ඉන්දියානු ප‍්‍රහාරයෙන් අනතුරුව මුහුන පෑ “මූලෝපායාත්මක හුදෙකලාවෙන්” පකිස්තානු ප‍්‍රභූව කැලඹෙයි

Pakistani elite rattled by “strategic isolation” following Indian attack

කීත් ජෝන්ස් විසිනි, 2016 ඔක්තෝබර් 8

අසාද් හෙවත් පකිස්තාන පාලනය යටතේ පවතින කාෂ්මීරයට සැප්තැම්බර් 28 - 29 දිනවල ඉන්දියාව විසින් එල්ල කෙරුනු මිලිටරි ප‍්‍රහාර හමුවේ මුහුන පා සිටින “මූලෝපායාත්මක හුදෙකලාවෙන්” පකිස්තානු ප‍්‍රභූව කැලඹීමට පත් ව ඇත.

පකිස්තානයේ ස්වෛරීභාවය අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් වන මෙකී ප‍්‍රහාර, ඉන්දියාව හා පකිස්තානය අතර යුද මූලෝපායාත්මක තරඟය නව මට්ටමක් කරා උත්සන්න කිරීමක් සනිටුහන් කරයි. එමඟින් දකුනු ආසියාවේ න්‍යෂ්ටික අවි දරන පසමිතුරු රාජ්‍ය දෙක තල්ලුවෙමින් තිබෙන්නේ, න්‍යෂ්ටික බලවතුන් අතර ප‍්‍රථම යුද්ධය විය හැකි සංග‍්‍රාමයක අද්දරටය.

මෙහිදී ඉන්දියාවේ විෂකුරු දක්ෂිනාංශික, හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව, එම ප‍්‍රහාර පිලිබඳව ප‍්‍රසිද්ධියේ නිවේදනය කොට, එමඟින් ඉන්දියාවේ මිලිටරි බලය පිලිබඳව කයිවාරු ගැසීම සුවිශේෂී ලෙසම ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවකි.

දශක හතරක් පුරා පකිස්තානයට එරෙහිව තමන් මිලිටරි ක‍්‍රියාන්විතයන්හි නිරත වන බැව් ඉන්දියාව පිලිගත්තේ නැත. ඊට හේතු වූයේ එසේ පිලිගැනීම පූර්න පරිමාන යුද්ධයක් කරා සර්පිලාකාරව නැඟ ගනු ඇති ප‍්‍රහාර හා ප‍්‍රතිප‍්‍රහාර මාලාවක් පුපුරා යාමට හේතු වනු ඇති බවට වූ බියයි. එහෙත් මිලිටරියේ හා සංස්ථාපිත මාධ්‍ය වැඩි කොටසක සහය ලබන බීජේපී ආන්ඩුව, “ක‍්‍රීඩාවේ නීතිරීති වෙනස් කිරීමට” අධිෂ්ඨාන කොට ගෙන සිටී.

ඉන්දියානු ආක‍්‍රමනය ජාත්‍යන්තරව හෙලා දකින ලෙසට පකිස්තානය විසින් කරන ලද ආයාචනා, බීරි අලින්ට වීනා වැයීමක් බවට පත් වීමෙන් එරට පාලක පන්තිය කම්පාවට පත්ව සිටිති.

උපායාත්මක ලෙස චීනය වටලා යුද්ධය සුදානම් කිරීම් වස් නවදිල්ලිය යොදා ගැනීමට දශකයකට වැඩි කාලයක් පුරා ඉන්දියාවට “මූලෝපායාත්මක ආධාර” සැලසූ වොෂින්ටනය මෙයට පසුබිම සැකසීය.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයන් ප‍්‍රහාර පිලිබඳව ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, එක් අතෙකින් නවදිල්ලිය හා ඉස්ලාමාබාදයට සාකච්චා පවත්වන ලෙස හුදු ‘සිරිතක් ලෙසට' කැඳවුම් කරන අතර, ඉන්දියාවේ ඉල්ලීම් හා හරියටම සැසඳෙන පරිදි, “ත‍්‍රස්තවාදී” ප‍්‍රහාර සඳහා සිය භුමිය භාවිතා කිරීම වැලැක්වීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස පකිස්තානයෙන් ඉල්ලා සිටීමෙනි.

වොෂින්ටනයේ ආකල්පය වඩාත් පැහැදිලි ලෙස ප‍්‍රදර්ශනය කරමින් ඉන්දියානු ප‍්‍රහාර අනුමත කිරීමට හිටපු ඇමරිකානු නිලධාරීහු රොද බැඳ සිටිති. ඇෆ්ගනිස්තානයට එරෙහි යුද්ධයේදී සැපයුම් හා ක‍්‍රියාන්විත සංවිධානයෙහි ලා පකිස්තානයෙන් ලැබෙන සහාය මත ඇමරිකාව දිගින් දිගටම යැපී සිටියේය. මේ ‘හිටපු' නිලධාරින් අවිවාදයෙන් එකඟ වන්නේ, එම ප‍්‍රහාර හොඳින් නිරීක්ෂනය කොට, ගනන් බලා එල්ල කල බවටයි. ඔවුන්ට අනුව, පකිස්තානයට එරෙහි මිලිටරි ක‍්‍රියාමාර්ග තුලින් ඉන්දියාව සිදු කර ඇත්තේ එක්සත් ජනපදයම නැවත නැවතත් සිදුකල යමක් තමන් ද සිදු කිරීම පමනෙකි.

යුරෝපා සංගමයේ විශාලතම බලවතා වන ජර්මනිය, පකිස්තානයට එරෙහි ඉන්දියානු ආක‍්‍රමනයට සහය දීමට ඔබාමා පාලනයට ද වඩා ඍජු ලෙස ඉදිරිපත් වී සිටියි. පසුගිය 5 වන බදාදා හයිද්‍රබාදයේ පැවැති රැස්වීමක දී ඉන්දියානු ප‍්‍රහාර පිලිබඳ ජර්මානු ආකල්පය සම්බන්ධයෙන් මතු කෙරුනු ප‍්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඉන්දියාවේ ජර්මන් තානාපති මාර්ටින් නේ පැවසුවේ, ජර්මනිය ඊට සහාය දෙන බවයි. “සෑම රාජ්‍යයටම තම භුමි ප‍්‍රදේශ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ අයිතිය පිලිබඳව පැහැදිලි අන්තර්ජාතික ප‍්‍රතිමානයන් ඇතැ”යි නේ පැවසීය.

“ත‍්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව සමඟ උරිනුර ගැටී සිටීම හුදු හිස් දේශපාලන වචන මාලාවකට සීමා නොවී සංයුක්ත ව්‍යාපෘතීන් ඒ පසුපස පවතින බවට මට සහතික විය හැකියැ”යි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දියානු ක‍්‍රියා ත‍්‍රස්තවාදයට එල්ල කෙරුනු අත්‍යවශ්‍ය ප‍්‍රහාර ලෙස චිත‍්‍රනය කරමින් කලින් නිකුත් කෙරුනු රුසියානු නිවේදනය තවදුරටත් පැහැදිලි කරමින්, ඉකුත් සතිය මුල දී ඉන්දියාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කැඩකින් ඉන්දියානු රුපවාහිනී ආයතනයක් අමතා මෙසේ පැවසීය: “මේ හදිසි හා තියුනු ප‍්‍රහාරය අපි සතුටින් පිලිගන්නෙමු. තමන්ගේ ආරක්ෂාව සඳහා සෑම රටකටම අයිතියක් ඇත.”

රුසියාව ඉන්දියාව සමඟ සීතල යුද්ධ කාලයේ පටන්ම දිර්ඝකාලීන යුද මූලෝපායාත්මක හවුලක් පවත්වා ගෙන ගොස් ඇත. කෙසේ වෙතත් නරේන්ද්‍ර මෝදිගේ බීජේපී ආන්ඩුව යටතේ ඉන්දියාව වෙන කවරදාකටත් වඩා පරිපූර්න ලෙස එක්සත් ජනපදයේ “ආසියාවට හැරීමේ” චීන විරෝධී වැඩපිලිවෙල හා සමෝධානය වීම සමඟ මෙම සම්බන්ධතා ඇල්මැරුනු ස්වභාවයකට පත්ව ඇත. ඉන්දියානු හමුදා කඳවුරු ඇමරිකානු යුද ගුවන්යානා හා යුද නැව්වල නිතිපතා භාවිතය සඳහා විවෘත කිරීම ද ආසියා පැසිෆික් කලාපයේ ඇමරිකාවේ මිත‍්‍ර සහචරයන් වන ජපානය හා ඕස්ට්‍රේලියාව සමඟ ද්විපාර්ශ්වික හා ත්‍රෛපාර්ශ්වික බැඳුම් සවිමත් කිරීම ද මීට ඇතුලත්ය.

පකිස්තානයට එරෙහි ඉන්දියානු යුද ක‍්‍රියාමාර්ගවලට රුසියාවෙන් එකහෙලා පල වූ සහාය විශේෂයෙන්ම වැදගත් වනුයේ මෑතක දී මොස්කව් පාලනය ඉස්ලාමාබාදය සමඟ යලි මිත‍්‍රත්වයක් ගොඩ නඟා ගැනීමට ක‍්‍රියා කල හෙයිනි. ප‍්‍රථමවරට ඉස්ලාමාබාදයට යුද අවි විකිනීම මෙන්ම පසුගිය මාසයේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ප‍්‍රථමවරට සිදුකිරීම ද මීට ඇතුලත් විය.

දකුනු ආසියාව තුල බලගතු සහායක් පෙලගස්වා ගැනීමට ද ඉන්දියාව සමත් ව සිටී. පකිස්තානු දේශසීමා ආරක්ෂක භටයන් හා තම බලඇනි අතර ගැටුම් පසුගිය මාසවලදී නිරතුරුව අත්දුටු බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය ද ඉන්දියානු ප‍්‍රහාර අනුමත කරති. ඊට පෙර, පකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ කලාපීය සහයෝගිතාවය සඳහා වූ දකුනු ආසියාතික (සාක්) සංවිධානයේ සමුලුව වර්ජනය කිරීම සඳහා බංග්ලාදේශය, භූටානය, ඇෆ්ගනිස්තානය හා ශ‍්‍රී ලංකාව බලමුලු ගන්වා ගැනීමට ඉන්දියාව සමත් වූ අතර ඒ අනුව එම සමුලුව අවලංගු කිරීමට ඉස්ලාමාබාදයට සිදුවිය.

ඩෝන් නම් පකිස්තානයේ වඩාත්ම බලගතු හා දේශපාලනික සම්බන්ධතා ඇති දිනපතා පුවත්පතට අනුව, පසුගිය 30 වන සඳුදා අගමැති නවාස් ෂෙරිෆ් මුලසුන දැරූ පකිස්තානයේ ඉහලම රාජ්‍ය හා හමුදා නිලධාරීන්ගේ රැස්වීමකදී ප‍්‍රකාශ වී ඇත්තේ, “පකිස්තානය රාජ්‍ය තාන්ත‍්‍රික හුදෙකලාවකට මුහුන පා සිටින” බවයි.

ඉන්දියානු ආක‍්‍රමනයට එරෙහිව විරෝධය ගොනු කිරීමට හා කාශ්මීර ගැටුම සම්බන්ධ සිය ආස්ථානයට සහයෝගය දිනා ගැනීමට පකිස්තානය දැරූ ප‍්‍රයත්නයන්හි ප‍්‍රතිඵල සාරාංශගත කරමින් විදේශ ලේකම් අසිස් චෞද්රි මෙම රැස්වීමට ප‍්‍රකාශ කලේ, තම “ආන්ඩුව විසින් ඉදිරිපත් කෙරුනු සාකච්චාභිමුඛ කරුනු ලෝකයේ ප‍්‍රමුඛ අගනගරවල දී සැලකිල්ලට පාත‍්‍ර වී නැති” බවයි.

ඩෝන් පුවත්පත වාර්තා කොට ඇති පරිදි, වොෂින්ටනය සමඟ සම්බන්ධතා තවදුරටත් පිරිහී ගොස් ඇතැයි චෞද්රි ප‍්‍රකාශ කලේය. එහෙත් “මෙම කාමරයේ සිටියවුන් විශ්මයට පත්” වූයේ සිය ක‍්‍රියා පටිපාටියේ “දිශානතිය වෙනස් කරන” ලෙස චීනය ද ඉස්ලාමාබාදය මත පීඩනය යෙදීම නිසාය.

බිජිං පාලනය පකිස්තානය සමඟ “සියලු ආකාරයේ” මිත‍්‍ර සන්ධානයක් දිර්ඝකාලීනව පවත්වා ගෙන ගොස් ඇත. තව ද, මෝදු වී එන ඉන්දු - එක්සත් ජනපද “ගෝලීය මූලෝපායාත්මක හවුල”ට ප‍්‍රතිචාර වශයෙන් එය ඉස්ලාමාබාදය සමඟ සිය බැඳීම් තවදුරටත් ශක්තිමත් කොට ඇත. ඩොලර් බිලියන 46 ක චීන පකිස්තානු ආර්ථික කොරිඩෝරය මේ සඳහා නිදසුන් සපයයි.

එහෙත් පසුගිය සතියේ ඉන්දියානු ප‍්‍රහාර හමුවේ චීනය, සිය ප‍්‍රකාශ වඩාත් සුපරික්ෂාකාරී ව සිදු කිරීමට ප‍්‍රවේශම් වී ඇත. ඉන්දීය හමුදා තම භූමියට ඇතුලු වීය යන ඉන්දියානු ප‍්‍රකාශය “මුසාවකැ”යි කියා සිටීමට පකිස්තානය තීරනය කිරීමේ තතු යටතේ, දෙපාර්ශ්වයට එකිනෙකා අතර ආතතීන් අඩු කර ගැනීමට බලකිරීම් පමනකට බීජිනය තමා සීමා කොට ගෙන ඇත.

නව දිල්ලියේ සන්ත‍්‍රාසය දනවමින්, ඉන්දියානු කාශ්මීරයේ ඉස්ලාම්වාදී කැරලි කන්ඩායමක් වන ජයිෂ්-ඉ-මොහොමද් සංවිධානයේ නායක මසූද් අසාර්ගේ නම එක්සත් ජාතීන්ගේ ත‍්‍රස්තවාදය පිලිබඳ “අසාධු ලේඛනයට” ඇතුලත් කිරීමට ඉන්දියාව දැරූ ප‍්‍රයත්නය “විධිමාත‍්‍ර අත්හිටුවීමක් (technical hold)” මඟින් නැවැත්වීමට ඉකුත් සතියේ චීනය ක‍්‍රියා කලේ පකිස්තානයේ ඉල්ලීම මතය. එහෙත් චෞද්රි රැස්වීමට පවසා ඇත්තේ අසාර් ආරක්ෂා කිරීමේ “තර්කානුකුලභාවය කුමක්දැයි” බීජිනය ප‍්‍රශ්න කල බවයි.

දකුනු චීන මුහුද සම්බන්ධයෙන් චීනය සමඟ ආතතීන් උත්සන්න කිරීමට එක්සත් ජනපදය ක‍්‍රියා කරන හා, ඉන්දියාව එක්සත් ජනපදයේ චීන විරෝධී පරිශ‍්‍රමයේ “පෙරටුගාමී රාජ්‍යය” බවට පරිවර්තනයවීමේ අනතුර පවතින තතු යටතේ, ඉන්දියාවට එරෙහි සිය ප‍්‍රතිගාමී මූලෝපායික ප‍්‍රතිබද්ධතාවයේ ප‍්‍රගමනය සඳහා දිගින් දිගටම ඉස්ලාම්වාදී ත‍්‍රස්ත කන්ඩායම්වලට පකිස්තානය විසින් ආධාර කරනු ලැබීම පිලිබඳව - මේ වූ කලී, ඉස්ලාමාබාද් පාලනය ඇෆ්ගනිස්තානයේ දී සීඅයිඒ සංවිධානයෙන් උගත් කූඨෝපායයක් ක‍්‍රියාවට නැංවීමකි - බිජිං පාලනයේ යම් අදිමදි කිරීමක් පෙනෙන්නට තිබේ.

කෙසේ වුව, ඩෝන් වාර්තාවට අනුව, චෞද්රිගේ වාර්තාවෙන් ඉක්බිති තියුනු ආතතියෙන් යුත් සාකච්ඡාවක් පැවැත්වී ඇත. එක් අවස්ථාවක දී අගමැතිගේ සහෝදරයා වන පන්ජාබ් මහා ඇමති ශභාස් ෂෙරිෆ්, රජයේ අත්අඩංගුවට පත් ඉස්ලාම්වාදී ත‍්‍රස්තවාදීන් නිරතුරුව මුදා හැරීම සම්බන්ධයෙන් පකිස්තානයේ ප‍්‍රධාන රහස් ඔත්තු සේවා ආයතනය වන අයිඑස්අයි හි ප‍්‍රධානියාට දොස් පවරා ඇත.

ඩෝන් වාර්තාවන්ට අනුව, රැස්වීම කෙලවර වී ඇත්තේ ඉස්ලාම්වාදී ත‍්‍රස්ත කන්ඩායම්වල නාස් ලනුව අතට ගැනීමට කිසියම් පියවරක් ගැනීමටත්, පතන්කොට්හි ඉන්දියානු හමුදා කඳවුරට ජනවාරියේ එල්ල වූ ප‍්‍රහාරය පිලිබඳ පරීක්ෂන සඳහා සහාය දෙන ලෙස ඉන්දියාවෙන් ඉදිරිපත් වී ඇති ඉල්ලීම් පිලිගැනීමට හා මුම්බායිහි 2008 ත‍්‍රස්ත ප‍්‍රහාරයට සහභාගී වූ බවට චෝදනා කෙරෙන පකිස්තානුවන්ට එරෙහිව නඩු පැවරීමටත් තීරනය කරමිනි.

ඩෝන් වාර්තාව අතිශය සවිස්තරාත්මක වූ හා රැස්වීමට සහභාගී වූවන් ගනනාවකින් ලද තොරතුරු මත පදනම් වූවක් යයි සිතිය හැකි වුවත්, පකිස්තානු ආන්ඩුව එය දැඩි හා ඒකාන්ත ලෙස ප‍්‍රතික්ෂේප කොට ඇත.

එය එසේ තිබියේවා. පකිස්තානු ප‍්‍රභූව ගැඹුරු අර්බුදයක ගිලී සිටින බව නිසැකය.

ඉන්දියානු හමුදා ප‍්‍රහාරවලට දැක්වූ ප‍්‍රතිචාරය සම්බන්ධයෙන් නවාස් ෂෙරිෆ්ගේ පකිස්තාන මුස්ලිම් ලීග ආන්ඩුව, මේ සතියේ එහි පාර්ලිමේන්තු විපක්ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. තෙරික්-ඉ-ඉන්සෆ් පක්ෂය (පීටීඅයි) රටේ තෙවන විශාලතම පක්ෂය වූ තැන් පටන් මිලිටරිය සමඟ වඩවඩාත් සමීප බැඳුම් වර්ධනය කොට ගෙන සිටින ඉම්රාන් ඛාන්, “බයගුල්ලෙකු”වී යයි අගමැතිට චෝදනා කරමින්, ඉන්දියාවට පෙරලා පහරදීමට අසමත් වීම පිලිබඳව ඔහු හෙලා දැක ඇත. එහෙත් කලයුත්තේ කුමක් ද ඒ කෙසේද යන්න පැවසීමට ඉම්රාන් ඛාන් පෙන්වන අසමත්කම කැපී පෙනෙයි.

පකිස්තාන මහජන පක්ෂය (පීපීපී) පකිස්තානයේ රාජ්‍ය තාන්ත‍්‍රික හුදෙකලාව සම්බන්ධයෙන් ෂෙරිෆ් හෙලා දැක ඇත. හදිසි පාර්ලිමේන්තු විවාදයක දී පීපීපී නියෝජිතයෝ පකිස්තානය මුහුන පා සිටින දුර්දශාව බැර කලේ, “රාජ්‍ය නොවන කාරකයන්”ට නිදහසේ ක‍්‍රියාකිරීමට නිදහස දීම මත හා බලුකිස්තාන බෙදුම්වාදී කැරැල්ලට කෙරෙන ආධාර හරහා පකිස්තානය කැබලි කිරීමට තර්ජනය කිරීමේත්, ඉන්දු නදියේ ජලය සම්බන්ධයෙන් පවතින සම්මුතිය උල්ලංඝනය කිරීමේත් ඉන්දියානු ප‍්‍රචන්ඩත්වය ජාත්‍යන්තරව හෙලිදරව් කිරීමට අසමත් වීම මතය. වොෂින්ටනය සමඟ සම්බන්ධතා නොනිසි ලෙස හැසිරවීම සම්බන්ධයෙන් ද ඔවුහු ආන්ඩුව හෙලා දුටහ.

“එක්සත් ජනපදය දැනටමත් ඔවුන්ගේ [ඉන්දියාවේ] මිත‍්‍ර පාක්ෂිකයෙකි”යි වොෂින්ටනයේ හිටපු පකිස්තාන තානාපතිවරයෙකු වූ, සෙනෙට් මන්ත‍්‍රී ෂෙරී රෙහෙමාන් දෝෂාරෝපනය කලේය. “එහි (හමුදා) කඳවුරු පිහිටුවීමට ඔවුන් දැනටමත් පටන් ගෙන ඇත. ඇෆ්ගනිස්තානය දැනටමත් අපට දොස් පවරයි. මහා බලවතුන් සමඟ පොදු උත්සුකයන් කිසිවක් ඔබට නැත.”

දශක ගනනාවක් පුරා පකිස්තානය රැඳී සිටියේ වොෂින්ටනය හා බීජිනය යන කුලුනු දෙක මතය. එහෙත් ඉන්දියාවේ විශාලත්වය, මහත් හමුදා බලය හා ඉන්දියානු සාගරය තුල එහි ආධිපතිවාදී භූ මූලෝපායාත්මක පිහිටීම නිසා ඇමරිකානු යුද සැලසුම්කරුවෝ එය චීනය ප‍්‍රතිතුලනය කිරීමට යෙදිය හැකි ප‍්‍රමුඛ ප‍්‍රතිභාරයක් ලෙස දුටුවෝය. ඒ අනුව, ඉන්දියාව සමඟ මූලෝපායාත්මක හවුලක් ගොඩ නඟා ගැනීම වෙනුවෙන් ඉස්ලාමාබාදය සමඟ සිය සම්බන්ධතා එක්සත් ජනපදය විසින් අතිශය නාටකාකාරී ලෙස පහත හෙලන ලදී.

නවදිල්ලි පාලනයට සිය දියුනුම අවි ආයුධවලට අත පෙවීමේ ඉඩකඩ සැලසීම ද ඇතුලුව ඉන්දියාවට පිරිනැමුනු වොෂින්ටනයේ මූලෝපායාත්මක ආධාර මඟින් ඉන්දියාව හා පකිස්තානය අතර ඒ වනවිටත් පැවැති විශාල මිලිටරි මූලෝපායාත්මක පරතරය තවත් ඉහල නැංවිනි.

ඊට ප‍්‍රතිචාර ලෙස ඉස්ලාමාබාදය ගත් පියවර වලින් - එනම්, චීනය සමඟ සිය සබඳතා ශක්තිමත් කිරීම හා ඇෆ්ගනිස්තානයේ කවර හෝ “සාම එකඟතාවයක” දී තම මතයට ප‍්‍රමුඛස්ථානයක් හිමි වීම තහවුරු කර ගනු වස් තලිබාන්වරුන් සමඟ සම්බන්ධතා පවත්වා ගෙන යාම- මඟින් සිදු කෙරුනේ, වොෂින්ටනය සමඟ පැවැති ආතතීන් තවත් උනුසුම් වීම පමනෙකි.

මේ අතර ඉන්දීය ධනපති පන්තිය ගනන් බලන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ පෙල ගැසීම මඟින් පකිස්තානයේ මතු නොව, කලාපය තුල සැලකිය යුතු ආර්ථික බැඳීම් වර්ධනය කොට ගනිමින්, ඒවා එක් තීරුවක් එක් මාවතක් වැඩපිලිවෙල තුලට රුවා ගැනීමේ ප‍්‍රයත්නයක යෙදී සිටින චීනයේ ද වියදමින්, දකුනු ආසියාවේ කලාපීය ආධිපත්‍යය බවට පත් වීමේ තම අභිලාශයන්ට මනා රුකුලක් සැපයෙන බවයි.

පලමුව එය ඉන්දියානු පාලක පන්තියේ කොල්ලකාරී අභිරුචීන් මුවහත් කරන හෙයින් ද දෙවනුව එමඟින් පකිස්තානු පාලක පන්තිය හා එහි දේශපාලනිකව බලගතු මිලිටරිය අපේක්ෂා භංගත්වයෙන් ආන්තික ක‍්‍රියාමාර්ග කරා තල්ලු කර දැමිය හැකි හෙයින් ද පකිස්තානයේ දූෂිත ධනේශ්වර ප‍්‍රභූව මුහුන පා සිටින උපායාත්මක අර්බුදය, ව්‍යසනකාරී යුද්ධයක අනතුර උත්සන්න කරයි. ඉන්දියාව සමඟ නිරන්තරව පුලුල් වෙමින් පවතින මූලෝපායාත්මක පරතරය සම්බන්ධයෙන් භීතියට පත්ව සිටින පකිස්තානය, මෑතක දී “යුද බිමේ යොදා ගන්නා”, නැතහොත් උපායාත්මක අවි ලෙස හැඳින්වෙන - න්‍යෂ්ටික අවි වර්ධනය කොට ස්ථානගත කොට ඇති අතර, විශාල පරිමාන ඉන්දියානු ආක‍්‍රමනයක් සිදු වුවහොත් ඒවා යොදා ගන්නා බවට මෑත සතිවලදී ඔවුහු යලියලිත් සහතිකවී ඇත්තාහ.

Share this article: