අලෙප්පෝ, මොසුල් හා “යුද අපරාධ”

Aleppo, Mosul and “war crimes”

2016 ඔක්තෝබර් 28

උතුරු අලෙප්පෝ නගරයේ මෙහෙයුම් මුල් කරගෙන යුද අපරාධ පිලිබඳව බටහිර බලවතුන් රුසියාවට චෝදනා කිරීම හමුවේ, 26දා පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීම, සිරියානු යුද්ධය පිලිබඳ කටුක වචන හුවමාරුවක දර්ශනයක් විය.

එක්සත් ජාතීන්ගේ ආධාර සැපයුම් ප‍්‍රධානී මෙන් ම බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ හිටපු ටෝරි මන්ත‍්‍රීවරයෙකු වූ ස්ටෙෆාන් ඕ බ‍්‍රයන් ඝෝෂාව ඇරඹුවේ, අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක කවුන්සිලය දක්වන නොහැකියාව පිලිබඳ ව තමන් “කෝපයෙන් මුසපත් වූ” බව ප‍්‍රකාශ කරමිනි. “අලෙප්පෝ සහමුලින්ම ඝාතන කලාපයක් වී ඇතැ” යි හෙතෙම පැවසී ය.

නැගෙනහිර අලෙප්පෝ පලානය කරනු ලබන අල්කයිඩාවට අනුබද්ධ ඉස්ලාමීය මිලීෂියා හමුදාවන්ට එරෙහි ගුවන් ප‍්‍රහාර, රුසියාව හා සිරියාව විසින් පසු ගිය දින දහය සඳහා නතර තර ඇතැ යි යන්න, එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද නියෝජිත සමන්තා පවර් විසින් පසෙකට දැමුවාය. ඇය නිරූපනය කරන්නේ අධිරාජ්‍යවාදීන්ගේ “මානව හිමිකම්” කුහකත්වය පිලිබඳ ජීවමාන ප‍්‍රතිමූර්තිය යි.

රුසියානු තානාපති විටලි චර්කින්ට ඇනුම් පද කියමින් ඈ මෙසේ ප‍්‍රකාශ කලා ය: “දවසකට හෝ සතියකට යුද අපරාධ නතර කිරීම වෙනුවෙන් ඔබට සතුට ප‍්‍රකාශ කිරීම් හෝ සම්මාන ලැබෙන්නේ නැත.” ආක්‍රෝෂපරිභවය දිගට ගෙනයමින් ඇය මෙසේ ඇසුවා ය, “නැගෙනහිර අලෙප්පෝවේ සියලු ලමුන් අල් කයිඩා සාමාජකයින් යැයි රුසියාව විශ්වාස කරන්නේ ද?”

සිවිල් වැසියන් හා ලමුන් පිලිබඳ එවැනි කෝපයක් බොහෝකොටම තෝරාගැනීමක් වේ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හා එහි සහචරයන්ගේ කිසිදු නියෝජිතයෙකු, ආන්ඩුව විසින් පාලනය කරනු ලබන්නා වූ ද පෙන්ටගනය හා සීඅයිඒ සංවිධානය විසින් අල්කයිඩා “කැරලිකරුවන්ට” සපයන මෝටාර් හා රොකට් මැෂින් බටහිර අලෙප්පෝවේ පිරිමින්, ගැහනුන් හා ලමුන් ඝාතනය කරනු ලැබීම සම්බන්ධයෙන් සුලු කෝපයක් හෝ පෙන්වූයේ නැත.

27දා එල්ල කෙරුනු රොකට් ප‍්‍රහාර, ජනගහනයේ විශාල බහුතරය ජීවත්වන නගරයේ බටහිර කොටසෙහි, ලමුන් හයදෙනෙකුගේ ජීවිත බිලිගත්තේ ය. පාසලක් තුල සිරියානු සිසුන් තිදෙනෙකු මියගිය අතර 14ක් තුවාල ලැබූහ. වෙනත් ප‍්‍රහාරයක දී, රොකට් වෙඩිල්ලක් නිවසට වැදීමෙන් එක පවුලේ තරුන සහෝදරයෝ තිදෙනෙක් මියගියහ.

එම කාරනය සඳහා නො ව, මානව හිතවාදී අධිරාජ්‍යවාදීන් උත්සුකවන තාක් දුරට, එක්සත් ජනපද ගුවන් ප‍්‍රහාරවලින් සිරියාවේ වෙනත් තැනක සිවිල් වැසියන් සංහාරය කිරීම, කිසියම් ආකාරයකින් හෝ අලෙප්පෝවල රුසියානු බෝම්බ දැමීම හේතුවෙන් වූ මරනවලට සංසන්දනය කල හැකි වන්නේ ද?

එක්සත් ජනපද නායකත්වයෙන් යුත් සභාගය විසින් එල්ල කරන ලද එකිනෙකට වෙනස් ප‍්‍රහාරයන් 11ක් ගැන ජාත්‍යන්තර ක්ෂමා ආයතනය 27දා වාර්තාවන් නිකුත් කලේ ය. එය පැවසුවේ, සිවිල් වැසියන් 300ක් පමන ඝාතනය කරන ලද බව යි. මෙම බෝම්බ දැමීම්වල දී එක් අයෙකු පමනක් මියගිය බව පෙන්ටගනය කියයි. සිරියාව තුල එක්සත් ජනපද ගුවන් ප‍්‍රහාරවලින් ඝාතනය වූ සිවිල් වැසියන් සංඛ්‍යාව 1,000ට බොහෝ වැඩි බව අනෙකුත් අධීක්ෂන කන්ඩායම් පෙන්වා දී ඇත. පෙන්ටගනය කියන්නේ වසර දෙකක දී සිවිල් වැසියන් 55ක් පමනක් මිය ගිය බවයි. රුසියාව විසින් අලෙප්පෝවල සෑම ලමයෙකු ම අල්කයිඩා සාමාජිකයෙකු ලෙස දකිනු ලබන බවට කෙරෙන පවර්ගේ අවඥාව, ඒ සමාන බලයකින් පෙන්ටගනයට අදාල වේ. එහි බෝම්බ වලින් මිය යන්නේ පැහදිලිව ම අයිඑස්අයිඑස් සාමාජිකයින් පමනි.

පවර් ම ද මේ ආකාරයේ හාස්‍යජනක දෙබිඩි පිලිවෙතක ප‍්‍රවීන වෘත්තිකයෙකි. මානව හිමිකම් කුරුස යුදවාදිනිය, පලස්තීනුවන් 2,100ක් ඝාතනය කරමින් තවත් 11,000ට තුවාල සිදු කල 2013 ඊස්රායල් වාඩිලාගැනීමේ දින 51 අතරතුර “ගාසාවේ සෑම ලමයෙකු ම හමාස් සංවිධානයේ සාමාජිකයෙක් වි ය” යන ආස්ථානය ගත්තා ය. මෙම ඒකාපාර්ශ්වික සංහාරය අතරතුර එක්සත් ජනපද තානාපතිනිය, එක්සත් ජතීන්ගේ සංවිධානය තුල ඇගේ තනතුර ප‍්‍රයෝජනයට ගත්තේ, තමන්ගේ “ආරක්ෂාව” සලසා ගැනීමට ඊස්රායලයට ඇති අයිතිය නිර්දය ලෙස ප‍්‍රකාශ කිරීමට ය.

අධිරාජ්‍යවාදීන්ගේ කැත මානව හිමිකම් ධජය වනමින් ඇය, දසදහස් ගනනක් ඝාතනය කලා පමනක් නො ව රට නටබුන් කෙරුනා වූ ලිබියාව තුල එක්සත් ජනපද-නේටෝ යුද්ධයේදී මෙන් ම, 300,000ක් මරා දමා, මිලියන ගනනාවනක් නිවාසවලින් පලවා හරින ලද සිරියාව තුල තන්ත‍්‍ර මාරුව සඳහා වන යුද්ධයේ ප‍්‍රමුඛ උද්ඝෝෂිකාවක් වූවාය.

ඇලෙප්පෝව සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව එල්ල කරන යුද අපරාධ චෝදනාවල කුහකත්වය හා දෙපිටකාට්ටුකම නග්න ලෙස මතුවන්නේ, 2014දී අයිඑස්අයිඑස් විසින් යටත්කර ගන්නා ලද ඉරාකයේ මොසුල් නගරය යලි අත්කර ගැනීම සඳහා මේ මස මුල, එක්සත් ජනපද නායත්වයෙන් යුත් ආක‍්‍රමනය දියත් කිරීම සම්බන්ධයෙන් සලකන කලය.

අලෙප්පෝ “ඝාතන කලාපයකට” හැරවීම ගැන රුසියානුවන්ට චෝදනා කරන අතර බටහිර මාධ්‍යයන්, සුපුරුදු පරිදි ඇමරිකානු ආක‍්‍රමනය ගැන සඳහන් කරන්නේ, මොසුල් “නිදහස් කර ගැනීමේ” මෙහෙයුම ලෙස ය. මෙම අරමුන සඳහා එක්සත් ජනපදය, යුද ගුවන් යානා, රොකට් විදින හා බර කාලතුවක්කු යොදාගෙන, මිලියනයකට වඩා ජනගහනයක් සහිත නගරයට කුරිරු ලෙස පහර දෙමින් සිටී. විශ්ලේෂකයන් පවසන්නේ, නගරය සුන් වනු ඇති බව යි. එක්සත් ජනපද මිලිටරියේ මධ්‍යම බලඇනියේ ජනරාල් ජෝශප් වොටෙල් ඒඑෆ්පී ප‍්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවක දී කයිවාරු ගැසුවේ, ඔහුගේ හමුදා “ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් 800 සිට 900 දක්වා” මරා දමා ඇති බව යි. එක්සත් ජනපද බෝම්බ දැමීමෙන් සිවිල් වැසියන් කොපමන මියගියා දැ යි ඔහු වචනයක් වත් පැවසුවේ නැත; එක්සත් ජනපද ව්‍යාපාරික මාධ්‍යය ද මේ ගැන කිසි උනන්දුවක් පෙන්වූයේ නැත. ගැහනුන් හා ලමුන් 17දෙනෙකු මියගියා වූ ද විශාල සංඛ්‍යාවක් තුවාල ලැබුවා වූ ද කිර්කුක් ආසන්නයේ ෂියා පල්ලියකට බෝම්බ දැමීමේ එක් බිහිසුනු සිදුවීමක් හෙලි වූ අවස්ථාවේ පෙන්ටගනය, එය නොසලකා හැරිය අතර මාධ්‍ය විශාල වසයෙන් එය යට ගැසීය.

මොසූල් ජනතාව “මානව පලිහක්”ලෙස යොදා ගැනීම වෙනුවෙන් එක්සත් ජනපද නිලධාරීන් අයිඑස්අයිඑස් සංවිධානයට චෝදනා කරන මොහොතේ ම ―සිවිල් වැසියන් ඝාතනය පිලිබඳ දිරාපත් වූ ක්ෂමාලාපය කි― ඔවුන් නැගෙනහිර අලෙප්පෝවේ වට කෙරුනු ජනාවාසයන්ගෙන් සිවිල් වැසියන් පලායාම වැලැක්වීමට අල්කයිඩාව ත‍්‍රස්තය හා ප‍්‍රචන්ඩත්වය යොදා ගැනීම නො සලකා හරින අතර ඒ සඳහා නිහඬව සහාය දක්වති.

නැගෙනහිර අලෙප්පෝවල හිරවී සිටින සිවිල් වැසියන්ට එරෙහිව රුසියානු මිලිටරිය විසින් ගෙනයනු ලබන ක‍්‍රියා සැකයකින් තොරව ගර්හා කල යුතු අතර, ඒවා යුද අපරාධ පිලිබඳව හඬ නගන්නන්ගේ සැබෑ උත්සුකය නොවේ. ඔවුන් බිය වන්නේ, තන්ත‍්‍ර මාරු යුද්ධය තුල ප‍්‍රධාන කුලී හමුදාව ලෙස සේවය කරන අල්කයිඩා මිලීෂියාවන් අවසාන පරාජයකට මුහුන දෙමින් සිටීම සම්බන්ධයෙනි.

අති මූලික ලෙස අලෙප්පෝවල රුසියානුවන්ගේ අපරාධ, වොෂින්ටනය විසින් කලාපය පුරා ද ලෝකය පුරා ද කරනු ලබන අපරාධ හා සසඳන විට නොපෙනෙන තරම් ය.

සිරියාව මත රුසියාව අතහරින බෝම්බ සම්බන්ධයෙන් කම්පාවෙන හා කෝපයෙන් පරල වන අය, “කම්පනය හා තැතිගැන්ම” අමතක කර ඇත්ද? ඉරාකයේ එක්සත් ජනපද ආක‍්‍රමනය හා වාඩිලා ගැනීම ඉරාක ජීවිත මිලියනයක් බිලි ගෙන ඇති බවට ඇස්තමේන්තු කෙරේ.

එක්සත් ජනපදය විසින් සපයන ලද බෝම්බ හා මිසයිල මගින් ගෙන යනු ලබන හා පෙන්ටගනයේ විස්තීරන ඔත්තුසේවා හා තොරතුරු සැපයීම මත වාරුවී ඇති යේමන් වැසියන් 10,000ට වඩා මියගොස් ඇති දිග්ගැස්සෙන සංහාරය පිලිබඳව මෙම මානව හිමිකම් නියමුවන් නොදැනුවත් ද? මැද පෙරදිග පොහොසත් ම ජාතියේ පාලක රාජාන්ඩුව විසින් කලාපයේ දුප්පත් ම ජාතියට එරෙහිව ගෙන යනු ලබන යුද්ධයට විරුද්ධව කෝපයක් නැත්තේ මන්ද? මෙම යුද්ධයේ දී ප‍්‍රජා පොදු කාර්ය ව්‍යූහයේ ක‍්‍රමානුකූල විනාසය හා එක්සත් ජනපද හමුදාවන්ගේ ආධාර ලබන කොටු කිරීම, ජනතාවට සාගත තත්වයක් උද්ගත කර තිබේ.

යුද අපරාධ සම්බන්ධයෙන් ගත් විට, ව්ලැඩිමීර් පුටින් නියෝජනය කරන රුසියානු කතිපයේ අපරාධ සුලුපටු ය. දෙවැනි ලෝක යුද්ධයේ අවසානය සහ හිරෝෂිමා හා නාගසාකිවල 200,000ක් ඝාතනය කෙරුනු එක්සත් ජනපද බෝම්බ දැමීමේ තැන් සිට, සැබවින් ම සෑම එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු ම, බොහොමයක් හිට්ලර්ගේ තුන්වැනි රයිකය විසින් ගෙන යන ලද දාමරිකම් මගින් පමනක් ඉක්මවා යනු ලබන ආක‍්‍රමනික යුද්ධවල නියැලී ඇත.

කොරියානු යුද්ධයේ ප‍්‍රතිඵලය වූයේ සිවිල් වැසියන් මිලියන 3ක් මරනයට පත්වීම යි; වියට්නාමයේ දී එක්සත් ජනපදය මිලියන 3 සිට 4 දක්වා සිවිල් වැසියන් මරා දැමී ය. සීඅයිඒ සංවිධානය මෙහෙය වූ 1980 තන්ත‍්‍ර වෙනස් කිරීමේ යුද්ධය දක්වා ආපසු යන එක්සත් ජනපදය සමග ඇෆ්ගනිස්තානයේ ඛේදජනක හා දිග්ගැස්සුනු ගැටුම, මිලියන 1.5 හා 2ක් අතර ජීවිත බිලිගෙන ඇත.

මේ අතර, එක්සත් ජනපදය, අඩු වසයෙන් එකිනෙකට වෙනස් රටවල් 7ක් තුල යුද්ධයේ පැටලී ඇත: එනම් ඉරාකය, ඇෆ්ගනිස්තානය, පකිස්තානය, සිරියාව, ලිබියාව, යේමනය හා සෝමාලියාව යන රටවලය.

අලෙප්පෝ පිලිබඳ පරලවුනු කෝපයේ හා කඳුලුවල මූලය වන්නේ සිරියාව තුල තන්ත‍්‍ර වෙනස් කිරීමේ එක්සත් ජනපද යුද්ධය මහත් විනාසයකට හැර වී ඇත යන කාරනය යි. මොස්කව් තන්ත‍්‍රය සිය මැදිහත්වීම ආරම්භ කලේ රුසියානු පාලක කතිපයාධිකාරයේ උත්සුකයන්ගේ ආරක්ෂාව සඳහා මිස සිරියානු ජනතාවගේ අවශ්‍යතා මුල්කරගෙන නොවේ. කෙසේ නමුත් රුසියානු මැදිහත්වීම, තෙලින් ආඪ්‍ය මැද පෙරදිග කලාපය පුරා ආධිපත්‍යය තහවුරු කිරීමේ එක්සත් ජනපද තල්ලුවට බාධකයක් බවට පත්වී ඇත.

“මානව හිමිකම්” පිලිබඳ රුදුරු ප‍්‍රචාරය හා අලෙප්පෝ සම්බන්ධයෙන් රුසියාව යක්ෂාවේශ ගැන්වීම අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මිලිටරි ව්‍යායාමය උත්සන්න කරමින් සිටින අතර එය සිරියාව තුල පමනක් නොව රුසියාව සමග ගැටුම ද සමීප කරයි. ඒ සමග මතු වන්නේ, න්‍යෂ්ටික යුද්ධයක සැබෑ අනතුර යි.

බිල් වෑන් ඕකන්

Share this article: