යුරෝපීය සංගමයේ විදෙස් ඇමතිවරන්ගේ හමුව තුල ඇමරිකාව, සිරියාව මුල්කරගෙන රුසියානු විරෝධී පිලිවෙත ඉස්මතු කරයි

US steps up anti-Russian rhetoric over Syria as EU foreign ministers meet

රොබ්ට් ස්ටීවන්ස් විසිනි, 2016 ඔක්තෝබර් 17

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හා යුරෝපීය සංඟමයේ (යුසං) විදේශ ඇමතිවරුන් අතර 16දා ලන්ඩන්හිදී, සිරියානු ප‍්‍රශ්නය සාකච්ඡාවට ගනු ලැබින.

ඇමරිකාව, ජනාධිපති බෂර් අල් අසාද් බලයෙන් පහ කිරීමට සටන් වැද සිටින ඉස්ලාමීය මිලිෂියාවන් සන්නද්ධ කරන අතර රුසියාව මැද පෙරදිග සිය ප‍්‍රධාන සහචරයා වන සිරියානු ආන්ඩුවට සහාය දක්වයි

.

සාකච්ඡා නිල වශයෙන් කැඳවා තිබුනේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් වුව ද රටවල් 10ක නියෝජිතයින් රැස්ව සිටියේ, ඊට පෙර දින ස්විට්සර්ලන්තයේ ලෝසන්හිදී රුසියානු විදේශ ඇමති හා කෙරී අතර පැවති සාකච්ඡාව පිලිබඳ වාර්තාවට ඇහුන්කන් දීමටය.

ලන්ඩන්හි රැස්ව සිටියේ ජොන්සන්ගේ ප‍්‍රන්ස, ජර්මානු හා ඉතාලි සහචරයින්ය. ඊට අමතරව ගල්ෆ් රටවල් ගනනාවක නියෝජිතයෝ ද ඊට එක්ව සිටියහ. ඔවුහු සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් බලයෙන් පහකිරීම පිනිස සටන් වැද සිටින මිලිෂියාවන්ට සහාය දීමේදී මුඛ්‍ය ක‍්‍රියාකලාපයක් ඉටු කරති.

කිසිදු එකඟත්වයකට පැමිනීමෙන් තොරව පැය හතර හමාරක් පැවති සාකච්ඡාවන්ට, ඉරානයේ, සව්දි අරාබියේ, කටාර්, තුර්කි, ඊජිප්තු ජොර්දාන හා ඉරාක නියෝජිතයෝ සහභාගී වී සිටියහ. රුසියාවේ බල කිරීම මත යුරෝපීය සංඟමයේ නියෝජිතයින් සාකච්ඡාවට සහභාගී නොවීය. ලැව්රොව් කියා සිටියේ, සිරියාවේ සටන් විරාමයක් සඳහා පවතින එකම පදනම, සිරියානු “මධ්‍යස්ථ” කැරලිකරුවන්, කලින් අල් නුස්රා ලෙස හැඳින්වූ ඉස්ලාමීය ජබාට් අල් ෆටා අල් ෂාම් කැරලිකරුවන්ගෙන් වෙන්වීම බවය.

සති අන්ත රැස්වීම එලඹෙමින් තිබියදී ජොන්සන්, ලේබර් පක්ෂ දක්ෂිනාංශයේ ද සහාය ඇතිව, මොස්කෝවට “යුද අපරාධ” චෝදනා එල්ල කල යුතුය යන උද්ඝෝෂනය ගෙන ගියේය. ඔහුට අනුව රුසියාව “පාහර” රාජ්‍යයකි. ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, නැගෙනහිර ඇලෙප්පෝවේ සටන් වැදී සිටින විපක්ෂ සටන්කරුවන්, සටන් විරාමයට පෙරාතුව අල් නුස්රාවෙන් වෙන් වීම යථාර්තවත් නොවන බවය. තවත් “මිලිටරි විකල්පයන්” ගැන ද ලන්ඩන්හිදී සාකච්ඡා කරනු ඇති බව ඔහු පැවසීය.

සාකච්ඡාවන්ට පෙරාතුව ගාඩියන් පත‍්‍රය වාර්තාකර තිබුනේ, “සිරියාව තුල බෝම්බ නොහෙලන කලාපයක් ඇටවීමේ දිගු කාලීන හැකියාව ගැන ප‍්‍රන්ස ආන්ඩුව ද ඇමරිකානු රාජ්‍ය ලේකම් ද සමග අක්ෂයක්” ජොන්සන් විසින් ඇතිකරගෙන තිබෙන බවය. “මුලු සිරියාවම ඇතුලත් බෝම්බ නොහෙලීමේ කලාපය තුල කිසිදු ගුවන් ප‍්‍රහාරයක් එල්ල කිරීම තහනම් වනු ඇත. කලාපය තුල සිටින බටහිර මිත‍්‍රයන් විසින් නිරීක්ෂන කටයුතු සිදුකරන අතර, සටන් විරාමය බිඳින සෑම අවස්ථාවකම රුසියාවේ ඉලක්කයන්ට නොව, සිරියාවේ ගුවන් පථ හා ආන්ඩුවේ මධ්‍යස්ථාන වැනි තැන් වලට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කෙරෙනු ඇති” බව එය අවධාරනය කර තිබුනි.

විදෙස් ඇමතිවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව ජොන්සන් ප‍්‍රකාශ කිහිපයක් කරනු ලැබුව ද කථා කලේ ජෝන් කෙරීය. ජොන්සන් විසින් සිරියාවේ සිදුවීම් විස්තර කරනු ලැබුවේ “නොඉවසිය හැකි මනුෂ්‍ය සංහාරයක්” ලෙසය. “රුසියාවේ හා ඉරානයේ රූකඩයින්ගේ සහාය ඇතිව එය සිදුකරනු ලබන්නේ අසාද් තන්ත‍්‍රය විසින්” බවය.

සිරියාවේ තත්වය පැහැදිලි කරමින් කෙරී මෙසේ පැවසීය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිව තිබෙන “විශාලතම මානව ව්‍යසනය (හමුවේ) අප අමතර සම්බාධක (අසාද්ට එරෙහිව) ගැන සලකා බලමින් සිටින අතර අප පැහැදිලිවම කිව යුත්තේ ජනාධිපති ඔබාමා කිසිදු විකල්පයක් මේසය මතින් ඉවත් කර නැති බවය.” විශාල මැද පෙරදිග යුද්ධයක් හමුවේ සිරියාව ගෙන ඇත්තේ, “මහ බලවතුන් අතර ගැටුමක් ගිනි ඇවිලවීමේ” අවදානමයි.

සිරියාවේ ඩැමස්කස් අගනුවර හා දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝව ද ආන්ඩුවේ හමුදා අතට පත්වුන ද ඇමරිකාව දිගටම අසාද්ට හා රුසියාවට විරුද්ධ වනු ඇතැයි කෙරී සහතික විය. “රුසියානුවන් සේම අසාද් ද වටහාගත යුත්තේ, එය යුද්ධයේ අවසානය නොවනු ඇති” බවයි.

කෙරීගේ යුදවාදී ප‍්‍රකාශ සලකුනු කරන්නේ, මොස්කෝව සමඟ ගැටුමක් යුක්ති යුක්ත කිරීමේ වාතාවරනය නිර්මානය කිරීමේ උත්සාහයක යෙදෙමින් රුසියාව රාක්ෂයෙකු ලෙස පෙන්වීමේ ධවල මන්ඳිරයේ උපායයි. “මාධ්‍යම හමුවන්න” වැඩසටහනට එක්වෙමින්, ඩිමොක‍්‍රටික් ජාතික කවුන්සලය හා අනෙකුත් දේශපාලන සංස්ථා ඉලක්ක කරමින් සයිබර් ප‍්‍රහාර මාලාවක් එල්ල කිරීම ගැන රුසියාවට දොස් පවරන අතර ඇමරිකානු උප ජනාධිපති ජෝ බිඩෙන් 16දා පැවසුවේ, රුසියාවට එරෙහිව එකට එක කිරීමට ඇමරිකාවට පුලුවන් බවයි.

සිකුරාදා එන්බීසී වාර්තා කලේ, සීඅයිඒ යොදවාගෙන ඇමරිකාව, රුසියාවට සයිබර් ප‍්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවයි. බිඩෙන් මෙසේ පැවසීය. “අපි පනිවිඩයක් යවන්නෙමු. අපට එසේ කිරීමේ හැකියාව ඇත.... එය අප තෝරා ගන්නා වෙලාවක සිදුවනු ඇත. ඒ විශාලතම බලපෑම ඇතිකල හැකි අවස්ථාවේය.”

සිරියාව තුල තම මිලිටරි මෙහෙයුම් ඉහල නැංවීමේ අවස්ථා ගැන සාකච්ඡා කිරීමට ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ඔබාමා, සිය විදේශ ප‍්‍රතිපත්ති පිලිබඳ උපදේශකයින් හමු විය. රොයිටර් වාර්තාවකට අනුව, “අභ්‍යන්තර තොරතුරු ප‍්‍රසිද්ධියේ සාකච්ඡා නොකිරීමේ කොන්දේසි යටතේ එක් නිලධාරියෙක් නිර්නාමිකව පැවසුවේ, සිරියානු මිලිටරි මධ්‍යස්ථාන වලට, අවි ගබඩා වලට නැතිනම් රේඩාර් හා ගුවන් යනා නාශක මධ්‍යස්ථාන වලට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම වැනි ඇමරිකාවේ සෘජු මිලිටරි පියවර ඇතුලු විකල්ප පෙලක් ඇත” යනුවෙනි.

මේ අතර ඇමරිකානු නිලධාරීන් පැවසුවේ, “සිරියානු ආන්ඩුවේ ඉලක්ක වෙත ඇමරිකානු ගුවන් ප‍්‍රහාරයන්ට ඔබාමා අන නොකරනු ඇති බව තම අදහස” බවය. ඒ වෙනුවට ඇමරිකාව “ඇමරිකාවට පක්ෂපාතී කැරලිකරුවන්ට වඩාත් නවීන ආයුධ සම්පාදනය සඳහා සිය මිතුරන්ට අවසර දෙනු ඇත....”

ලන්ඩන් සාකච්ඡාවන්ගේ දිගුවක් ලෙස අද ලක්සම්බර්ග්හිදී, යුසං විදෙස් ඇමතිවරු අතර සිරියානු ගැටුම පිලිබඳව සාකච්ඡා කෙරෙනු ඇත. රුසියාව සමඟ යුසං පුලුල් සම්බන්ධකම් මුල්කරගෙන සතිය අග හරියේදී බ‍්‍රසල්ස්හිදී දෙදින සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.

ඔබාමා පාලනය, රුසියාව සමඟ සෘජු ගැටුමක් බවට පත්විය හැකි, අසාද්ට විරුද්ධ මිලිටරි පියවර දැඩි කිරීම සඳහා සහාය ගොනු කිරීමට හැකි සියල්ල කරමින් සිටී. මෙහිදී ප‍්‍රමුඛ වන්නේ, යුරෝපීය බලවතුන් අතර පොදු ආස්ථානයක් ඇතිකර ගැනීමයි. සිරියාව හෝ රුසියාව සම්බන්ධයෙන් ඔවුන් අතර ඇමරිකානු පිලිවෙත සම්බන්ධ පූර්න එකඟත්වයක් නැත.

යුසං විදෙස් ඇමති රැස්වීමට පෙරාතුව Foreign Policy (විදෙස් ප‍්‍රතිපත්ති) සඟරාව, ඇමරිකාවේ හා එහි ප‍්‍රධාන සහචරයින්ගේ බලපෑම හමුවේ යුසං විදෙස් ඇමතිවරු, “'යුද අපරාධයක් සේ සැලකිය හැකි', සිරියානු ආන්ඩුවේ බිහිසුනු ඇලෙප්පෝ ප‍්‍රහාරයන්ට සහාය දීම” මුල්කරගෙන රුසියාව නිල වශයෙන් වරදකරු කිරීමට සැලසුම් කරමින් සිටිති. “යුසං මුල් කෙටුම්පත කෙලින්ම රුසියාව නම් කර නොතිබුන ද පසුව ප‍්‍රන්ස, බ්‍රිතාන්‍ය හා ජර්මානු ආන්ඩුවල බලකිරීම මත එය ඇතුලුකර තිබෙන” බව ලිපිය සඳහන් කරයි.

“බෝම්බ දැමීමේ කටයුතු වලට සම්බන්ධ සිරියානු ආන්ඩුවේ නිලධාරීන් 20ට පමන සම්බාධක පැනවීම සඳහා සහාය දීමට ඔවුහු අපේක්ෂා කරති.

හිටපු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙක් හා දැන් මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ යුරෝපීය ඇමරිකානු මූලෝපාය වර්ධනය කිරීමේ යෙදී සිටින ජෙෆ් රත්කි ගැන එහි සඳහන්වේ. ඔහු මෙසේ පවසා ඇත. “ඇමරිකාව තමන්ගේ විකල්ප සලකා බලමින් සිටියදී රුසියාව එරට කටයුතු වෙනුවෙන් වියදම දැරිය යුතුය යන පනිවිඩය යැවීම වැදගත්ය. යුරෝපය තම පිලිවෙත වඩාත් පැහැදිලි හා දැඩි කරමින් සිටීම යහපත්ය.”

ඇමරිකානු අධිරාජ්‍යවාදය මුහුන දෙන තවත් උභතෝකෝටිකයක් වන්නේ, තමන්ගේ යුද උන්මාදයට ලෝකයේ බහුතර ජනතාවක්, විශේෂයෙන්ම යුරෝපයේ, විරුද්ධ වීමයි. “දැන් නම් හොඳටම ඇති, රුසියාවට දිනුම නොදිය යුතුය” යන කෙරීගේ ප‍්‍රකාශ ගැන ස්කයි නිව්ස් මාධ්‍යවේදියෙකු ප‍්‍රශ්න කල විට කෙරී විරුද්ධත්වය පවතින බව පිලිගත්තේය. “යුද්ධයට යාම සම්බන්ධයෙන් යුරෝපීය ජනතාව තුල පිපාසාවක් ඇති බවක් මට නොපෙනේ. යුරෝපීය රටවල පාර්ලිමේන්තු යුද ප‍්‍රකාශ කිරීමට සූදානම් බවක් මට නොපෙනේ. මෙහි ඇති හොඳම විසඳුම එය බව බොහොමයක් රටවල් තීරනය කරන බවක් මට නොපෙනේ.”

කෙරීගේ ප‍්‍රකාශ කෙසේ වෙතත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අරමුන, සමස්ත යුරේසියානු භූ ස්කන්ධය මත සිය ආධිපත්‍යය පිහිටුවීමයි. මේ අරමුන වෙනුවෙන් ඇමරිකාව, මිලිටරිමය වශයෙන් රුසියාව පරාජය කිරීම දක්වා ඇදී යයි. මානව වර්ගයා මුහුනපා සිටින්නේ, න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු අතර ව්‍යසනකාරී යුද්ධයක තර්ජනයටය. මේ සතියේ සාකච්ඡාවන්හි ප‍්‍රතිපලය කුමක් වුවත් ඇමරිකාව, තම සියලු අරමුනු ඉටුකර ගැනීම සඳහා වඩාත් ආක‍්‍රමනකාරී ලෙස ප‍්‍රතිචාර දක්වනු ඇත.

Share this article: