ශ්‍රී ලංකාවේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ සමුලුවේදී වොෂින්ටනය ඉදිරියේ දනින් වැටෙයි

Sri Lankan president at the UN prostrates himself to Washington

ප්‍රදීප් රාමනායක විසිනි, 2016 ඔක්තෝබර් 1

ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය හමුවේ, යුද වලාකුලු ලෝකය සිසාරා ඇදී යමින් පවතිද්දී, පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය රැස්විය. කලාපයේ සියලු රටවල් සමඟ ශ්‍රී ලංකාව ද භූ දේශපාලනික සතුරුකමේ ද එක්සත් ජනපදය ඇතුලු මහ බලවතුන්ගෙන් වඩ වඩාත් ප්‍රකාශිතවන මිලිටරි නැඹුරුවේ ද සුලිය තුලට ඇදගනිමින් තිබේ.

සැප්තැම්බර් 21දා රැස්වීම අමතා කල කතාව ද ඇතුලු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමස්ත හැසිරීම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ඔහුගේ දන්ඩනමස්කාරය පිලිබඳ නිර්ලජ්ජිත ප්‍රකාශනයකි. එක්සත් ජාතීන්ගේ මහලේකම්, එක්සත් ජනපද ජනාධිපති සහ අනෙකුත් අයගෙන් ඔහුට ලැබුනු ප්‍රශංසා සරලවම පිලබිඹු කරන්නේ, පසුගිය වසරේ ජනවාරියේ බලයට පත්වූ මොහොතේ සිට ඔහු වොෂින්ටනයේ නියෝග වලට සුවච ලෙස හිසනමා සිටින බවයි.

ක්ලින්ටන් ග්ලෝබල් ඉනීශියෙටිව් හි පුන් සැසියකදී හිටපු එක්සත් ජනපද ජනපති බිල් ක්ලින්ටන් මුනගැසුනු සිරිසේන පසුව රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මුනගැසුනු අතර ඔහු පැවැසුයේ “ශ්‍රී ලංකාවේ නව රජයේ දිශානතිය එක්සත් ජනපද රජය ඉහලින් අගයකරන අතර ඊට ප්‍රශංසා කරන බවත් ලංකාවට දියහැකි සියලු සහයෝගය පුලුල් අන්දමින් ලබා දෙන බවත්ය.” ජනාධිපතිගේ නිල වෙබ් අඩවියට අනුව මහ ලේකම් බැන් කී මූන් ද “සංහිඳියාව සහ යහපාලනය කෙරෙහි සිරිසේනගේ කැපවීම” අගයකර ඇත.

ජානාධිපති ඔබාමා රාජ්‍ය නායකයින්ගේ දිවා භෝජනයකදී සිරිසේන සමඟ කතා කරමින් සඳහන් කල දේවල් ද කොලඹ මාධ්‍ය විසින් ඉස්මතු කර තිබුනි. වාර්තාවන පරිදි ශ්‍රී ලංකා ජනාධිපති පාකිස්තාන ජනාධිපති නවාස් ෂරිෆ් සමඟ එක මේසයක වාඩිවී සිටින මොහොතේ එහි පැමිනි ඔබාමා පවසා ඇත්තේ “වර්තමානයේදී ලංකාව තුල සිදුකෙරී ඇති ධනාත්මක පරිවර්තනයන් ලෝකයටම ආදර්ශයක් වන අතර ශ්‍රී ලංකාවේ දියුනුවට තමන්ගේ සම්පුර්න සහයෝගය ලැබෙන" බවයි.

ඔබාමාගේ ප්‍රකාශ ව්‍යංගයෙන් ෂරිෆ්ට එල්ල කල දැනුවත් රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාරයක් ද විය. ඉන්දියානු සොල්දාදුවන් 18කට මරු කැඳවමින් මතභේදාත්මක කාෂ්මීරයේ හමුදා කඳවුරකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පකිස්තානය ඉන්දියාව සමඟ මිලිටරි ගැටුමක පැටලී සිටියි. සිය මූලෝපායික සගයා වන ඉන්දියාව සමඟ පෙලගැසෙමින් පාකිස්තාන භූමියෙන ත්‍රස්තවාදී ක්‍රියා තුරන්කිරීමට ප්‍රමානවත් දෙයක් නොකිරීම ගැන ඔබාමා පරිපාලනය පාකිස්තාන විවේචනය කරයි. ඇෆ්ගනිස්තානයේ එක්සත් ජනපද මිලිටරි ආක්‍රමනයට එරෙහිවූ සන්නද්ධ කල්ලි ද ඊට ඇතුලත්ය.

ශ්‍රී ලංකාවේ සිදුකර ඇති වෙනස්කම් “ආදර්ශවත්” යයි වර්නනා කිරීමට ඔබාමා ඉදිරිපත් වූයේ, සරලවම බලයට පැමිනීමෙන් පසු සිරිසේන රටේ විදේශ ප්‍රතිපත්තිය වොෂින්ටනය පැත්තට මාරු කර ඇති නිසාය. ඇමරිකාවේ චීනයට එරෙහි ආක්‍රමනික “ආසියාවට හැරීම” දැඩී වීමේ තතු තුල, චීනය සමඟ සමීප සම්බන්ධතා ගොඩනඟාගෙන සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරෙහි ඔබාමා පරිපාලනය වඩ වඩා සතුරු විය.

2015 ජනවාරි ජනාධිපතිවරනයේදී සිරිසේන, වොෂින්ටනයේ පිටුබලය ලත් තන්ත්‍රමාරු මෙහෙයුමකින් රාජපක්ෂ පරාජය කලේය. ක්ලින්ටන් සමඟ සිරිසේනගේ හමුව අහම්බයක් නොවේ. රාජපක්ෂ බලයෙන් පහකිරීමට මුල්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක ක්ලින්ටන් පදනම හරහා ක්ලින්ටන්වරු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අයෙකි.

ජනාධිපති වූ පසු සිරිසේන සිය අභිමතය පරිදි ඇමරිකානු ගැති එක්සත් ජාතික පක්ෂ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කලේ එජාපය පාර්ලිමේන්තු බහුතරයක් නොලබා සිටියදීය. සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද සහාය ඇතිව නව “හවුල් ආන්ඩුවක්” පිහිටුවීමට වික්‍රමසිංහගේ පක්ෂයට හැකිවූයේ පසුගිය වසරේ අගෝස්තුවේ මහමැතිවරනයෙන් පසුවය.

දසතින් නැඟෙන ප්‍රශංසා මැද සිරිසේන සිය කෙටි දේශනයේදී ඊට ප්‍රතිචාර දැක්වීය. කතාව සිංහලෙන් කෙරුනු අතර ජාතිකවාදයේ ගිලී තිබුනි.

සිරිසේන මෙසේ ප්‍රකාශ කලේය: “මා බලයට පැමිනීමට පෙර රටේ මිනිසුන් බියෙන් හා සැකෙන් ජීවත්වුනා. මම ඒ යුගය අවසන් කරමින් නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමේ සහ ශ්‍රී ලංකාවේ මිනිසුන්ට නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සතුටින් ජීවත්වීමට හැකි ප්‍රජාතන්ත්‍ර අයිතීන් තහවුරු කිරීමේ අඩිතාලම් දැමූවා.”

කෙතරම් අමු කුහකත්වයක්ද! 2015 සිය අපේක්ෂකත්වය නිවේදනය කිරීමට ප්‍රථම සිරිසේන රාජපක්ෂ ආන්ඩුවේ පක්ෂපාත ජ්‍යේෂ්ට ඇමතියෙකු වූ අතර බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය අවධියේ හමුදාව විසින් සිදු කරන ලද ජන සංහාර ආරක්ෂා කල අයෙකි. ඇතැම් අවස්ථාවල ඔහු ආරක්ෂක ඇමතිකම දැරුවේ මිලිටරියේ අපරාධවලට සහ ඕනෑම විරෝධයක් මැඩලීමට සෘජුව මෙන්ම ආසන්න ලෙසම වගකිවයුත්තෙකු බවට පත්වෙමිනි.

නීතියේ අධිපත්‍ය යේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිරූපයක් ලෙස තමන් පුම්බා ගනිමින් සිරිසේන සිය දේශනය ඉදරියට ගෙනගියේ ලෝකයට සදාචාර ගුනාංග අවශ්‍ය වී තිබෙන බව කියමිනි. “ලෝකයේ බොහෝ තැන්වල අවාසනාවන්ත ලෙස අප දකින්නේ ක්‍රෝධය, වෛරය සහ මෘගත්වයේ ඉහලයාමක්. මා විශ්වාසකරන්නේ අද්‍යතන ලෝකය සදාචාර අර්බුදයක් අත්විඳිමින් සිටින බවයි. මා සිතන්නේ සියලු රටවල් සදාචාර ගුනාංග උදෙසා හඬනැගීම කෙරෙහි සැලකිල්ල යොමුකල යුතු බවයි.”

මේ කතා පිටවන්නේ ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ, සිරියාවේ ලිබියාවේ සහ අනෙකුත් රටවල මිලියන ගනනකගේ ජීවිත විනාශයට වගකිවයුතු එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ ශ්‍රී ලංකාව පෙලගැස්වූවෙකුගේ කටිනි.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය වෙත යලි හැරෙමින් ජනාධිපතිවරයා පාරම්බෑවේ “පසුගිය මාස විස්ස පුරා නව සමාජ, දේශපාලන සහ ආර්ථික පරිවර්තනයක යුගයක් වෙනුවෙන් තමන් නායකත්වය දුන්” බව කියමිනි. මෙය අමූලික බොරුවකි. සිරිසේන වික්‍රමසිංහ ආන්ඩුව යටතේ ඇත්තවශයෙන් සිදුවූයේ දැනටම තිබෙන නයගැතිකම මතට තව තවත් නය එක් කිරීමයි. දැන් මේ “ප්‍රජාතන්ත්‍රවාදීන්” දෙදෙනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උග්‍ර පීඩනය යටතේ පටවනු ලබන කප්පාදු වලට එරෙහි කම්කරුවන්ගේ, ගොවීන්ගේ සහ තරුනයන්ගේ විරෝධය මැඩීමට දශක ගනනක යුද්ධයේදී ගොඩනැංවූ පොලිස් රාජ්‍ය යන්ත්‍රය වඩ වඩාත් යොදාගැනීමයි.

“දැන් ක්‍රියාත්මක සංහිඳියා වැඩපිලිවෙල” පිලිබඳව ඔහු කයිවාරු ගැසුවේ, “රට යලි වතාවක් යුද්ධයේ සහ ත්‍රස්තවාදයේ දුෂ්ටත්වයට බිලි නොවීම එමඟින් සහතික කෙරෙනු ඇති බව” කියමිනි. එක්සත් ජනපදය සහ අනෙකුත් ප්‍රමුඛ බලවතුන්ගේ සහයෝගය සමඟ එක පෙලට සිටිමින්, “එම මහඟු අරමුන වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ලෝකයේ සහාය සහ ආශිර්වාදය සාදරයෙන් පිලිගන්නා බව” පැවසුවේය.

විශේෂයෙන්ම එක්සත් ජනපදය සහ ඉන්දියාව විසින් රුකුල් දෙන මෙම ඊනියා සංහිඳියා වැඩපිලිවෙල, දිවයිනේ රුදුරු වර්ගවාදී යුද්ධයට හේතුවූ සැබෑ ප්‍රශ්න විසඳීම සමඟ කවර හෝ සම්බන්ධයක් නොදක්වයි. එය කම්කරු පන්තිය අන්‍යොන්‍ය ලෙස සූරාකෑම සඳහා රටේ සිංහල සහ දෙමල ප්‍රභූව අතර බලය බෙදීමේ උත්සාහයකට වැඩි යමක් නොවේ. දෙමල ව්‍යාපාර හරහා ලංකාව තුල ආර්ථික අවස්ථා විවෘත කරගැනීම මෙන්ම දකුනු ඉන්දියාවේ දෙමල ජනයා වෙත ගලා ඒමට ඉඩ ඇති ශ්‍රී ලංකාවේ වාර්ගික අසහනයක විභවය කපාහෙලීම යන කරුනු දෙකම ගැන ඉන්දියාව සැලකිල්ලෙන් සිටියි.

සිරිසේනට නම් “සංහිඳියාව” යනු සරලවම වොෂින්ටනයට සිය නිවට නමස්කාරය පෑමේ සහ උදව් සිඟාකෑමේ සුලභ වැකියක් පමනි. එක් යදින්නකින් නොසෑහි ඔහු මෙසේ පුනරුච්චාරනය කරයි. “අපි සෑම ප්‍රඥාවන්ත පියවරක්ම තැබුවේ සැලකිල්ලෙන්, සුපරික්ෂාකාරීව, ඉවසිලිවන්තව මෙන්ම අධිෂ්ඨානශීලීවයි. මගේ ආදරනීය ශ්‍රී ලංකාවට බොහෝ සිහින තිබේ. ඒවා සැබෑකරගැනීමට මම ඔබේ ආශීර්වාදය සහ සහයෝගය බලාපොරොත්තු වනවා.”

නැවත තරුන ප්‍රජාව මුහුනදෙන ගැටලු සම්බන්ධයෙන් කතාකරන සිරිසේන මෙසේ පැවසුවේය. “මම අපේ තරුනයින් ලෝකයේ හොඳම දැනුමෙන් පොහොසත් කිරීමට කැපවෙනවා. ශ්‍රී ලංකාව ආදර්ශවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් කරන බවත් මම අවධාරනය කරන අතර ඒ මහඟු වෑයමට ඔබේ සහයත් ආශීර්වාදයත් බලාපොරොත්තු වනවා.”

මෙම සානුකම්පිත රංගනයන් කෙරෙහි කිසිවෙකු අංශුමාත්‍රයක හෝ විශ්වාසයක් නොතැබිය යුතුය.

Share this article: