ධනවාදයට හා යුද්ධයට එරෙහිව සමාජවාදය
සසප හා සසජාතශි නොවැම්බර් 05දා ඩිට්‍රොයිට්හිදී යුද විරෝධී සමුලුවක් පැවැත්වීමට සූදානම්වේ

Socialism vs. Capitalism and War
The SEP and IYSSE schedule November 5 antiwar conference in Detroit

2016 සැප්තැම්බර් 15

“ධනවාදයට හා යුද්ධයට එරෙහිව සමාජවාදය” යන මැයෙන්, ඇමරිකාවේ සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය එක්ව, මිචිගන් ප්‍රාන්තයේ ඩිට්‍රොයිට්හි වේන් විශ්වවිද්‍යාලයේදී සමුලුවක් පවත්වනු ඇත. මෙම සමුලුවේ අරමුන, ඇමරිකානු හා ලෝක අධිරාජ්‍යවාදයේ යුද පිලිවෙත් වලට එරෙහිව, රට තුල ද ජාත්‍යන්තරව ද කම්කරුවන් හා තරුනයින් බලමුලු ගැන්වීමයි. එම පිලිවෙත්, තුන්වන න්‍යෂ්ටික ලෝක යුද්ධයක් කරා පැතිර යාමේ තර්ජනය මතුකර තිබේ.

ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුනදෙන බලගතුම අන්තරාය නම්, යුද සූදානමේ පරිමාව, මහජන දැනුවත් භාවයේ මට්ටම පරයා යන තරමේ එකක් වීමය. විනාශකාරී ප්‍රතිවිපාක ගෙන ඒමේ විභවය සහිත එම තීන්දු ගනු ලබන්නේ, මුලුමනින්ම පාහේ ජනතාවට හොරෙන්ය. ඒවා කෙරෙන්නේ ධනපති ප්‍රභූ පැලැන්තියේ කුමන්ත්‍රන ලෙසය.

මිලිටරි ජයග්‍රහනය වෙනුවෙන් සියල්ල පරදුවට තැබුනු, අමාත්‍යවරුන්ගේ, රජවරුන්ගේ හා ව්‍යාපාර ප්‍රධානීන්ගේ කුමන්ත්‍රනකාරී තීන්දුවල ප්‍රතිපල වශයෙන්, යන්තම් වසර සීයකට පෙර ජනතාව පලමු ලෝක සංග්‍රාමයට ඇද දමනු ලැබින. 1918දී නිමාවූ යුද්ධය පිටුපසින්, යන්තම් 21 වසරකට පසුව, දෙවන ලෝක යුද්ධය පුපුරා ගියේය. ඒ හා එක්ව ෆැසිස්ට්වාදයේ හා හොලකෝස්ට් හෙවත් මහා ජන සංහාරයේ භීෂනය පැමිනියේය. මෙම ලෝක අග්නි ජාලාවන් දෙක, පෘතුවි ගෝලයේ විශාල ප්‍රදේශයක් විනාශයට ඇද දමමින් මිලියන 100ක් දෙනාගේ ජීවිත බිලිගත්තේය.

අද දවසේ ලෝක යුද්ධයෙහි තර්ජනය, 1939 ග්‍රීෂ්මයේ පටන් කුමන අවස්ථාවකටත් වඩා තියුනුය. වොෂින්ටනයේ, බර්ලිනයේ, ලංඩන් හා තවත් අගනුවරවල දේශපාලඥයෝ හා ජෙනරාල්වරු, න්‍යෂ්ටික අවි යොදාගන්නා යුද්ධයකට පැනීම ද ඇතුලු “ඇදහිය නොහැක්කක්” පිලිබඳව ක්‍රියාශීලී ලෙස සලකා බලමින් සිටිති.

සෝවියට් සංගමය විසුරුවාහල තැන් පටන් විසිපස් වසරකටත්, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ආරම්භ කර 15 වසරකටත් පසුව, මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ ඇමරිකාව විසින් දියත් කරන ලද නිමක් නැති ගැටුම්, ගෝලීය ගැටුමක් තුලට වසංගතයක් සේ පැතිර යමින් තිබේ. එය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විශාල තරගකරුවන්, විශේෂයෙන්ම රුසියාව හා චීනය, යන න්‍යෂ්ටික බලවතුන් සමග ගැටුමක් බවට පත්වෙමින් තිබේ.

මේ තත්වය තුල නොවැම්බර් 5 සමුලුව, තීරනාත්මකව වැදගත් වන දේශපාලන සිදුවීමකි. එය පැවැත්වෙන්නේ, හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා වෙනුවෙන් රුදුරු ලෙස පෙනී සිටින, ප්‍රමුඛ ධනපති පක්ෂ දෙකේ අපේක්ෂකයින් දෙදෙනා තරග වදින ජනාධිපතිවරනයේ අවසන් දිනවලය. එහෙත් යුද්ධය පිලිබඳ ප්‍රශ්නය මැතිවරන ව්‍යාපාරයෙන් ඉවත තබා ඇත.

තරගයෙන් කුමන අපේක්ෂකයා දිනන්නේ ද යන්න නොසලකා, එලඹෙන මාස වලදී මිලිටරි සූදානම නාටකාකාර ලෙස උත්සන්න වනු ඇත. කීකරු මාධ්‍යයේ ද උදව් ඇතිව ට්‍රම්ප් හා ක්ලින්ටන් යන දෙදෙනාම, මිලිටරි මෙහෙයුම් සඳහා සැලසුම් ගැන කියන්නේ හැකිතාක් අඩුවෙනි.

“ධනවාදයට හා යුද්ධයට එරෙහිව සමාජවාදය” සමුලුව, ලෝක යුද්ධයේ තර්ජනය හා පුලුල් වන ගැටුම පිලිබඳ වත්මන් යථාර්තය ගැන සාකච්ඡා කරන හා ඊට විරුද්ධ වන එකම රැස්වීම වන්නේය. යුද්ධයට එරෙහි ව්‍යාපාරයක් වෙනුවෙන් අත්‍යවශ්‍ය දේශපාලන පදනම විස්තාරනය කරමින් පෙබරවාරි 18දා, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ ඇතුලත් ක්‍රියාමාර්ගය මත එය සංවිධානය කෙරේ.

1) යුද්ධයට එරෙහි අරගලය, සමාජය තුල සිටින මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතුය. කම්කරු පන්තිය ජනගහනයේ අවශේෂ සියලු ප‍්‍රගතිශීලී ජනතාවන් තමන් පසුපස පෙලගස්වා ගන්නවා ඇත.

යුද්ධය නිර්මානය කරන එම ධනේශ්වර අර්බුදය ම, යුද්ධය අවසන් කිරීමේ පදනම ද සම්පාදනය කරයි. ඒ අසමානතාවට, දුප්පත්කමට මෙන්ම රැකියා, වැටුප්, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය හා කම්කරු පන්තියේ සියලු සමාජ අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයට එරෙහිව වැඩෙන අරගලයන්ගේ රූපාකාරයෙනි.

ජනගහනයේ අති බහුතරයකගේ ජීවන තත්වයන් කාබාසිනියා වීම කෙරෙහි බලපාන සැලකිය යුතු සාධකයකි, යුද පිරිවැය. පසුගිය සතියේ බ්‍රවුන් විශ්ව විද්‍යාලය නිකුත් කල වාර්තාවකට අනුව, 2001 වසරේ පටන් ඇෆ්ගනිස්ථාන, ඉරාක, ලිබියානු හා සිරියානු යුද්ධ වලට දල වශයෙන් ඩොලර් ට්‍රිලියන 5ක් වැය කර ඇත. ඊට පෙන්ටගනයේ මූලික වියදම් ඇස්තමේන්තු වල ට්‍රිලියන 6.8 ඇතුලත් කර නැත. එය ද එකතු කල විට වියදම ඇමරිකාවේ සෑම මිනිසෙකුටම, ගැහැනියකටම හා ලමයෙකුටම ඩොලර් 37000ක් බැගින් වන මුදලකි.

පාසැල්වලට මුදල් සපයන්නේ නැත. සමාජ යටිතල ව්‍යුහය දිරාපත්ව ඇත. සෞඛ්‍ය සේවාවන්ට, විශ්‍රාම සහන ගෙවීමට හා සියල්ලන්ට සාධාරන වැටුප් ගෙවීමට මුදල් නැතැයි නිරතුරුව කියනු ලැබේ. කෙසේ වෙතත්, ඔබාමා පාලනය යටතේ ආරම්භ කල න්‍යෂ්ටික අවි “නවීකරනයේ” වැඩසටහනට වෙන්කර ඇති ඩොලර් ට්‍රිලියනයක් ද ඇතුලුව මිලිටරියට සීමාවකින් තොරව මුදල් සම්පාදන කෙරේ.

2) නව යුද විරෝධී ව්‍යාපාරයක් ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය. මක්නිසා ද යත්, මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥාපතිත්වය හා මිලිටරිවාදය ද යුද්ධය ද සඳහා වන මූලික හේතුව වන, යල් පිනූ, ආර්ථික පද්ධතිය අවසන් කිරීමේ සටනකින් තොරව, යුද්ධයට එරෙහි බැරෑරුම් අරගලයක් ගෙන යා නොහැකි බැවිනි.

අධිරාජ්‍යවාදය නැගී ආවේ, ලෝක ධනේශ්වර ක්‍රමයේ පරස්පර විරෝධයන්ගේ වර්ධනය හමුවේය. දිග්ගැස්සෙමින් යන ලෝක ධනවාදයේ පද්ධතිමය අර්බුදය, යුද්ධය සඳහා ගාමක බලය සපයයි. ඒ ජාතික ආන්ඩු පාලනය කරන එදිරිවාදී ව්‍යාපාරික අවශ්‍යතා, ප්‍රධාන වෙලඳපොලවල් හා අමුද්‍රව්‍ය මූලාශ්‍රයන්හි පාලනය අල්ලා ගනිමින් අර්බුදයේ බර සිය තරගකරුවන් මත පැටවීමට උත්සාහ දරද්දීය. ධනේශ්වර ක්‍රමයට ආවේනික වූ ප්‍රතිඝතිතාවන්ට පාලක පන්තියේ ප්‍රතිචාරය, එනම් ලෝක ආර්ථිකය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර ගැටුමට, අධිරාජ්‍යවාදී යුද්ධය හා කොල්ලයයි.

යුද්ධය සඳහා කුමන්ත්‍රනයේ යෙදී සිටින පාලක පන්තියේ මූල්‍ය කතිපයාධිකාරය, වංචාව හා සමපේක්ෂනය තුලින් දැවැන්ත ධන සම්භාරයක් ගොඩගසාගෙන සිටිති. 2008 කඩාවැටීමෙන් ඉක්බිතිව ඔබාමා පාලනය, ඇප දීමේ හා “ ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” රූපාකාරයෙන් බැංකු වලට ඩොලර් ට්‍රිලියන ගනන් මුදල් පොම්ප කර ඇත. සමපේක්ෂනයේ නව බුබුලු, ලෝක ආර්ථිකය තවත් දැවැන්ත බිඳ වැටීමක් කරා ඇද දමමින්, ඕනෑම මොහොතක පුපුරා යාමට තර්ජනය කරයි.

3) එබැවින්, නව යුද විරෝධී ව්‍යාපාරය අවශ්‍යයෙන්ම, මුලුමනින්ම හා පැහැදිලිව ම ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන වලට සතුරු හා ඒවායින් ස්වාධීන විය යුතුය.

2016 ඇමරිකානු මැතිවරන පෙන්නුම් කරන්නේ, සියලු ධනපති පක්ෂ වලින් මුලුමනින්ම බිඳී වෙන් නොවී යුද්ධයට එරෙහිව සටන් කල නොහැකි බවයි.

“බලකොටු ඇමරිකාව” යන ට්‍රම්ප්ගේ වැඩපිලිවෙල, මිලිටරියේ ප්‍රමානය දැවැන්ත ලෙස පුලුල් කිරීම ද මිලිටරි පිරිවැය සඳහා වන සියලු සීමා ඉවත්කිරීම ද ඉල්ලා සිටින, උග්‍ර ජාතිකවාදය හා සංක්‍රමන විරෝධී වර්ගවාදයේ අච්චාරුවකි. ඒ අතර හිලරි ක්ලින්ටන්ගේ ඩිමොක්‍රටික් පක්ෂ මැතිවරන ව්‍යාපාරය, ට්‍රම්ප් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායික අවශ්‍යතා වෙනුවෙන් ඇති තරම් කැපවී නැති, රුසියානු ජනාධිපතිගේ ඒජන්තයෙකු බව පවසමින්, ඔහුට දකුනෙන් පහර ගසයි. ක්ලින්ටන් බලාපොරොත්තු වන්නේ, බලයට පැමිනියහොත්, ට්‍රම්ප් විරෝධී මනෝගතිය රුසියාවට එරෙහිව ආක්‍රමනිකත්වය සඳහා ප්‍රෝඩාකාරී වරමක් බවට හරවා ගැනීමටය.

ඩිමොක්‍රටික් පක්ෂ ප‍්‍රාථමික මැතිවරන ව්‍යාපාරය තුල බර්නි සෑන්ඩර්ස්ගේ “බිලියනපති පන්තිය” හෙලාදැකීමේ පුරසාරම් නිසා මිලියන ගනන් කම්කරුවෝ හා තරුනයෝ ඔහුට සහාය දැක්වූහ. සෑන්ඩර්ස්ගේ “සමාජවාදය” පිලබඳ ප්‍රෝඩාව පිලිබඳ පැහැදිලිම සාක්ෂිය වූයේ, ඔහු ඔබාමා පාලනයේ යුද පිලිවෙත් වලට සහාය දැක්වීමයි. ඔහු දැන් ක්ලින්ටන් වැලඳගෙන සිටින අතර ඇගේ දක්ෂිනාංශික හා මිලිටරිවාදී ව්‍යාපාරය, “දේශපාලන විප්ලවය” ඉදිරියට යෑමක් ලෙස හුවා දක්වයි. ඩිමොක්‍රටික් පක්ෂය වටා කරක් ගසන මධ්‍යම පන්තික සංවිධාන, බුෂ් පාලනයේ යුද ප්‍රතිපත්ති විවේචනය කිරීමේ තැන් සිට, මැද පෙරදිග අධිරාජ්‍යවාදී මැදිහත්වීම් වලට හා රුසියාවටත් චීනයටත් විරුද්ධ මෙහෙයුම් වලට පූර්න සහාය දැක්වීම කරා මාරුවී ඇත. “මානව අයිතීන්” පිලිබඳ ධජය යටතේ ඔවුහු, කුරිරුම අපරාධයන්ට සහාය දැක්වීමට සූදානම් වෙති.

4) සියල්ලටත් වඩා නව යුද විරෝධී ව්‍යාපාරය, ජාත්‍යන්තර විය යුතුය. එය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලු ගැන්විය යුතුය.

ධනවාදී ක්‍රමයේ අර්බුදය තුලින් පැන නගින ලෝක යුද්ධයේ තර්ජනය ජයගත හැක්කේ, ලෝක කම්කරු පන්තිය බලමුලු ගැන්වීම තුලින් පමනි. නව ලෝක යුද්ධයක බලපෑමට හසු නොවන කිසිදු ප්‍රදේශයක් මේ මහ පොලොව මත නොපවතී. එසේම ධනපති ප්‍රභූවේ යුද සැලසුම් වලට කැමැත්ත දක්වන කම්කරු පන්තියේ කිසිදු කොටසක් ද මිහි පිට නොපවතී.

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයේ නියමු කුටිය ඇමරිකාව වන අතර, එය පමනක් ද නොවේ. 20 වන සියවසේ ලෝක යුද්ධ දෙකේදීම ඇමරිකාවට විරුද්ධව සටන් වැදුනු ජර්මනිය, “ඒක ධ්‍රැවීය ලෝකය” අවසන්වී ඇතැයි කියමින් දේශපාලඥයින්ගේ කරේ අත දමාගෙන සිටින මාධ්‍යකරුවන්ගේ උද්ඝෝෂන හමුවේ, යලිදු වතාවක් සිය අධිරාජ්‍යවාදී අභිලාෂයන්ට පන පොවමින් සිටියි. මේ අතර ජපානය, පශ්චාත් දෙවන ලෝක යුද්ධ අවධියේ තමන් මත පැනවුනු ව්‍යවස්ථාමය මිලිටරි සීමා අහෝසි කර ප්‍රති සන්නද්ධ වීමේ යෙදී සිටියි. බ්‍රිතාන්‍යයේ, ප්‍රන්සයේ, කැනඩාවේ හා ඕස්ට්‍රේලියාවේ පාලක පන්තීහු, ගෝලීය ගැටුමකදී තමන්ගේ අවශ්‍යතා සුරක්ෂිත කර ගත හැකි හොඳම ක්‍රමය කුමක්දැයි ඉව අල්ලමින් සිටිති.

ධනපති අර්බුදයෙන් ඉවත් වීමේ මාවත් දෙකක් ඇත: අධිරාජ්‍යවාදී යුද්ධයේ මාවත, ආඥාදායකත්වය හා ම්ලේච්ඡත්වය හෝ, සමාජවාදී විප්ලවයේ මාවතයි. ලෝක යුද්ධයේ තර්ජනය අනාගතයේ ඇතිවිය හැකි තත්වයක් නොවේ. එය වත්මන් යථාර්ථයකි. මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ අධිරාජ්‍යවාදී යුද්ධ, දැනටමත් මිලියනයකට වැඩි ජනතාවක් මරා දමා සමස්ත සමාජයන්ම වනසා අවසන්ය. මිලියන ගනන් නැතිනම් බිලියන ගනන් තුන්වන ලෝක යුද්ධයකට බිලිවනු ඇත.

අපතේ හරින්නට කාලයක් නැත, ජාත්‍යන්තර සමාජවාදී දේශපාලන නායකත්වයක් ගොඩනැගිය යුතුය. සමාජවාදී සමානතා පක්ෂය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙම නායකත්වය ගොඩනගමින් සිටියි. අප ලෝසවෙඅ සියලු පාඨකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙය ඔබේම සටනක් ලෙස ගන්නා ලෙසයි.

නොවැම්බර් 5දා සමුලුව මේ අරගලයේ තීරනාත්මක අවස්ථාවකි. සමුලුවේ කථිකයින් අතර, සසප ඇමරිකානු ජනාධිපති හා උප ජනාධිපති අපේක්ෂකයින් වන ජෙරී වයිට් හා නීල්ස් නිමුත් ද ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති හා සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් ද සසප ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් ද සසජාතශි ජාතික ලේකම් ඇන්ඩ්‍රි ඩැමොන් ද බටහිර වර්ජනියාවේ සසප කොන්ග්‍රස් සභා අපේක්ෂිකා නයෝමි ස්පෙන්සර් ද වෙති. අනෙකුත් කථිකයින් අතර ජාත්‍යන්තර කමිටුවේ සසප සහෝදර පක්ෂවල ප්‍රමුඛ නියෝජිතයෝ ද වෙති.

* අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සමාජවාදී මූලෝපායක්!

* ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කරනු!

* පෙන්ටගනය හා සීඅයිඒ සඳහා නොව, පාසැල්, රැකියා හා සෞඛ්‍ය සේවා සඳහා අරමුදල් සපයනු!

* මැද පෙරදිගින් හා මධ්‍යම ආසියාවෙන් සියලු ඇමරිකානු හමුදා ඉවත් කරනු!

* රුසියාව හා චීනය සමග ගැටුම් නතර කරනු! තුන්වන ලෝක යුද්ධය එපා!

සමාජවාදී සමානතා පක්ෂය

Share this article: