‘රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස’ ග‍්‍රන්ථය හඳුන්වාදීමේ දේශනයක්

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ හා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති, ඩේවිඩ් නෝර්ත් විසින් රචිත ‘රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස’ ග‍්‍රන්ථය හඳුන්වාදීමේ දේශනයක් ඔක්තෝබර් 13 දා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ.

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් මෙම දේශනය සංවිධානය කරනු ලබයි. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන දේශනය, මෙම ග‍්‍රන්ථය පිලිබඳව සසප/සසජාතශි විසින් විශ්වවිද්‍යාල තුල පවත්වනු ලබන දේශන මාලාවක දෙවැන්නයි. පලමුවැන්න මෙම වසර මුලදී පේරාදෙනිය විශ්වවිද්‍යාලයේදී පැවැත්වුනි.

නෝර්ත් ගේ කෘතිය, සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසුව පැනනැගි ධනේශ්වර විජයග‍්‍රහනවාදයට සහ පශ්චාත් සෝවියට් මුසාකරනයන්ට එරෙහිව ඓතිහාසික සත්‍යය ආරක්ෂා කිරීම පිනිස ඔහු විසින් කල දේශන හා ලියූ ලිපිවල එකතුවකි.

සමාජවාදයේ අවසානය, නැතහොත්, ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා පැවසූ පරිදි, ඉතිහාසයේ අවසානය, ප‍්‍රකාශයට පත් කල අයට එරෙහිව, නෝර්ත් මෙසේ තර්ක කරයි: “සෝවියට් සංගමය විසුරුවා හැරීම සහතිකෙන්ම, අතිමහත් වැදගත්කමක් දරන සිද්ධියක් වන අතර, එය සමාජවාදයේ වේදනාකාරී අවසානය නුවූ බව තහවුරු කිරීම අවශ්‍යය. ඉතිහාසය ඉදිරියට ගමන් කරනු ඇත. යුද්ධයන්ගේ හා විප්ලවයන්ගේ නැගීමට තුඩු දුන්, ධනවාදයේ තියුනු අර්බුදයක යුගයක් ලෙස විසිවන සියවස අර්ථදක්වන තාක් දුරට, එය නොනිමි සියවසක් ලෙස ගුනාංගීකරනය කිරීම වඩාත් යෝග්‍යය.”

ධනවාදයේ වැඩෙන ගෝලීය අර්බුදයක හා තියුනු වන අධිරාජ්‍යවාදී ලෝක යුද තර්ජනයක කොන්දේසි යටතේ, එලඹෙන විප්ලවවාදී අරගලවල සූදානම සඳහා, 20 වන සියවසේ ප‍්‍රධාන මූලෝපායික අත්දැකීම්, විශේෂයෙන් ම 1917 රුසියානු විප්ලවය, පිලිබඳ අවබෝධයක් අත්‍යවශ්‍ය බව නෝර්ත් පැහැදිලි කරයි.

දකුනු ආසියාවේ න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාව සහ පාකිස්තානය, ඕනෑම මොහොතක ඇවිලී යා හැකි විනාශකාරී ගැටුමක අද්දරට පැමින ඇත. දෙරට අතර ආතතීන් උග‍්‍රවීම හේතුවෙන් එක්සත් ජනපදය සහ චීනය අතර ප‍්‍රතිමල්ලවතා ක්ෂනිකව පුපුරුවා හැර සමස්ත භුගෝලයම අලලාගත් න්‍යෂ්ටික යුද්ධයක් ඇවිලීයාමේ බලගතු අවදානමක් මතුකෙරී ඇත.

එමෙන්ම,පසුගිය දා පැවති ජනමත විචාරනයේ දී එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන්න බහුතරයක් විසින් අනුමත කිරීමත් සමග ගෝලීය ධනේශ්වර අර්බුදය සහ ලෝක යුද තර්ජනය වඩාත් උග‍්‍ර කෙරී ඇත.

යුද්ධය සඳහා වන ධාවනයට සමගාමීව ලොවපුරා පාලක පන්තීහු තමා මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ සියලු බර මහජනතාව මත පටවමින් පසුගිය සියවසේ කම්කරු පන්තිය දිනාගත් සියලු සමාජ සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් යලි උදුරා ගැනීමේ සමාජ ප‍්‍රතිවිප්ලවයක නිරතව සිටිති.

රටක් රටක් පාසා කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් මෙම සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහිව පන්ති අරගලයේ රංග පථයට අවතීර්න වෙමින් සිටින අතර එම අරගලයන් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ඉදිරි දර්ශනයකින්, එනම් ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනයෙන්, සන්නද්ධ කර ගැනීම අත්‍යවශ්‍ය කෙරී ඇත.

මෙම කර්තව්‍යය සාක්ෂාත් කිරීමේ ලා සුවිශිෂ්ට ප‍්‍රතිපදානයක් වන නෝර්ත් ගේ කෘතිය පිලිබඳව විවරනය කෙරෙන මෙම දේශනයට සහ සාකච්ඡාවට සහභාගි වන ලෙස ශිෂ්‍යයන්ගෙන්, කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

දේශක: ශ‍්‍රී ලංකාවේ සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස්

දිනය හා වේලාව: ඔක්තෝබර් 13 වන බ‍්‍රහස්පතින්දා සවස 3.00

ස්ථානය: ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය තිලකරත්න අනුස්මරන සම්මන්ත‍්‍රන ශාලාව

Share this article: