මූල්‍ය පරපුටුකම හා නැගී එන යුද්ධයේ අන්තරාය

Financial parasitism and the rising war danger

නික් බීම්ස් විසිනි, 2016 සැප්තැම්බර් 24

2008 මූල්‍ය බිඳවැටීමෙන් ක්ෂනික ඉක්බිත්තේ ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුව, ලෝකයේ අනෙකුත් මහ බැංකු හා ආන්ඩු ද සමග, එම අර්බුදය නිර්මානය කල සමපේක්ෂනයට හා සමහර අවස්ථාවල එහැමපිටින්ම සාපරාධී කටයුතු වලට සම්බන්ධ බැංකු හා මූල්‍ය ආයතන වලට ඇප දී ගොඩගැනීම පිනිස, ඩොලර් බිලියන සිය ගනන් මුදල් වැය කලේ ය.

මෙම ආරම්භක ප්‍රතිචාරය සඳහා ගොඩනගන ලද නිල තර්කය වූයේ, ලෝකය යලි වතාවක් 1930 ගනන්වල මෙන් මහා අවපාතයකට ඇද නොවැටීමට එවැන්නක් අවශ්‍යව තිබූ බවය.

ඉන් පසුව මහ බැංකු, “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” වැඩසටහන යටතේ පොලී අනුපාත ඓතිහාසික පහත් මට්ටම් වලට ගෙන එමින්, ආන්ඩුවේ බැඳුම්කර හා වෙනත් මූල්‍ය වත්කම් මිලට ගැනීම හරහා මූල්‍ය ක්‍රමය තුලට ඩොලර් ට්‍රිලියන ගනන් මුදල් පොම්ප කලේ ය.මෙම පිලිවෙත සුජාත කරන ලද්දේ, පොලී අනුපාත පහත හෙලීමෙන් හා බැංකු හා මූල්‍ය ආයතන වලට ඉතා ලාභ මුදල් ගලා යාම මගින්, අවදානම් දැරීමටත්, උද්ධමනය වැඩි කිරීමටත්, සැබෑ ආර්ථිකය තුල ආයෝජන දිරිමත් කිරීමටත්, ආර්ථික වර්ධනය ඇතිකිරීමටත් හැකි වන බව පැවසීමෙනි.

එය ක්‍රියාත්මක කරන ලද්දේ, 2008-09 අර්බුදය කෙතරම් දරුනු වුවත්, එය වාරික පහත වැටීමක් බව හා මූල්‍ය වෙලඳපොලවල් හරහා සැලකිය යුතු උත්තේජනක් ඇති කිරීමෙන් පමනක් ජයගත හැකි බව පවසමිනි. එය අසාර්ථකවීමෙන් සලකුනු කලේ, 2008 සිදුවූයේ බිඳවැටීමක් බවය.

ගෝලීය වර්ධනය, පශ්චාත් යුද්ධ වකවානුව තුල ඇතිවූ කුමන හෝ “ප්‍රකෘතියක” පහතම අඩියට වැටී ඇති අතර, ආයෝජන, අර්බුදයට පෙර තිබුනාට වඩා බෙහෙවින් පහත් මට්ටමකට වැටී, පලදායිතාව කැපී පෙනෙන තරම් පිරිහී, ලෝක වෙලඳාම මන්දගාමී වෙමින්, අවධමනාත්මක බලපෑම් පැතිර යයි. ඕඊසීඩී වචන වලට අනුව ලෝක ආර්ථික“අවම වර්ධනයේ උගුලක” සිරවී ඇත.

සියලු ප්‍රධාන ආර්ථිකයන්හි වැඩකරන ජනතාවන්ට පසුගිය අට වසර තුල අත්විඳින්නට සිදුවූයේ, මූර්ත වැටුප් එක තැන පල්වෙන හෝ පිරිහෙන, “මුදල් නැතැයි” ජප කරන මන්ත්‍රය සමඟ සමාජ තත්වයන් කපා හරින නිමක් නැති කප්පාදු වැඩසටහන් හා පෙර නොවූ විරූ මට්ටම් කරා නැගී යන සමාජ අසමානතාවකට ය.

ආර්ථික “ප්‍රකෘතියක්” ඇති කිරීම කෙසේ වෙතත්, 2008 කඩාවැටීමට තුඩු දුන් එම පරපුටුකමම නඟාසිටුවීම, ලෝකයේ ප්‍රමුඛ මූල්‍ය බලධාරීන්ගේ සැබෑ නිල ප්‍රතිපත්තිය බවට පත්ව තිබේ.

දිගින් දිගට පවතින පහත් වර්ධනයේ අවධියක් සලකුනු කිරීමට 1930 ගනන්වල පලමු වරට හඳුන්වා දුන් ආකාරය “අඛන්ඩ ඇනහිටීමේ” තත්වයකට ලෝක ආර්ථිකය පත්ව තිබියදී, ඇමරිකානු කොටස් වෙලඳපොල වාර්තාගත මට්ටම් කරා නැගී ඇති අතර ප්‍රමානාත්මක ලිහිල් කිරීම් තුලින්, මිල ගනන් ඉහල නැගී ඩොලර් ට්‍රිලියන 13ක් තරම් වටිනා බැඳුම්කර රින ප්‍රතිලාභ (පොලී) සහිතව ගනුදෙනු කෙරෙන බුබුලක් නිර්මානය කර තිබේ.

පසුගිය අට වසර තිස්සේ ඇතිවූ පහත් උද්ධමනයේ හා වර්ධනයේ සෑම අවස්ථාවකට ම මධ්‍යම බැංකු හා මූල්‍ය අධිකාරීන්ගේ ප්‍රතිචාරය වූයේ, ප්‍රමානාත්මක ලිහිල්කිරීම් දෙගුන කිරීම යි. ආරම්භයේ දී ඔවුන්ගේ පරමාර්ථය කුමක් වුවත් ප්‍රතිපලය වී ඇත්තේ, මූල්‍ය උපාමාරු හා සමපේක්ෂනය තුලින් දැවැන්ත ධනයක් රැස්කර ගැනීමේ අටියෙන් ලාභ මුදල් වෙනුවෙන් මූල්‍ය වෙලඳපලවලින් එන සංසිඳුවිය නොහැකි ඉල්ලීම්වල සිරකාරයන් බවට ඔවුන් පත්ව සිටීම ය.

ආර්ථික ජීවිතයේ මෙම සාධකය, පසුගිය බදාදා ලෝකයේ ප්‍රමුඛ ඇමරිකානු ෆෙඩරල් රිසව් හා ජපාන මහ බැංකුව විසින් ගෙන තිබෙන තීන්දු මගින් සලකුනු කෙරේ. දිනය පටන් ගැනීමේ දී ම ජපාන මහ බැංකුව නිවේදනය කලේ, තමන් අනාගතයේ අනියමිත කාලයක් සඳහා වත්කම් මිලට ගැනීමේ වැඩසටහනට මුදල් සම්පාදනය කරන බවත්, උද්ධමනය ඉලක්කගත සියයට 2 “ඉක්මවන” තෙක් හා “ස්ථාවර ආකාරයකින් එම ඉලක්කයට වඩා ඉහලින් පවතින තාක්” එය අඛන්ඩව පවත්වාගෙන යන බවයි. උද්ධමනය රින 0.4 මට්ටමේ පවතිද්දී හා වැඩිවීමේ කිසිදු සලකුනක් නොපෙන්වන තතු තුල, මූල්‍ය වෙලඳපොල තුල එය ප්‍රකාශනය අත්කරගෙන තිබෙන්නේ, ප්‍රමානාත්මක ලිහිල් කිරීම් හදිසි පියවරක සිට ස්ථාවර වැඩසටහනක් බවට පත්ව ඇති බව පවසන ආකාරයකට ය. එසේම එය කොටස් වෙලඳපොල දර්ශක ඉහලට තල්ලු කරන සැබෑ ආශ්වාදයක් වී ඇත යනුවෙනි.

දිනය ගතවෙද්දී ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුව, වෙලඳපොල ඉල්ලා සිටි ආකාරයට පොලී අනුපාත එලෙසම තබාගැනීමට තීරනය කලේ, සියයට 0.25න් හෝ පොලී ඉහල නැංවුවහොත්, මූල්‍ය කලබැගෑනියක් ඇතිවේය යන බිය නිසා ය. කොටස් වෙලඳපොලවල් යලි උද්දාමයට පත්වුනේ ප්‍රධාන දර්ශක වාර්තාගත ඉහලකට නංවමිනි.

මේ අතර යුරෝපීය මහ බැංකුවේ කාර්ය මන්ඩලය, බැංකුවේ ප්‍රමානාත්මක ලිහිල් කිරීම් ප්‍රසාරනය කල හැකි මං සෙවීමේ පර්යේෂනයක නිරතවූහ.

ක්ෂනිකව මතු කෙරෙන ප්‍රශ්නය: මේ සියල්ල යොමුවී ඇත්තේ කොහාට ද? යන්නයි. පිලිතුර සොයගත යුත්තේ, සමහර ප්‍රධාන ආර්ථික ක්‍රියාවලීන් හා ඒවායේ ඓතිහාසික වර්ධනය සැලකිල්ලට ගනිමින් ය.

මූල්‍ය ක්‍රියාන්විතයන් තුලින් අඛන්ඩව ලාභ නිර්මානය කරනු ඇතැයි ද මුදල් නිමක් නැතිව තව තවත් මුදල් උපයනු ඇතැයි ද යන මිත්‍යාව තිබියේවී නමුත් සියලු මූල්‍ය වත්කම් අවසන් විග්‍රහයේ දී, සැබෑ ආර්ථිකය තුල නිපදවන ධනයට හිමිකම් පායි. වඩාත් සුවිශේෂ ලෙස පැවසුවහොත්, කම්කරු පන්තිය වෙතින් උපුටා ගන්නා අතිරික්ත වටිනාකම් වලට හිමිකම් පෑමකි. එහෙත් දැන් සැබෑ ආර්ථිකය, ඉහත ප්‍රකාශ බෙහෙවින් ඉක්මවා ගොස් ය.

දිගුකාලීන ප්‍රනවනතා පිලිබඳ අධ්‍යනයක් මෙය වඩාත් පැහැදිලි කරනු ඇත. දෙවන ලෝක සංග්‍රාමය අවසානයේ සිට 1980 දක්වා සමස්ත මූල්‍ය වත්කම්, ගෝලීය දල දේශීය නිෂ්පාදිතයට දල වශයෙන් සමාන විය. එහෙත් 1980 ගනන්වල ලෝක ආර්ථික ප්‍රතිව්‍යුහකරනය ඇරඹීමෙන් පසුව හා ඒ සමග අත්වැල් බැඳගත් මූල්‍යකරනයේ නැඟීමත් සමඟ පරතරය පුලුල්වී ගියේ ය. 2008 අර්බුදය හටගන්නා විට මූල්‍ය වත්කම්වල අගය ගෝලීය දදේනින් සියයට 360ක් විය. එතැන් පටන් පරතරය තවදුරටත් පුලුල් විය.

ගෝලීය ආර්ථිකය මත ආධිපත්‍ය උසුලන ව්‍යාජ ප්‍රාග්ධන කන්දක් නිර්මානය කෙරී ඇත. මධ්‍යම බැංකු මුලුමනින් ම වහලුන් බවට පත්ව ඇත්තේ එයට යි.

එහෙත් එයට අනියමිතව වැඩී යා නොහැකි ය. ප්‍රාග්ධනයේ සෑම අංශයක්ම ධනයට හිමිකම් පාන සිය එදිරිවාදීන් අතුගා දමද්දී, ආර්ථික නියාම අවසානයේ සිය අධිකාරය පිහිටුවාගත යුතු ය.

“සාමාන්‍ය” කාලයන්හිදී මෙය සිදුවන්නේ, වෙලඳපොලේ අරගලය තුලින් ය. එහෙත් වත්මන් තත්වය “සාමාන්‍යයෙන්” බොහෝ දුරස්ත ය. එබැවින් තරගකාරී ගැටුම් වඩවඩාත් අමතර පරිමාවක් අත්කර ගනියි. ගෝලීය ආර්ථික පල්වීම හමුවේ මූල්‍යයේ පෙර නොවූ විරූ ප්‍රසාරනයේ තත්වය ගමන් කරන්නේ, අතිරේක ආර්ථික හා දේශපාලන මාධ්‍යයන් කරා ය. මෙම ක්‍රියාවලිය එහි ඉහලම ප්‍රකාශනය අත්කර ගන්නේ යුද්ධය තුල ය. එනම්, ආර්ථික හා මූල්‍ය එදිරිවාදීන් අතුගා දැමීම සිදුවන්නේ යාන්ත්‍රික මාධ්‍යයෙනි.

කෙසේ වෙතත් යුද්ධය, අහසින් පාත්වන්නක් නොවේ. ආර්ථික හා මිලිටරි ආතතීන් එකිනෙක හා බැඳී නැගී ඒමේ අවධියක් තුලින් එය ඉදිරියට යයි. මෙම ප්‍රවනතා දැන් පැහැදිලිවම දැකගත හැකි ය.

2008 මූල්‍ය අර්බුදය කඩාපාත්වීමත් සමග ප්‍රමුඛ ආර්ථික බලවතුන් පැවසුවේ, 1930 ගනන්වල ඒසා පරිමානයේ විනාශකාරී ක්‍රියාකලාපයක් ඉටු කරමින්, යුද්ධය සඳහා වේදිකාව සැකසූ ආරක්ෂනවාදය, ජාතිකවාදය හා අසල්වැසියා හිඟමනට දමනු පිලිවෙත් කරා ආපසු හැරීමක් නැති බවයි.

එතැන් පටන් පැවති සෑම ආර්ථික සමුලුවකදී ම මෙම පොරොන්දු යලි යලිත් පුනරුච්ඡාරනය කර තිබේ. එහෙත් ලෝක වෙලඳ සංවිධානය හා අනෙකුත් ආර්ථික සංස්ථා, ලෝක වෙලඳාමේ වර්ධනය මන්දගාමී වන තතු හමුවේ, විශේෂයෙන්ම වත්මන් අවධියේ දී, ආරක්ෂනවාදී පියවර වැඩි වැඩියෙන් ගැනෙමින් තිබෙන බව වාර්තා කලේ ය.

ඊට වැඩිමනත්ව මූල්‍ය ක්‍රමය ආතතීන්ගෙන් උතුරා ගොස් තිබේ. ඇමරිකාව යුරෝපය තුල සිය අපනයන හා ආයෝජන අවස්ථා ගැන කනස්සල්ලට පත්ව සිටියි. ඒ අනුව ඔවුහු, යුරෝපීය සංගමයේ ආන්ඩු, විශේෂයෙන් ම ජර්මනිය, කප්පාදුවේ සිට උත්තේජක පියවර කරා හැරිය යුතු බව අවධාරනය කරති. මෙය ජර්මානු පාලක පන්තියේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. මූල්‍ය අර්බුදය පිලිබඳව ඇමරිකාවට චෝදනා කරන ඔවුහු, දැනටමත් කඩාවැටීමෙන් සැලකිය යුතු තරම් බලපෑමට හසුව ඇති සිය බැංකු ක්‍රමය, උත්තේජක පියවර ගැනීම මගින් ඇමරිකානු බැංකුවලට වාසි සලසමින්, තවදුරටත් දුබල කෙරෙනු ඇති බව සැලකිල්ලට ගනිති.

ආර්ථික යුද්ධය දැනටමත් මතුපිටට පැමිනෙමින් තිබේ. මේ මස මුලදී යුරෝ සංගමයේ නියාමකයෝ, ඇමරිකානු භාන්ඩාගාරයේ හා දේශපාලඥයින්ගේ කෝපාවිෂ්ඨ ප්‍රතිචාරයක් අවුලුවමින්, ඇපල් සමාගම ඩොලර් බිලියන 13ක පැහැර හැරි බදු ආපසු ගෙවිය යුතු බවට නියෝග කලහ. මෙයින් දින ගනනකට පසුව ඇමරිකාවේ අධිකරන දෙපාර්තමේන්තුව, සම්පූර්නයෙන් ක්‍රියාවට නැගුනොත් නිසැකව ම ඩොයිෂෙ බැංකුව බංකොලොත් කරනු ඇති තීන්දුවක් ප්‍රකාශයට පත් කලේ ය. ඒ අනුව බැංකුව උකස් ආරක්ෂන අයථා ලෙස අලෙවි කිරීම සම්බන්ධයෙන් ඩොලර් බිලියන 14ක දඩ ගෙවිය යුතු ය. බර්ලිනයේ මුදල් අමාත්‍යාංශයේ ද පිටුබලය ඇතිව ඩොයිෂෙ බැංකුව ඊට කෝපයෙන් ප්‍රතිචාර දැක්වූ අතර, තමන් මුලු මුදලම නොගෙවන බව පවසමින් “සාධාරන විසඳුමක්” අවශ්‍ය බව කියා සිටියේ ය.

ගැටුම ගැන පවසමින් ෆිනෑන්ෂල් ටයිම්ස් පත්තරය සඳහන් කලේ, ඇපල් සමාගමේ පැහැර හැරි බදු පිලිබඳ ඉල්ලීමෙන් දින කිහිපයකට පසුව පැමිනි නිගමනය නිසා, “යුරෝපයෙන් පලි ගැනීමේ ඇමරිකානු පියවරේ ගොදුරක් බවට ඩොයිෂෙ බැංකුව පත්ව තිබෙන බවට මූල්‍ය කවයන් තුල දැඩි සැකයක් මතුව තිබේ” යනුවෙනි.

සිය ගෝලීය අධිකාරය පවත්වාගෙන යාමේ කොටසක් ලෙස ඇමරිකාව, යුරෝපය ආවරනය කිරීම සඳහා අන්තර් අත්ලාන්තික් වෙලඳ හා ආයෝජන හවුල්කාරිත්වය පිහිටුවා පෙරට ගෙන යයි. “යුරෝපීයයන් ලෙස අපට, ස්වාභාවිකවම ඇමරිකාවේ ඉල්ලීම් වලට හිස නැමීමට නොපුලුවන” යනුවෙන් පල කල ජර්මානු මුදල් ඇමති සිග්මා ගේබ්රියෙල්ගේ වචන වලට අනුව, සාකච්ඡා මුලුමනින්ම පාහේ අවසන් බව ජර්මනිය හා ප්‍රංශය පවසා ඇති තත්වය තුල, එම ගිවිසුම දැන් අභාවයට පත්ව ඇත.

20 වන සියවසේ ලෝක යුද්ධ දෙකක් සිදු වූයේ, ආර්ථික හා දේශපාලන ආතතීන්ගේ එකට බැඳීම හා එකිනෙක කැපීම මඟින් නිර්මානය කල කොන්දේසි හමුවේ ය. අනිවාර්යයෙන් ම ලාභ සමුච්ඡයේ කොල්ලකාරී පිලිවෙලක් වන මූල්‍ය පරපුටුකමේ කොන්දේසි, අසාමාන්‍ය, මුදුනකට ලඟාවී තිබියදී, එම ආතතීන් යලි හිස ඔසවමින් තිබේ.

මෙම ආර්ථික හා මූල්‍ය වර්ධනයන් ද ඒවායේ දේශපාලන ප්‍රතිවිපාකයන් ද සලකුනු කරන්නේ, යුද්ධයට හා එය නිර්මානය කරන ධනේශ්වර ක්‍රමයට එරෙහි සමාජවාදී මූලෝපායක් වර්ධනය කිරීම පිනිස නොවැම්බර් 05දාට ඇමරිකානු සසප විසින් කැඳවුම් කර ඇති සමුලුවේ වැදගත්කම යි.

Share this article: