එක්සත් ජනපද ජනාධිපතිවරනයට මාසයක් තිබිය දී එලඹෙමින් ඇත්තේ කුමක් ද?

One month to the US presidential election—what lies ahead

2016 ඔක්තෝබර් 8

එක්සත් ජනපද ජනාධිපතිවරන උද්ඝෝෂනය අවසන් වීමට මාසයක් තිබිය දී එය පවත්වාගෙන යනු ලබන්නේ විශ්වාස කල නො හැකි තරමේ අශුද්ධ හා කුනු වූ මට්ටමකිනි. ඔක්තෝබර් 9දා රාත‍්‍රියේ රටපුරා විසුරුවා හැරෙන දෙවන ජනාධිපති අපේක්ෂක විවාදය, එකිනෙකාට මඩ ගසා ගන්නා, ව්‍යාජ නම් පටබඳිමින් හා තීරනාත්මක ප‍්‍රශ්න මගහැර යන තවත් අභ්‍යාසයක් වනු ඇත.

ඩිමොක‍්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් හා රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට‍්‍රම්ප් යන ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා, මෑතකාලීන එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත් ම අපකීර්තිමත් දේශපාලන චරිත දෙක වන අතර ඔවුන්, ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකගේ වෛරයට පාත‍්‍රව ඇති හා ඉතා නිවැරදි ව ස්වයං-තෘප්ත බොරුකාරයන් ලෙස සලකනු ලැබේ. එකෙක් ෆැසිස්ට්වාදී වාචාලයෙක් හා අන්තවාදියෙක් වන අතර අනෙක් තැනැත්තිය වෝල් වීදියේ හා මිලිටරි රහස් තොරතුරු සංස්ථාපිතය නියෝජනය කරයි.

සාමාන්‍යයෙන් ඩිමොක‍්‍රටික් පක්ෂයේ ක්ෂමාලාපකයන් වන වෘත්තීය සමිති, නිව් යෝක් ටයිම්ස් පත‍්‍රයේ හා ද නේෂන් සඟරාවේ ලිබරල් මාධ්‍ය කතුවැකි කරුවෝ සහ අනන්‍යතා දේශපාලනය අනුයන ඉහල මධ්‍යම පාන්තිකයෝ, උද්ඝෝෂනයේ අවසන් මාසය තුල ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය, බිඳවැටීමෙන් වලක්වන එක ම ක‍්‍රමය ට‍්‍රම්ප් පරදවා ක්ලින්ටන් ජයග‍්‍රහනය කරවීම ය යන තොරොම්බලය දෙගුන තෙගුන කරනු ඇත.

මේ සතියේ පල කරන ලද, වියහැකි පරිදි ම අතිශයෝක්තියට නංවා තිබුනු, ද නේෂන් සඟරාවේ ක්ලින්ටන් අනුමත කරන කතුවැකිය, හිටපු රාජ්‍ය ලේකම් වරිය “ඩොනල්ඩ් ට‍්‍රම්ප් යන වචන දෙකට සිඳු විය හැකි” යයි පැවසීය. බොහෝ විට රිපබ්ලිකන්-හිතවාදී පුවත්පත් පවා ට‍්‍රම්ප් තෝරා පත්කර ගැනීම, එක්සත් ජනපදයේ දේශපාලන ස්ථාවරත්වයට ව්‍යසනකාරී පහරක් වනු ඇතැයි අනතුරු අඟවමින් මේ රැලට එක් ව තිබේ. දි ඇට්ලැන්ටික් සඟරාව කොතරම් දුර ගියේ ද යත්, තමන් ක්ලින්ටන්ට අනුමැතිය දීම තම ඉතිහාසයේ තුන්වන අවස්ථාව යයි සටහන් කලේ 1964 දී බැරී ගෝල්ඞ්වෝටර්ට එරෙහි ව ලින්ඩන් ජොන්සන්ටත් 1860 දී ඒබ‍්‍රහම් ලින්කන්ටත් වසයෙන් තමන් පෙර අවස්ථාවල අපේක්ෂකයෙකුට සහය දුන් අවස්ථා දක්වමිනි.

ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවත්නේ බිඳෙනසුලු තත්ත්වයක නම් ඒ, ක්ලින්ටන්ට යන්තමින් පිටුපසින් සිටින මැන්හැටන් දේපොල වෙලඳාම් හා කැසිනෝ කෝටිපතියාගේ මැතිවරන උද්ඝෝෂනයට වඩා ප‍්‍රගාඪ හේතු නිසා බව අවධානයට ලක් කල යුතු ය. මෙම අර්බුදයේ හේතු තම පාඨකයන්ට පැහැදිලි කිරීමට කතුවැකි ලියන ඥානවන්තයෝ උත්සාහ නො දරති. ට‍්‍රම්ප් වෙනුවට ක්ලින්ටන් තෝරා පත්කර ගතහොත් රට ඉදිරියේ ලඹදෙන අනතුරෙන් ආරක්ෂා වන්නේ කෙසේදැයි යන්නට කිසිදු ඒත්තු ගන්නාසුලු තර්කයක් ද ඔවුන් ඉදිරිපත් කොට නැත.

මැතිවරන උද්ඝෝෂනයේ දිනක් දිනක් පාසා අපේක්ෂකයන් කතා කරන දේවල් හා ධවල මන්දිරය තුල ඊ ලඟට අරක් ගන්නේ කවුදැයි විසඳා ගත්විට ඇමරිකානු ධනපති පන්තිය ක‍්‍රියාවේ යෙදවීමට සූදානම් වන පියවරයන් අතර යෝධ අගාධයක් පවතී. ඉරිදා විවාදයේ දී ගැඹුරින් සාකච්ඡා කිරීම කෙසේ වෙතත්, සඳහන් කිරීම පවා නො වීමට ඉඩ ඇති ප‍්‍රධාන ප‍්‍රශ්න තුන මේවා ය:

ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදය: ඔක්තෝබර් 7දා වොෂින්ටනයේ ඇරඹුනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුලුවට පෙරාතුව, එය නිකුත් කල වාර්තාවකට අනුව, ලෝක ආර්ථිකයේ මූල්‍ය නො වන ක්ෂේත‍්‍රයේ නය ප‍්‍රමානය 2000 වසරේ පටන් නාමික අගයෙන් දෙගුන වී ඇති අතර, එය ගෝලීය දල දේශීය නිෂ්පාදිතය මෙන් සියයට 225ට අධික, ඩොලර් ට්‍රිලියන 152ක දැවැන්ත අගයක් කරා ලඟාවී ඇත. දුර්වල බැංකු ව්‍යූහයන් හා මහා බලයන් අතර තියුනු වල වෙලඳ ආතතීන් සමග අත්වැල් බැඳගෙන එන දැරිය නො හැකි මෙම මූල්‍ය බුබුල, 2008ටත් වඩා විශාල පරිමානයෙන් එම පන්නයේ වෙලඳපොල අර්බුදයක් නිර්මානය කරනු ඇති අතර ගෝලීය අවපාතයකට තුඩු දෙනු ඇත.

එක්සත් ජනපදය, රුසියාව හා චීනය සමඟ යුද්ධයට එලඹීම : ඔබාමා පරිපාලනය, රුසියාවට අවලාද නැගීමේ හා හෙලා දැකීමේ සිය උද්ඝෝෂනය උත්සන්න කර තිබේ. ඔක්තෝබර් 7දා, රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, සිරියාවේ සිවිල් වැසියන් මතට බෝම්බ හෙලීම ගැන රුසියාවට යුද අපරාධ චෝදනා නැගිය යුතු බව පැවසීය. රාජ්‍ය මැතිවරන පද්ධති හා ඩිමොක‍්‍රටික් ජාතික කමිටුවේ පරිඝනක තුලට අනවසරයෙන් ඇතුලු වූයේ යයි ඇමරිකානු ආන්ඩුවේ වාර්තාවක් රුසියාවට දෝෂාරෝපනය කලේය. ඒ අතර පෙන්ටගනය දකුනු චීන මුහුදේ දූපත් වාඩිලාගෙන සිටීමට එරෙහිව, චීනය මත මිලිටරි පීඩනය උත්සන්න කරයි. ඊ ලඟ එක්සත් ජනපද ජනාධිපතිවරයා වැඩ භාරගනු ඇත්තේ න්‍යෂ්ටික බලයන් එකක් හෝ දෙක ම සමඟ යුද්ධයක මුවවිටට ලඟාවී තිබියදී ය.

එක්සත් ජනපදය තුල පුපුරා යන පන්ති අරගලය: කියනු ලබන ඔබාමා පරිපාලනයේ “සාර්ථකත්වයන්” ඉදිරියට ගෙන යන්නිය ලෙස ක්ලින්ටන් උද්ඝෝෂනයේ යෙදෙන අතර ට‍්‍රම්ප් ඇඟිල්ල දික්කලේ, කම්කරු පන්තියේ පුලුල් ස්ථරවල දුර්වල ආර්ථික තත්ත්වයන්ට ය. අපේක්ෂකයින් දෙදෙනාගේ, සාර්ථකත්වය ගැන කයිවාරුව වේවා, ප‍්‍රතිවිපාක ගැන අනතුරු ඇඟවීම වේවා, තිබියදීම පහලින් එන ව්‍යාපාරයකට ඔවුන් මුලුමනින් ම හතුරු ය. “නීතිය හා සාමය” සඳහා ට‍්‍රම්ප්ගේ කැඳවුම, කම්කරු පන්තියේ අරගල වලට රුදුරු බලයක් ඇතිව යෙදෙනු ඇත. ක්ලින්ටන් ගැලතීගෙන සිටින්නේ, රැකියා හා වැටුප් ආරක්ෂා කරගැනීමට කරන ඕනෑ ම අරගලයක් කඩාකප්පල් කිරීමට පේවී සිටින වෘත්තීය සමිති සහ කම්කරුවන්ට හා තරුනයන්ට විරුද්ධ ව දිනපතා ප‍්‍රචන්ඩ ක‍්‍රියාවල යෙදෙන පොලිස් බලයන් පාවිච්චි කරන නාගරික දේශපාලන යන්ත‍්‍රනයන් සමඟිනි.

ලිබරල් අටුවාකරුවන්ගෙන් වඩ වඩා තිගැස්සෙන හා අනතුරු අඟවන ප‍්‍රකාශ නිකුත් වීමට හේතු වන්නා වූ සියලු ප‍්‍රධාන රටවල සමාජ සමතුලිතතාව බිඳ වැටීම හා ලෝක ධනවාදයේ බිඳ වැටීම ලෙස සම්පින්ඩනය කල හැකි සන්තතීන් මේවා ය. නිසැක ව ම ඔවුන්ගේ දෙපතුල් යටින් පොලොව ඉරිතලමින් තිබෙන්නේ, ට‍්‍රම්ප්ගේ පුද්ගලිකත්වය නිසා නො වේ. ඔවුන්ගේ සැබෑ භීතිය, ප‍්‍රධාන පක්ෂ දෙකටත්, ඒවා පෙනී සිටින ධනේශ්වර පද්ධතියටත් එරෙහි ව පහලින් ව්‍යාපාරයක් පිපිරෙතැයි කියා ය.

ඡන්දයට පෙර අවසන් සති කිහිපයේ නො වේ නම් නොවැම්බර් 8දායින් පසුව එන මහා සිද්ධිවලට වැඩකරන ජනතාව හා තරුනයන් සූදානම් කිරීමට සමාජවාදී සමානතා පක්ෂය 2016 මැතිවරනයට තරඟ වදී. අපගේ ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් හා උප ජනාධිපති අපේක්ෂක නයිල්ස් නීමුත්, ධනපති අපේක්ෂකයන්ගේ මැතිවරන උද්ඝෝෂනවල ඉලක්කය අර්බුදයේ වර්ධනය සඟවා වැඩකරන ජනතාව නිරායුධ කිරීම බවට අනතුරු අඟවයි.

අදින් මාසයකට පසු ව වයිට්ට හා නීමුත්ට ඡන්දය ප‍්‍රකාශ කරන ලෙස අපි අපේ සියලු ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටිමු. එහෙත් අපගේ උද්ඝෝෂනය මූලික වසයෙන් යොමු වන්නේ ඡන්ද එකතු කිරීමට නො ව, එලැඹෙන අරගල මෙහෙයවීම සඳහා දේශපාලන පක්ෂයක් ගොඩනැගීමට ය. සමාජවාදය සඳහා අරගලය සමඟ එක් වීමට සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන්න. යුද්ධයටත් යුද්ධය පැනනංවන ධනේශ්වර ක‍්‍රමයටත් විරුද්ධ ව්‍යාපාරයක් සංවිධානය කිරීමට, සසප හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය, “ධනවාදයට හා යුද්ධයට එරෙහි ව සමාජවාදය” මැයෙන් නොවැම්බර් 5දා ඩිට්රොයිට්හි දී සමුලුවක් සංවිධානය කරති. සමුලුව පිලිබඳ වැඩි විස්තර සඳහාsocialismvswar.com වෙබ් අඩවියට පිවිසෙන්න.

පැට්‍රික් මාටින්

Share this article: