මාලදිවයිනේ පාලන තන්ත‍්‍ර මාරුවකට විපක්ෂය කුමන්ත‍්‍රනය කරයි

Opposition plots regime change in Maldives

වසන්ත රූපසිංහ විසිනි, 2016 සැප්තැම්බර් 6

ජනාධිපති අබ්දුල්ලා යාමීන් නෙරපා දැමීමට මාලදිවයිනේ මෝල්ඩිව්ස් ඩිමොක‍්‍රටික් පක්ෂයේ නායක හා හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඇතුලු විපක්ෂයේ නායකයින් කටයුතු කරමින් සිටින බව පසුගිය සතියේ බීබීසීය වාර්තා කලේ ය.

පැහැදිලිවම පෙනෙන්නට තිබෙන කුමන්ත‍්‍රනය සූදානම් කෙරෙන්නේ, විදෙස් මාධ්‍ය තුල යාමීන් ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පියවර අවධාරනය කෙරෙන උද්ඝෝෂනයක් ගෙන යන තතු තුල ය. එක්සත් ජනපදය හා එහි සගයන් යාමීන්ට එරෙහි වන්නේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ඔහුගේ වාර්තාව නිසා නොව, චීනය සමග ඔහුට ඇති සබඳතා නිසාවෙනි.

නම් නොකල “විශ්වාසනීය මූලාශ‍්‍ර” උපුටා දක්වමින් අගෝස්තු 25දා බීබීසිය වාර්තා කලේ, යාමීන්ගේ විරුද්ධවාදීන් “ඔහුට එරෙහිව සති කීපයක් තුල පියවර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින” බව යි. වැඩි දුර විස්තර සම්පාදනය නොකෙරුනි. ආන්ඩුවේ ප‍්‍රකාශකයෙක් නෙරපාහැරීමේ පියවර විවේචනයට ලක් කල නමුත් “ආන්ඩුව ‘නීත්‍යානුකූලව’ පෙරලාදැමීමේ නිල වෑයමක්” තිබුනු බව කීවේ ය.

මෙයට සමගාමීව බීබීසීය තවත් ලිපියක් පල කලේ ය. එය ලියා තිබුනේ, සාමාන්‍ය සංචාරකයන් වසයෙන් මාලදිවයිනට පැමින, යාමීන්ට එරෙහි විරෝධතාව රහසිගතව ආවරනය කරමින් හා විරුද්ධ පක්ෂ සාමාජිකයන් හා ඔහුගේ පාලනය කෙරෙහි විවේචනාත්මක මාධ්‍යකරුවන් හා සම්මුඛ සාකච්ඡා පැවත්වූ බීබීසී වාර්තාකරුවන් දෙදෙනෙකු විසිනි.

දේශපාලන රක්ෂාවරනය ලබා එක්සත් රාජධානියේ වෙසෙන නෂීඩ්, අගෝස්තු 23දා ශ‍්‍රී ලංකාවට පැමිනි බව දැක්වෙන පුවත් සමග බීබීසී වාර්තාව ද පල විය. “මාලදිවයිනේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් වැදගත් සාකච්ඡාවකට සම්බන්ධවීම පිනිස” නෂීඩ් ශ‍්‍රී ලංකාවට පියාසර කල බව මිහාරු වෙබ් අඩවිය වාර්තා කලේ ය.

නෂීඩ්, හිටපු උපජනාධිපති හා මාලදිවයිනේ එක්සත් විපක්ෂ (යූඕඑම්) නායක මොහොමඩ් ජමීල් අහමඩ් ද කැටුව ගියේ ය. යාමීන් බලයෙන් හෙලීම මත පදනම්වූ පොදු න්‍යාය පත‍්‍රයක පදනම මත පසුගිය ජූනි මාසයේදී ලන්ඩනයේදී යූ ඕඑම් නිර්මානය කලේ ය.

ඉන්දියානු සාගර දූපත් මාලාවේ ප‍්‍රතිමල්ලව ධනේශ්වර කල්ලි අතර ඇතිව තිබෙන තියුනු දේශපාලන ඝට්ටන මාස ගනනාවක් තිස්සේ ඇදී යමින් පවතී. ප‍්‍රධාන මුහුදු මාර්ගවලට මුහුනලා මූලෝපායිකව පිහිටා ඇති මාල දිවයින, වොෂිංටනය එහි ”ආසියාවට හැරීම” හා කලාපය පුරා මිලිටරි තරකිරීම්වල ප‍්‍රතිපලයක් ලෙස මතුව තිබෙන, එක්සත් ජනපදය හා චීනය අතර පසමිතුරුකම් සඳහා කේන්ද්‍රීය නිමිත්තක් වී ඇත.

එක්සත් ජනපදය හා ඉන්දියාව අතර සමීප රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා පවත්වා ගැනීමට වෑයම් කරන අතරම යාමීන් ආන්ඩුව, දැඩි ලෙසම චීන ආයෝජන හා සහනශීලි නය මත රඳා පවතී. වොෂිංටනය හා නව දිල්ලිය, බීජිනය අභිබවා, මාලදිවයින තුල සිය අනුහස වැඩිකර ගැනීමට උත්සාහ කරමින් සිටියි. ප‍්‍රධාන අමාත්‍යවරුන් ගනනාවක් ඉල්ලා අස්වීමෙන් පසු යාමීන් වඩවඩාත් හුදෙකලා වී සිටියි.

විපක්ෂය මත කඩාපැනීමේ කොටසක් වසයෙන්, 2012 වසරේදී එවක ජනාධිපතිව සිටියදී අපරාධ අධිකරනයේ ප‍්‍රධානී අබ්දුල්ලා මොහොමඩ් නිවාස අඩස්සියට ගැනීමට නියෝග කිරීම පදනම් කරගෙන රුදුරු ත‍්‍රස්ත-විරෝධී නීති මත නෂීඩ්ට එරෙහිව පියවර ගැනීමට යාමීන් ආන්ඩුව ක‍්‍රියාත්මක විය. ඒ අනුව පසුගිය වසරේ මාර්තු මස නෂීඩ්ට වසර 13ක සිරදඬුවමක් පැනවී ය. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා යුරෝපියානු සංගමයෙන් පැමිනි පීඩනය යටතේ, වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමට යැයි කියමින් බි‍්‍රතාන්‍යයට යාමට ඔහුට අවසර ලැබිනි. නෂීඩ්, එක්සත් ජනපදය හා ඉන්දියාව සඳහා ඔහුගේ සහායත් චීනය කෙරෙහි විරුද්ධත්වයත් සම්බන්ධයෙන් එලිපිට කතා කර ඇත.

“ඉන්දියාව, එක්සත් ජනපදය හා යුරෝපියානු සංගමය යාමීන්ගේ ආඥාදායක පාලනය නීත්‍යානුකූලව වෙනස් කිරීමට යොමුවූ විපක්ෂයේ ක‍්‍රියාවන්ට අනුබල දෙමින් සිටින” බව එම්ඩීපී ජාත්‍යන්තර ප‍්‍රකාශක හමීඩ් අබ්දුල් ගෆූර් ප‍්‍රකාශ කල බව පසුගිය සතියේ නිව් ඉන්දියන් එක්ස්ප‍්‍රස් වාර්තා කලේ ය.

ශ‍්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඔහුගේ සති අන්ත පුවත්පත් සාකච්ඡාවේදී නෂීඩ් හා අනෙකුත් විපක්ෂ නායකයින් කොලඹ සිටින බව සහතික නොකල නමුත් එය ප‍්‍රතික්ෂේප කලේ ද නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී නෂීඩ් ශ‍්‍රී ලංකාව තුල රැඳී සිටිමින් ඔහුගේ දේශපාලන කටයුතු ගෙන ගිය බව සඳහන් කල සේනාරත්ත, “ඔහු ඒ දේ අදත් සිදුකරමින් සිටිනවා විය යුතුයැයි” කීවේ ය.

චීනයට වඩාත් සමීපව වැඩ කලේ යැයි සැලකුනු රාජපක්ෂ, පසුගිය වසරේ ජනවාරියේ පැවති ජනාධිපතිවරනයේදී එක්සත් ජනපදය පිටුබලය දුන් පාලන තන්ත‍්‍ර මාරුවකින් නෙරපා දැමිනි. ජනාධිපති වසයෙන් මෛත‍්‍රීපාල සිරිසේන පත්කල තැන් පටන් ආන්ඩුව, වොෂිංටනය වෙනුවෙන් වඩාත් සමීපව කටයුතු කර තිබේ. පසුගිය වසරේ ආන්ඩුව, නෂීඩ් සිරභාරයෙන් මුදාහැර, බි‍්‍රතාන්‍යයට පිටත්කිරීම සඳහා මැදිහත්කරුවෙකු ලෙස ද කටයුතු කලේය.

යාමීන්, තමා වැටලීමකට හසුව සිටින බව පැහැදිලිව දැන සිටියි. මාලදිවයින් උසාවි, නෂීඩ්, ජමීල් හා එක්සත් රාජධානියේ පිටුවහලේ වෙසෙන එම්ඩීපී ජ්‍යෙෂ්ට නිලධාරියෙක් වන අක‍්‍රම් කම්ල්ඩීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කලේ ය. මාලේ අගනුවර පිහිටි නෂීඩ්ගේ නිවස පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කෙරුනි.

මෑතකදී ආන්ඩුව, මාධ්‍යවේදීන් සඳහා සිරදඬුවම් පැමිනවීම හා දඩගැසීමට අවසර දෙන තදබල අපහාස නීතියක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තේ ය. ආරක්ෂක අමාත්‍යාංශය, ජ්‍යෙෂ්ට නිලධාරීන්ගේ පූර්ව අනුමැතියකින් තොරව දේශපාලනඥයින්, විදෙස් තාන්ත‍්‍රිකයන්, දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන ක‍්‍රියාකාරීන් හමුවීම සොල්දාදුවන්ට තහනම් කලේ ය.

මෑත මාසවලදී පාලක මෝල්ඩිව්ස් ප්‍රොග්‍රෙසිව් පක්ෂය (එම්පීපී) තුල බෙදීම් සමගින් යාමීන් වටලාගත් අර්බුදය ගැඹුරු වී තිබේ. විදේශිකයන්ට ඉඩම් අයිතිකර ගැනීමට අවසර දෙන ඉඩම් නීතිය තුලින්, මිලිටරි කඳවුරු ස්ථාපිත කිරීමට චීනයට මග සකසා දෙනු ඇතයි යනුවෙන් ඉන්දියානු මාධ්‍ය තුල මතුවූ විවේචන වලට ප‍්‍රතිචාර වශයෙන්, යාමීන්ගේ අර්ධ සහෝදරයා හා ඒපීපී නායක අබ්දුල් ගයූම් එයට විරුද්ධත්වය පල කලේය.

ජූලි මාසයේදී ගයූම්ගේ දියනිය වන දූන්යා මයුමූන් විදෙස් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය. මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් ද ගයූම්ට සහය පල කරති.

ජාත්‍යන්තර මාධ්‍ය යාමීන් දැඩි පීඩනයකට ලක් කරමින් සිටියි. යාමීන්ට දූෂන චෝදනා එල්ල කල නෂීඩ්ගේ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පල කලේ ය. 2000 ගනන් වලදී රාජ්‍ය වෙලඳ සංගමයේ ප‍්‍රධානියාව සිටියදී යාමීන්, එක්සත් ජනපදයේ හා යුරෝපියානු සංගමයේ සම්බාධක නොතකා බුරුමයේ මිලිටරි ආඥාදායකත්වයට එක්සත් ජනපද ඩොලර් මිලියන 300කට ආසන්න වටිනාකමකින් යුත් තෙල් අලෙවි කලේ ය. යාමීන් මුදල් ගසාකෑ බවට ඇඟවුම් කරමින් “එම මුදල්වලින් අඩකට ආසන්න ප‍්‍රමානයක් අතුරුදහන් වී ඇති” බව නෂීඩ් කීවේ ය.

“ජනාධිපති [යාමීන්] දේශය කොල්ලකමින් ඩොලර් මිලියන ගනනක් සොරකම් කලේ කෙසේද යන්න” හෙලිදරව් කරන බව කියන “සොරකම් කල පාරාදීසය” නම් වාර්තා චිත‍්‍රපටියක් මුදා හැරීමට එහි විමර්ශනාත්මක අංශය සූදානම්ව සිටින බව අල් ජසීරා නිවේදනය කලේ ය.

මාලදිවයින් වැසියන් සිරියානු පාලනාධිකාරියට එරෙහිව සටන් කිරීමට අයිසිස් සංවිධානයට බැඳීමේ “අනතුර” ගැන වාර්තාවක් ද ඕස්ටේ‍්‍රලියන් පුවත්පතේ පල විය. “ත‍්‍රස්ත තර්ජනයක් පාරාදීසය ගිල ගනු ඇත්ද” යන මැයෙන් පලවූ එහි වාර්තාව: “ශ්වේත මුහුදු වෙරල සහ මිත‍්‍රශීලි වැසියන් සඳහා ප‍්‍රකට රට, කැරැල්ලක හා පාරාදීසය කෙරෙහි පිලිකුලකින් බැලීමට යොමුකරවීමට මාන බලන ඉස්ලාමීය රාජ්‍ය ත‍්‍රස්තවාදයේ තර්ජනය සහිත කුමන්ත‍්‍රනයක අද්දර පැද්දෙමින් තිබේ” යයි එය ලියුවේ ය.

යාමීන්ට එරෙහිව මාලදිවයිනේ විපක්ෂයට පිටුබලය දෙන්නැයි අගමැති නරේන්ද්‍ර මෝදිට ආයාචනා කරමින් ඇතම් ඉන්දියානු මාධ්‍ය ලිපි ලියා ඇත. දූපත් රාජ්‍යයේ ඉන්දියානු ආධිපත්‍ය යලිතහවුරු කරගැනීමට මහඟු අවස්ථාවන් වෙත අවධානය යොමුකරවීමෙන් අනතුරුව, ටයිම්ස් ඔෆ් ඉන්දියා තීරු ලිපි රචකයෙකු සඳහන් කලේ, “ඩිමොක‍්‍රටිකයන්ට බලයට ඒමට ආධාර කරමින් ඉන්දියාව එහි ස්වාමිත්වය තහවුරු කරගත යුතු” බව යි.

මාලදිවයින් විපක්ෂයේ සංවිධාන, යාමීන් පාලනයට ප‍්‍රජාතාන්ත‍්‍රික විකල්පයක් නියෝජනය නොකරන අතර කම්කරුවන් හා තරුනයින්ට විශාල තර්ජනයක් ලෙස මතු වෙමින් තිබේ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි සහචරයින් ආසියාව තුල මිලිටරි තරකිරීම හා චීනයට එරෙහි යුද ධාවනය තීව‍්‍ර කිරීමත් සමග, කලාපයේ අනෙකුත් සියලුම රටවල් මෙන්ම, මාලදිවයින ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යාන්ත‍්‍රනයට ඇද ගනිමින් තිබේ.

Share this article: