික්ෂනයක්” දක්වා වෙනස් කිරීමට මැදිහත් විය. එය කොලඹ නව පාලනයට සුදු හුනු ගෑමක් විය.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඉතා ඉක්මනින් දිවයින අසියා-පැසිපික් කලාපයේ වොෂින්ටන් යුද මූලෝපාය පිටුපස පෙලගැස්වීය. සැප්තැම්බරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුලුවක දිවා ආහාරය අවස්ථාවේ බරක් ඔබාමා, ශ‍්‍රී ලංකාව “ලොවටම ආදර්ශයක්” යැයි ද ලංකාවට “පූර්න සහාය” ලබා දෙන බව ද කියමින් නව ආන්ඩුවට සුභ පැතුවේය.

රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, එක්සත් ජාතීන්ගේ තානාපති සමන්තා පවර් ඇතුලු ඔබාමා පරිපාලනයේ ජ්‍යෙෂ්ට නිලධාරීහු ලංකාවට පැමින නව ආන්ඩුවට ප‍්‍රශංසා කලහ. ඇමරිකාවේ පැසිෆික් ආසියා මිලිටරි මෙහෙයුම් මධ්‍යස්ථානය, ලංකාව සමග මිලිටරි සබඳතා ක‍්‍රමිකව ගොඩනගමින් සිටියි.

ට‍්‍රම්ප්ට පලවූ සිරිසේන-වික‍්‍රමසිංහගේ සුභාශිංසන මැද වුව ද පාලක පැලැන්තියේ ඇතැම් කොටස්, වොෂින්ටනය සමග පවතින වත්මන් සබඳතා එලඹෙන ට‍්‍රම්ප් පරිපාලනය විසිනුත් ඉදිරියට ගෙන යාම පිලිබඳව සැක පල කරති.

නොවැම්බර් 14 සන්ඩේ ටයිම්ස් කතුවැකිය මෙය පෙන්නුම් කරයි. නිදහස් වෙලඳ ගිවිසුම් වලට ට‍්‍රම්ප් දක්වන විරුද්ධත්වය, විදේශ ආයෝජකයන් ගෙන්වාගැනීම සහ ඇමරිකාව අතර වෙලඳ ගනුදෙනු ගොඩනගා ගැනීමට බලා සිටින ශ‍්‍රී ලංකාවට හිතකර වනු නැත. ශ‍්‍රී ලංකාවේ විදේශ ඇමති “ඩිමොක‍්‍රටික් පක්ෂය විසින් බලගැන්වූ රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ඒ හරහා දෙමල ඩයස්පෝරාව” සමග පවත්වාගෙන ආ “ගැඹුරු මිතුරුදම” නව ඇමරිකානු පරිපාලනය සමග “මුල සිට පටන් ගැනීමට සිදුවන්නේ ද” යන්න පිලිබඳව එහි සඳහන් කර ඇත.

හිටපු ජනාධිපති රාජපක්ෂ වහාම ට‍්‍රම්ප්ට සුබපැතුම් පල කලේ, ඔබාමා පරිපාලනය ඔහුට සැලකු ආකාරය ගැන වක‍්‍රව චෝදනා කරමිනි. හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ්. ඩබ්ලිව්. බුෂ් ගෙන් සිය ආන්ඩුවේ මිලිටරි ප‍්‍රවර්ධනය සඳහා ලැබුනු සහාය වෙනුවෙන් රාජපක්ෂ සිය කෘතඥතාව පලකර ඇත. “රිපබ්ලිකන් පාලනය විශේෂයෙන් රාජ්‍යතාන්ත‍්‍රික සහ ඔත්තු සැපයීම් වශයෙන් ශ‍්‍රී ලංකාවට පුලුල් සහයෝගයක් ලබාදුන් අතර එය මගේ ආන්ඩුවට, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය නිට්ඨාවටම පරාජය කිරීම සඳහා උදව් විය” ඔහු පැවසීය.

ලංකාවේ යුද අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ පරීක්ෂනයට ට‍්‍රම්ප් සහාය නොදේ යැයි සිතන රාජපක්ෂ මෙසේ කියයි. “සියලු ජාතීන්ගේ ස්වෛරී සමානතාවයේ මූලධර්ම මත පදනම් වන සහ ජාතික රාජ්‍යන්හි අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීමේ නව ලෝක නීතියක් අපි බලාපොරොත්තු වෙමු.”

ට‍්‍රම්ප් වෙත රාජපක්ෂ ඉදිරිපත් කරන යෝජනාව, විවිධ ස්වෝත්තමවාදී සංවිධානවල සහායෙන්, ආන්ඩුවට සහ එහි සමාජ කප්පාදු වලට එරෙහිව වර්ධනය වන අතෘප්තිය ගසාකා නැවත බලයට එම සඳහා දැරෙන උත්සාහයේ කොටසකි.

සිංහල අන්තවාදී කල්ලි ට‍්‍රම්ප්ගේ තේරී පත්වීමෙන් උද්දාමයට පත්ව සිටිති. සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම් කිහිපයක් නියෝජනය කරන ජාතික සංවිධාන සම්මේලනය (ජාසංස) එවැන්නකි.

එහි කැඳවුම්කරු පසුගිය සතියේ කොලඹ මාධ්‍යට පැවසුවේ, සිය කන්ඩායම ට‍්‍රම්ප්ගේ ජය “මුලුමනින්ම” පිලිගන්නා බවත්, ඔහුගේ සංක‍්‍රමනික විරෝධී උද්ඝෝෂනයට ආචාර කරන බවත්ය. ඔහුට අනුව ට‍්‍රම්ප්ගේ පත්වීම පෙන්නුම් කරන්නේ, “ප‍්‍රධාන මැතිවරන ජයගත හැක්කේ බහුතර ජන කන්ඩායමේ ශක්තිය මත පාදකවීමෙනි”. ශ‍්‍රී ලංකාවේ දේශපාලනයට පරිවර්තනය කල විට එහි අර්ථය, දේශපාලන ජීවිතයේ සියලු අංශවල සිංහල බහුතරයේ නිර්දය ආධිපත්‍යයයි.

එල්ටීටීඊයට එරෙහි යුද්ධය ගෙනගිය හිටපු ජනාධිපති රාජපක්ෂගේ සොහොයුරු සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට, ජාසංස මේවන විට සහාය දක්වයි. ගෝඨාභය රාජපක්ෂ ට‍්‍රම්ප්ගේ “සංස්ථාපිත විරෝධී” මවාපෑම ප‍්‍රශංසාවට ලක් කලේය.

දෙමල ධනපති පක්ෂවල ඒකාබද්ධ සංවිධානය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), ගිය වසරේ සිරිසේන බලයට ගෙන ඒමේ මෙහෙයුමට මුලුමනින්ම සහාය දැක්වී ය. වොෂින්ටනයේ උපදෙස් අනුව ටීඑන්ඒ නායකයෝ, පාර්ලිමේන්තුව තුල ආන්ඩුවට අඛන්ඩව සහයෝගය දෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති කප්පාදු පියවරයන් ට ද සහාය පල කරති. ඔවුහු ආන්ඩුව සමග එක්ව අයවැයට පක්ෂව ඡන්දය දුන්හ. සිරිසේන ජානාධිපති වීමෙන් පසුව ලංකාවට පැමිනි වොෂින්ටනයේ ජ්‍යෙෂ්ට නිලධාරීහු, කලාපයේ ඇමරිකානු භූ මූලෝපායික අරමුනු වෙනුවෙන් පෙලගැසී සිටින ටීඑන්ඒ නායකයින් සමග සාකච්ඡා පවත්වති. ටීඑන්ඒ සහ අනෙකුත් දෙමල පක්ෂ නායකයින් බලාපොරොත්තු වුනේ, හිලරි ක්ලින්ටන් ජනාධිපතිවරනයෙන් ජයගනු ඇතැයි කියාය.

ඇමරිකානු ජනාධිපතිවරනයට දින පහකට පෙරාතුව උතුරු පලාත් සභාවේ නියෝජිතයෝ දෙදෙනෙක් වන එම්.කේ ශිවාජිලිංගම් සහ ආනන්දී සසිධරන්, ක්ලින්ටන්ට ජය පතා හින්දු කෝවිලක සහ කතෝලික පල්ලියක යාඥා පැවැත්වූහ.

ශිවාජිලිංගම් පැවසුවේ, ක්ලින්ටන් ජයග‍්‍රහනය කිරීම, ශ‍්‍රී ලංකාවේ දෙමල ජනයා මුහුනදෙන දේශපාලන සහ සමාජ ප‍්‍රශ්න විසඳීමට රුකුලක් වනු ඇති බවයි. දෙමල ධනපති පක්ෂවලට දෙමල කම්කරු පීඩිත ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍ර අයිතීන් ගැන උනන්දුවක් නැත. ඒ වෙනුවට ඔවුහු සිය දේශපාලන වරප‍්‍රසාද ආරක්ෂා කරගැනීම උදෙසා සීමිත බලය බෙදීමක් වෙනුවෙන් ඇමරිකාවේ සහාය සොයා යති.

කැලඹී සිටින ටීඑන්ඒ නායකයියෝ දැන් එලඹෙන ට‍්‍රම්ප් පාලනයෙන් උදව් පතති. ග්ලෝබල් ටැමිල් නිවුස් හි කෙටි සටහනක, ටීඑන්ඒ හා විපක්ෂ නායක ආර්. සම්බන්දන් පවසා ඇත්තේ: “ප‍්‍රශ්න [දෙමල ජනයාගේ] විසඳා ගැනීමට අපට ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ සහය ලැබෙනු ඇත, එක්සත් ජාතීන් සම්මත කර ඇති යෝජනාව අපි [ඔහුට] පැහැදිලි කරන්නෙමු” යනුවෙනි. සම්බන්දන් අන්ධ ලෙස විශ්වාස කරන්නේ, නව ට‍්‍රම්ප් පාලනය යටතේ ඇමරිකාවේ ප‍්‍රතිපත්ති වෙනස් නොවනු ඇති බවයි.

ඔවුන් අතර පවතින උපක‍්‍රමික වෙනස්කම් කෙසේ වෙතත්, දිවයිනේ පාලක පැලැන්තියේ සියලු කොටස්, නව ඇමරිකානු ජානධිපතිට සේවය කිරීමට සැරසෙමින් සිටිති. මේ වනවිටත්, ඔබාමා යටතේ ක‍්‍රියාත්මකවූ තන්ත‍්‍රමාරු මෙහෙයුම ප‍්‍රදර්ශනය කර ඇති පරිදි, කාලපය තුල වොෂින්ටනයේ භූ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් පාලක ප‍්‍රභූව දිගටම සේවය කල යුතු බවට ට‍්‍රම්ප් පාලනය ද බලකර සිටිනු ඇත.

Share this article: