පකිස්තානයට එරෙහි ඉන්දීය හමුදා ප්‍රහාර සඳහා එක්සත් ජනපද සහාය දැඩිවේ

US amplifies its support for India’s military strikes on Pakistan

දීපාල් ජයසේකර විසිනි , 2016 ඔක්තෝබර් 18

සැප්තැම්බර් 28-29 දිනවල ඉන්දියාව පකිස්තානයට එල්ල කල ප්‍රකෝපකාරී හා නීතිවිරෝධී හමුදා ප්‍රහාර සඳහා ඔබාමා පාලනය නිශ්චිත හා බලගතු සහායක් ලබා දී ඇත.

ඉන්දියා විරෝධී ඉස්ලාම්වාදී ත්‍රස්තවාදීන්ට හා ඔවුන් “ආරක්ෂා කරන්නන්”ට “බරපතල හානි” පමුනුවන ලදැයි නව දිල්ලි පාලනය කියා සිටින මෙම ප්‍රහාර, න්‍යෂ්ටික අවි දරන, තම පරම සතුරා සම්බන්ධයෙන් ඉන්දියාව පවත්වා ගෙන ගිය “”සංයමයකින් යුත් මූලෝපායාත්මක” පිලිවෙතේ අවසානය සනිටුහන් කරන්නක් ලෙස ඉන්දියාවේ හින්දු ස්වෝත්තමවාදී බීජේපී ආන්ඩුව හා සංස්ථාපිත මාධ්‍ය විසින් උත්කර්ෂයට නංවනු ලැබ ඇත.

පකිස්තානය ඇතුලත හමුදා ක්‍රියාන්විතයන් සිදු කිරීම, සැප්තැම්බර් 29 වන දිනට පෙර දශක හතරක් පුරා ම ඉන්දියාව විසින් ප්‍රසිද්ධියේ පිලිගනු ලැබුවේ නැත. ඒ, පරිපූර්න යුද්ධයක් කරා ශීඝ්‍ර ලෙස වර්ධනය විය හැකි ප්‍රහාර හා ප්‍රතිප්‍රහාර වටයක් එමඟින් ඇවිලවීමට ඇති ඉඩකඩ පිලිබඳව සැලකිලිමත් වීමේ හේතුවෙනි.

පසුගිය බදාදා, මූලෝපායාත්මක හා ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ (සීඑස්අයිඑස්) ප්‍රේක්ෂකයින් ඇමතු ඔබාමාගේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ (එන්එස්සී) දකුනු ආසියාව පිලිබඳ ජ්‍යෙෂ්ට අධ්‍යක්ෂක පීටර් ලැවෝයි, පකිස්තානය තුල ඉන්දියාව විසින් ක්‍රියාත්මක කල “තියුනු ඉලක්කගත ප්‍රහාර” පිලිබඳව නැඟුනු ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් පවසා ඇත්තේ “සෑම රටකටම ස්ව-ආරක්ෂාව සඳහා අයිතියක් ඇතැ”යි යනුවෙනි.

ඉන්දියානු ප්‍රහාර සාධාරනීකරනය කරමින් ලැවෝයි උපුටා දැක්වුයේ මතභේදයට ලක් වී ඇති කාශ්මීරයේ ඌරිහි ඉන්දියානු හමුදා කඳවුරකට ඉස්ලාමීය සටන්කරුවන් විසින් සැප්තැම්බර් 18 වන දින එල්ල කරන ලද ප්‍රහාරයයි. ඒ වූ කලි පකිස්තානය වෙත බහුවිධ අවි යොදා ගනිමින් එල්ල කෙරුනු තම විශේෂ බලකායේ ප්‍රහාරය සාධාරනීකරනය කිරීමට ඉන්දියාව යොදා ගන්නා එක් ව්‍යාජ හේතුවකි. ලැවෝයි පැවසුවේ, "ඌරි ප්‍රහාරය දේශසීමා හරහා ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය පිලිබඳ පැහැදිලි උදාහරනයක්” බවයි. “අපි මෙම ත්‍රස්තවාදී ක්‍රියාව හෙලා දකිමු. එය බියකරු ප්‍රහාරයකි.”

එන්එස්සී නිලධරයා වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කලේය: “කවර හෝ අනාගත ප්‍රහාරයක් වැලැක්වීම පිලිබඳ උත්සුකය අපි ද ඉන්දියාව සමඟ බෙදා ගන්නෙමු. දේශසීමාව හරහා එල්ල කෙරෙන ත්‍රස්තවාදයේ තර්ජනයට එරෙහිව යුදමය වශයෙන් ප්‍රතිචාර දැක්විය යුතුව ඇතැයි යන ඉන්දියාවේ ආස්ථානය සම්බන්ධයෙන් අපේ සහයෝගය පලවේ. එහෙත් ප්‍රවේශම්කාරී වියයුතු බවට ද අපි උපදෙස් දෙන්නෙමු.”

ඉන්දියාව හා පකිස්තානය අතර “අතිශයින් මිලිටරීකරනය වූ සම්බන්ධයක්” පවතින බව සහ ඔවුන් එකිනෙකා අතර “යුද්ධ තුනක පැටලී” ඇති බව ද සඳහන් කරමින් ලැවෝයි නිර්දේශ කලේ “ප්‍රවේශම හා සංයමය” ඉදිරියට ගෙන යා යුතු බවටය.

එහෙත් “ප්‍රවේශම හා සංයමය” පවත්වා ගැනීමට බෙහෙවින් පටහැනි ලෙස වොෂින්ටනයම ද ලෝක කටයුතුවලදී ඉටුකරමින් සිටින්නේ ගිනි අවුලන්නාගේ කාර්ය භාරයයි. පසුගිය ශතවර්ෂ කාල පුරා එය එකකින් පසු එකක් වශයෙන් නීති විරෝධී යුද්ධ දියත් කොට ඇති අතර වර්තමානයේ දී න්‍යෂ්ටික බලවතුන් වන රුසියාවට හා චීනයට එරෙහිව යුද මූලෝපායික සතුරුකම් සිදු කරමින් සිටී.

දකුනු ආසියාව සම්බන්ධ තත්වය සැලකීමේ දී, චීනයට එරෙහිව ඉන්දියාව ප්‍රතිතෝලකයක් ලෙස ගොඩ නැගීමට හා සිය චීන විරෝධී “ආසියාවට හැරීමේ” වැඩ පිලිවෙලේ “පෙරටුගාමී” රාජ්‍යයක් බවට එය පරිවර්තනය කිරීමට එක්සත් ජනපදය විසින් දැරෙන ප්‍රයත්නය විසින්, නවදිල්ලිය හා බීජිනය අතර ආතතීන් උග්‍ර කෙරෙන අතරම පකිස්තානයට එරෙහිව දෘඩ යුදවාදී ආස්ථානයක් ගැනීමට ඉන්දියාවට ධෛර්යය සැපයෙයි.

පකිස්තානයේ “මූලෝපායික හුදෙකලාව” පිලිබඳවත් ඉන්දියාවට ප්‍රචන්ඩ ආකාරයෙන් තම උත්සුකයන් තහවුරු කර ගැනීමට ඇති ශක්‍යතාවය පිලිබඳවත් ඔප්පු වීමක් ලෙස ලැවෝයිගේ ප්රසකාශයන් හුවා දක්වමින් ඒවාට ඝෝෂාකාරී ප්රවචාරයක් ලබාදීමට ඉන්දියානු මාධ්යී ක්ෂනිකව ම ඉදිරිපත් විය. ඔක්තෝබර් 13 දිනයෙන් වැඩි කොටසක් පුරා ඉන්දියන් එක්ස්ප්රමස් වෙබ් අඩවියේ මුල් පුවත ලෙස පැවැති ලිපියේ මාතෘකාව "ස්ව ආරක්ෂාව සඳහා ඉන්දියාවට ඇති අයිතියට ධවල මන්දිර සහාය" යන්නයි.

ආරම්භයේ සිටම ඔබාමා පාලනය ඉන්දියානු “තියුනු ඉලක්කගත ප්‍රහාර” සඳහා තම සහාය ලැබෙන බවට සංඥා නිකුත් කලේය. කෙසේවෙතත් පසුගිය සතියේ ලැවෝයිගේ ප්‍රකාශයන්ට පූර්වයෙන් එය නොනිල සහයක් ව පැවතුනි. මෙම ප්‍රහාර එක්සත් ජනපදය අනුමත කරන්නේ ද, නැතහොත් ඒවා කලාපයේ ආතතීන් පහ කිරීම සඳහා දැරෙන ප්‍රයත කඩාකප්පල් කෙරෙන්නේ ද යන්න පිලිබඳ ප්‍රශ්න නැවත නැවතත් මඟ හැර යාමට රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයෝ කටයුතු කලහ. එසේ කිරීමේ දී, ත්‍රස්තවාදීන් විසින් සිය භුමි ප්‍රදේශ භාවිත කරනු ලැබීම වැලක්වීමට පකිස්තානය දැනට වඩා යමක් කල යුතුය යන ඉන්දියානු ඉල්ලීම ප්‍රතිරාවය කෙරෙන බවට ද ඔවුහු වග බලා ගත්හ. මේ අතරතුර ඔබාමා හා ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් පාලනයන්ට සම්බන්ධ හිටපු නිලධාරීන් ගනනාවක්ම ඉන්දියානු ප්‍රහාරවලට එක පැහැර සහාය පලකරන බව වාර්තා විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එම ප්‍රහාර, ඔසාමා බින් ලාඩ්න් ඝාතනයෙහි දී මෙන්ම තාලිබාන් ත්‍රස්තවාදීන්යයි චෝදනා කරන ලද පුද්ගලයන් ගනනාවක් ඩ්‍රෝන් ප්‍රහාරවලින් මරා දැමීමෙහි දී ද ඇමරිකාව විසින් ම යලි යලිත් පකිස්තාන ස්වාධිපත්‍යය උල්ලංඝනය කරනු ලැබීම හා සංසන්දනය කිරීමට ඉදිරිපත් වූහ. ලැවෝයිගේ ප්‍රකාශ සමඟ ඉන්දියානු ප්‍රහාරවලට පමනක් නොව, - වැදගත්කමින් ඊට කිසිසේත් නො අඩු පරිදි - ඉන්දියාව සිය “මූලෝපායික සංයමය” විසි කර දැමීමට ද ඔබාමා පාලනය දක්වමින් සිටි නොනිල සහාය විවෘත සහයක් බවට පෙරලී ඇත.

දැනටමත් නව දිල්ලිය ඉස්ලාමාබාදයේ “මූලෝපායික හුදෙකලාව” ගැන උදම් අනමින් සිටින කොන්දේසි යටතේ ඔබාමා පාලනයේ මෙම සහතිකය තව තවත් ප්‍රචන්ඩ හා සාහසික ලෙස කටයුතු කිරීමට ඉන්දියාව ධෛර්යමත් කරනු ඇත.

"ලෝක ප්‍රතිචාර වලින් පකිස්තානය දුර්මුඛ වී සිටින බවට ආන්ඩුවේ ඉහලම කොටස් ඒත්තු ගෙන ඇතැ"යි පසුගිය සතියේ ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කලේය. ඉහල පෙලේ රාජ්‍ය ආරංචි මාර්ගවලින් බවට උපුටා දක්වමින් එම ලිපියේ මෙසේ සඳහන් වෙයි: “දේශසීමාව හරහා ක්‍රියාත්මක වන ත්‍රස්තවාදයට ඉන්දියාව මේ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීම යුක්තියුක්ත බවට ලෝකය පිලිගෙන ඇත. මෙම පිලිගැනීම අපට, දෙවැනි අවස්ථාවේදී ක්‍රියාත්මක වීම පහසු කරයි. එහෙත් දෙවැනි අවස්ථාවේදී තෝරා ගැනෙන විකල්පය සම්පූර්නයෙන් වෙනස් එකක් විය හැකිය. එය රඳා පවතිනු ඇත්තේ කවර හෝ ක්‍රියාමාර්ගයකට පිලිමල් ක්‍රියාමාර්ගයන්හි වියදම සම්බන්ධ තක්සේරු කිරීම් මතය. එහෙත් අපේ පාර්ශ්වයෙන් ගනු ලබන කවර හෝ ක්‍රියාමාර්ගයක ගුනාංග තුනක් සෑමවිටම පවතිනු ඇත. එනම්; වේගය, නිපුනත්වය හා විශ්මකාරී බවයි.”

තව දුරටත් එය සඳහන් කලේ ඉන්දියාව යුද්ධය අපේක්ෂා නොකරන බවයි. එහෙත්, “යුද්ධය බලෙන් අප මත පටවනු ලැබුවහොත් අප සටන් කොට එය ජය ගැනීමට ක්‍රියා නොකරන බවක් .... ඉන් අදහස් නොවේ.”

ඊට ඉහත සතියේ ඇමරිකානු ප්‍රේක්ෂකාගාර හමුවේ පකිස්තාන රජයේ නියෝජිතයන් දෙදෙනෙකු කියා පෑ, කාශ්මීර ප්‍රශ්නය විසඳීමෙන් තොරව ඇෆ්ගනිස්තානයේ යුද්ධය අවසන් නොකල හැක්කකැයි යන සඳහන ද සීඑස්අයිඑස් රැස්වීම හමුවේ ලැවෝයි නිශ්චිතව ම බැහැර කලේය. ඉන්දියාව යටතේ පවතින කාශ්මීරයේ පවත්වා ගෙන යන මර්දනය ඉස්මතු කිරීම හා දශක හතක් පැරනි කාශ්මීර අර්බුදය විසඳීමට ආධාර කරන ලෙස වොෂින්ටනයට ආයාචනා කිරීම ද මෙම නියෝජිතයන්ට පකිස්තාන රජයෙන් පවරනු ලැබ තිබින.

“ඇෆ්ගනිස්තානයේ පවතින තත්වය කාශ්මීරය හා ඈඳී ඇතැයි අපි කිසිසේත් විශ්වාස නොකරමු,” යි ලැවෝයි පැවසීය. ඉනික්බිති එන්එස්සී නිලධරයා, ඇෆ්ගනිස්තානය තුල ඇමරිකාව හා ඉන්දියාව අතර වඩ වඩාත් දියුනු වෙමින් පවත්නා සහයෝගීතාවය මෑත වසරවලදී “කැපී පෙනෙන ලෙස වැඩි වූ” බව සඳහන් කරමින් පුරසාරම් දෙඩීය. ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු අනදෙන නිලධාරියා උපදේශක සාකච්ඡා සඳහා නිතිපතා නව දිල්ලියට යන බව ද, ඇමරිකාව, ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය දැන් ත‍්‍රෛයි පාර්ශ්වික උපදේශක සාකච්ඡා පවත්වනු ලබන බව ද ලැවෝයි සඳහන් කලේය.

ඉන්දියාව හා පකිස්තානය අතර පවත්නා තීව්රව මූලෝපායාත්මක තරඟයේ රන මඬල බවට දිගු කලෙක සිටම ඇෆ්ගනිස්තානය පත්ව තිබිනි. ඇෆ්ගනිස්තාන යුද්ධය පවත්වා ගෙන යාමේ දී පෙන්ටගනය පකිස්තානයේ ප්‍රවර්නීය සහාය මත රඳා පැවතීමේ හේතුවෙන් වොෂින්ටනය ඇෆ්ගනිස්තානය තුල ඉන්දියාවේ මැදිහත්වීම මත සීමා පනවා තිබින. එහෙත් ඇමරිකාව දැන් කෙතරම් දුරට ඉන්දියාව හා පෙල ගැසී සිටින්නේද හා වොෂින්ටනය හා ඉස්ලාමාබාදය අතර සබඳතා කෙතෙක් පලුදු වී ඇත්ද යත්, මෙකී සීමාවන් මුලුමනින් ඉවත ලා නොමැති නම්, දැන් වැඩිවැඩියෙන් පරීක්ෂාවට භාජනය කෙරෙමින් පවතී.

මෙහිදී කැපී පෙනෙන කරුන වන්නේ, ඉන්දියාවේ නව ප්‍රචන්ඩ පකිස්තාන විරෝධී ආස්ථානයට පිදෙන ඇමරිකානු සහය වර්ධනය වූයේ, පෙන්ටගනය හා සමීපව බැඳුනු බුද්ධි මන්ඩලයක් වන සීඑස්අයිඑස් විසින් ඉන්දු-ඇමරිකානු යුද මූලෝපායාත්මක බැඳුම් තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටි වාර්තාවකට අනුග්‍රහ පිනිස සංවිධානය කෙරුනු ප්‍රසිද්ධ අවස්ථාවක දී වීමයි.

“ඇමරිකානු - ඉන්දියා ආරක්ෂක සහයෝගිතාව: මීලඟ පරිපාලනය සඳහා ප්‍රගතිය හා ප්‍රතිඥාව” යන මැයෙන් යුතු වූ සීඑස්අයිඑස් වාර්තාව, 2014 මැයි මස බලයට පත් තැන් පටන් වොෂින්ටනයේ චීන විරෝධී “හැරීම”ට ඉන්දියාව වඩාත් පෙලගස්වා ගැනීම සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝඩි හා ඔහුගේ බීජේපී ආන්ඩුවට බෙහෙවින් ප්‍රශංසා කරයි.

එය මෝඩි සමඟ “ශක්තිමත් සම්බන්ධයක් ගොඩ නඟා ගැනීම සඳහා ප්‍රමුඛත්වය දීමට” සහ ඉන්දු-ඇමරිකානු “ලෝක මූලෝපායික හවුල” ප්‍රසාරනය කිරීමට ඔබාමාගේ අනුප්‍රාප්තිකයාට බල කර සිටී. ඇමරිකානු හා ඉන්දියානු හමුදා අතර අන්තර් ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට පහසුකම් සැපයීමේ ගිවිසුම් අත්සන් තැබීමට නව දිල්ලිය මත පීඩනය යෙදීම, “එම ඉන්දියානු සාගරය තුල හා ඉන් එපිට” සිය නාවුක ශක්‍යතා වැඩි දියුනු කර ගැනීමට ඉන්දියාවට ආධාර කිරීම සහ, ආසියා -පැසිෆික් කලාපයේ වොෂින්ටනයේ ප්‍රමුඛ සහචරයන් වන ජපානය හා ඔස්ට්‍රේලියාව ද ඇතුලත් වන ඇමරිකානු නායකත්වයෙන් යුත් චතුර්-පාර්ශ්වික සන්ධානයකට ඉන්දියාව ඇද ගැනීම ද එහි නිශ්චිත නිර්දේශයන්ට ඇතුලත් වේ.

Share this article: