එක්සත් ජනපදය යේමනයට එරෙහිව මිසයිල ප්‍රහාර එල්ල කර යි- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

එක්සත් ජනපදය යේමනයට එරෙහිව මිසයිල ප්‍රහාර එල්ල කර යි

US launches missile strikes against Yemen

2016 ඔක්තෝබර් 14

රතු මුහුදේ යේමන ඉලක්කවලට එරෙහිව එක්සත් ජනපද හමුදා 13දා උදෑසන ටොමහෝක් කෲස් මිසයිල එල්ල කිරීමත් සමග, වොෂින්ටනය ආරම්භ කර ඇත්තේ මැද පෙරදිග හා ලෝකය පුරා එක්සත් ජනපද ආධිපත්‍යය පිහිටුවීමේ අරමුන සහිත, සර්පිලාකාරව පැතිරෙන මිලිටරි ආක්‍රමනයේ උද්ඝෝෂනයක තවත් පියවරක් බව පෙන්නුම් කරයි.

යේමනයට එරෙහි ප්‍රහාරය ඇෆ්ගනිස්තානයේ සිට ඉරාකය, සිරියාව හා ඉන් එහාට විහිදෙන එක්සත් ජනපද මිලිටරි මෙහෙයුමේ එක් පෙරමුනක් පමනි. එය ක්‍රියාත්මක වූයේ, ප්‍රසිද්ධ විවාදයකින් තොරව පමනක් නොව, ඇමරිකානු ජනතාවගේ කැමත්ත විමසීම පිලිබඳ ව මවා පෑමක් හෝ නොමැතිව ය.

මාසයකටත් අඩු කාලයක් තුල පැවත්වීමට නියමිත එක්සත් ජනපද ජනාධිපතිවරනය සමග, ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකානු අපේක්ෂකයින් දෙදෙනාගෙන් කවරෙකු හෝ -එය මාධ්‍යයට කාරනයක් නොවේ- කලාපීය මෙන් ම ගෝලීය යුද්ධයක් කරා වුවත් වේගයෙන් ඇදී යා හැකි මිලිටරි මෙහෙයුම්වල ගම්‍යයන් සාකච්ඡා කිරීම වෙනුවට, අධම ගනයේ සෝලි-ඇවිස්සීමෙන් ඉවතට හැරීමේ පුංචි හෝ නැඹුරුවක් පෙන්වා නැත.

ජනාධිපති බරක් ඔබාමා මිසයිල ප්‍රහාරය අනුමත කල නමුත්, ඒ පිලිබඳව කතා නොකල අතර එක්සත් ජනපද ප්‍රහාරය ගැන සුලු හෝ ලිඛිත පැහදිලි කිරීමක් පවා නිකුත් නො කලේ ය.

යේමනයට එල්ල කල මිසයිල ප්‍රහාරය වෙනුවෙන් එක්සත් ජනපදයේ එකම පැහැදිලි කිරීම පෙන්ටගනය විසින් නිකුත් කර තිබුන ද එය, “වැදගත් නාවික මාර්ගයක අපගේ නිලධාරීන්, අපගේ නැව් හා අපගේ නාවික ගමනාගමන නිදහස ආරක්ෂා කර ගැනීමේ සීමිත ස්වයං-ආරක්ෂක ප්‍රහාරයක්” යයි පැවසීමට සීමා විය.

එක්සත් ජනපද මිලිටරි වාර්තාවකට අනුව යේමන් භූමිය ඉලක්ක කෙරුනේ, එකිනෙකට වෙනස් සිදුවීම් දෙකකට ප්‍රතිචාර වසයෙනි. එකක් ඊසාන දිග අප්‍රිකාවේ අඟ ලෙස සැලකෙන ප්‍රදේශයෙන් අරාබි අර්ධද්වීපය වෙන් කෙරෙන්නා වූ ද රතු මුහුද ඒඩන් බොක්කට හා ඉන්දියානු සාගරයට සම්බන්ධ වන්නා වූ ද මූලෝපායික පටු මුහුදු මාර්ගයක් වන බබ් අල් මන්ඩාඩ් සමූද්‍ර සන්දියේ මුර සංචාරයෙහි යෙදෙන එක්සත් ජනපද නැව් තුනකින් එකක් වන යූඑස්එස් මේසන් නෞකාවට යේමනයේ සිට මිසයිල ප්‍රහාර එල්ල කිරීමයි.

පසු ගිය වසරේදී මෙම සමූද්‍ර සන්ධිය ඔස්සේ දිනපතා නැව් මගින් තෙල් බැරල් මිලියන 4.7ක් ප්‍රවාහනය කෙරුනි, ඉන් වැඩි කොටසක් ගියේ චීනය බලාය. ගෝලීය නාවුක වෙලඳාමෙන් සියයට 40ක් මේ නාවික තීරුව ඔස්සේ සිදු කෙරේ. තම තරඟකරුවන්ට එරෙහිව යොදා ගත හැකි මර්මස්ථානයක් ලෙස මෙම පටු මුහුදු මාර්ගය මත ග්‍රහනය තහවුරු කිරීමට මෙන් ම තම නාවික හමුදාවට මෙම මූලෝපායික පටු තීරුව හරහා යාමේ ඉඩකඩ සුරක්ෂිත කිරීම හා අනෙකුත් සියල්ලන් එහි ප්‍රවේශ වීම වැලක්වීමට ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අධිෂ්ඨාන සහගත ය.

සනා යන යේමනයේ අගනුවර වන පාලනය කරනු ලබන හවුති කැරලිකාරී ව්‍යාපාරය සහ එකී ව්‍යාපාරය හා සන්ධාන ගතව සිටින යේමන හමුදා, එක්සත් ජනපද යුද නැව් ඉලක්ක කල බව ප්‍රතික්ෂේප කර ඇති අතර කෲස් මිසයිල ප්‍රහාරය ආක්‍රමනකාරී ක්‍රියාවක් ලෙස හෙලා දැක ද ඇත.

යමෙකුට පෙන්ටගනයේ වාර්තාව සත්‍ය ලෙස පිලිගැනීමට කිසිදු හේතුවක් නැත. යූඑස්එස් මේසන් නෞකාවට එල්ලවූ ප්‍රහාරය පිටුපස ඇත්තේ හවුතිවරු යයි හෝ, සැබවින් ම එවැනි මිසයිලයක් එල්ල කරනු ලැබූවේ ද යන්න පවා සනාත කිරීමට මොන ම සාක්ෂියක් වත් ඉදිරිපත් කෙරී නැත.

එක්සත් ජනපද යුදනැව්වලට පහරදීමේ අභිප්‍රාය සහිත වෙනත් ක්‍රියාකාරීහු ද යේමනයේ සිටිති. මුලින් ලෝකයේ භයානක ම ත්‍රස්තවාදී කන්ඩායම යැයි වොෂින්ටනය විසින් නම් කරන ලද නමුත් දැන් හවුති කැරලිකරුවන්ට එරෙහිව සැබවින් ම එක්සත් ජනපදය සමග සන්ධානගතව සටන් කරමින් සිටින්නා වූ අරාබි අර්ධද්වීපයේ ක්‍රියාත්මක වන අල්කයිඩා සංවිධානය ද මෙයට ඇතුලත් ය.

ඊට පසු සෞදි අරාබිය ද සිටියි. 2015 මාර්තු මාසයේ සිට යේමනයට එරෙහිව ම්ලේච්ඡ ගුවන් ප්‍රහාර එලල් කරමින් සිටින සව්දිය, යේමන ජාතිකයින් 10,000ගේ මරනවල වැඩි කොටසකට ද වග කිව යුතු ය. සනා හි හවුති නායක්වය යටතේ පවතින ආන්ඩුවට එරෙහිව 13දා එල්ල කල මිසයිල ප්‍රහාරය, එක්සත් ජනපදය ඊට ඍජුවම සම්බන්ධවූ පලමු අවස්ථාව සලකුනු කල නමුත් පෙන්ටගනය සව්දි මිලිටිරි මෙහෙයුම් සඳහා ඔත්තු හා තොරතුරු සපයා ඇත, යුද නැව්වලට ගුවනේ දී ඉන්ධන පිරවීම ද ඊට ඇතුලත්ය. එවන් සහාය නොමැතිව මිනීමරු සෞදි මෙහෙයුම් ක්‍රියාත්මක කල නො හැකි වනු ඇත. තව ද ඔබාමා පාලනය, සිය පාලන කාලය තුල රාජාන්ඩුවට එක්සත් ජනපදය ඩොලර් බිලියන 115ක විශාල අවි ආයුධ සපයා ඇති අතර යේමනයේ නිවාස, පාසැල් හා රෝහල්වලට දැමූ බෝම්බ හා මිසයිල වෙනුවට යලි සැපයුම් සිදුකර ඇත.

කෙසේ නමුත් ඔබාමා පාලනාධිකාරය මෑත දී, තම සහයෝගය අඩු කිරීමට ඉඩ ඇතැ යි කියමින්, මෙම සංහාරය ගැන සුලු නොඑකඟතාවක් පල කර ඇත. ව්‍යාජ ලෙස හවුතිවරුන්ට වගකීම පවරන මිසයිල ප්‍රහාරය උදව් කරනවා ඇත්තේ, එක්සත් ජනපදය වඩා ඍජුව යුද්ධයට ඇද ගැනීමට ය.

එක්සත් ජනපද නාවික හමුදාවට එල්ල කෙරුනු මිසයිල ප්‍රහාරය විමසා බැලිය යුත්තේ දැඩි සැකයකින් යුක්තවය. ඇමරිකානු මිලිටරිවාදී උත්සන්නිය සඳහා යොදා ගෙන ඇති මුහුදු සටන් පිලිබඳව ගොතන ලද පූර්වාදර්ශයන් ඇත.1964දී උතුරු වියට්නාම් කුඩා යුද නැවක් ටොංකිං බොක්කේ දී එක්සත් ජනපද යුද නැවකට කරන ලදැ යි කියනු ලබූ පහර දීමක් ටොංකිං යෝජනාව සම්මත කර ගැනීම යුක්තිසහගත කිරීමට යොදා ගැනුනු අතර එමඟින් වියට්නාමය තුල එක්සත් ජනපද යුද්ධය වේගයෙන් පෙරට ගෙන යාම සඳහා ජනාධිපති ලින්ඩන් බී ජොන්සන්ට බලය පැවරුනි. අඳුරු සිදුවීම්වලින් වසරකට පසු ‍ජොන්සන්, “මා හොඳින්ම දන්නා දෙය නම්, අපගේ නාවික හමුදාව තල්මසුන්ට වෙඩි තබමින් සිටි බව යයි” පවසමින් නරුම ලෙස එය පිලි ගත්තේය.

මිසයිල ප්‍රහාරයට හවුතියේ සම්බන්ධය පිලිබඳව වොෂින්ටනය විසින් සඳහන් කරනු ලබන ප්‍රධාන සාක්ෂිය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ගැන ම අධිචෝදනාවකි. එම පහරදීම වාර්තා වී ඇත්තේ අඩු වසයෙන් ජිවිත 155ක් බිලි ගත් හා 500ක් තුවාල ලද, සෞදි යුද ගුවන් යානා විසින් සනාහි අවමගුල් මධ්‍යස්ථානයකට බෝම්බ දැමීමෙන් ඉක්බිත්තේ ය. හවුති පාලන අධිකාරයේ ජ්‍යේෂ්ට නිලධාරීන් ඇතුලු ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් සංහාරය කිරීමට යොදා ගැනුනු රාත්තල් 500 බර බෝම්බයේ කැබලිවල සලකුනුවී තිබුනේ ඒවා එක්සත් ජනපදයට අයිති බවට ය. වොෂින්ටනය කියන්නේ එක්සත් ජනපද යුද නැව් වලට පහර දුන්නේ පලිගැනීමට බව ය.

මෙම අරමුන ඇතිව හවුති සංවිධානයට වරද පැටවීම අවධාරනය කරන්නේ, ලෝකයේ දුප්පත් ම ජාතීන්ගෙන් එකකට එරෙහිව ගල්ෆ් කලාපයේ අත්තනෝමතික තෙල් බලවතුන් සමග කුමන්ත්‍රනකාරීව ක්‍රියාත්මක කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වරදකරුවී ඇති බව පමනි. වසර එක හමාරක බෝම්බ දැමීමේ ව්‍යාපාරය රටේ පොදුකාර්ය ව්‍යුහය හා මිලියන 14ක ජනගහනයෙන් වැඩි කොටස විනාශයකට ඇද දමා ඇති අතර රටේ ජනගහනයෙන් අඩකට වඩා සාගින්නෙන් පෙලෙති.

මෙම සාපරාධී යුද්ධ, මැද පෙරදිග තම මැදිහත්වීම යුක්ති සහගත කිරීමට වොෂින්ටනය විසින් යොදා ගැනුනු “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” සිට “මානව හිමිකම්” දක්වා වන සියලු කඩතුරාවන් හෙලිදරව් කර ඇත.යේමනයේ මෙන් ම, ඉරාකය හා ලිබියාවේ ද එක්සත් ජනපද මැදිහත්වීම් සිදු කරන ලද්දේ සිය භූ-මූලෝපායික ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීමටත් චීනය හා රුසියාව සමග දුර දිග යන බිහිසුනු ගැටුමකට සූදානම්වීම සඳහාත් ය.

නැගෙනහිර යුරෝපයේ හා දකුනු චීන මුහුදේ වර්ධනය වෙමින් පවතින ආතතීන් අමතර ව මෙම එකිනෙකට වෙනස් ගැටුම්, පැයෙන් පැය වැඩෙන තුන්වැනි ලෝක යුද්ධ තර්ජනයම උත්සන්න කරයි.

යුද්ධය හා එහි මූලයට, එනම් ධනේශ්වර පද්ධතියට එරෙහිව සටනක් තුල කම්කරු පන්තිය එක්සත් කිරීමේ අධිෂ්ඨාන සහගත අරගලකින් තොරව, එවැනි ගෝලීය ව්‍යසනයක් නො වැලක්විය හැකි ය. නොවැම්බර් 5වැනිදා එක්සත් ජනපදයේ ඩෙට්‍රොයිට් හි දී සමාජවාදී සමානතා පක්ෂය පවත්වනු ලබන “ ධනවාදය හා යුද්ධයට එරෙහිව සමාජවාදය ” නම් සම්මේලනය එවැනි ව්‍යාපාරයක් ගොඩනැගීමේ තීරනාත්මක පියවරකි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය එහි පාඨකයින්ගෙන් ද අව්‍යාජ ලෙස යුද්ධයට විරුද්ධවීමේ මාවත් සොයමින් සිටින අයගෙන් ද ඉල්ලා සිටින්නේ, ඒ සඳහා ලියාපදිංචි වන ලෙස හා එයට සහභාගී වන ලෙස යි.

බිල් වෑන් ඕකන්

Share this article: