දකුනු චීන මුහුදේ වැඩි වන යුද අභ්‍යාස

Escalating war games in the South China Sea

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2016 ඔක්තෝබර් 6

වොශින්ටනය සිරියාවේ තම යුද සැලසුම් තීව‍්‍ර කර රුසියාව සමග ගැටුමකට යමින් සිටින අතර, ඇමරිකාව හා එහි සහචරයන් විසින් දැන් කරගෙන යන මිලිටරි අභ්‍යාස මාලාව නිසා, දකුනු චීන මුහුද ද තවදුරටත් භයානක ජ්වලන කේන්ද්‍රයක් ලෙස පවතී.

පසුගිය වසර පහ තුල ඔබාමා පාලනය විසින් පිලිපීනය හා වියට්නාමය වැනි රටවල් වලට චීනය සමග ඇති මත භේද වලදී වඩාත් ආක‍්‍රමනශීලී ආස්ථානයක් ගැනීමට දිරිගන්වනු ලැබූ තැන් පටන්, දකුනු චීන මුහුදේ ආතතීන් නාටකාකාර ලෙස උග‍්‍රවී ඇත. පසුගිය ජූලියේදී හේග් ජාත්‍යන්තර බේරුම්කරන අධිකරනය, ඇමරිකානු සහාය ඇතිව, චීනයේ සමුද්‍ර සීමා අයිතිවාසිකම් පිලිබඳ ඉල්ලීම් අභියෝගයට ලක්කරමින් පිලිපීනය ගොනු කර තිබුනු පෙත්සමට පක්ෂව ලබාදුන් තීන්දුවත් සමග මෙම ආතතීන් තවත් ඉහල ගියේය.

වොශින්ටනය දැන් “නාවික ගමනාගමනයේ නිදහස” දඩමීමා කරගනිමින්, ගිනිකොනදිග ආසියාතික රටවල් සමග මිලිටරි සම්බන්ධතා තරකරමින් සිටින අතර තම ආසියාතික සහචරයින්ට ද ඔවුනොවුන් අතර මිලිටරි සම්බන්ධතා තහවුරු කරගන්නා ලෙසට බල කරයි. චීනය සමග කෙරෙන යුද්ධයකදී, චීන භූමියට දැවැන්ත ගුවන් හා මිසයිල ප‍්‍රහාරයක් එල්ල කිරීමටත්, නාවුක සම්බාධක පැනවීම සඳහාත් යොදාගැනීමට යෝජිත “ගුවන්-නාවික” සටන් මූලෝපාය සඳහා දකුනු චීන මුහුද අතිශයින්ම වැදගත්ය.

දැනටමත් යුද අභ්‍යස මගින් සලකුනු වී ඇති පරිදි මෙහි ප‍්‍රතිපලය ලෙස, දකුනු චීන මුහුදේ ඉතා අවදානම් සහිත මිලිටරි කටයුතු උත්සන්න වෙමින් ඇත. මින් ප‍්‍රධාන සිදුවීම් කීපයක් නම්:

• බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, මලයාසියාව, හා සිංගප්පුරුව, දකුනු චීන මුහුද ද ඇතුලත් වන පරිදි සති තුනක මිලිටරි අභ්‍යාස මාලාවක් ආරම්භ කර ඇත. භට කන්ඩායම්, යුද නාවුක හා ප‍්‍රහාරක ගුවන් යානා යොදාගැනෙන මෙම මෙහෙයුම සිදු කරනු ලබන්නේ, 1971 දී අත්සන් කල, මැලේසියාව හෝ සිංගප්පුරුව (විදේශ) ප‍්‍රහාරයකට ලක් වුවහොත් අනෙකුත් සාමාජික රටවල මැදිහත් වීම තහවුරු කෙරෙන “පංච බලවතුන්ගේ ආරක්ෂක වැඩපිලිවෙල” යටතේය.

• ඉන්දුනීසියාව තම ඉතිහාසයේ දැවැන්තම ගුවන් හමුදා අභ්‍යාසය මේ වන විට දකුනු චීන මුහුදේ නටුනා දුපත් සමුහය අසල ක‍්‍රියාත්මක කරමින් සිටී. ගුවන් හමුදා භටයින් 2000 කට වැඩි පිරිසක් සහභාගී වන මෙම අභ්‍යාසයට, සුකොයි හා එෆ්-16 වර්ගයේ ප‍්‍රහාරක ගුවන් යානා ද යොදවා ඇත. චීනය නටුනා දිවයින් පිලිබඳව ඉන්දුනීසියාවේ ස්වෛරීත්වය පිලිගන්නා බව කියා ඇති නමුත් එරට නාවික ගමනාගමන කටයුතු ඉන්දුනීසියාවේ විශේෂිත ආර්ථික කලාපය අන්තර් ඡේදනය වන අතර පසුගිය ජූනි මාසයේදී චීන ධීවර යාත‍්‍රා හා ඉන්දුනීසියානු නාවික හමුදාව අතර ගැටුමක් හටගත්තේය.

• වොෂින්ටනය හා පිලිපීන ජනාධිපති දුතර්තේ අතර ආතති සහගත තත්වයක් මතුවෙමින් ඇති නමුදු දෙරට එක්ව භූජලාශ‍්‍රිත යාත‍්‍රා ගොඩබැස්වීමේ පුහුනුවීම් ද ඇතුලත් යුද අභ්‍යාසයක් දියත් කරමින් සිටිති. ඇමරිකානු මැරයින් සෙබලු හා නැවියන් 1400ක් පමන පිලිපීන භටයන් 500 සමග පුහුනුවීම් කරන්නේ, “ස්වභාවික විපත් හා (යුද) ගැටුම් අවස්ථාවන්හිදී වඩාත් හොඳින් ක‍්‍රියාත්මක වීමේ සුූදානමක් ලෙසය”. දුතර්තේ මෙය ඇමරිකාව සමග කරන අවසාන අභ්‍යාසය ලෙස සඳහන් කර ඇතත්, ඔහුගේ ප‍්‍රකාශය තරමක් ලිහිල් කරමින් පිලිපීන ආරක්ෂක දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කලේ එක්සත් ජනපදය සමග අනාගත අභ්‍යාස නතර කරන ලෙස ඔවුන්ට මෙතෙක් කිසිදු විධානයක් ලැබී නොමැති බවයි.

හැනොයි පාලනය සමග මිලිටරි බැඳීම් තර කර ගැනීමේ ඇමරිකානු ව්‍යායාමයේ කොටසක් වශයෙන් පසුගිය ඉරිදා, වියට්නාමයේ “කෑම් රාන්” වරායට ඇමරිකානු යූඑස්එස් ජෝන් එස් මැකේන් හා යූඑස්එස් ෆ‍්‍රෑන්ක් කේබල් යන යුද නෞකා දෙක පැමිනියේය. මෙය දෙරට අතර සබඳතා යලි යතා තත්වයට පත්වූ 1995 වසරේ සිට ඇමරිකානු නැවක් මෙම මූලෝපායිකව වැදගත් නාවුක කඳවුරට පැමිනි පලමු අවස්ථාවය. මෙම නැවු පැමිනියේ, (දෙරට අතර) ඒකාබද්ධ නාවුක සරඹ වල හත්වන වටය පසුගිය සතියේ ආරම්භ වීමත් සමගය.

දකුනු චීන මුහුදේ හා ආසියාව පුරා සිදුවන ඇමරිකානු මිලිටරි තර කර ගැනීම් වලට චීනයේ ප‍්‍රතිචාරය වී ඇත්තේ එක අතකින් තම මිලිටරි ශක්තිය වර්ධනය කරගන්නා අතරම, අනෙක් අතින් වොෂින්ටනය සමග එකඟතාවයන්ට මං සෙවීමය. මෙම චීන කොමියුනිස්ට් පක්ෂ වැඩපිලිවෙලේ මොනම ප‍්‍රගතිශීලී බවක් වත් නැත. එය නියෝජනය කරන්නේ ධන කුවේර කතිපයාධිකාරි ස්තරයක් මිස, චීන හෝ ජාත්‍යන්තර කම්කරු පන්තිය නොවේ. දකුනු චීන මුහුදේ කුඩා දිවයින් හා කොරල් පර ගොඩකිරීම හා රුසියාව සමග කරන ඒකාබද්ධ නාවුක අභ්‍යාස ද ඇතුලු ඔවුන්ගේ සියලු කටයුතු, ඇමරිකාව ආසියාවේ තම මිලිටරි ප‍්‍රසාරනය සාධාරනීකරනය කිරීමට යුහුසුලුව ඩැහැගන්නා අතරම යුද අවදානම තවතවත් ඉහල නංවයි.

හිටපු ඇමරිකානු පැසිෆික් බලඇනියේ ප‍්‍රධානි හා ජාතික ආරක්ෂක අධ්‍යක්ෂ අද්මිරාල් ඩෙනිස් බ්ලෙයාර් විසින් දකුනු චීන මුහුදේ ඇමරිකානු ආධිපත්‍ය සඳහා පෙන්ටගනයට ඇති අධිෂ්ඨානය ඍජුව හෙලි කර ඇත:

ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාවේ “ෆෝ කෝන්ර්ස්” වැඩසටහනට පසුගිය සඳුදා සම්බන්ධ වෙමින් බ්ලෙයාර් කියා සිටියේ: “චීනයට අවශ්‍ය පරිදි, මුලුමහත් දකුනු චීන මුහුදම අත්පත් කර ගෙන, ඇමරිකානු හෝ අනෙකුත් හමුදාවන්ට එහි ගමනාගමනය අවහිර කිරීමට ඔවුන් පියවර ගන්නේ නම් ඇමරිකාව එය කිසිසේත්ම ඉවසා නොසිටිනු ඇත. එවැන්නක් සිදුවීමට ඉඩ තැබීමට අප සුදානම නැත”.

චීනය විසින් දකුනු චීන මුහුද ආශ‍්‍රිතව කරගෙන යන නැවු තටාකංගන හා ගුවන් පථ ඉදිකිරීම ඇතුලු ගොඩකිරීම් හා ඉදිකිරීම් කටයුතු, ප‍්‍රදේශය තුල සිය ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා බෙයිජිනය විසින් ඒ අවට දූපත් මිලිටරිකරනය කරමින් සිටින බවට සාක්ෂියක් ලෙස ඇමරිකාව යලි යලිත් හුවා දක්වයි. එහෙත්, මෙම ඉදිකිරීම් වල මිලිටරිමය වටිනාකම බැහැර කරමින් බ්ලෙයාර් කියා සිටියේ “බැරෑරුම් යුද්ධයකදී මේ ඉදිකිරීම් අඩපන කිරීම විනාඩි 10ක හෝ 15ක කාර්යක් වනු ඇත” යනුවෙනි.

බ්ලෙයාර් ඔස්ට්‍රේලියාවෙන් විශේෂයෙන් ඉල්ලා සිටියේ, ඇමරිකාව සමග දකුනු චීන මුහුදේ ඒකාබද්ධ මුර සංචාර වලට එක්වෙමින්, “අවශ්‍ය මොහොතක ජාත්‍යන්තර මුහුදු හෝ ගුවන් සීමා වලට ආරක්ෂක හමුදාවන් යැවීමට තමන් සුදානම් බව පෙන්වන” ලෙසයි. දැනට ඇමරිකානු නාවික හමුදාව, චීනයේ දිවයින් වටා පනවා ඇති සැතපුම් 12 සීමාව තුලට අවස්ථා තුනකදීම ප‍්‍රකෝපකාරී ලෙස ඇතුලු වූයේ, “නාවික ගමනාගමනයේ නිදහස” ආරක්ෂාකරනවා යයි කියමිනි.

අද්මිරාල් වරයා යුද්ධයේ අවදානම ගැන සඳහන් කරමින් “දෙපාර්ශවයටම (ඇමරිකානු හා චීන) අනෙක් පැත්තේ සිද්ධ වන්නේ කුමක්ද යන්න අවබෝධ කරගැනීමට හා සම්මුතියට ඇති සැලකියුතු නොහැකියාව” ගැන අවධානය යොමු කලේය. “මෙය කල්යත්ම තවත් නරක අතට හැරිය හැකි සම්බන්ධතාවකි”. එයින් අදහස් කරන්නේ (යුද) ගැටුමක් දැයි ඇසූවිට, ඔහු කියා සිටියේ: “ඔවු, .. වැරදි වැටහීම්, පසුව බිය හා ගැටුම්” යනුවෙනි.

මෙම සාකච්ඡාවටම එක්වූ, හාර්වඩ් විශ්ව විද්‍යාල කෙනඩි පාසලේ මහාචාර්ය ග‍්‍රැහැම් ඇලිසන් අනතුරු ඇඟවුයේ, “මම කියන්නේ, සාමාන්‍යයෙන් නැගී එන බලවතෙක් විසින්, රජයන බලවතෙක් විස්ථාපනය කිරීමට තර්ජනය කරන යුගයක ඔබ සිටින විට ...දැවැන්ත ව්‍යූහාත්මක ආතතීන් ඇතිවෙනවා, මෙතුල හුඟක් දේ වැරදි අතට යන්න පුලුවන්. .. කවුද දකුනු චීන මුහුද පාලනය කල යුත්තේ? ෂි ජින්පින් හිතන්නේ චීනය කියල, නමුත් ඇමරිකානුවන් කියනවා නැහැ පසුගිය වසර 70 ම අපි යි එහි ප‍්‍රධාන බලවතා ලෙස සිටියේ කියල .. දැන් ඔබට හිතාගන්න පුලුවන් නේ ද මෙය දෙපාර්ශවයටම අවශ්‍ය නොවුනු ගැටුමකට පරිවර්තනය වෙලා, පසුව යුද්ධයක් දක්වාම වර්ධනය වෙන හැටි? අවාසනාවකට මට නම් පුලුවන්”.

2011 දී ඔබාමා පාලනය විසින් ආසියාවේ ඇමරිකානු ආධිපත්‍ය පවත්වාගෙන යාම සඳහා නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරුනු “ආසියාවට හැරීම” හෝ “යලි තුලනය” ප‍්‍රතිපත්තියට, මිලිටරි තර කිරීම් හා අවසානයේ මෙවැනි සිද්ධියකටම අවශ්‍ය සැලසුම් ද අයත්ය. පෙන්ටගනය තම එතෙර ඇති සන්නද්ධ නාවික හා ගුවන් හමුදා සම්පත් වලින් 60%ක් 2020 වනවිට ආසියා පැසිපික් කලාපය තුල ස්ථානගත කිරීමට කැපවී සිටී. පසුගිය සතියේ ඇමරිකානු ආරක්ෂක ලේකම් ඇශ්ටන් කාටර් “හමුදා යලි තුලනය” වැඩපිලිවෙලේ තුන්වැනි අදියර ප‍්‍රකාශයට පත් කලේය. මෙයට චීනය හා යුද්ධයකදී යොදා ගැනීමට විශේෂයෙන් නිර්මානය කල නව අවි ආයුධ ශ්‍රේනියක් නිපදවීම ද ඇතුලත්ය.

වොශින්ටනය විසින් දකුනු චීන මුහුදේ නිර්මානය කර ඇති මේ ආතතීන් මගින්, චීනය හා ඇමරිකාව හෝ එහි සගයෙකු සම්බන්ධව ඇතිවන ඕනෑම කුඩා සිදුවීමක් හෝ අත් වැරැද්දක්, න්‍යෂ්ටික බලවතුන් දෙපලක් අතර ගැටුමක් කරා වර්ධනය විය හැකි සිදුවීම් වැලක් ඇවිලවීමේ අනතුර මතුකර ඇත.

Share this article: