කෝබින්ගේ දක්ෂිනාංශික යටත්වීම සහ එක්සත් රාජධානියේ කම්කරු නායකත්ව තරඟයේ පාඩම්

Corbyn’s capitulation to the right wing and the lessons of the UK Labour leadership contest

2016 සැප්තැම්බර් 29

සැප්තැම්බර් 24 දා බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂ නායකයා තේරීම සඳහා යලි පැවැත්වූ මැතිවරනයෙන් දැවැන්ත ජයග‍්‍රහනයක් අත්කරගැනීමට ජෙරමි කෝබින් සමත් විය. ඔහුගේ ජයග‍්‍රහනය 180,000 කට වැඩි ලියා පදිංචි සාමාජිකයන් සහ ආධාරකරුවන්ගේ ඡන්ද අයිතිය ප‍්‍රතික්ෂේප කිරීම ද ඇතුලු, ලේබර් පක්ෂයේ දක්ෂිනාංශය විසින් ගෙන ගිය රුදුරු දඩයමක් මධ්‍යයේ හිමිවූ එකකි. ඔහු ජයග‍්‍රහනය කලේ, කප්පාදු පියවරයන්ට, යුදවාදයට සහ යුද්ධයට එරෙහිව කම්කරුවන්ට පොරොන්දු දුන්, කෝබින්ගේ ප‍්‍රකාශිත ඉලක්කයට සහාය දක්වමින්, ටෝනි බ්ලෙයාර්ගේ සහ ගෝර්ඞ්න් බ‍්‍රවුන්ගේ දේශපාලන උරුමක්කරුවන්ට එරෙහිව, සිය දහස් ගනන් කම්කරුවන් සහ තරුනයන් දේශපාලනිකව බලමුලු ගැන්වීමේ ප‍්‍රතිපලය ලෙසය.

දින හතරක් ඉක්ම යන විට පෙනී ගියේ, කෝබින්ගේ ජයග‍්‍රහනය සිදු නොවූවක් ලෙසය. ඔහු බදාදා ලේබර් පක්ෂ සමුලුවක අවසන් කථාව පැවැත්වීය. එහිදී ඔහුගේ විරුද්ධවාදීන් ජයගෙන ඇති සෙයක් පෙනී ගියේය.

මේ සියල්ලටත් වඩා කැපී පෙනෙන්නේ, කෝබින්ගේ ඡායා කැබිනට් මන්ඩලයේ ආරක්ෂක ලේකම් ක්ලිව් ලෙවිස්, ට‍්‍රයිඩන්ට් න්‍යෂ්ටික අවි පද්ධතිය ප‍්‍රතිසංස්කරනය කිරීම ප‍්‍රසිද්ධියේ පිලිගත්තා පමනක් නොව, නේටෝ ව්‍යවස්ථාවේ “පස් වන වගන්තිය ද ඇතුලූ, අපේ ජාත්‍යන්තර වගකීම් කම්කරු ආන්ඩුව විසින් සම්පූර්න කරනු” ඇති බවට ද ප‍්‍රතිඥා දීමයි. මේ යටතේ, ප‍්‍රහාරයකට මුහුන දෙන ඕනෑම නේටෝ සමාජිකයෙකුට උදව් කිරීම සඳහා බ්‍රිතාන්‍යය කැපවෙයි. යුක්රේනය, පෝලන්තය, සහ බෝල්ටික් රාජ්‍යයන් මැදිකරගත්, රුසියාවට එරෙහි එක්සත් ජනපද ප‍්‍රකෝපකරනයන් උග‍්‍ර වන තතු තුල මෙය, න්‍යෂ්ටික බලවතෙකුට එරෙහිව න්‍යෂ්ටික යුද්ධයක් දියත් කිරීම සදහා දුන් පොරොන්දුවකි.

වාමාංශික උප නායක ටොම් වොට්සන් හඩ නැඟුවේ, “අපේ ආරක්ෂක ප‍්‍රකාශක ක්ලිව් ලෙවිස් ඊයේ අපට මතක් කර දුන් පරිදි කම්කරු පක්ෂය, නේටෝවට වූ අපේ පොරොන්දුව ගැන යලි ප‍්‍රතිඥා දී ඇති බවත්, එයම කරන ලෙස අපේ යුරෝපා සංගම් හිතවතුන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන” බවත් කියමින්ය.

ඡායා චාන්සලර් ජෝන් මැක්ඩොනල්, බ්‍රිතාන්‍ය කර්මාන්තය ගෝලීය වශයෙන් තරගකාරී වන බව සහතික කිරීමට, ආරක්ෂනවාදී ක‍්‍රියාමාර්ග මත පදනම් වූ ආර්ථික ප‍්‍රතිපත්තියක් හඳුන්වා දුන්නේය. “කම්කරු පක්ෂය වෙලඳපොල සමාජවාදී පක්ෂයක්” බව “කදිමට” පැහැදිලි කිරීම වෙනුවෙන් වොට්සන් ඔහුට ප‍්‍රසංශා කලේය.

ඔහු මෙසේ පැවසීය. “පසුගිය වසර හය පුරා බ්ලෙයාර් සහ බ‍්‍රවුන් ආන්ඩුවල වැරදි පිලිබඳව අප අවදානය යොමුකොට ඇත්තේ මන්දැයි මා නොදනිමි.... සහෝදරවරුනි සතුරා ධනවාදය නොවේ.”

පක්ෂය යුරෝපය තුල කම්කරුවන් නිදහසේ එහා මෙහා යෑමට විරුද්ධ විය යුතු බව සහ “තමාගේම ජීවන තත්ත්වයන්ට හානිකරන අසීමිත, අරමුදල් හෝ නිපුනතාවක් නොමැති, සංක‍්‍රමනික ප‍්‍රශ්නය” සමග කම්කරු ජනතාවට “ගැටලුවක්” ඇති බව හඳුනාගන්නා ලෙස ඉල්ලා සිටිමින්, හිටපු නායකත්ව ප‍්‍රතිවාදියා වන ඇන්ඩි බර්න්හැම් කෝබින්ගේ සම්ප‍්‍රාප්තියට පැය ගනනක් තිබියදීම සමුලුව තනි ඒකාධිකාරයකට ගෙන ආවේය.

එබඳු පෙරහුරුවකට පසුව, ඒ හෝ මේ වැඩපිලිවෙල අනුමත කිරීම ප‍්‍රතික්ෂේප කිරීම, ඊට විරෝධය පෑම සඳහා කෝබින්ගේ ඉදිරිපත්වීම, ඔප්පු කරනු ඇත්තේ, ඔහු වනාහි, මිලිටරිවාදයේ සහ යුද්ධයේ දක්ෂිනාංශික පක්ෂයක් සඳහා වාම වාදී කෙලතොලු කථා පවත්වන්නෙකු පමනක් බවයි.

කෝබින් පැහැදිලි කර ඇත්තේ, කම්කරු පක්ෂයේ සැබෑ ස්වරූපය සඟවන්නට වාම වාදී පුරසාරම් යොදා ගනිමින්, කම්කරු පන්තිය පක්ෂයෙන් ඉවත්ව යාම වලක්වන්නට ඔහු කෙතරම් දැනුවත්ව වෙහෙස වන්නේද යන්නයි. “කම්කරු පවුලක්” ලෙස පක්ෂය යලි සංවිධානය කරමින් දක්ෂිනාංශය සමග එකමුතුව සඳහා ඔහුගේ කථාව යොමුවී ඇත.

එහෙත් තවමත් වඩාත් හෙලිදරව්කාරී කාරනය, ඔහු නිරූපනය කරන දේශපාලන උත්සුකයන් විස්තර කලේ කෙසේ ද යන්නයි. ඔහු දිනා ඇති සහාය “බ්‍රිතාන්‍යයට සුවිශේෂී” වූයේ නැතැයි ඔහු පැහැදිලි කලේය. “යුරෝපය, උතුරු ඇමරිකාව සහ ලෝකයේ ඕනෑම තැනක මිනිසුන් දරුනු අසමානතාවය, බොහෝ දෙනාගේ ජීවන තත්වයන් එකතැන පල්වීම, අවසානයකින් තොර විනාශකාරී විදේශ යුද්ධ සහ පලල් බහුතරයක් මිනිසුන් බලය අතින් හුදෙකලා කර තිබෙන දේශපාලන මැස්ම” ඔහු අවධාරනය කරයි.

“2008 අර්බුදයේ පටන්, විකල්පයක් සඳහා කෙරෙන ඉල්ලීම හා පලදායි නොවන කප්පාදු පියවර, රටක් රටක් පාසා නව මහජන ව්‍යාපාර සහ පක්ෂ පැන නැගීමට තුඩුදී තිබේ.”

ඔහු සාක්ෂාත් කර ගෙන ඇති දේ නම්, “අපි අතිශයින්ම ආඩම්බර විය යුතු දෙයක් වන සම්ප‍්‍රදායික දේශපාලනයේ හදවතෙහි සිදුවී ඇත්තේ, බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය තුල” බවට සහතික වීමයි.

සිය විරුද්ධවාදීන්ට සෘජු ආයාචනයක් කරමින් ඔහු “සමහරු එය තර්ජනයක් ලෙස දකිනවා ඇති නමුත් මම දකිනවා, එය දැවැන්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්පතක් ලෙස” යනුවෙන් පැවසීය.

මේ කිසිවක කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇත්තේ නැත. කෝබින්, පක්ෂය වටා රැලි වන මිලියන ගනන් අලුත් සාමාජිකයින්ගේ අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, කප්පාදු පියවර හා යුද්ධයේ අවසානයක් සඳහා වන අභිලාෂය දක්කාගෙන යාමට උත්සාහ කරන්නේ, ඔහුම පිලිගන්නා පරිදි රාජ්‍යයේ සහ මූල්‍ය කතිපයාධිකාරයේ පක්ෂයක් නිසා එය “තර්ජනයක්” ලෙස දකින, එම පක්ෂයේම තටුව යටටය.

එසේම කෝබින්ට අවශ්‍ය වනුයේ, වෙනසක් සඳහා වන මේ අභිලාශය, බ්‍රිතාන්‍ය ධනවාදයේ අභිලාෂයන්ට සම්පූර්නයෙන්ම කැපවී සිටින ප‍්‍රතිපත්ති පිටුපස, ගාල්කිරීමටය. පරියේෂන, සංවර්ධනය හා පලදායීතාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය, ප‍්‍රන්සය හා ජර්මනිය ද එක්සත් ජනපදය සහ චීනය ද පසු පසින් ලැග සිටින තත්ත්වය අවසන් කිරීමට, රාජ්‍යය ආයෝජන කැඳවා ගැනීම වටා ඔහුගේ ආයාචන පෙලගැසී තිබේ. “ලේබර් ආන්ඩුවක්, බ්‍රිතාන්‍යමය දෙවන හොඳම එක ලෙස කිසිදා පිලිගනුයේ නැතැයි” ඔහු ප‍්‍රකාශ කලේය. “අපේම කර්මාන්ත තුල මැදිහත් වීමට ඇති නිදහස ද ඇතුලුව අපේම බ්‍රික්සිට් න්‍යාය පත‍්‍රයටත් අපි බලකරමින් සිටින්නෙමු.”

කම්කරු පන්තිය මත ලේබර් පක්ෂයේ ග‍්‍රහනය පවත්වා ගනිමින්ම, එහි දක්ෂිනාංශයට විරුද්ධව මොනම අරගලයකට හෝ කෝබින් දක්වන විරුද්ධත්වය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගෙන තිබෙන ආස්ථානයේ නිවැරදිකම සනාථ කරයි.

පසුගිය වසරේ ඔහුගේ නායකත්ව තරඟය ආරම්භයේ සිටම සහ ඔහු ඉවත් කිරීමට දැරූ උත්සාහයන් පුරාම සසප, කම්කරු පක්ෂය ප‍්‍රතිසංස්කරනය කිරීමේ විධියක් ලෙස, කෝබින් සඳහා සහාය ගොනු කිරීමට, සමාජවාදී පක්ෂය සහ සමාජවාදී කම්කරු පක්ෂය බඳු කන්ඩායම් වල සියලු උත්සාහයන්ට විරුද්ධ විය. උදාහරන තුනක් උපුටා දැක්වුවහොත් අපි මෙසේ ලිවීමු.

“කෙසේ වුව ද කෝබින් ජයග‍්‍රනය කිරීම, කප්පාදු පියවරයන්ට විකල්පයක් සපයනු ඇතැයි සිතන සියල්ලන් දරුනු අපේක්ෂා භංගත්වයට පත්වනු ඇත. ඔහුගේ උද්ඝෝෂනයෙහි සැබෑ මිම්ම, ප‍්‍රකාශිත අරමුනු වලින් නොව, පක්ෂය සහ ඔහු ආරක්ෂා කරන වැඩපිලිවෙල සේවය කරන පන්ති අවශ්‍යතාවයන්ගේ පදනම මත විනිශ්චය කල යුතුය. ලේබර් පක්ෂය දක්ෂිනාංශික ධනේශ්වර පක්ෂයකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ සියලු අපරාධයන්ට එය සහාය දක්වා ඇති අතර සියවසකටත් වඩා වැඩි කාලයක් පුරා සමාජවාදයේ මූලික දේශපාලන සතුරෙකු ලෙස කටයුතු කොට තිබේ”. What does the “Jeremy Corbyn phenomenon” represent? (August 15, 2015)

“නමින් හැර එහි දේශපාලනයෙන්, සංවිධානයක් ලෙසින් හා එහි සංයුතියෙන් ටෝරි වන ලේබර් පක්ෂය, කම්කරු පන්ති අරගලයේ මෙවලමක් බවට පත්කරගත හැකි යයි කිසිවෙකුටත් බැරෑරුම් ලෙස කියා සිටිය නොහැකිය. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය පටන් ගත්තේ ටෝනි බ්ලෙයාර් සමඟ නොවේ. එය වනාහි සියවසකටත් වැඩි කාලයක් තිස්සේ පරීක්ෂාවට ලක්වී ඇති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ හා එරට රාජ්‍ය යාන්ත‍්‍රනයේ උපකරනයකට නොඅඩු ධනපති පක්ෂයකි. ක්ලෙමන්ට් ඇට්ලි, ජේම්ස් කැලහන් හෝ ජෙරමි කෝබින් විසින් නායකත්වය දෙනු ලැබුව ද එහි හරය නොවෙනස්ව පවතී. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායකයා ලෙස කෝබියන්ගේ පත්වීම මඟින් මතු කෙරෙන දේශපාලන ප්‍රශ්න

“බ්ලෙයාර්වාදීන්ගෙන් ලේබර් (පක්ෂය) ‘නැවත අල්ලා ගත’ හැකි ය යන විශ්වාසයෙන් යුතුව කෝබින් වටා රොක් වී සිටින කම්කරුවන් හා තරුනයන් අවමංගත කෙරී ඇත. ලේබර් පක්ෂයේ පන්ති ස්වභාවය නීර්නය කරුනු ලබන්නේ, මිලිටරි ඔත්තු සේවාවන්ට, රාජ්‍ය යාන්ත‍්‍රනයට පමනක් වග කියන, පාර්ලිමේන්තු ලේබර් පක්ෂයේ (පීඑල්පී) ඉහල මධ්‍යම පන්තික කල්ලිය මිස, එහි පාක්ෂිකයින් නො වේ.” බලන්න: බ්‍රිතාන්‍යය: ලේබර් පක්ෂ නායකත්ව තරඟයේ පාඩම්

අපගේ විනිශ්චය, කෝබින්ගේ ආත්මීය අභිලාෂයන්ගේ තක්සේරුවක් මත මුල් බැස ගත්තේ නැත. අප පදනම් වූයේ, කම්කරු පක්ෂයේ ස්වභාවය සහ වෙන කවරදාටත් වඩා කම්කරු පන්තිය සූරාකෑමත්, ලෝකයේ සම්පත් වල පාලනය සියතට ගැනීමට මිලිටරි ආක‍්‍රමන යොදාගැනීමටත් පාලක පන්තිය යොමුවී සිටින තතු තුල, ප‍්‍රතිසංස්කරනවාදී අතීතයට නැවත යාමක් කල නොහැකිය යන අර්ථය ගන්නා සමකාලීන ලෝක තත්ත්වය පිලිබඳ ඓතිහාසික - සංයුක්ත අවබෝධයක් මතය.

කප්පාදුවට සහ යුද්ධයට මූලික හේතුව වන ලාභ පද්ධතියට තමන් ගැටගැසීමට උත්සාහ කරන සියල්ලන්ගෙන්, තම දේශපාලන ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම, කම්කරුවන් සහ තරුනයන් ඉදිරියේ ඇති තීරනාත්මක කර්තව්‍යය වේ. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලු පාඨකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික වාර්තාව අධ්‍යයනය කරන ලෙසත්, හදිසි අවශ්‍යතාවක් ලෙස මතුව ඇති, නව සහ අව්‍යාජ සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී නායකත්වයක් ගොඩනැගීම පිනිසත් අප සමග සම්බන්ධ වීමට තීරනය ගන්නා ලෙසයි.

Share this article: