කාෂ්මීර කඳවුරට එල්ලවූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව තුල පකිස්ථානයට එරෙහි යුදවාදී උද්ඝෝෂනයක්

Bellicose campaign in India against Pakistan after attack on Kashmiri base

වසන්ත රූපසිංහ විසිනි, 2016 සැප්තැම්බර් 20

ඉන්දියාව හා පකිස්ථානය බෙදා වෙන් කෙරෙන, අර්බුදකාරී කාෂ්මීර ප්‍රදේශයේ පාලන රේඛාව ආසන්නයේ පිහිටි ඉන්දියානු මිලිටරියට අයත් ඌරි කඳවුරට සැප්තැම්බර් 18දා උදෑසන ඉස්ලාමීය සටන්කරුවන් එල්ල කල ප්‍රහාරයෙන් පසු ව, දකුනු ආසියාවේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර ආතතිය නැගෙමින් තිබේ.

ප්‍රහාරයෙන් ඉන්දියානු සොල්දාදුවන් 18කගේ හා ප්‍රහාරයට පැමිනි හතර දෙනාගේ ජීවිත අහිමි විය. දශක දෙකකට වැඩි කාලයක් තුල කාෂ්මීරයේ ඉන්දියානු හමුදාවට එල්ලවූ දරුනු ම ප්‍රහාරයේ ප්‍රතිඵලය ලෙස තවත් ඉන්දියානු සෙබලු 20ක් අසාධ්‍ය තත්ත්වයේ පසු වෙති.

මොන ම පරීක්ෂනයකින් හෝ තොරව ඉන්දීය ආන්ඩුව, ප්‍රහාරය පිලිබඳව පකිස්ථානයට චෝදනා කලේ ය. කාෂ්මීරයේ ඉස්ලාමීය කන්ඩායම්වලට සහයෝගය දීම පිලිබඳව පකිස්ථාන මිලිටරි-රහස් පොලීසි සංස්ථාපිතයට ඇත්තේ දිගු ඉතිහාසයකි.

පාලක හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) ජ්‍යෙෂ්ටයන්ගේ මූලිකත්වයෙන් දැනට සිටින හා විශ්‍රාමික මිලිටරි ප්‍රධානීන් ද ව්‍යාපාරික මාධ්‍ය ද ඇතුලු ඉන්දියානු දේශපාලන සංස්ථාපිතය තුල, පකිස්ථානයට එරෙහි මිලිටරි මෙහෙයුමක අවශ්‍යතාව ගැන හඬ නැගේ.

“මූලෝපායික සීමා” නො තකා, ඉන්දියාව, “එක දතක් වෙනුවෙන් මුලු හක්ක ම කඩන” ප්‍රතිප්‍රහාරයක් දිය යුතු යයි බීජේපී ප්‍රධාන ලේකම් රාම් මාධව් පවසා ඇත. “මෙයට වගකිව යුත්තන් හා ඔවුන් පිටුපස සිටින්නන් සම්බන්ධයෙන් නිර්දය ලෙස කටයුතු කල යුතු” යැයි විපක්ෂයේ කොංග්‍රස් පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධි පැවසුවේ, කොංග්‍රසය ද එම උන්මාදයට පෙලගස්වමිනි.

මාධ්‍ය වාර්තාවන්ට අනුව, අගමැති නරේන්ද්‍ර මෝදි ආන්ඩුවේ ප්‍රබලයෝ සහ මිලිටරි හා රහස් තොරතුරු ආයතනවල ප්‍රධානීහු දැන් සලකා බලමින් සිටින්නේ, පකිස්ථානයට “දඬුවම් දෙන්නේ” කෙසේ ද කියා යි. සලකා බැලෙන විකල්පයන් අතරට, දේශසීමාව හරහා කරන පහරදීම් හා කෲස් මිසයිල ප්‍රහාර ඇතුලත් ය.

ඉන්දියන් එක්ස්ප්‍රෙස් පුවත්පතට එක් නම් හෙලි නො කල ඉහල පෙලේ මිලිටරි ප්‍රධානියෙක් පැවසුවේ, “අපේ සෙබලුන් මැරුවාට අපි පලිගන්නා” බව යි. “එහෙත් අප එය කරන්නේ, නිර්දය මිලිටරි තක්සේරුවක් හා කාල නීර්නය සලකා බැලීමෙන් පසුව මිස, දේශපාලනික තදියමකින් හෝ ප්‍රවෘත්ති වාර්තා මත පදනම් ව නෙවෙයි.”

1947 සිට මේ දක්වා ඉන්දියාව සමග ප්‍රධාන යුද්ධ තුනකට පැටලී ඇති පකිස්ථානය, එරට තුලට ඉන්දියාවෙන් කෙරෙන ඕනෑම ප්‍රහාරයක් පූර්න පරිමාන යුද ප්‍රකාශ කිරීමක් ලෙස සලකන බව දිගට ම අනතුරු අඟවා ඇත.

අපේක්ෂිත ලෙස ම, නව දිල්ලියෙන් පැන නගින යුද ඝෝෂාවට පකිස්ථාන ප්‍රභූව ප්‍රතිචාර දක්වා ඇත්තේ, තමන්ගේ ම යුදවාදී තර්ජන මාලාවකිනි. සැප්තැම්බර් 19දා නිකුත් වූ පකිස්ථාන මිලිටරියේ පුවත් නිවේදනයකට අනුව, හමුදාපති ජෙනරාල් රහීල් ෂරීෆ්, නිලධාරීන්ගේ සමුලුවක කල කතාවක දී “ඉන්දියාව පතුරුවා හරින සතුරු ප්‍රකාශයන් කෙරේ” අවධානය යොමු කලේ ය. “සෘජු හෝ වක්‍ර ඕනෑම තර්ජනයකට ප්‍රතිචාර දැක්වීමට” පකිස්ථාන මිලිටරිය “හොඳින් සූදානම්” යයි ඔහු සහතික විය.

ඌරි ප්‍රහාරයට පකිස්ථානයේ වගකීම පිලිබඳව ලෝක නායකයින් හමුවට සාක්ෂි ගෙන ඒම තම අභිප්‍රාය බව මෝදි ආන්ඩුව ඊයේ නිවේදනය කල අතර ඒ, පකිස්ථානය “ත්‍රස්තවාදී රාජ්‍යයක්” ලෙස නම් කොට හුදකලා කිරීමේ ප්‍රයත්නයේ කොටසක් වසයෙනි.

ටයිම්ස් ඔෆ් ඉන්දියා, ඉන්දියන් එක්ස්ප්‍රෙස් හා අනෙකුත් දෛනික පුවත්පත්වල පලවන වාර්තාවන්ට අනුව, ආන්ඩුව හා මිලිටරිය සලකා බලමින් සිටින්නේ, ඉන්දියානු විරෝධී කාෂ්මීර කන්ඩායම්වලට පකිස්ථාන කඳවුරු වලට හා ඉන්දියානු පාලනය යටතේ ඇති කාෂ්මීර ප්‍රදේශය තුලට සටන්කාමීන්ට ඇතුල් වීමට ආධාර කරන පකිස්ථාන හමුදා බැරැක්කවලට “අත්හදා බැලීමේ ප්‍රහාර” එල්ල කරනවා ද නැද්ද යන්න යි.

කාෂ්මීර පාලන රේඛාව අසල සිටින ඉන්දියානු භටයෝ, එම රේඛාව අසල රඳවා සිටින පකිස්ථාන භටයන්ට “ලේ හැලෙන” කාලතුවක්කු ප්‍රහාර මාලාවක් එල්ල කරනු ඇති බව ද මෙම වාර්තා වැඩිදුරටත් කියයි. පකිස්ථානයට තර්ජනය කිරීම සඳහා බලුචිස්ථානයේ පකිස්ථාන විරෝධී කැරලිකාරීත්වය ප්‍රයෝජනයට ගැනීමේ උත්සාහයන් ඉන්දියාව විසින් තීව්‍ර කරනු ඇති බව ද කලින් සැලකිල්ලට ගත් නිගමනයකි. පකිස්ථානය විසින් බලුචිස්ථානය තුල කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඉලක්ක කරගත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක් පසුගිය මාසයේ මෝදි දියත් කලේ, ඉන්දියාව තුල සිටින බලුචිස්ථාන බෙදුම්වාදීන්ට වඩා වැඩි “දේශපාලන අවකාශයක්” ලබා දීම අවශ්‍ය බව ඔහුගේ ආන්ඩුව සංඥා කරද්දී ය.

ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශකයා වන අජිත් දෝවාල්, එම තනතුරට පත් කිරීමට මාස කිහිපයකට පෙර පකිස්ථානය බිඳ විසුරුවිය යුතු යයි ප්‍රසිද්ධියේ කියා සිටි අතර, “(2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය ගැන සඳහන් කරමින්) තවත් එක් මුම්බායි සිද්ධියක් ඇති වුවහොත් ඔබට බලුචිස්ථානය අහිමි වනු ඇත” යි 2014 පෙබරවාරියේ දී කියා සිටියේ ය.

මාධ්‍ය ආවරනය තුල සඳහන් නො කෙරෙන, එහෙත් නිසැක ව ම ඉන්දීය ආන්ඩුවේ ප්‍රහාරක සැලැස්මේ මූලිකාංගයක් වන්නේ, ඉන්දීය පාලිත කාෂ්මීරය තුල පවත්නා මහජන විරෝධතා කෲර ලෙස මැඩීම දේශපාලනිකව සුජාත කරනු පිනිස ඌරි ප්‍රහාරය ඩැහැගැනීමට ඔවුන් අපේක්ෂා කරන බව යි. ජූලි මුල පටන් ඉන්දියානු පාලනයටත් හිතුමතේ ක්‍රියා කරන විශාල ආරක්ෂක හමුදාවන්ටත් එරෙහි විරෝධතා මගින් කාෂ්මීර නිම්නය ඇලලී ගොස් ඇත. පසුගිය සති 10 තුල පමනක් ආරක්ෂක හමුදා 80 දෙනකු -මින් බොහෝ දෙනා තරුනයන් වෙති- මරා දමා තවත් දහස් ගනනකට තුවාල සිදු කොට තිබේ.

මෝදි හා ඔහුගේ ආන්ඩුව දැන් සලකා බලමින් සිටින විකල්පයන් සාකච්ඡා කිරීමේ දී, 2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පකිස්ථාන පාලිත කාෂ්මීරයේ ලක්ෂාර්-ඩ-තයිබි කඳවුරු වෙත ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කිරීම ගැන අගමැති මන්මෝහන් සිං සලකා බැලූ බව ඉන්දියන් එක්ස්ප්‍රෙස් වාර්තා කලේ ය. එහෙත් මිලිටරිය අවසානයේ නිගමනය කලේ, ප්‍රහාරයන් සාර්ථක වනු ඇද්දැයි හෝ “කෙටි අත්හදා බැලීමේ යුද්ධයකට” හමුදාව සූදානම්දැයි යන්න තමන්ට නිශ්චිත නැති බව යි.

ඉන් වසර අටකට පසු ව තත්ත්වය බෙහෙවින් වෙනස් ය. ලෝක ආර්ථික අර්බුදයෙන් හා ඉන්දියානු ආර්ථික වර්ධනයේ නාටකාකාර වැටීමෙන් පීඩාවට පත්ව සිටින ඉන්දියානු ධනේශ්වරය, කම්කරු පන්තියට එරෙහි වඩා ආක්‍රමනශීලී පිලිවෙතක් අනුගමනය කිරීමටත් ඉන්දියාවේ මහා බල අපේක්ෂාවන් වඩා ආක්‍රමනකාරී ලෙස අවධාරනය කිරීමටත්, මෝදි හා ඔහුගේ බීජේපීය බලයට ගෙන ආවේ ය.

මාස 28ක් ගතකර ඇති බීජේපී ආන්ඩුව, චීනයට එරෙහි එක්සත් ජනපදයේ මූලෝපායාත්මක ප්‍රහාරයේ කක්ෂය තුලට හා දකුනු ආසියා කලාපයේ අධිපතියා ලෙස තෙමේම නැගී සිටීමට වන ධාවනය තුලට අන්කවරදාටත් වඩා ඉන්දියාව ඒකාග්‍ර කොට තිබේ.

මූලෝපායික අනාරක්ෂිතකම ගැන පකිස්ථානයට දැනී ගොස් ඇත. එය පුපුරනසුලු තත්ත්වයට එක්වන තවත් දෙයකි. ඉන්දු-එක්සත් ජනපද “ගෝලීය මූලෝපායික හවුල්කාරකම” තර කිරීමට කටයුතු කරමින් සිටින වොෂින්ටනය, වඩා වර්ධිත මිලිටරි උපකරන සපයමින් හා ලෝක න්‍යෂ්ටික පරිපාලනය මත අද්විතීය ස්ථානයක් සඳහා සාකච්ඡා පවත්වමින් මූලෝපායික වාසිය ඉන්දියාව දෙසට හරවා ඇත. එමගින් වොෂින්ටනය, උසස් සිවිල් න්‍යෂ්ටික උපකරන වෙලඳාම් කිරීමේ හැකියාව ඉන්දියාවට ලබා දී සිය ස්වදේශීය න්‍යෂ්ටික වැඩසටහනේ සම්පත් එහි න්‍යෂ්ටික ආයුධ ගබඩාව වර්ධනය කරගැනීම මත සංකේන්ද්‍රනය කිරීමට ඉඩ සලසා ඇත.

ඒ අතර දකුනු ආසියානු කලාපයේ එක්සත් ජනපදයේ ප්‍රධාන සීතල යුද සගයා ලෙස පකිස්ථානයට පැවති තත්ත්වය අහිමි කෙරී ඇත්තේ, ඇෆ්ගනිස්ථානය තුල ඇමරිකානු වාඩිලාගැනීමට සහයෝගය දෙන ලෙස වඩ වඩා පීඩනයට ලක්වෙද්දී ය.

ආයුධ හා න්‍යෂ්ටික ආයුධ තරගයේ ගින්නකට තෙල් දමමින් හා ඉන්දියාව දිරිමත් කරමින්, එක්සත් ජනපදය, දකුනු ආසියාව තුල බලතුලනය කනපිට හරවා ඇතැයි ඉස්ලාමාබාදය එන්ට එන්ට ම තියුනු වන අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එහෙත් ඒ කිසිවක් පලක් වී නැත. වොෂින්ටනයේ ප්‍රමුඛතාව වන්නේ, චීනය හුදකලාකොට, වටකර, එරටට එරෙහි යුද්ධය සඳහා ඉන්දියාව ඒකාග්‍ර කර ගැනීම යි.

දකුනු ආසියානු භූ-දේශපාලනයේ මෙම මූලික මාරුවට ඉස්ලාමාබාදයේ ප්‍රතිචාරය වී ඇත්තේ, සාම්ප්‍රදායික හමුදා මත ඉන්දියාවට පවත්නා වාසි තුලනය කිරීම සඳහා උපායික හෝ සටන් බිම් න්‍යෂ්ටික ආයුධ කලින් භාවිතා කිරීමේ හැකියාව ලබා දෙන මිලිටරි මූලෝපායක් වැලඳගැනීම යි.

චීනය සමග දීර්ඝ කාලීනව පවත්නා මූලෝපායික සන්ධානය ශක්තිමත් කරගැනීමට ද ඉස්ලාමාබාදය යොමු වී තිබේ.

කාෂ්මීරය, එහි ආරම්භයේ පටන් ම, ඉන්දියාව හා පකිස්ථානය අතර ප්‍රතිගාමී මිලිටරි-මූලෝපායික ගැටුමේ කේන්ද්‍රයේ පැවතී ඇත. එය වනාහි, සම්පත් පුලුල් පරිමානයෙන් විනාශ කල ව්‍යසනකාරී යුද්ධවලට හේතුවූ සහ කම්කරු පන්තිය බෙදීම හා මර්දනය කිරීම සඳහා වර්ගවාදය අවුලුවාලීමට යොදාගත් ගැටුමකි.

බ්‍රිතාන්‍යයට අයත්වූ පැරනි ඉන්දීය අධිරාජ්‍ය මුස්ලිම් බහුතර පකිස්ථානය හා හින්දු බහුතර ඉන්දියාව ලෙස වාර්ගිකව බෙදීමෙන් ක්ෂනික ඉක්බිත්තේ, 1947-1948 සමයේ ප්‍රතිමල්ලව රාජ්‍ය දෙක කාෂ්මීරය අරබයා මුල්වරට ගැටුනි. 1965 ඉන්දු-පකිස්ථාන යුද්ධයට මෙන් ම 1999 ඔවුන්ගේ අප්‍රකාශිත කාගිල් යුද්ධයට ද ප්‍රධාන නිමිත්තවූයේ කාෂ්මීරය යි.

එහෙත් විසිඑක් වන ශතවර්ෂයේ දී, දකුනු ආසියානු කම්කරු පන්තිය සඳහා මෙම ගැටුම මුනගස්වන අන්තරායන් ගුනාත්මක ව අලුත් ය.

ඉන්දියාව හා පකිස්ථානය අතර යුද්ධයක් න්‍යෂ්ටිකව සන්නද්ධ ප්‍රතිමල්ලව රාජ්‍ය දෙකක් අතර ඇතිවන පලමු සෘජු ගැටුම වනු ඇත.

තව ද චීනයට එරෙහි ගැටුමේ ඉදිරිපෙලේ රාජ්‍යයක් ලෙස ඉන්දියාව හරවා ගැනීමට එක්සත් ජනපදය දරන උත්සාහයේ ප්‍රතිඵලය ලෙස, දකුනු ආසියාව මහා බල ගැටුමේ සුලිය තුලට ඇද දමා ඇත.

ඉන්දියාව හා පකිස්ථානය අතර විෂකුරු මූලෝපායික ප්‍රතිමල්ලතාව එක්සත් ජනපදය-චීන ගැටුම තුල හිර වී තිබීමේ අර්ථය වන්නේ, සමස්ත ලෝකයට ම කිව නො හැකි විපාක ගෙනදෙමින් වොෂින්ටනය හා බීජිනය විරුද්ධ පැතිවලට ක්ෂනික ව ඇදගන්නා දකුනු ආසියාවේ ප්‍රධාන බලයන් දෙක අතර ප්‍රධාන ගැටුමකි. ඒ හැටියට ගත්කල ඉන්දියානු මිලිටරි මූලෝපාය අනුමාන කරන්නේ, එකවර පකිස්ථානය හා චීනය යන දෙරටට ම එරෙහි යුද්ධයක එයට යෙදිය හැකි බව යි.

Share this article: