වතු කම්කරුවන්ට සහය පලකරන උද්ඝෝෂනයක් කොලඹ දී පවත්වයි

අප වාර්තාකරුවන් විසිනි , 2016 ඔක්තෝබර් 12

දෛනික වැටුප රුපියල් දාහක් කරන ලෙස ඉල්ලමින් විරෝධතා ක‍්‍රියාවල යෙදී සිටින වතු කම්කරුවන්ට සහය පලකරමින් සිකුරාදා කොලඹ දී උද්ඝෝෂනයක් පැවැත්වුනි. මෙම උද්ඝෝෂනයට 300 ට වැඩි පිරිසක් සහභාගි වූහ. මොවුහු වතුවල ප‍්‍රමානවත් වැටුපක් නොලැබීම සහ වතුකරයේ පවතින ආන්තික විරක්ෂාව නිසා රැකියා සොයාගෙන කොලඹට සංක‍්‍රමනය වී සිටින වතු කම්කරු තරුනයෝ හා රැකියා විරහිත කම්කරුවෝය.

උද්ඝෝෂකයෝ මැද කොලඹ ගෑස්පහ හන්දියේ පැයකට වැඩි කාලයක් පිකට් කලහ

වතු කම්කරුවන්ට සාධාරන වැටුප් වැඩිවීමක් ලබා දීමට මැදිහත් වන ලෙස ආන්ඩුවෙන් ඉල්ලීමේ සහ කම්කරුවන්ගේ කැමැත්තට පිටින් සමිති සහ වතු හාම්පුතුන් විසින් අත්සන් කිරීමට සුදානම් වන සාමූහික ගිවිසුමට විරුද්ධත්වය පලකරන සටන් පාඨ සහිත උද්ඝෝෂන පුවරු අතැ’තිව උද්ඝෝෂකයෝ මැද කොලඹ ගෑස්පහ හන්දියේ පැයකට වැඩි කාලයක් පිකට් කලහ. පසුව ඔවුන් හෙට්ටි වීදිය දිගේ පෙලපාලියකින් ගමන් කලේ ය. පෙලපාලිය වැලැක්වීමට පොලීසිය උත්සාහ කලත් එය අසාර්ථක විය.

උද්ඝෝෂනයේ යෙදුන කම්කරුවන් හා තරුනයන් තුලින් ප‍්‍රකාශයට පත් වූයේ කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම වතු සමාගම් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම හා වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය කඩා කප්පල් කිරීමට වෘත්තීය සමිති සහ ආන්ඩුව දරන උත්සාහය කෙරෙහි ඔවුන් තුල පවතින කෝපය සහ වතු කම්කරු වැටුප් අරගලයට සහය දැක්වීමට ඔවුන් තුල පැවති අව්‍යාජ උවමනාවය.

පෙලපාලිය වැලැක්වීමට පොලීසියේ උත්සාහය

එහෙත් උද්ඝෝෂනය කැඳවුම් කල කඳුකරයේ සමාජ පර්යේෂන මධ්‍යස්ථානය, කඳුකරයේ දෙමල සංස්කෘතික සභාව සහ නව සංස්කෘතික සංවිධානයේ අරමුන ඊට මුලුමනින් ම ප‍්‍රතිවිරුද්ධ එකකි. ඔවුන්ගේ එල්ලය වුයේ වතු කම්කරුවන්ගේ වැටුප් ප‍්‍රශ්නය විසඳීමට මැදිහත් වන ලෙස ආන්ඩුවට බලපෑම් දැමීමේ නිස්සාර උද්ඝෝෂනයකට හා හින්දු දේවාලයේ පොල්ගසා කපුරු දල්වා දෙවියන්ට කන්නලව් කිරීමේ ප‍්‍රතිගාමී ආගමික මිථ්‍යාවකට ඔවුන්ව යොමු කර කම්කරුවන්ගේ හා තරුනයන්ගේ විරුද්ධත්වය දියකර හැරීමය.

උද්ඝෝෂනය සංවිධානය කිරීමට මූලිකත්වය ගත් පූජක ශක්තිවෙල් නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (නප‍්‍රප) ඇතුලු සංවිධානවල එකතුවක් වන දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම්බන්ධීකරන නිලධාරියා ය. මෙම සංවිධානයට අයත් පක්ෂ හා සංවිධාන ඍජුව හෝ වක‍්‍රව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන -අගමැති රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට දායක වූහ. මෙම සංවිධානවල කරපිටින් ආන්ඩුව බලයට ආවේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන තත්වයන් ඉහල නැංවීම අතුලු දහසකුත් එකක් බොරු පොරොන්දු දෙමිනි.

එහෙත් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව රාජපක්ෂ ආන්ඩුව නැවතූ තැනින් ඉදිරියට යමින් රුදුරු ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත ආර්ථික කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට කැප වූ හා ආසියාව තුල චීනයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද සුදානමත් සමග පෙල ගැසුන ආන්ඩුවකි.

උද්ඝෝෂනය අවසානයේ ජන මාධ්‍ය ඇමතු ශක්තිවෙල් වතු කම්කරුවන්ගේ “අරගලයට ශක්තිය එකතුකිරීම සඳහා කොලඹ සිටින ඔවුන්ගේ ඥාතීන් මෙහි හඬනගමින් සිටිනවා. මේ හඬ යහපාලන ආන්ඩුවට ඇසෙන්න ඕන. වෘත්තීය සමිතිවලට ඇසෙන්න ඕන. සමාගම්වලට ඇසෙන්න ඕන. දේශපාලකයන් ට ඇසෙන්න ඕන” යයි යාදිනි කී ඔහු ඒ සඳහා උද්ඝෝෂනය තවත් “පුලුල් කරන” බව ද කීවේ ය.

කම්කරුවන්ට හෝ ඔවුන්ගේ ඥාතීන්ගේ හඬට කන්දීමට සමාගම්, වෘත්තීය සමිති හෝ ආන්ඩුව සූදානම් නැත. මේ තුන් පාර්ශවයේ කුමන්ත‍්‍රනයක් මගින් රුපියල් 730 හිඟන වැටුපකට සහ ශ‍්‍රම සූරාකෑම උග‍්‍ර කෙරෙන නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීමේ සැලසුම් වලට කම්කරුවන් යටත් කිරීමේ නව ගිවිසුමක් කම්කරුවන් මත පැටවීමට තීන්දු කර ඇත.

රාජ්‍ය නොවන මෙම සංවිධානවල විරෝධතා ක‍්‍රියා වතුකරය තුල හාම්පුතුන්ගේ සැලසුම් උගුලේ කම්කරුවන් හිර කිරීමට ගෙනයන වැඩ පිලිවලට මුක්කුව දෙයි. වැටුප් අයිතීන් දිනා ගැනීමට සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීම සඳහා කම්කරුවන්ගේ ස්වාධීන අරගලයක් සංවිධානය කිරීමට හතුරුව පිහිටා සිටී.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතාකල උද්ඝෝෂනයට සම්බන්ධ වූ තරුනයන් හා කම්කරුවන් වතු සමාගම්, වෘත්තීය සමිති හා ආන්ඩුව කෙරෙහි සිය කෝපය ප‍්‍රකාශ කල අතර තමන් අත්විඳින දුෂ්කර ජීවන කොන්දේසි පැහැදිලි කලහ.

තනබාලසිංහම් තලවකැලේ ලිඳුල වත්තේ සිට කොලඹ පැමින ජන මාධ්‍ය විෂය හදාරන ශිෂ්‍යයෙකි. මෙතෙක් කම්කරුවන් අරගලවලට ආවේ වෘත්තීය සමිති කැඳවීම් වල දි පමනක් නමුත් මෙවර බොහෝ තැන්වල වතු කම්කරුවන් අරගලයට ආවේ වෘත්තීය සමිතිවලට පිටින් බව ඔහු පැවසුවේ ය. “වෘත්තීය සමිති කරන්නේ දිගටම කම්කරුවන් රවට්ටලා සමාගම්වල ලාබය රකින එක. දැන් පවතින ආර්ථික අර්බුදයටත් බඩු මිලටත් රුපියල් දාහක් සෑහෙනව ද ? දැන් ලැබෙන ආදායමෙන් වතු කම්කරුවන් ට ශිෂ්ට සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යන්න බැහැ. සමාගම් එක්ක අත්සන් කරන්න යන ගිවිසුමේ මොනවා ද තියෙන්නේ කියල වෘත්තීය සමිති කම්කරුවන් ට කියන්නේ නැහැ. ඒක කම්කරුවන්ට අටවන තවත් උගුලක්.” බව ඔහු කීවේ ය.

ශිෂ්ට සම්පන්න ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය මූලික පහසුකම් පවා ඔවුන්ට නැති බව ආගරපතන ලෝවර් ග‍්‍රන්ලි වත්තේ වී. චන්ද්‍රසේකරන් ප‍්‍රකාශ කලේ ය. “නිසි පෝෂනයක් නැහැ. ප‍්‍රමානවත් සෞඛ්‍ය පහසුකම් නැහැ. ගෙවල් ප‍්‍රතිසංස්කරනය නතර කරලා. කඩේ තේකොල ග‍්‍රෑම් 100 ක් රුපියල් 120 යි. කිලෝ එකක් 1,200 යි. කම්කරුවන් දවසකට කිලෝ කීයක් කඩනවා ද? කිලෝ 16-18 කඩනවා. ලාබය කොම්පැනියට. රුපියල් 1,000 දෙන්න බැරි ඇයි? දවසකට කඩන දලු වලිනුත් වතුර බරට කියල කිලෝ තුනක් කපනවා. මිනිස්සුන්ගේ දුක්ගැනවිලි අහන්න වෘත්තීය සමිතිවලට වෙලාවක් නැහැ. ඒ ගොල්ල හැමදාම කරන්නේ මිනිස්සු රවට්ටන එක.” ඔහු කීවේ ය.

පී. ආනන්දන් කොටගල ක‍්‍රිස්ලස්ෆාර්ම් වත්තේ තරුනයෙක්. ඔහු 2008 කොලඹට පැමිනි ඔහු ත‍්‍රී රෝද රථ රියදුරෙකි. ඔහුගේ බිරිඳ වතු කම්කරු කාන්තාවකි. “එයා උදේ 7.30 දරුව ව ලමා නිවාසෙට දාල 12 වෙනකම් වැඩ කරලා ගිහිල්ල ලමය ගන්නවා. කවල පොවලා භාර දීල අපහු වැඩට යනවා. සවස 4-5 වෙනකම් වැඩ කරන්න ඕනේ. කූඩැල්ලෝ කනවා, නරි ඉන්නවා, දෙබරු අනිනවා. ඒ මදිවට දැන් කොටිත් වතුවලට එනවා. මේ ඔක්කොම කරදර විඳගන වැඩකලත් ජීවත් වෙන්න තරම් පඩියක් ලැබෙන්නේ නැහැ.” ආනන්දන් පැවසුවේ ය.

බුද්ධික, මහනුවර කටුගස්තොට වත්තේ තරුනයෙකි. ඔහුගේ වයස අවුරුදු 24 කි. දෙමව්පියන් වත්තේ වැඩකරලා ගන්න මාසේ ආදායම පවුලේ නඩත්තුවට ප‍්‍රමානවත් නැති නිසා ඉගෙනීම අතරමග නතර කර කුඩා කාලයේම රැකියාවක් කිරීමට බල කෙරුන බව ඔහු පැවසීය. “මම බසාර් එකේ මුට්ට කර ගහනවා. ඒ ලැබෙන මුදලෙන් කොටසක් අම්මටයි, නංගිලාටයි යවනවා. සල්ලි නැතිකම නිසා නංගිලා ඉස්කෝලේ යන්නේ කඩින් කඩ. ආන්ඩුව තවත් බදු මිල වැඩි කරනවා. අපට හරියට ගෙයක්වත් නැහැ. ලෑලි ගහපු පොල් අතු ගෙවල් වල අපි ඉන්නේ.”

සුන්දර්රාජන් (69) හැටන් මාස්ක් වත්තේ විශ‍්‍රාමික කම්කරුවෙකි. වෙනත් ආදයමක් නැති නිසා ඔහු කොඹට විත් පුද්ගලික ආරක්ෂක සේවයේ රැකියාවක් කරනවා. “බිරිඳ අසනීපෙන්. එයාට රක්ෂාවක් කරන්න බැහැ. සේකුරිටි රස්සාවෙන් ලැබෙන්නේ මාසෙකට රුපියල් 16,000 යි. ඒ ගොල්ලොත් කරන්නේ අපේ ලේ උරාබොන එක, ඒ වුනත් ජීවත් වෙන්න මොකක් හරි රක්ෂාවක් ඕන නිසා කරනවා. වත්තේ අපි ඉන්නේ පොඩි ලයින් කාමරයක. වැසිකිලි පහසුකම්, වතුර නැහැ. ලමයි තුන්දෙනෙක් ඉස්කෝලේ යවන්නේ කන්නේ බොන්නේ මේ ලැබෙන සොච්ච්චමෙන්. උද්ඝෝෂනයට සම්බන්ධ වුනේ වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයට සහයෝගය දෙන්න.”

සන්ද්රිමොහාන් 30 හැවිරිදි තරුනයෙකි. ඔහු කොලඹ තෙල් කඩයක කම්කරුවෙක් ලෙස වැඩ කරයි. පස්සර ගෝනපොල වත්තේ පදිංචිකරුවෙකි. ඔහු රැකියාවක් සොයාගෙන කොලඹ ට සංක‍්‍රමනය වී ඇත්තේ 1994 වසරේදීය. “ගෙදර අමාරුකම නිසා 10 පන්තියේ දී ඉගෙනීම නතර කරලා රක්ෂාවක් සොයාගෙන කොලඹට ආවා. පවුලේ පස් දෙනෙක් ඉන්නවා, තුන්දෙනෙක් වත්තේ වැඩ කරනවා. මට මෙහෙ දවසේ පඩිය රුපියල් 1,000 යි. පුලුවන් උනොත් තව අමතර රක්සාවකුත් කරනවා. මගේ වියදමත් දරාගෙන ගෙදරට කීයක් හරි යවන්නෙත් ඒ පඩියෙන්. දැන් දෙනවයි කියන රුපියල් 730 පඩිය මදි. අඩුම ගනනේ 1,000 ලැබෙනකන් සටන් කරන්න ඕනේ.”

යටියන්තොට ටී. රවින්ද්‍රනාදන් හතර වෙනි හරස් වීදියේ කඩේක වැඩ කරන සේවකයෙක්. “රුපියල් 1,000 දුන්නත් ඒක ලොකු පඩියක් නෙමෙයි. පොඩි බඩු කීපයක් ගත්තම ඉවරයි. වෘත්තීය සමිති කම්කරුවන්ගේ අයිතීන් රකින්නේ නැහැ. ඒගොල්ලෝ මුදල් හම්බ කරන ව්‍යාපාරයක් කරන්නේ. ඒකට ඒගොල්ල අතර තරඟයක් තියෙන්නේ. තමන්ට ලැබෙන දේශපාලන වාසි ගැන තමයි ඒ ගොල්ලෝ උනන්දු.” ඔහු කීවේය.

පී. යෝගෙස් සහ ඒ. සුදාහරන් නාවලපිටියේ සහ යටියන්තොට උද්ඝෝෂනයට සම්බන්ධ වීමට පැමින සිටි වතු තරුනයන් දෙදෙනෙකි. ඉහල යන බඩුමිල වතු කම්කරුවන්ට දරා ගන්න බැරි බව ඔවුහු කීහ. විදේශ ආදායමෙන් සැලකියයුතු කොටසක් උපයන්නේ වතු කම්කරුවන් වුවත් ඔවුන්ට ජීවන වියදමට ගැලපෙන පඩියක් වත් මූලික පහසුකම්වත් නැති බව කී යෝගෙස් හා සුදාහරන් තව දුරටත් මෙසේ කීහ: “වතුකරයයි නගරය සහ අනෙකුත් ප‍්‍රදේශයි අතර තියෙන්නේ විශාල සමාජ පරතරයක්. අධ්‍යාපන පහසුකම් හරිම අඩුයි. කම්කරුවෝ දුක් විඳිනව. ලාබය සූරගෙන කන කොම්පැනිකාරයෝ බීඑම්ඩබ්ලිව් වල සැප පහසුවට යනවා.”

යටියන්තොට සිට ඔහු ඉන්න කන්දල්ඔය වත්තට යන්න පැය දෙකක් ගතවෙන බව සුදාහර් කීවේය. “ගමට යන්න හරිහමන් පාරක් නැහැ. ඔයෙන් එගොඩ වෙන්න තියෙන පාලම කැඩිලා. බස් එක එගොඩට මෙගොඩට ගන්නේ මිනිස්සු බස්සලා. වත්තේ වැඩ තියෙන්නේ සතියට දවස් තුනයි. අනෙක් දවස්වලට වත්තෙන් පිට කුලී වැඩවලට යනවා. පැක්ටරිය වහල දැම්ම. පාලකයෝ වත්ත හරියට නඩත්තු කරන්නෙත් නැහැ. වෘත්තීය සමිති නමට විතරයි. පැත්ත පලාතේ එන්නේ නැහැ. සාමාජික මුදල් නම් අඩුවක් නැතිව පඩියෙන් කපා ගන්නවා. “යහපාලන ආන්ඩුව” බලයට ආවේ කම්කරුවන්ගේ චන්දෙන්. නමුත් වැඩක් නැහැ. මේ පාලන ක‍්‍රමය වෙනස් වෙන්න ඕන.” ඔහු පැවසුවේ ය.

Share this article: