ඇමරිකානු යුද නැවකට එල්ලවූ බවට වාර්තා වන මිසයිල් ප‍්‍රහාර වලින් පසුව වොෂින්ටනය, යේමනයට මිලිටරි ආක‍්‍රමන තර්ජන එල්ල කරයි

Washington threatens military intervention in Yemen following reported missile attacks on US warship

බැරී ග‍්‍රේ විසිනි, 2016 ඔක්තෝබර් 13

ඇමරිකාවේ ආරක්ෂිත මිසයිල් නාශක යූඑස්එස් මේසන් නෞකාව වෙත අඩුම තරමින් එක් මිසයිලකින් පහර දුන් බවට චෝදනා කරමින් 12දා පෙන්ටගනය, යේමනයට මිලිටරි මැදිහත්වීමක් කරන බවට සෘජුවම තර්ජනය කලේය. යුද නැව මුර සංචාරයේ යෙදුනේ යේමනයේ දකුනු තුඩ හා අප‍්‍රිකාවේ ඊසාන දිග වෙරල අතරය. ඇමරිකානු විශේෂ කාර්ය බලකාය ද කෲස් මිලයිල ද සහිතව මුහුදු ප‍්‍රදේශයේ යොදවා ඇති නැව් තුනෙන් එකක් එය විය.

පසුගිය දින හතර තුල වාර්තාවූ මිසයිල් ප‍්‍රහාර පිලිබඳ දෙවන සිදුවීම එයයි. ඇමරිකානු නාවික හමුදාව 9දා පැවසුවේ, හවුතිවරුන්ගේ ප‍්‍රදේශයෙහි සිට මේසන් නැවට මිසයිල දෙකක් එල්ල කල බවයි. සිද්ධීන් දෙකම වාර්තා වූයේ, මූලෝපායික බාබ් අල් මන්ඩාබ් සමුද්‍රසන්ධිය තුලය. එහෙත් හවුති නිලධාරීහු 9දා ප‍්‍රහාරය පිලිබඳ වගකීම ප‍්‍රතික්ෂේප කලහ.

ඇමරිකානු නැව, එමින් තිබූ මිසයිලයක් විනාශ කරමින් වෙඩි මුර ගනනාවක් එල්ල කල බව ඊයේ වාර්තා කලේය. අවස්ථා දෙකෙහිදීම ඇමරිකානු යුද නැවට අලාභ හානි සිදු නොවීය.

“සුදුසු වේලාවේදී සුදුසු ආකාරයට ප‍්‍රතිචාර දක්වන” බව පෙන්ටගනය 12දා නිකුත් කල ප‍්‍රකාශයකින් දැනුම් දුන්නේය. වඩාත් යුදවාදී ලෙස නාවික හමුදා නිලධාරියෙක් 9දා පැවසුවේ, “ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගමන් ගන්නා ඇමරිකානු යුද නැව් වලට එරෙහිව පහර දෙන ඕනෑම අයෙකු එසේ කරනු ඇත්තේ තමන්ගේම ඉරනම පරදුවට තබාය.” වාර්තා වූ පරිදි, ඇමරිකානු ප‍්‍රතිචාරය කුමක් විය යුතු ද යන්න තීරනය කිරීම පිනිස, ඉහල ආරක්ෂක නිලධාරීහු 12දා වොෂින්ටනයේදී හමුවූහ.

ඇමරිකාව හා සව්දි අරාබිය සහාය දක්වන අබ්රාබු මන්සූර් හාඩි තන්ත‍්‍රයට එරෙහිව සටන් වැදී සිටින හවුති කැරලිකරුවන්ට සහාය දක්වන ඉරානය සිද්ධියට හවුල් බව සඳහන් කරමින්, “එන්බීසී නයිට්ලි ප‍්‍රවෘත්ති” වාර්තා පල කලේය. හාඩි බලයට පත් කරනු ලැබුවේ හවුති වරුන් විසින් වර්ජනය කරන ලද තනි අපේක්ෂකයෙක් සහිතව 2012දී පැවැත්වූ මැතිවරනයකදී ය.

සනා අගනුවර හවුතිවරුන් විසින් අල්ලා ගනු ලැබීමෙන් පසුව හාඩිට බලය අතහැර රටින් පලායාමට සිදුවූ අතර එදා සිට අද දක්වා ඔහු සව්දි අරාබියේ ජීවත් වෙයි. හවුති කැරලිකරුවෝ, 2011 යේමනය සොලවාලූ විප්ලවවාදී නැගිටීම් මධ්‍ය යේ බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සාලේට පක්ෂපාතී මිලටරි බලවේග සමග එක්ව සිටිති.

මිසයිල් සිද්ධිය ඇති වූයේ පසුගිය 8දා, සිවිල් වැසියන් 140කට මරු කැඳවමින් තවත් 500ට වැඩි පිරිසකට තුවාල සිදු කරමින්, සනාහි අවමංල්‍යයකට සව්දි ප‍්‍රහාරක යානා එල්ල කල ප‍්‍රහාරයෙන් අනතුරුවය. සව්දි ප‍්‍රහාරය ඉලක්ක කර තිබුනේ, හවුති වරුන්ගේ නායකත්වයෙන් යුත් සනාහි ආන්ඩුවේ ප‍්‍රමුඛ පුද්ගලයින්ය. ප‍්‍රහාරයෙන් ඔවුන් ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා මිතුරන් ද මරනයට පත් විය.

8දා ප‍්‍රචන්ඩත්වය, ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයයේ හා ප‍්‍රන්සයේ ක‍්‍රියාශීලී සහාය ඇතිව සව්දි අරාබිය හා එහි ගල්ෆ් සහචරයින් විසින් 2015 මාර්තු මාසයේ පටන් ගෙන යන සාපරාධී යුද්ධයේ නවතම යුද අපරාධයයි. මැද පෙරදිග අතිශයින්ම දුගී රාජ්‍යය තුල මෙම ඝාතනය සිදු කරනු ලැබුවේ, හවුතිවරු ඉවත් කර හාඩි යලි බලයට පත් කිරීම අරමුනු කර ගෙනය.

අවමඟුල් ස්ථානය අසල සව්දි ප‍්‍රහාරයෙන් පසුව ඉතිරිව තිබූ බෝම්බ කැබලිවල, ඇමරිකාව විසින් එරටට විකුනනු ලබන ඩොලර් බහු බිලියන ගනන් වන වොෂින්ටනයේ අවිවල සලකුනු හඳුනාගත හැකිව තිබුනි.

එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව සව්දිය යුද්ධය දියත් කිරීමෙන් පසුව මියගොස් ඇති සංඛ්‍යාව 10,000කි. රෝහල්, පල්ලි, සරනාගත කඳවුරු හා ජනාවාස ප‍්‍රදේශ නිරන්තරයෙන් ප‍්‍රහාරයන්හි ඉලක්ක බවට පත්වේ. යුද්ධයෙන් අවතැන්වූ පිරිස මිලියන 3කි. මිලියන 14ක් වන ජනගහනයෙන් අඩක් සාගතයට මුහුනපා සිටිති. සව්දිය පනවා තිබෙන බාධක හේතුවෙන් රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් හා අනෙකුත් පහසුකම් නොමැති කමෙන් කොලරාව වැනි වසංගත පැතිර යයි.

2009 සිට ඔබාමා පාලනය, ඩොලර් බිලියන 115ට වැඩි අවි හා මිලිටරි ආම්පන්න සව්දි තන්ත‍්‍රය වෙත සපයා තිබේ. වොෂින්ටනය, යේමනය තුල ප‍්‍රහාරයන්ට යොදාගන්නා බෝම්බ හා මිසයිල වෙනුවට අලුතින් අවි සව්දිය වෙත සම්පාදනය කරනු ලබයි.

පෙන්ටගනය විසින් සව්දියෙහි ගුවන් යුද්ධයේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය තුල ඇමරිකානුවන් සේවයේ යොදවා ඇති අතර ඉලක්ක පිලිබඳ තොරතුරු සව්දිය වෙත නිරතුරුව සම්පාදනය කරනු ලබයි. ඇමරිකානු මිලිටරි ගුවන්යානා සව්දියේ ප‍්‍රහාරක යානා වෙත ගුවනේදී ඉන්ධන පුරවනු ලබන අතර නාවික හමුදාව යේමන් වැසියන් කුසගින්නේ තැබීම අරමුනු කරගත් මුහුදු බාධක ශක්තිමත් කිරීමට උපකාරී වෙයි.

පෙන්ටගනය හා සීඅයිඒ සමඟ සමීප සබඳතා ඇති පෞද්ගලික ආරක්ෂක ආයතනයක් වන ස්ට‍්‍රැට්ෆෝ වෙබ් අඩවිය 12දා පැවසුවේ, වාර්තාවී ඇති මිසයිල් ප‍්‍රහාරයන්ට “එක්සත් ජනපදයේ ප‍්‍රතිචාරය කිසිසේත්ම නොවැලැක්විය හැකි” බවයි. ඇමරිකාව සිය මැද පෙරදිග යුද්ධය, ඉරාක මැදිහත්වීම දක්වා පුලුල් කරමින් ද කලාපයේ රුසියානු හමුදා සමග සෘජු මිලිටරි ගැටුමක් වඩාත් සමීපයට ගෙනවිත් ඇති, සිරියාවේ තන්ත‍්‍ර මාරු යුද්ධය නාටකාකාර ලෙස දැඩි කරමින් ද සිටියි.

Share this article: