2016 මැතිවරන හා “අඩු නපුර” පිලිබඳ දේශපාලනයේ අවෘත අන්තය

The 2016 elections and the dead-end of “lesser evil” politics

2016 ඔක්තෝබර් 24

එක්සත් ජනපද ජනාධිපතිවරන උද්ඝෝෂනයේ අවසන් දෙසතිය අරක් ගනු ඇත්තේ, ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වන හිලරි ක්ලින්ටන්ට ඡන්දය ප්‍රකාශ කරන්නැයි වැඩකරන ජනයාට හා තරුනයින්ට, වෘත්තීය සමිති හා ලිබරල් ප්‍රකාශන මගින් කෙරෙන අයැදුම් මගිනි. හිලරි ක්ලින්ටන් වෝල්වීදියේ හා දේශපාලන සංස්ථාපිතයේ නියෝජිතවරිය ලෙසත් වඩා ආක්‍රමනකාරී හා මිලිටරිවාදී විදෙස් පිලිවෙතක නියෝජිතවරියක් ලෙසත් පුලුල් ලෙස ගර්හාවට ලක්ව ඇති තතු තුල, මෙම අලෙවි ප්‍රයත්නය සැලකිය යුතු අර්බුදවලට මුහුනපා ඇත.

අඩුම ගානේ, එක්සත් ජනපදය තුල සැබෑ ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා අත්තිවාරම දැමීමේ අරමුනින් යුතුව වර්ගවාදය, සක්‍රමන විරෝධී වෙනස්කම් කිරීම හා ඇමෙරිකානු ජාතිකවාදය සිය උද්ඝෝෂනයේ පදනම කරගත් බිලියනපති වාචාලයෙකුවන ඩොනල්ඩ් ට්‍රම්ප්ට විකල්ප “අඩු නපුර” ක්ලින්ටන් නියෝජනය කරන බව කියනු ලැබේ. කෙසේවෙතත්, ක්ලින්ටන් හෝ ට්‍රම්ප් තෝරාගැනීම යනු සුවකල නොහැකි පිලිකාවේ එක් හෝ අනෙක් විධිය තෝරා ගැනීමකි. මැද පෙරදිග දිග්ගැස්සුනු මිලිටරි මැදිහත්වීමක් සඳහාත්, ලෝකයේ දෙවැනි න්‍යෂ්ටික බලවතා වන රුසියාව සමග පරිපූර්න යුද්ධයක් සඳහාත් ක්ලින්ටන් පෙනී සිටනවාය යන්න සැලකූ කල, ක්ෂනිකව මාරාන්තික වනු ඇත්තේ පිලිකාවේ කුමන කොටස ද යන්න මොනයම්ම හෝ ස්ථිරභාවයකින් කිව හැකි නොවේ.

ප්‍රමුඛ ආර්ථිකවේදීන් හා සමාජවිද්‍යාඥයින් කන්ඩායමක් හිලරි ක්ලින්ටන් හුදු අඩුනපුර පමනක් නොව සාධනීය යහපතක් ලෙස ප්‍රකාශයට පත් කරමින් විවෘත ලිපියක් ප්‍රසිද්ධ කලේ ය. ඇමරිකාවේ සමාජ හා පන්ති අසමානතාවේ වැඩීම සම්බන්ධයෙන් විභාගකරමින් වටිනා වැඩ කර ඇති බාක්ලේහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ එමානුවෙල් සියැස් හා හාවඩ්හි විලියම් ජූලියස් විල්සන් වැනි අය ද ඇතුලු ශාස්ත්‍රාලිකයන් 50ක් ලිපියට අත්සන් යොදා ඇත.

ජනගහනයෙන් ඉහලම සියයට එකට ගලා යන ජාතික ආදායමේ පංගුව 1981දී සියයට 10 ක සිට 2015 වසරේදී සියයට 22 දක්වා වර්ධනයවී තිබෙන ආකාරය ද ඇතුලුව ඇමරිකාව තුල ආර්ථික අසමානතාවේ නොඉවසිය හැකි වර්ධනය ලිපියෙන් මතුකර පෙන්වයි. 1970 මැදභාගයේ සිට සියලු ආදායම් වැඩිවීම්වල අතිමහත් බහුතරය ගලා ගොස් ඇත්තේ සුපිරි ධනවතුන් වෙත ය. මෙම වසර 40ක කාලය, වැඩකරන ජනයාගේ වියදමින් ධනවතුන්ට අනුග්‍රහ දක්වා තිබෙන රිපබ්ලිකානුවන් හා ඩිමොක්‍රටිකයන්ගේ සමානවූ පාලන කාලයන්ය.

එසේ වුව ද “දශක හතරක කාලය තුල, වඩාත්ම ප්‍රගතිශීලි ඩිමොක්‍රටික් පක්ෂයේ ව්‍යාපාරය මඟින් පිටුබලය දෙනු ලබන” ක්ලින්ටන්ගේ පිලිවෙත්, “වර්ධනය වේගය වැඩි කරමින් අසමානතාව අඩුකරනු ඇති” බවට ශාස්ත්‍රාලිකයන් 50 දෙනා තර්ක කරයි.

පැයකට ඩොලර් 15ක අවම වැටුපක සිට, පොදු ප්‍රාථමික පාසැල්, විද්‍යාල සිසුන්ගේ නය සඳහා සහන සැලසීම හා මිලියනපතියන්ට අධිබද්ධක් පැනවීම ඇතුලු ධනවතුන් මත ඉහල බදු පැනවීමෙන් උපයා ගන්නා මුදලින් යටිතල ව්‍යූහය සඳහා විශාල වශයෙන් වියදම් දැරීම දක්වා පුලුල් පරාසයක විහිදෙන යෝජනා මාලාවක් ලිපිය ඊලඟට පෙල ගස්වයි. “ඇගේ සමස්ථ වැඩිහිටි ජීවිතය” කාලය පුරාම ක්ලින්ටන් එවැනි වැඩසටහන් සඳහා වැඩකර ඇති බව එය සඳහන් කරයි.

බිල් ක්ලින්ටන්ගේ කැබිනට් මන්ඩලයේ හිටපු සාමාජිකයන් දෙදෙනෙකු වන රොබට් රීච් හා ලෝරා ඩි’ඇන්ඩ්රියා ටයිසන් ඇතුලු ඇතම් දීර්ඝ කාලීන අටුවන් බැස්ස ඩිමොක්‍රටික් පක්ෂ සභිකයන් ද අත්සන් කල අය අතර වෙති. එහෙත් ට්‍රම්ප්ට බියෙන් දේශපාලනිකව මුලුගැන්වුනු හොඳින් දන්නා තවත් අය ද වෙති.

ඩිමොක්‍රටික් ප්‍රාථමික මැතිවරනවලදී අත්සන් තැබූ අයගෙන් බොහෝ දෙනෙක්, බර්නි සෑන්ඩර්ස්ගේ හා වෝල්වීදියට ක්ලින්ටන්ගේ ඇති බැඳීම් පිලිබඳව ඔහුගේ විවේචනවලට ආධාර කලෝ ය. දැන් විකිලීක්ස් වෙබ් අඩවිය විසින් කාන්දු කරනු ලැබූ ක්ලින්ටන්ගේ උද්ඝෝෂනයට අදාල විද්‍යුත් ලිපි හා සංගත ශ්‍රාවකත්වයන්ට ඇය කල දේශන, එකී බැඳීම් දහස් වාරයක් සනාථ කෙරී ඇති තත්වය යටතේ ලිපියේ අත්සන්කරුවෝ, ඒ දෙස නොබැලීමට සිතාගෙන තිබේ.

එහෙත් ලිපියේ වඩාත්ම වැදගත් කාරනය, විදෙස් පිලිවෙත, වැඩෙන යුද තර්ජනය හෝ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු වන රුසියාව හා චීනය සමග මිලිටරි ඝට්ටනයකට මෙහෙයවනු ඇති පිලිවෙතකට ඉදිරියේ එනු ඇති ක්ලින්ටන් පාලනයේ කැපවීම ගැන එකදු වචනයක් හෝ නොමැති වීම යි. සියලුම සාක්ෂිවලට එරෙහිව යමින්, ක්ලින්ටන් ඇත්තටම කැපවී සිටින්නේ අව්‍යාජ සමාජ ප්‍රතිසංස්කරන වැඩපිලිවෙලක් ක්‍රියාවට දැමීමට යයි කෙනෙකු විස්වාස කරන්නේ නම්, රුසියාව හෝ චීනය සමග යුද්ධයක් කෙසේ වෙතත්, මැදපෙරදිග දිග්ගැස්සුනු මිලිටරි මැදිහත්වීමක මූල්‍ය පිරිවැය පිලිබඳ ප්‍රශ්නයේදී, එවැනි ව්‍යාපෘතිවලට ක්ෂනිකව තිත තැබෙනු ඇති බව එහි අර්ථයයි.

වසර පනහකට ඉහතදී ඇමෙරිකානු ධනවාදය පිබිදෙන ලෝක ආර්ථිකයක් තුල වඩාත් අධිකාරිවත් ස්ථානයක් දරමින් සිටි කාලයේ ජොන්සන් පාලානාධිකාරිය බිඳවැටුනේ, “තුවක්කු සහ බටර්” එකට ගෙනයා නොහැකි බව සනාථ වීමෙනි. ගෝලීය ආර්ථික අර්බුදය, මූල්‍ය කම්පන හා එක්සත් ජනපදයේ බිඳවැටීමේ කොන්දේසි යටතේ හිලරි ක්ලින්ටන්ගේ පාලනාධිකාරියක් එවැනි ප්‍රයත්නයක් හෝ දරනු නැත.

ඊට පටහැනි ලෙස විකිලීක්ස් ලේඛන පෙන්වා දෙන්නේ, ආර්ථික විද්‍යාඥයින් හා සමාජ විද්‍යාඥයින් 50ගේ ලිපියේ පෙලගස්වා ඇති උචිත සමාජ ප්‍රතිසංස්කරනවලට ක්ලින්ටන් හා ඇගේ සමීපතම ආධාරකරුවන් සපුරාම එරෙහි වනු ඇති බව යි. සෑන්ඩර්ස් පරාජය වීමේ ගාස්තුව වසයෙන් හා ඔහුගේ ආධාරකරුවන්ට කිසියම් දෙයක් ගිල්ලවීමේ ක්‍රමයක් වසයෙන් ඔවුන් සිය වැඩපිලිවෙල තුල ඒවා ඇතුලත් කර ඇත. සෑන්ඩර්ස් වාචාල ලෙස හෙලා දැකි “මිලියනපතියන් හා බිලියනපතියන්ට” ඇගේ අවනතභාවය පිලිබඳ විකිලීක්ස් කාන්දු කල ලේඛන මගින් යහමින් ප්‍රකටව තිබියදීත් දැන් සෑන්ඩර්ස් ඛේදජනක ලෙස ක්ලින්ටන් අනුමත කරනු ලබයි.

විකිලීක්ස් හෙලිදරව්කිරීම් වලට ප්‍රතිචාර දැක්වීමේදී ඩිමොක්‍රටික් පක්ෂය, එලැඹෙන ක්ලින්ටන් පාලනාධිකාරිය සැබෑ දේශපාලන අක්ෂය කුමක්ද යන්න හෙලිදරව් කර ඇත. ඔවුහු විකිලීක්ස් රුසියානු ආන්ඩුවේ ඒජන්තයෙක් යැයි හංවඩු ගසන අතර, අංශුමාත්‍රයක සාක්ෂියකින් තොරවම කඩා වැදී සොරාගත් ලේඛනවල මූලාශ්‍රය, ව්ලැඩිමීර් පුටින් යැයි කියති. ඔවුහු මෙලෙස කලෙක රිපබ්ලිකන් පක්ෂයේ වාචාලවල මුද්‍රාවක්වූ මැකාර්තිවාදය ඩිමොක්‍රටික් පක්ෂයේ දේපල වසෙයන් පවරා ගැනීමට තැත්කරයි.

කෙසේනමුත්, හිලරි ක්ලින්ටන් ඇමරිකානු දේශපාලනය හා සමාජය මත ආධිපත්‍ය පතුරන බිලියනපතියන්ගේ හෙංචයියෙක් බව සනාථ කිරීමට විකිලීක්ස් වෙබ් අඩිවියේ රහසිගත ලේඛන වුවමනා කරන්නේ නැත. මූල්‍ය කතිපයාධිකාරිය තුල ක්ලින්ටන් සඳහා ලැබෙන සහයෝගයේ පරිමාව මෙම සතියේ පුවත්පත් වාර්තාවල් අවධාරනය කරයි. වෝල්ස්ට්‍රීට්ජර්නලයට අනුව, ප්‍රධාන පක්ෂ දෙකේ ඡන්ද අපේක්ෂකයන් දෙදෙනාට බිලියනපතියන් 19ක් ලබා දුන් ඩොලර් මිලියන 88න් 70ක්ම වැටී ඇත්තේ ක්ලින්ටන්ගේ සාක්කුවට ය. ට්‍රම්ප්ට ලැබී ඇත්තේ බිලියනපතියන් 5 දෙනෙකු ලබා දුන් ඩොලර් මිලියන 18ක් පමනි.

23දා නිව්යෝක් ටයිම්ස් වාර්තා කලේ, ඊනියා සුපිරි ධනවතුන් විසින් පිහිටුවන ලද හා 2010 සිටිසන් යුනයිටඩ් නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරනය ලබාදුන් කුප්‍රකට තීන්දුව මගින් නීත්‍යානුකූල කරන ලද පීඒසී දේශපාලන ක්‍රියාකාරී කමිටු, 1ට 2 ක් වසයෙන් ට්‍රම්ප්ට එරෙහිව ක්ලින්ටන්ට පක්ෂපාතීත්වය ප්‍රකාශකල බව යි. ෆෙඩරල් මැතිවරන කොමිෂම ගොනුකර ඇති වාර්තාවන්ට අනුව, මැයි මාසයේ සිට එවැනි කන්ඩායම් දුසිමක් පමන මිලියන 200ක් පමන ආධාර එකතු කර තිබෙන අතර ක්ලිටන්ට හිතවත් ප්‍රචාරන ව්‍යාපාරයට මිලියන 110ක් වැය කර ඇත.

එමෙන්ම, 2013 වසරේදී ඇගේ දේශන තුනක් වෙනුවෙන් ක්ලින්ටන්ට ඩොලර් 675,000ක් ගෙවා ඇති ආයෝජන බැංකු සමාගමක් වන ගෝල්ඩ්මන් සැක්ස්හි ප්‍රධාන විධායක නිලධාරියා වන වෝල් වීදියේ වඩාත් ප්‍රමුඛ බැංකුකරුවන්ගෙන් අයෙක් වන ලොයිඩ් බ්ලැන්ක්ෆීන්ගෙන් 23දා ක්ලින්ටන් සහතිකයක් ලැබුවා ය. රිපබ්ලිකානුවන් සමග වැඩකිරීමට ඇගේ ඇති කැමත්ත බ්ලැන්ක්ෆීන් විශේෂයෙන්ම පැසසුමට ලක් කලේ ය. නිව්යෝක් සෙනෙට් සභියෙක්ව සිටියදී ඇය ඒ ප්‍රමානයටම ආක්රමනශීලි ආකාරයෙන් වෝල්වීදියේ අවශ්‍යතාවන් ආරක්ෂා කලේය.

ඩිමොක්‍රටික හා රිපබ්ලිකානු යන දෙකොට්ඨාශයේම හිටපු ජෙනරාල්වරුන් සියගනක්, අද්මිරාල්වරුන්, බුද්ධි අංශ නිලධාරීන් හා විදෙස් ප්‍රතිපත්ති පිලිබඳ විශේෂඥයින්, ක්ලින්ටන්ට අනුමතිය පල කර තිබේ. කාරනය පැහැදිලි ය. මිලිටරි-බුද්ධි අංශ යාන්ත්‍රනය සඳහා පෙනී සිටින මෙම ප්‍රකාශකයින් විසින් ට්‍රම්ප් සලකනු ලබන්නේ, පරීක්ෂාවට බඳුන් නොවූ, අස්ථිර හා ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ විදෙස් පිලිවෙත් ඒකමිතිත්වය පිලිබඳව නුපුහුනු අයෙක් වසයෙනි. ඔවුන්ගේ දැක්මට අනුව, ට්‍රම්ප් ප්‍රකාශයට පත්කර ඇති මත බියකරු ලෙස හුදෙකලා හා මොස්කෝවට සහන දෙන ඒවාය ය. එමෙන්ම, ඔහුගේ උද්ධච්ඡකම හා ආර්ථික ජාතිකවාදය වැලඳගැනීම හරහා ලෝකය පුරා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවලට සේවය කරන අනුග්‍රාහක රාජ්‍ය පද්ධතිය අවුල් කිරීමට ඔහු තර්ජනය කරයි.

ඇමරිකානු මහජනයාට ක්ලින්ටන් හා ට්‍රම්ප් යන දෙදෙනා අතුරින් තෝරාගැනීමක් කිරීමට අවකාශ සැලසීමෙන්, එක්සත් ජනපදයේ ද්වි-පක්ෂ ක්‍රමය ප්‍රදර්ශනය කර ඇත්තේ, එය දේශපාලනික අවෘත අන්තයක් බව යි.

මෙතැන් සිට දෙසතියකින් පැවත්වෙන මැතිවරනය කිසිවක් විසඳනු නැත. හදිසි අවශ්‍යතාව වන්නේ, මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයින්ගේ අශ්‍යතාවන්ට ප්‍රගතිශීලි ප්‍රකාශයක් ලබා දෙන විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම්වූ දේශපාලන නායකත්වයක් ගොඩ නැගීම යි. 2016 මැතිවරනයේදී සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂකයන් වන ජනාධිපති සඳහා ජෙරී වයිට් හා උප ජනාධිපති ලෙස නයිල්ස් නිමුත් සටන් වදින්නේ මෙම ඉදිරි දර්ශනයට යි.

නොවැම්බර් 5දා සසප හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය “ධනවාදයට හා යුද්ධයට එරෙහිව සමාජවාදය” යන මැයෙන් සම්මේලනයක්, මිචිගන්හි ඩිට්රොයිට්වලදී පවත්වයි. මෙම සම්මේලනයට සති කීපයක් තිබියදී සසප රැස්වීම් මාලාවක් රටපුරා පවත්වාගෙන යයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය සියලුම පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම උද්ඝෝෂනයට සහභාගී වන ලෙසත්, නොවැම්බර් 5දා සම්මේලනයට පැමිනීමට සූදානම් වන ලෙසත්, සසප හා සසජාශිත වෙත බැඳී එලැඹීමට නියමිත මහජන අරගල මෙහෙයවීමට අවශ්‍ය දේශපාලන නායකත්වය ගොඩනැගීමේ ක්‍රියාශීලී කාර්යයක් ඉටුකරන ලෙසත් ය.

පැට්‍රික් මාටින්

Share this article: