නිව් යෝක් ටයිම්ස් පුවත්පත රුසියාව “නීති විරෝධී රාජ්‍යයක්” ලෙස නම් කර යි

New York Times brands Russia an "outlaw state"

2016 සැප්තැම්බර් 30

එක්සත් ජනපදය සිරියාව තුල තම මිලිටිරි මැදිහත්වීම් උත්සන්න කිරීමට සූදානම් වෙමින් සිටින බව සලකුනු කරන ප‍්‍රසිද්ධ තර්ජන මධ්‍යයේ නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය, බ‍්‍රහස්පතින්දා එහි කතුවැකිය පලකලේ රුසියාව “නීති විරෝධී රාජ්‍යයක්” ලෙස නම් කරමිනි.

රුසියාව සම්බන්ධයෙන් වඩ වඩා උමතුසහගත ලෙස වේගවත් වන කයිවාරු, තන්ත‍්‍ර මාරුවක් සඳහා සිරියාව තුල වසර පහකට වඩා දීර්ග තම කුලීකාර යුද්ධයෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අත්විඳි මහත් විනාසය කෙරෙහි දැක්වෙන ප‍්‍රතිචාරයකි. රුසියානු ගුවන් ප‍්‍රහාර වලින් පිටුබලය ලබන සිරියානු ආන්ඩුවේ හමුදා, ප‍්‍රධාන වසයෙන් ම අල් කයිඩාවට අනුබද්ධ ඉස්ලාමීය මිලීෂියා හමුදාවන්ගෙන් සැකසුනු, එක්සත් ජනපද අනුග‍්‍රහය ලබන “කැරලිකරුවන්ගේ” අවසන් ප‍්‍රධාන පවුර වන අලෙප්පෝ නගරයේ මුලු නැගෙනහිර භාගය ම නැවත අල්ලා ගැනීමේ අද්දර සිටින බව පෙනේ.

රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලැව්රෝව්ට බදාදා අවසන් නිවේදනයක් නිකුත් කලේ ය: එක්කෝ රුසියාව තමන්ට මෙන් ම සිරියානු ආන්ඩුවට අයිති ප‍්‍රහාරක ගුවන් යානා බිමට බැස්සිය යුතු ය, නැතහොත් වොෂින්ටනය සිරියාව සම්බන්ධයෙන් මොස්කෝව සමග පවත්වන සියලු සාකච්ඡා අවසන් කරනු ඇත.

මෙම තර්ජනයේ අභිප‍්‍රාය ඩඩාත් පැහදිලි කෙරුනේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශක ජෝන් කර්බී විසින් කරන ලද මාධ්‍ය දැනුම්දීමක දී ය. එහි දී ඔහු වාර්තාකරුවන්ට පැවසුවේ එක්සත් ජනපද ඉල්ලීම්වලට අවනත වීමට රුසියාව අසමත් වුවහොත් එහි ප‍්‍රතිවිපාක වසයෙන්, “අන්තවාදීන් හා අන්තවාදී කන්ඩායම්... ඔවුන්ගේ මෙහෙයුම් දිගට ම ව්‍යාප්ත කරනු ඇත. සමහර විට රුසියානු නගරවලට එල්ල කෙරෙන ප‍්‍රහාර ඇතුලු රුසියානු උත්සුකයන්ට එරෙහි ප‍්‍රහාර සිදුවනු ඇත. එසේ ම රුසියාව සිය හමුදා භටයින් ගෙදර යවනු ඇත්තේ මිනී බහාලන මලුවල ය, එමෙන් ම ඔවුන් දිගට ම සම්පත් පමනක් නොව, සමහර විට බොහෝ ගුවන් යානා පවා අහිමි කර ගන්නවා ඇත.”

කර්බිගේ සඳහනෙහි ප‍්‍රකෝපකාරී හා මුලුමනින් ම සහාසික ස්වභාවය අහම්බයක් නො වේ. පසු ගිය වසර දක්වා මැද පෙරදිග, උතුරු අප‍්‍රිකාව හා ගල්ෆ් කලාපය සඳහා ධවල මන්දිර සමායෝජක වූ, වොෂින්ටන් පෝස්ට් පත‍්‍රයේ තීරු ලිපි රචක පිලිප් ගෝර්ඩන් ලවා රුසියාවට එරෙහිව සීඅයිඒ- සංවිධානය විසින් අනුග‍්‍රහය දක්වනු ලබන ත‍්‍රස්තවාදය මුදාහැරීමේ තර්ජනය දැනුම් දීමට වොෂින්ටනය අපේක්ෂා කල බව පෙනෙන්නට ඇත. “රුසියාව මිල ගෙවනු ඇත” යන ශීර්ෂපාඨයෙන් අනතුරු ඇඟ වූ ලියවිල්ල බොහෝ කොට සුදුසුම භාෂාවක් යොදාගනිමින්, සිරියාව තුල ඉදිරියට යන රුසියානු මෙහෙයුම් වල ප‍්‍රතිපල වශයෙන්, “රුසියාවට එරෙහිව ත‍්‍රස්තවාදී ප‍්‍රහාර” එල්ල වනු ඇති බව පවසයි.

“රුසියාව දරන වියදම වැඩි කිරීමට” ඔබාමා පාලනාධිකාරයට පියවර ගත හැකි යයි අනතුරු අඟවමින් ගෝර්ඩන්, “අලෙප්පෝවලට ඉහල අහසේ දී රුසියානු හා සිරියානු ගුවන් යානා වලට පහරදිය හැකි, කරෙන් ගෙන යන මිසයිල සමග විරුද්ධ පාර්ශ්වය සන්නද්ධ කිරීම විකල්ප අතර වන ” බව පවසමිනි.

හිටපු ධවල මන්දිර පුද්ගලික සහායක අවසානායේ දී මොස්කෝවට අවවාද කලේ “හිලරි ක්ලින්ටන් ඊ ලඟ එක්සත් ජනපද ජනාධිපති වුවහොත්, පුටින්ට මුහුන දීමට සිදු වෙනවා ඇත්තේ, දීර්ග කාලයක් තිස්සේ සිරියාව තුල පියාසර තහනම් කලාපයකට මෙන් ම විරුද්ධ පාර්ශ්වයට ශක්තිමත් සහායක් දී ඇත්තා වූ ද සිරියාව තුල රුසියානු අභිප‍්‍රායන් ගැන සැක මතු කර ඇත්තා වූ ද මැද පෙරදිග ඇමරිකානු නායකත්වය වඩා පැහදිලි ලෙසම යලි තහවුරු කිරීමට බලා සිටිනු ඇත්තා වූ ද එක්සත් ජනපද නායිකාවකට ය.”

කෙසේ නමුත්, සිරියාව තුල එක්සත් ජනපද මැදිහත්වීම උත්සන්න කිරීම පිනිස, නොවැම්බර් 8දා එක්සත් ජනපද ජනාධිපතිවරනය අවසන් වනතුරු බලා සිටිනවා ද නැද්ද යන ප‍්‍රශ්නය දේශපාලන සංස්ථාපිතය තුල උනුසුම් විවාදයක විෂය වී ඇතැ යි යන්න පැහදිලි ය.

ඔබාමා පාලනාධිකාරය, “රුසියාව පිටුබලය දුන් සිරියානු ආන්ඩුවේ ප‍්‍රහාරයට මිලිටරි විකල්ප ද ඇතුලු දැඩි ප‍්‍රතිචාර” දැක්වීම ගැන සලකා බලමින් සිටින්නේ යැයි නම් නො කල ජ්‍යේෂ්ට නිලධාරියෙකු කල ප‍්‍රකාශයක් රොයිටර් ප‍්‍රවෘත්ති ඒජන්සිය විසින් සඳහන් කර තිබුනි. ඉහත කී විකල්පවලට අල්කයිඩාවට බද්ධ “කැරලිකරුවන්ට” වඩා බර ආයුධ සැපයීම හා සිරියානු ආන්ඩුවේ හමුදා කඳවුරුවලට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම ද ඇතුලත් ය. (මෙහි දෙවැනි විකල්පය දැනටමත් ක‍්‍රියාවට නගා ඇත්තේ, ඩෙයීර් එසොර් අසල ආසන්න වසයෙන් සිරියානු භටයින් 200ක් පමන ඝාතනය හෝ තුවාල කෙරුනා වූ සැප්තැම්බර් 17දා එක්සත් ජනපද බෝම්බ හෙලීම් සමගිනි.)

රුසියාව “නීති විරෝධී රාජ්‍යයකි” යන හෙලාදැකීමේ කතුවැකිය සමග නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය කිරා බලමින් සිටින්නේ, සිරියාව තුල එක්සත් ජනපද මැදිහත්වීම සම්බන්ධයෙන් ඇමරිකානු පාලක කවයන් අතර කෙරෙන විවාදය යි. රුසියාවට එරෙහිව මිලිටරි මැදිහත්වීමක් ඔවුන්ට අවශ්‍ය වී ඇති අතර එය දැන් ම අවශ්‍ය ය.

ටයිම්ස් මෙසේ සඳහන් කර යි: “ජනාධිපති ඔබාමා දීර්ග කාලයක් තිස්සේ සිරියාව තුල මිලිටිරි මැදිහත්වීම් අනුමත කිරීම ප‍්‍රතික්ෂේප කර ඇත. ඇමරිකානු ජනාධිපතිවරන සමය නිසා ඔහුගේ අවසාන මාස කීපයේ දී ඔබාමා මහතා රුසියාවට අභියෝග කිරීමට ඉඩක් නැතැ යි පුටින් මහතා අනුමාන කරනවා විය හැක. එහෙත් කැරලිකරුවන්ගේ බල කොටුවක් වන අලෙප්පෝ (සිරියානු) ආන්ඩුව අතට පත් වීමේ තර්ජනය යටතේ, එවැනි සලකා බැලීමක් නැවත සිදුවෙමින් පවතින බව පාලනාධිකාරයේ නිලධාරීහු පැවසූහ.”

තම තර්කය ආරක්ෂා කිරීමට ටයිම්ස් පත‍්‍රයේ, යුද්ධයෙන් වැනසුනු (යුක්රේනයේ) ඩොන්බාස් කලාපයට ඉහල අහසේ දී, 2014 ජූලි මාසයේ මැලේසියානු ජෙට් ගුවන් යානය වෙඩි තබා බිම හෙලීම සම්බන්ධයෙන් රුසියාව වග කිව යතු බවට යුක්රේන රහස් පොලීසිය විසින් සපයන ලද “සාක්ෂි” මගින්, විධිමත් පරීක්ෂනයකින් ඔප්පු නොකරන ලද චෝදනා අමුතුවෙන් එකතු කර යි.

“සිරියාව, යුක්රේනය හා ඈඳා ගැනුනු ක‍්‍රිමියාවේ සිවිල් වැසියන් ඝාතනය කිරීම හා ඇමරිකානු ආන්ඩුවේ ඒජන්සිවල පරිගනක වලට හොරෙන් ඇතුලුවීම” සහ “රට තුල විසම්මුතිකයන් විනාස කිරීමට” පුටින් වරදකරු යැයි පුවත්පත පවස යි.

පුටින්ගේ ආන්ඩුව නියෝජනය කරන්නේ සෝවියට් සංගමය විසුරුවා හැරීම හා ධනවාදය පුනස්ථාපනය කිරීම තුල දී රාජ්‍ය දේපල කොල්ලකෑම මගින් පොහොසත් වුනු රුසියාවේ පාලක කතිපයාධිකාරය යි. රුසියාව වටකිරීම හා හුදකලා කිරීමේ එක්සත් ජනපද උත්සාහයට එරෙහි ආරක්ෂක ප‍්‍රතිචාරයක ස්වභාවයක් ගනු ලැබුව ද සිරියාව තුල මැදිහත්වීම, මෙම කතිපයාධිකාරයේ උත්සුකයන් නියෝජනය කරන අතර සිරියාව හා වඩා පුලුල්ව මැද පෙරදිග පුරා අධිරාජ්‍යවාදය විසින් මුදා හැර ඇති විනාසයට ප‍්‍රගතිශීලී විසඳුමක් ඉදිරිපත් නො කර යි.

නිව් යෝර්ක් ටයිම්ස් එසේ කියා තිබුන ද එහි උදාසීන හා ප‍්‍රචාරක සහයෝගය සහිතව අනුප‍්‍රාප්තික එක්සත් ජනපද පාලනාධිකාරයන් විසින් ක‍්‍රියාත්මක කරන ලද සියලු අපරාධ හමුවෙහි පුටින්ගේ අපරාධ පෙනී යන්නේ යාන්තමින් ය.

ඉරාකයේ මිලියන ගනනාවකට වඩා ද ඇෆ්ගනිස්තානයේ සිට ලිබියාව හා යේමනය දක්වා සිය දහස් ගනනකගේ ද මරනවලට එක්සත් ජනපදය වග කිව යුතු ය. යුක්රේනය හා සිරියාව තුල තන්ත‍්‍ර මාරු මෙහෙයුම් වලට මුලපිරුවේ එය යි. එම මෙහෙයුම් තුලින් එම රටවල් තුල “ඝාතන” පැතිර ගිය අතර ඒවායින් වැඩි කොටස සිදු කෙරුනේ සීඅයිඒ සංවිධානය විසින් සපයන ලද අවිවලිනි.

තව ද සිරියාව තුල රුසියානු “ඝාතන” ගැන ටයිම්ස් පහර එල්ල කල අවස්ථාවේ දී පවා පෙන්ටගනය නිවේදනය කලේ, මෝසුල් නගරය අල්ලා ගැනීමට සූදානම් වීම සඳහා තවත් 600ක එක්සත් ජනපද භටකායක් ඉරාකයට යවන බව යි. ෆලූජා හා රමාදි නගර වලට මීට පෙර එල්ල කල ප‍්‍රහාරයන් මෙන්ම එම මෙහෙයුම ද සිවිල් වැසියන්ට එරෙහිව දැවන්ත අපරාධ සිදු කරනු ඇත.

රුසියානු පරිගනක හොරෙන් විනිවිදීම සම්බන්ධයෙන් ගත් විට ටයිම්ස් කතා කරන්නේ, එක්සත් ජනපද ආන්ඩුව වෙනුවෙනි. ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා ඇමරිකානු ආන්ඩුව නියැලී සිටින්නේ, ලෝකය මෙතෙක් අත් නොදුටු පරිමානයේ දැවැන්ත සෝදිසි මෙහෙයුම් වලය. එමෙන්ම “රට තුල විසම්මුතිකයන් විනාස කිරීම” සම්බන්ධයෙන් ගත හොත් එක්සත් ජනපදය මතක් කර ගත යුත්තේ එය, පොලීසිය සෑම වසරක ම පුද්ගලයන් 1000ට වඩා මරා දමන්නා වූ ද මිලියන දෙකකට වැඩි පුද්ගලයන් හිර ගත කර ඇත්තාවූ ද රටක් බව යි. කෙටියෙන් කියතොත්, ටයිම්ස් කතුවැකිය යුද ප‍්‍රචාරයේ ලියවිල්ලකි.

“නීති විරෝධී රාජ්‍යයකි” යන වචනය පලමුව නිල භාවිතයට යොදන ලද්දේ රොනල්ඩ් රේගන් විසිනි. එය පසුව, බිල් ක්ලින්ටන් යටතේ “තක්කඩි රාජ්‍යයක්” ලෙස නිවේදනය කෙරුනු අතර, ඊට පසු, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ “යක්ෂයාගේ අක්ෂය” ද විය. අනිවාර්ය ලෙස මෙම වචන යොදන ලද්දේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් යුද්ධ හා විජයග‍්‍රහන සඳහා ඉලක්ක කරන ලද පීඩිත, අර්ධ යටත්විජිත රටවල් විස්තර කිරීමට ය: නිකරගුවා, ග‍්‍රැනඩාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය, උතුරු කොරියාව, ඉරානය ආදිය.

දැන්, නිව් යෝක් ටයිම්ස් පත්තරයේ පිටු තුල එය යොදා ගැනෙන්නේ, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ, මිලියන 146ක ජනගහනයක් ඇති රුසියාව විස්තර කිරීමට ය. ගම්‍යයන් ඕනෑවටත් වඩා පැහැදිලිය.

ටයිම්ස් කතුවරුන්ගේ පෙලඹවීම් වලට කෙටි කාලීන දේශපාලන සලකාබැලීම් ඇතුලත්වීමට ඉඩ ඇති අතර -ඩෙමොක‍්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ අපේක්ෂා ඔසවා තබන “ඔක්තෝබර් පුදුමයක” හැකියාව- පුවත්පත ගෙන යන රුසියානු විරෝධී ප‍්‍රචාරයේ ගැඹුරු මූලයන් ඇත්තේ, ඇමරිකානු ධනවාදයේ අර්බුදය හා මිලිටරි යාන්ත‍්‍රනය තුලින් තම ඓතිහාසික පරිහානිය ජයගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දරන ලද ප‍්‍රයත්නය තුල ය.

එම වචනවල යම් අර්ථයක් ඇත්නම්, ටයිම්ස් කතුවැකිය අනතුරු ඇඟවීමකි: එක්සත් ජනපදයේ හා මුලු ලෝකයේ ම ජනතාවට හොරෙන්, තුන්වැනි ලෝක යුද්ධය සඳහා සූදානම වේගයෙන් ඉදිරියට යමින් පවතී.

බිල් වෑන් ඕකන්

Share this article: