මහා අපසරනය

The great diversion

2016 ඔක්තෝබර් 15

ඇමරිකාවේ මාධ්‍ය ආවරනය, රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහි ලිංගික සෝලි වෙත යොමුවෙමින් තිබියදී, එක්සත් ජනපදය සිටින්නේ සිරියාවට එරෙහි මෙහෙයුම් දැඩි කර රුසියාව සමග මිලිටරි ගැටුමක් සූදානම් කරමින් බව කිසිදු අයුරකින් යමෙකුට දැනගත නො හැක.

ඔක්තෝබර් 14දා මුලුමහත් මාධ්‍ය තොරතුරු අරක් ගෙන තිබුනේ, ට‍්‍රම්ප්ගේ ලිංගික අපචාර ගැන, චිකාගෝ දේශපාලන යන්ත‍්‍රනයේ හසල පලපුරුද්දක් ඇති ජනපති ආර්යා මිචෙල් ඔබාමා කල නිර්දය කතාවකි. අතිශයෝක්තියෙන් යුතු ව ඇය ප‍්‍රකාශ කලේ, ට‍්‍රම්ප්ගේ සල්ලාල කතා ඇතුලත් මාධ්‍ය වෙත කාන්දු වූ ටේප් පටයක් නිසා තම “සර්වාංගයම සසල වූ” බවය.

ඩිමොක‍්‍රටික් ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ආධාරය ද ඇතිව, මුලුමනින්ම ජනතාවට සතුරු පිලිවෙත්, ඔවුන්ගේ ඇස නොගැසෙන පරිදි කි‍්‍රයාවට දමන වර්තමාන පරිපාලනයේ දුර දිග යන සැලසුම් ආවරනය කරන වහන්තරාවක් ලෙස, සමස්ත මාධ්‍ය සංස්ථාපිතයම සේවය කරයි. මැතිවරන උද්ඝෝෂනයේ දී වැදගත් කරුනු ගැන කිසිදු සාකච්ඡාවක් ඇති වීම වසං කිරීමටත් එය දායක වේ.

කිසිදු මාධ්‍ය ප‍්‍රචාරයකින් තොර ව ම පාහේ ධවල මන්දිරයේ ආරක්ෂක මන්ඩලය, ඉරාකය හා සිරියාව තුල එක්සත් ජනපද මිලිටරි මැදිහත් වීම සමාලෝචනය කරන රහසිගත රැස්වීමක් ඔක්තෝබර් 14දා පැවැත්වීය. රැස්වීමට පෙරාතුව පල වූ එහෙත් වහා යටගසන ලද එකම ප‍්‍රධාන මාධ්‍ය වාර්තාව ඔක්තෝබර් 13දා රොයිටර් සේවයේ පල කරන ලද අතර එහි සඳහන් වුනේ, එක්සත් ජනපද නිලධාරීන් “සිරියානු මිලිටරි කඳවුරු, ආයුධ ගබඩා හෝ රේඩාර් හා ගුවන්යානා නාශක මිසයිල් කඳවුරු මතට ගුවනින් ප‍්‍රහාර එල්ල කිරීම ගැන” සලකා බලමින් සිටින බව යි. සිකුරාදා දහවල් පැවති මාධ්‍ය හමුවක දී එම රැස්වීම පිලිබඳ ව විමසූ විට ධවල මන්දිර නියෝජ්‍ය මාධ්‍ය ලේකම් එරික් ෂුල්ට්ස්, එවැන්නක් පැවති බව පිලිගැනීම පවා ප‍්‍රතික්ෂේප කලේ ය.

හවුති සටන්කාමීන්ගේ පාලනය යටතේ පවතින පෙදෙස්වලට කෲස් මිසයිල ප‍්‍රහාර එල්ල කරමින් එක්සත් ජනපද මිලිටරිය යේමනය තුල ගැටුම නාටකාකාර ලෙස උත්සන්න කිරීමෙන් යන්තම් දිනකට පසුව රැස්වීම පැවැත්වුනි. අවම වසයෙන් 140ක් මරා දමා 500කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් සවුදි මිලිටරිය යේමනයේ අගනුවර වන සානාහි හවුතිවරුන්ගේ අවමංගල්‍යයකට බෝම්බ හෙලීමෙන් සතියක් ගතවන්නටත් පෙර මෙම ප‍්‍රහාර පටන් ගැනුනි.

ඔබාමාගේ යුද කවුන්සිලයේ රැස්වීමෙන් පැය ගනනක් ඇතුලත, එන්බීසීහි සිකුරාදා විකාශනය කල රාතී‍්‍ර ප‍්‍රධාන පුවත, නම් නො කල රහස් තොරතුරු නිලධාරීන් උපුටා දැක්වූ විශේෂ පුවත් වාර්තාවකි. එම වාර්තාවට අනුව “ඇමරිකානු ජනාධිපතිවරනයට රුසියාව කර ඇති මැදිහත් වීම හේතුවෙන් එරටට එරෙහි ව පෙර නුවූ විරූ රහස් සයිබර් ප‍්‍රහාරයක් ගැන” ධවල මන්දිරය “සලකා බලමින් සිටී.”

මෙම අපැහැදිලි වාර්තාව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හා රුසියානු විදෙස් ඇමති සර්ජි ලැව්රොව් අතර සෙනසුරාදා පැවැත්වීමට නියමිත සාකච්ඡුා කෙරෙහි අහිතකර ලෙස බලාපායි.

ඒ අතර, බි‍්‍රතාන්‍යය, ප‍්‍රන්සය හා ජර්මනිය, සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් බලයෙන් පහකිරීමට වසර පහක් තිස්සේ ගෙන යන කුලීකාර යුද්ධය තීව‍්‍ර කල යුතු යයි උද්ඝෝෂනය කරති. ඔක්තෝබර් 11දා රුසියාව “පාහර” රාජ්‍යයක් යයි ප‍්‍රකාශ කල බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් බෝරිස් ජොන්සන්, ලන්ඩනයේ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට අසාද්-විරෝධී හා රුසියානු-විරෝධී උද්ඝෝෂන පවත්වන ලෙස ඉල්ලා සිටියේ ය.

ඔක්තෝබර් 16දා කෙරී සහ යුරෝපීය විදේශ ඇමතිවරුන් සමග හමුවකට ජොන්සන් සත්කාරකත්වය දරන්නේ, සිරියානු යුද්ධයේ දී “වඩා චාලක, වඩා මිලිටරිමය විකල්ප” සලකා බැලීමට ය.

තමන්ගේ පැත්තෙන් රුසියානු නිලධාරීන් මෙයට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, සිරියානු ආන්ඩුවේ කඳවුරු ඉලක්ක කර එල්ල කරන ඕනෑ ම එක්සත් ජනපද ප‍්‍රහාරයකට ප‍්‍රතිප‍්‍රහාර දෙන බවට තර්ජනය කරමිනි. “සිරියානු ආන්ඩුවේ පාලනය යටතේ පවතින කලාපයට එල්ල වන ඕනෑ ම මිසයිල හෝ ගුවන් ප‍්‍රහාරයක්, රුසියානු හමුදා භටයන්ට පැහැදිලිවම තර්ජනයක්” යයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප‍්‍රකාශක ජෙනරාල් අයිගෝර් කොනෂෙන්කෝ පසුගිය සතියේ කීවේ ය.

“මිසයිලවල සැබෑ ගුවන් පථ ‘එක්වර ම’ නීර්නය කිරීමට තරම් කාලයක් රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතියට නැති නිසා, මිසයිල අයත් වන්නේ කාටදැයි දැනගැනීමේ හැකියාවක් නැත. ‘අදෘශ්යමාන’ ජෙට් යානාවල පැවැත්ම ගැන ආධුනිකයන්ට තියෙන සියලූ මායාවන්ට ඒ නිසා සිදුවන්නේ බලාපොරොත්තු රහිත යථාර්ථයකට මුහුන දීමට යි” ඔහු වැඩිදුරටත් කීවේ ය. ‘අදෘශ්‍යමාන’ යානා ගැන කොනෂෙන්කෝ කල සඳහන, රුසියානු එස්-400 ගුවන් ආරක්ෂක පද්ධතියට ඇමරිකන් එෆ්-22 හා එෆ්-35 වැනි රහසේ පියාසර කල හැකි නවීනතම ප‍්‍රහාරක යානා බිම දැමීමේ හැකියාව තිබේ ය යන තර්ජනයකි.

සිරියානු ඉලක්ක වෙත ගුවන් ප‍්‍රහාර එල්ල කරන එක්සත් ජනපද යානා, රුසියානු හමුදා විසින් බිම දමනු ලැබුවහොත්, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප‍්‍රථම වරට න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට මග පාදන මිලිටරි ප‍්‍රතිකි‍්‍රයා ඇති කරමින්, ප‍්‍රතිප‍්‍රහාර දීම සඳහා ධවල මන්දිරය මත ඉමහත් පීඩනයක් ගෙන එනු ඇත.

එවැනි තත්වයකට සූදානම් වන බවට සාක්ෂි වශයෙන් මොස්කෝව, ඔක්තෝබර් 8දා කලිනින්ග‍්‍රෑඞ් නමැති රුසියානු බෝල්ටික් ප‍්‍රදේශයෙහි, ඉස්කන්දර්-එම් යන න්‍යෂ්ටික මිසයිල ස්ථානගත කලේය. ඒවාට කලිනින්ග‍්‍රෑඞ් සිට පෝලන්තය හා බෝල්ටික් සමූහාන්ඩු හරහා නැටෝ කඳවුරු ද ඇතුලූ ඉලක්ක වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කල හැක.

මෙම වර්ධනයන් විසින් ඉස්මතු කෙරෙන අන්තරායන් පෙන්නුම් කරමින් තුර්කි නියෝජ්‍ය අගමැති නියුමාන් කුර්තුල්මස් මේ සතියේ පැවසුවේ, සිරියානු යුද්ධය දිගට ම පැවතුනහොත් “ඇමරිකාව හා රුසියාව යුද්ධයකට පැටලෙනු ඇති” බවයි. “සිරියාවේ මෙම ‘කුලීකාර යුද්ධය’ ලෝකය විශාල කලාපීය හෝ ගෝලීය යුද්ධයක් අද්දරට ගෙනැවිත් ඇතැ” යි ද ඔහු කීවේ ය.

සිරියානු යුද්ධය වනාහි, මිලිටරි මූලෝපායඥයන් විසින් ප‍්‍රධාන බලවතුන් අතර “නො වැලැක්විය හැකි” ගැටුමක් ඇති කල හැකි යයි අනතුරු අඟවන ජ්වලනාංකයන්ගෙන් එකක් පමනි. වොෂින්ටන චින්තන පර්ෂදයක් වන අත්ලන්තික් කවුන්සිලය ප්‍රසිද්ධ කල හමුදාවේ අනාගතය නමැති වාර්තාවක් පැහැදිලි කල පරිදි, එක්සත් ජනපද මිලිටරියේ මූලික ඉලක්කය වන්නේ, “බොහෝ දෙනා ගොදුරු කර ගනිමින් හා හැකිතාක් මරන හා විනාශය ඇති කරමින් මහා බලවතුන් අතර සිදුවන ප‍්‍රධාන හා මාරාන්තික” යුද්ධයන්ට සූදානම් වීම යි.

ඔක්තෝබර් 4දා වොෂින්ටනයේ පැවති එක්සත් ජනපද හමුදා සංසදයේ රැස්වීමක දී හමුදා මාන්ඩලික ප‍්‍රධානී ජෙනරාල් මාක් ඒ. මිලී කීවේ, එක්සත් ජනපදය, රුසියාව හා චීනය වැනි ගෝලීය බලවතුන් අතර යුද්ධය “නොවැලැක්විය හැකි” බව යි. එම රැස්වීමේ දී ම ඉහල පෙලේ හමුදා මූලෝපායඥයෙක් වන ජෙනරාල් විලියම් හික්ස් ප‍්‍රකාශ කල පරිදි, “නුදුරු අනාගතයේ” රුසියාව හෝ චීනය වැනි රටක් සමග ඇති වන ගැටුමක දී “අපේ හමුදා කොරියානු යුද්ධයෙන් මෙපිට නො වේ නම් දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට දැක නොමැති” ප‍්‍රචන්ඩත්වයකට මුහුන දෙනු ඇත.

මෙම වර්ධනයන් පැහැදිලි කරන්නේ න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධයකින් මානව වර්ගයාට ඇති කරන තර්ජනය, සීතල යුද්ධයෙන් මොබ අන්කවරදාටත් වඩා දැන් විශාල වී ඇති බවයි. මිලිටරි ආතතීන් තියුනු වීම, එක්සත් ජනපදය හා සෝවියට් සංගමය පූර්න පරිමාන යුද්ධයක අද්දරට ම ඇද දැමූ කියුබානු මිසයිල අර්බුදය මතකයට නංවයි.

ඒ සමයේ දී එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර ආරවුලේ සෑම විස්තරයක් ම මාධ්‍ය විසින් උමනාවෙන් යුතු ව අධ්‍යයනය කල අතර කෙනඩි පාලනය අර්බුදයට රාජ්‍ය තාන්ති‍්‍රක විසඳුමක් සොයමින් සිටියේ ය. එහෙත් අස්ථාවර දේශීය වාතාවරනයක් හා සිය ගෝලීය ආධිපත්‍යය කෙරෙහි වැඩෙන තර්ජනවලට මුහුන දෙන වත්මන් ධවල මන්දිරය, වඩ වඩාත් ඉව බව නැතිව කටයුතු කරද්දී, මාධ්‍ය එක්සත් ජනපදය හා රුසියාව අතර ගැටුමක තර්ජනය මුලුමනින් ම නො තකා හරී.

යුද තර්ජනය පිලිබඳ ව නිශ්ශබ්දතාව පවත්වාගෙන යන මාධ්‍ය, ෆැසිස්ට් වර්ගයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ඒජන්තයෙක් යයි පින්තාරු කිරීමට, ක්ලින්ටන්ගේ මැතිවරන උද්ඝෝෂනය, ඩිමොක්‍රටික් පක්ෂය හා නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය සමග අත්වැල් බැඳගෙන ඇත. නොවැම්බර් 8 මැතිවරනය රුසියාවේ කඩාකප්පල් කිරීම් වලට හා “ආඥාදායක” පුටින්ට විරුද්ධ අරගලයක් ලෙස හුවාදැක්වීම මගින් හිලරි ක්ලින්ටන් අපේක්ෂා කරන්නේ, ධවල මන්දිරය අරක් ගතහොත් තමන්ට මිලිටරි විසඳුමකට හා රුසියාව සමග ගැටීමකට මහජන වරමක් තිබේ යයි කියාපෑමට අවශ්‍ය කොන්දේසි සකසා ගැනීමට යි.

පවතින උපායාත්මක වෙනස්කම් නො තකා එක්සත් ජනපද යුද සූදානමට, මහ-ව්‍යාපාරිකයේ පක්ෂ දෙක ම සහයෝගය දෙන අතර, ලිබටේරියන් හා හරිත අපේක්ෂකයෝ යුද තර්ජනය බොහෝ සෙයින් නො තකා හරිති. යුද්ධයට විරුද්ධ අරගලය 2016 මැතිවරන උද්ඝෝෂනයේ හරිමැද තබා ඇත්තේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි.

එක්සත් ජනපද යුද සූදානමට එරෙහි කම්කරු පන්තිය මත පදනම් වන මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍ය දේශපාලන පදනම් සාකච්ඡා කිරීමට, සසප නොවැම්බර් 5දා “ධනවාදයට හා යුද්ධයට එරෙහි ව සමාජවාදය” මැයෙන් සම්මේලනයක් පවත්වයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය සිය පාඨකයන් එම සම්මේලනය සඳහා ලියාපදිංචි වීමටත් යුද්ධයට එරෙහි අරගලය සියතට ගන්නා ලෙසටත් උනන්දු කරවයි.

ඇන්ඩ්‍රේ ඬේමන්

Share this article: