ඉන්දියාව හා පකිස්ථානය යුද්ධයේ ආගාධය අද්දර වැනෙමින් සිටී

India and Pakistan teeter on the precipice of war

කීත් ජෝන්ස් විසිනි, 2016 සැප්තැම්බර් 21

නාමමාත්‍ර පරීක්ෂනයකින් පවා තොරව ඉන්දියානු ආන්ඩුව, ආරවුල් වලින් ගහන කාෂ්මීර ප්‍රදේශයේ ඌරි මිලිටරි කඳවුරට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්ථානය වගකිවයුත්තා බවට පත්කර ඇත. සෙබලූන් 18ක් මියගිය එම සිද්ධියෙන් පසුව නව දිල්ලිය යුද්ධයේ උනෙන් පෙලෙමින් සිටී. දේශපාලන සංස්ථාපිතයෙන් ද මිලිටරියෙන් හා සංගත මාධ්‍ය වෙතින් ද පල වෙන්නේ ඉන්දියාව පකිස්ථානයට “දඬුවම්” කල යුතුය යන ඝෝෂාව ය.

අගමැති නරේන්ද්‍ර මෝදි ගුවන් හා කෲස් මිසයිල් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ගැන මිලිටරි හා ඔත්තු සේවා ප්‍රධානීන් සමග සාකච්ඡා කරමින් සිටින බව මාධ්‍ය විසින් උද්‍යෝගයෙන් යුතුව වාර්තා කරනු ලැබේ. දේශසීමා ඉක්මවා කෙරෙන ආක්‍රමන හා ඌරි ප්‍රහාරයට සම්බන්ධවූවන් ඝාතනය කිරීමේ රහසිගත මෙහෙයුම් සම්බන්ධයෙන් ද සැලකිල්ල යොමුව තිබේ.

ඉන්දියාව හා පකිස්ථානය විසින් පාලනය කරනු ලබන කාෂ්මීරය දෙකට ඛෙදන පාලන රේඛාව (එල්ඕසී) හරහා කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් පකිස්ථාන හමුදාව, අස්ථාවර සටන් විරාමය උල්ලංඝනය කරන්නේ යයි ඉන්දියාව චෝදනා නැගී ය. එදින සවස නව දිල්ලිය කයිවාරු ගැසුවේ, මෑත දිනවල පාලන රේඛාව පසුකර ඉන්දියානු කාෂ්මීරයේ ඌරි කඳවුර අසල ගැවසුනු සන්නද්ධ සටන්කරුවන් 10ක් මරා දමා ඇති බවට ය.

එවන් වාර්තා ද ඉන්දියානු හා පකිස්ථාන ආන්ඩු හා ඔවුන්ගේ හමුදා විසින් එකිනෙකාට එල්ල කරන චෝදනා ප්‍රති චෝදනා ද සලකා බැලිය යුත්තේ පරිස්සමෙනි. පකිස්ථානු මිලිටරි බුද්ධි අංශ ඉන්දියාව සමග වන සිය ප්‍රතිගාමී මූලෝපායික ගැටුමේදී, මුස්ලිම් ත්‍රස්තවාදීන් යොදාගන්නා බවටත්, කාෂ්මීර ජනතාව ඉන්දීය රාජ්‍යයට දක්වන විරෝධය මැඩීමේ දී වර්ගවාදය උසිගන්වනු ලබන බවටත්, පැහැදිලි සාක්ෂි ඇතුවාක් මෙන් ම, ඉන්දියානු මිලිටරිය කාෂ්මීරය තුල ව්‍යාජ සතුරු භටයින් මරාදැමීම පිලිබඳව ද ඇත්තේ දිගු හා හොඳින් ලියවී තිඛෙන ඉතිහාසයකි.

“මූලෝපායික සංහිඳියාව” ඉවත දමා, පකිස්ථානයට දැනෙන පරිදි දැඩි පහරක් එල්ල කිරීම පිනිස කෙරෙන ඉන්දියානු ප්‍රභූවේ හඬතැලීම් හමුවේ, නව දිල්ලිය තමන්ගේ යුද සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර මනාව සිතා බැලිය යුතු යැයි පල වන යම් හඬක් ද දැන් අසන්නට ලැබේ. ඉන්දියානු මිලිටරිය තුල ද එය අඩුවක් නැත.

සාමය වෙනුවෙන් කථාකිරීමට වඩා එසේ ප්‍රවේසම ගැන පෙනී සිටින අය, තියුනු භාවයෙන් වුවත්, හුදෙක් එසේ කරන බව පෙනී යන්නේ, න්‍යෂ්ඨික බලවතෙකු වන පකිස්ථානයට එරෙහි මිලිටරි ප්‍රහාරයක් ඉක්මනින්ම පූර්න යුද්ධයක් බවට හැරීමේ හැකියාව සැලකිල්ලට ගනිමිනි. තව ද, පකිස්ථානය හා ඉන්දියාව අතර දැවැන්ත මූලෝපායික අසමතුලනයක් පවතින බව නොරහසක් වන අතර, එම කාරනය නිසාම එරටට “සටන් බිමේ” හෙවත් උපායික න්‍යෂ්ඨික අවි සූදානම් කිරීමට බල කෙරේ. එසේම, ඉන්දියානු හමුදා යුද්ධයක් දියත් කරන හෝ පකිස්ථානය ආක්‍රමනය කිරීමට සූදානම් වන තතු තුල ඒවා ප්‍රයෝජනයට ගනු ඇතැයි සැලකේ.

“අපගේ සෙබලු මරා දැමීම වෙනුවෙන් අප පලිගත යුතු ය” යනුවෙන් නම් නොකල ඉහල මිලිටරි නිලධාරියෙකු පැවසූ බව ඉන්දියන් එක්ස්ප්‍රෙස් පුවත්පත වාර්තා කලේ ය. “එහෙත් අප එසේ කල යුත්තේ මාරාන්තික වෘත්තීය මිලිටරි තක්සේරුවකට අනුව ය. අපගේ තේරීම පිලිබඳ කාල රාමුව, දේශපාලන උත්සුකයන් හෝ මාධ්‍ය ජාලයන් විසින් පැනවිය නොයුතු ය.”

එක්ස්ප්‍රෙස් හා බලපෑම් සහගත ඉන්දියානු දිනපතා පුවත්පත් 20දා වාර්තා කලේ, පකිස්ථානයට එරහි “හදිසි” ප්‍රහාරයක් “යෝග්‍යය” නොවන බව ජ්‍යෙෂ්ඨ මිලිටරි ප්‍රධානීන් ආන්ඩුවට පවසා ඇති බවයි. මක්නිසා ද යත්, පකිස්ථානය පාලන රේඛාව දිගේ හමුදාව බලමුලු ගන්වා සූදානමේ තබා ඇති බැවිනුත්, පකිස්ථානයේ නොවැලැක්විය හැකි ප්‍රතිප්‍රහාරයකට මුහුන දීම පිනිස තවමත් ඉන්දියානු හමුදා ස්ථානගත කර නොමැති බැවිනුත් ය.

එවන් වාර්තා වැරදි තොරතුරු පදනම් කරගත්තා විය හැකි ය. මෝඩි බලයට පත්කල 2014 මැයි මැතිවරනය ආසන්නයේ ඔහු, පකිස්ථානය සන්සිඳුවීම පිනිස එවක පැවති කොන්ග්‍රස් ආන්ඩුව කටයුතු කල ආකාරය දැඩි දෝෂදර්ශනයට ලක් කලේ ය. ඔහුගේ ම හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂයත් එහි සමීප සහචරයෙකු වන ෆැස්ස්ට්වාදී ආර්එස්එස් සංවිධානයත්, පකිස්ථානයට එරෙහි හදිසි හා තීරනාත්මක පියවර ගත යුතුයයි හඬ තැලූහ.

ඒ ප්‍රකාශ සත්‍යයක් වුවත් මේ දක්වා ඉන්දියාව, වඩාත් රුදුරු පියවර ගැනීමට තදියම් වී නැත. එම පියවර අතර දේශසීමා හරහා සිදුකරන ප්‍රධාන ප්‍රහාරයක් හෝ ප්‍රහාරක ගුවන් යානා හා මිසයිල් ප්‍රහාර එල්ල කිරීම වේ. වොෂින්ටනයෙන් යොදන පීඩනය ද ඊට බලපෑ සාධයක් බව නොඅනුමාන ය.

වොෂින්ටනය ඌරි ප්‍රහාරය හෙලාදැක ඇති අතර, ඉන්දියාව සමග පවත්වාගෙන යන හවුල්කාරිත්වය යලි අවධාරනය කලේ ය. එහෙත් 19දා ප්‍රහාරයට පකිස්ථානය වගකිවයුතු යයි හංවඩු ගැසීමට ඔවුන්, නව දිල්ලිය සමග එක් නොවී ය. පකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් හා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අතර 20දා පැවති රැස්වීම සම්පින්ඩනය කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ආතතීන් අවමකර ගැනීම පිනිස ඉන්දියාව හා පකිස්ථානය එක්ව කටයුතු කල යුතු බව කෙරී අවධාරනය කල බවයි. එසේම ඔහු පැවසුවේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී පකිස්ථානය දෙන දායකත්වය කෙරීගේ පැසසුමට ලක්වූ බවයි. එසේම ත්‍රස්තවාදීන් පකිස්ථාන භූමිභාගයන “ක්ෂේම භූමි” ලෙස යොදාගැනීම වැලක්වීම පිනිස තවදුරටත් පියර ගත යුතුය යන ඇමරිකාවේ ආස්ථානය ද අවධාරනය කෙරුනි.

චීනය මූලෝපායිකව හුදෙකලාකොට, වටකර එරට සමග යුද්ධය සඳහා වන සිය අරමුනු මුදුන්පත්කර ගැනීම ඉලක්ක කරගත් ඇමරිකාවේ තල්ලුවට ඉන්දියාව සම්බන්ධ කර ගැනීම, ජොර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ ආරම්භ වූ අතර දැන් ඔබාමා යටතේ ඉන්දියාව “ගෝලීය මූලෝපායික සහකරුවෙකු” බවට පත්කර ගැනීම තුල, ඉන්දියාවට මූලෝපායික වාසි සැලසුනි. ඒ අතර පෙන්ටගනයේ අති නවීන තාක්ෂනය වෙත පිවිසීමේ ඉඩකඩ ද ඉන්දියාවට ලැබී ඇත.

ඉන්දු-ඇමරිකානු සන්ධානය, දකුනු ආසියාවේ බල තුලනය වෙනස්කර, ඉන්දියාව ශක්තිමත් කර අවි සපයා න්‍යෂ්ඨික අවි තරගය අවුලුවා ඇතැයි පකිස්ථානය වඩාත් කටුක භාෂාවෙන් අනතුරු අඟවා ඇත. එහෙත් ඒ කිසිවක් පල දරා නැත. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායඥයින් ඉන්දියාව දැක ගන්නේ, ජපානය හා ඕස්ට්‍රේලියාව ඇතුලු සිය සිව් පාර්ශවික චීන විරෝධී සන්ධානයේ තීරනාත්මක නිරිතදිග කඳවුර ලෙස ය.

කෙසේ වෙතත් වොෂින්ටනය, ඉන්දියාව සමග සිය සම්බන්ධතාව අධිරාජ්‍යවාදී සහචරයෙකුගේ තත්වයෙන් පවත්වාගෙන යමින් ඉන්දියානු ප්‍රභූවට සලකන අතර, යලි යලිත් පෙන්වා ඇත්තේ, පකිස්ථානය සමග කටයුතු කිරීමේදී නව දිල්ලියට “අත නිදහස්කර ගැනීමට” ඉඩ දීමට සූදානම් නැති බවයි. ඉන්දු පකිස්ථාන ගැටුම වේගයෙන් පැතිරගොස්, දකුනු ආසියාවේ ජනතාවට ද ඔවුන්ට අනුව වඩාත් වැදගත් කාරනය වන යුරේසියාවේ ඇමරිකානු ආධිපත්‍යයට ද නොගිනිය හැකි තරමේ අහිතකර ප්‍රතිවිපාක ජනනය කරනු ඇති බව පිලිබඳව ඇමරිකානු මූලෝපායඥයෝ හොඳින්ම දැන සිටිති. එසේම නව දිල්ලිය හා ඉස්ලමාබාදය අතර ඉහල නගින ආතතීන්, ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු යුද්ධයේදී ලොජිස්ටික් (හමුදා භටයින් හා පුහුනුකරුවන් සැපයීම සහ යුද ආයුධ හා අනෙකුත් අත්‍යවශ්‍ය යුද උපකරන ප්‍රවාහනය කිරීමට රටතුල භූමිය ලබාදීම යනාදිය-පරිවර්තක) සහයෝගය සඳහා මුලුමනින්ම පාහේ පකිස්ථානය මත රැඳී සිටීම කෙරෙහි ද අහිතකර ලෙස බලපානු ඇත.

එහෙත් මේ කිසිවක්, දකුනු ආසියාව යුද්ධයේ ආගාධය අබියස වැනෙමින් සිටින්නේ ය යන්නට හරස්ව නොපිහිටනු ඇත.

ඉන්දියාවේ හා පකිස්ථානයේ එදිරිවාදී පාලක පන්තිය, එලැඹෙන දින හා සති වලදී අනතුරුදායක ලෙස සිය ගැටුම උත්සන්න කිරීමට සූදානම්ව සිටිති. තව ද දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට මහ බලවතුන් අතර ගැටුමක් කරා ලෝකය ඉතා සමීප කර ඇති, දැනටමත් මැද පෙරදිග පුපුරවා හැර තිඛෙන, ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමරිකාවේ ඉවබව නැති තල්ලූව, දැන් දකුනු ආසියාව ද අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ හා යුද්ධයේ සුලිය තුලට ඇද ගනිමින් තිඛෙන අතර ඉන්දියාව හා පකිස්ථානයත් ඉන්දියාව හා චීනයත් අතර වඩාත් පුපුරන සුලු ගැටුම් හරහා කලාපයම ගිනි අවුලුවමින් තිබේ.

පකිස්ථානයට එරෙහි ක්ෂනික ප්‍රහාරයක් වඩා අවදානම් සහගත වේ යයි ඔවුන් සිතුව ද ඒ අනුව වාර්තා වන පරිදි ඉන්දියාව වඩා “ප්‍රවේසම් සහගත” පියවර ගනිමින් සිටිය ද කෙසේ වෙතත් එය දෙරට අතර ගැටුමකට තුඩු දෙනු ඇත. දෙකෙන් කවරක් වුව ද ඒ අතර ඇත්තේ, දිග හෝ කොට වෙඩිනූලකට ගිනි තබන්නේ ද යන වෙනස පමනි.

මාධ්‍ය වාර්තා වලට අනුව, “ප්‍රවේශම් සහගත” පියවරයන්ට:

පකිස්ථාන මිලිටරිය “තුවාල ලබන තෙක්” පාලන රේඛාව හරහා නොකඩවා (සති හෝ මාස ගනන්) දිගට ඇදෙන කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම.

කාෂ්මීර ත්‍රස්තවාදීන් හා පකිස්ථාන සෙබලුන් ඝාතනය කිරීම පිනිස දේශසීමා හරහා සිදුකරන කුඩා පරිමානයේ ආක්‍රමන. එහෙත් ඒවා ප්‍රසිද්ධියේ හඳුන්වනු ඇත්තේ ඉන්දියානු ප්‍රදේශ තුලට ඇතුලුවූවන්ට විරුද්ධ ප්‍රහාර ලෙස ය. (ඉන්දියානු එක්ස්ප්‍රෙස් පුවත්පතට අනුව, පකිස්ථාන සෙබලු 7ක් අල්ලාගෙන ඝාතනය කල 1999 වසරේ අප්‍රකාශිත කාගිල් යුද්ධ අවධියේ ඉන්දියානු මිලිටරිය මේ උපාය යොදාගනු ලැබින.)

පකිස්ථානයේ බලපෑමට වල කපා උතුරු හා බටහිර දෙසින් එරටට යොදෙන පීඩනය දැඩි කිරීම ඉලක්ක කරගත්, ඇෆ්ගනිස්ථානය තුල ඉන්දියාවේ මිලිටරි මූලෝපායික මැදිහත්වීම් පුලුල් කිරීම, (බ්ලූචිස්ථාන ජාතිකවාදී ත්‍රස්තවාදීන්ට හා පකිස්ථාන තලිබාන්වරුන්ට සහාය දීම පිනිස ඉන්දියාවේ රෝ ඔත්තු සේවය, ඇෆ්ගනිස්ථානය යොදාගන්නා බවට පකිස්ථානය යලියලිත් චෝදනා කර ඇත.)

බ්ලූචිස්ථාන ප්‍රශ්නය පිනුම් පිත්ත කරගෙන ඉන්දියාව මෑතක සිට මූලෝපායික ආක්‍රමනයක් දියත් කර තිබේ. පකිස්ථානයේ බටහිරටම වන්නට පිහිටි, සම්පත් බහුල බ්ලූචිස්ථාන ප්‍රාන්තයේ ජාතිකවාදීන් ආන්ඩුවට එරෙහිව ගෙන යන විරෝධතාව, ඇතුලත් ය.

කාෂ්මීරය තුල පැනනැගී ඇති මහජන විරෝධතා, “පකිස්ථානු ත්‍රස්තවාදීන්ගේ” කුමන්ත්‍රන ලෙස බීජේපී ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කර ඇත. පසුගිය මාසයේදී මෝඩි නව හැරීමක් ගනිමින්, මෙතැන් පටන් ඉන්දියාව, බ්ලූචිස්ථානය තුල පකිස්ථානය විසින් සිදු කරන රුදුරු මර්දනය, එජා ඇතුලු ජාත්‍යන්තර සමුලුවලදී හෙලා දැකීමට කටයුතු කරන බව නිවේදනය කලේ ය.

පකිස්ථානය බිඳී යාමට ඉන්දියාව වක්‍ර ආකාරයෙන් සහාය දෙන බවට තර්ජනයක් ලෙස නව දිල්ලිය, ඉන්දියාව තුල සිටින බ්ලූචිස්ථාන ඛෙදුම්වාදීන්ට වැඩි “දේශපාලන අවකාශයක්” සැලසීමට අදහස් කරන බව ඇඟවුම් කර තිබේ.

මෙම මූලෝපාය, මෝඩිගේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්ගේ අදහසක් ලෙස පෙනී යයි. ඔහු 2014 පෙබරවාරියේ කල කථාවකදී, පකිස්ථානයට එරෙහි වඩාත් ආක්‍රමනික පිලිවෙතක් වෙනුවෙන් පෙනී සිටියේ ය. 2008 මුම්බායිහි සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන සඳහන් කරමින් ඔහු, “උඹලා තවත් මුම්බායි ජාතියේ වැඩක් කලහොත් උඹලාට බ්ලූචිස්ථානය නැතිවනු ඇතැ”යි පවසා තිබේ.

ප්‍රථමකොටත්, බොහෝ දුරටත් ඉන්දියාවේ බ්ලූචිස්ථාන පිලිවෙත ඉස්ලමාබාදයට එරෙහිව එල්ලකොට ඇත ද එය බීජිනය ද ඉලක්ක කරයි. ඇමරිකාව සමග ඉන්දියාවේ සවිමත් වන මූලෝපායික හවුල්කාරිත්වය හමුවේ චීනය, පසුගිය වසර එක හමාර තුල, පකිස්ථානය සමග දිගු කලක් පවත්වාගෙන යන “සදාකල් මිත්‍රත්වය” දැඩි කර ඇත.

බටහිර චීනයේ සිට පකිස්ථානයේ නිරිතදිග බ්ලූචිස්ථානය හරහා ග්වාඩා යන අරාබියානු වරාය තෙක් දිව යන අන්තර් හා නල මාර්ග පද්ධතියක් ගොඩනැගීමට චීනය ඩොලර් බිලියන 46ක් වැය කරයි. ඉන්දියාව, චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝවට දැඩි විරුද්ධත්වය පල කරන්නේ, එය පකිස්ථාන ආර්ථිකයට නැතුවම බැරි රුකුලක් සපයන බැවිනි. එසේම ඉන්දියාව, එම ආර්ථික තීරුව චීනය සම්බන්ධයෙන් ද ප්‍රමුඛ මූලෝපායික ඇඟවුම් දරා සිටින බව හොඳින් දැන සිටියි. එම කලාපය නිමා කලහොත්, යුද වාතාවරනයකදී හෝ යුද අර්බුදයකදී එය, ඉන්දීය සාගරයේ හා දකුනු චීන මුහුදේ මර්මස්ථාන ආර්ථික වශයෙන් අවහිර කිරීමේ ඇමරිකානු සැලසුම් වලට පාර්ශවීය වශයෙන් වල කැපීමට චීනයට අවස්ථාව සැලසෙයි.

තමන්ගේ කොල්ලකාරී සැලසුම් වලට හරස් කපන බැවින් වොෂින්ටනය අද දිනයේ ඉන්දු-පකිස්ථාන ආතතීන් ලිහිල් කිරීමට උත්සාහ දරන නමුත් එහි චීන විරෝධී මිලිටරි මූලෝපායික ආක්‍රමනිකත්වය තුල “පෙරමුනු” රාජ්‍යයක් ලෙස ඉන්දියාව පිහිටුවා ගැනීමේ තල්ලූව, දැවැන්ත අස්ථාවරකාරී සාධකයක් වනවා මෙන්ම එය නව දිල්ලියේම මහ බලවතෙකු වීමේ අභිලාෂයන් දැඩි කරන සාධකයක් ද වේ. ඇමරිකාවේ කටයුතුවල තර්කනය කලාපය කඳවුරුගත කිරීම යි. එය ඉන්දියාව හා පකිස්ථානය අතර යුද්ධයකදී ඇමරිකාව හා චීනයෙන් ආරම්භවී අනෙකුත් බලවත් රාජ්‍යයන් ද ඇද ගැනීමේ හැකියාව සහිත ක්‍රියාදාමයකි.

ඉන්දීය හා පකිස්ථාන ධනේශ්වරයේ සියලු කොටස් හා ඔවුන්ගේ දේශපාලන නියෝජිතයෝ, ඉන්දු-පකිස්ථාන ගැටුම තුලට ගැඹුරෙන්ම ඇදී ගොස් සිටිති. මෙය ස්ටැලින්වාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයට (මාක්ස්වාදී) මෙන්ම ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයට ද එකසේ අදාල ය. ස්ටැලින්වාදීහු, පසුගිය දශක දෙක තුල ඉන්දියානු මිලිටරියේ දැවැන්ත ප්‍රසාරනයට සහයෝගය දුන්නා පමනක් නොව, ඇමරිකානු අධිරාජ්‍යදවාදය සමග “හවුල්කාරිත්වයක්” ගොඩනගා ගැනීමේදී කලින් පැවති කොන්ග්‍රස් ආන්ඩුවට මෙන්ම වොෂින්ටනය සමග සමීප බැඳීම් ඇතිකරගත් සියලු ඉන්දීය ආන්ඩු වලට පිටුබලය දුන්නෝ ය.

පසුගිය දින තුනේ ඇතිවූ පුපුරන සුලු වර්ධනයන් සලකුනු කරන්නේ, සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් පාදකකොට ගත්, ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක කොටසක් ලෙස, දකුනු ආසියාව තුල ද යුද්ධයට හා අධිරාජ්‍යවාදයට එරෙහි කම්කරු පන්තියේ නායකත්වයෙන් යුත් ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසිභාවය යි.

Share this article: