ඇමරිකානු ජනාධිපතිවරන විවාදය හා පාලක පන්තියේ යුද සැලසුම්

The US presidential debate and the war plans of the ruling class

2016 සැප්තැම්බර් 28

හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සඳුදා රාත‍්‍රියේ පැවති විවාදය, ඇමරිකානු දේශපාලනයේ තුච්ඡ පිරිහීම පෙන්වන තවත් නිදසුනකි. පුලුල් වශයෙන් වෛරයට පාත්‍රව සිටින ප‍්‍රකෝටිපතියෙක් හා දශලක්ෂ පතිනියක්, එකිනෙකාට විරුද්ධව ව්‍යාජ හා නීරස මෙන්ම පැනිවල දැවටූ විෂ සහිත පොරොන්දු දුන්නේ, ඇමරිකානු ජනතාව මුහුනපා සිටින දැවෙන ප‍්‍රශ්න කිසිවකට බැරෑරුම් ලෙස මුහුන නොදෙමිනි.

සමාජ ප‍්‍රතිපත්තිය ගැන කථා කල ට්‍රම්ප්, එක් අවස්ථාවකදී තමන්ගේම බදු පැහැර හැරීම ගැන කයිවාරු ගසන අතර, වෙලඳ යුද්ධය වෙනුවෙන් කථා කරමින්, පුලුල් ව්‍යාපාරික බදු සහන හා ව්‍යාපාර මත පනවා ඇති සියලු නීති රෙගුලාසි අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටියේය. නිවාස වෙලඳපොලේ කඩාවැටීමෙන් පෞද්ගලිකව ලාභ ඉපැයූ බවට ක්ලින්ටන් කල විවේචනයන්ට ප‍්‍රතිචාර වශයෙන් ඔහු පැවසුවේ, "ව්‍යා පාරයේ යෙදීම කියන්නේ ඒකටයි" යනුවෙනි.

වෝල් වීදියේ සමීපතමයෙක් වන ක්ලින්ටන්, 2008 මූල්‍ය අර්බුදය, "ධනවතුන්ගේ බදු කපාහැරීම අන්තර් ගතකර ගත් බදු ප‍්‍රතිපත්තියේ ද මධ්‍යම පන්තිය වෙනුවෙන් ආයෝජනය කිරීමට අසමත්වීමේ ද තම ඇස් වෝල් වීදියෙන් ඉවතට හැරවීමේ ද" ප‍්‍රතිපලය බව පැවසුවාය. නිසැකවම ඇය බලාපොරොත්තු වන්නට ඇත්තේ, මෙම ක‍්‍රියාවලිය තුල තම සැමියාගේ පාලනය ද සමස්තයක් ලෙස ඩිමොක‍්‍රටික් පක්ෂයම ද මූලික ක‍්‍රියාකලාපයක් ඉටුකලේය යන කාරනයට කිසිවෙකුගේ අවධානය යොමු නොවනු ඇත කියාය.

පාලක පන්තිය සැලකිලිමත් වනතාක් දුරට විවාදයේ හදවත වන්නේ, විදෙස් හා මිලිටරි පිලිවෙතයි. ඒ අංශයට බෙහෙවින් වාරු වෙමින් ට්‍රම්ප්ට එරෙහි සිය ප‍්‍රහාරයේදී ක්ලින්ටන්, තමා වඩාත්ම නිර්දය හා මිලිටරිවාදී අනාගත ආඥාපති ලෙස පෙනීසිටියාය.

ට්‍රම්ප් රුසියානු ජනාධිපතිගේ හෙංචයියෙක් ලෙස හංවඩු ගසා ඔහුට දකුනෙන් පහරදෙමින්, ජූලි මාසයේ පැවති ඩිමොක‍්‍රටික් ජාතික සමුලුව වන තෙක් ගෙන ගිය ඇගේ මැතිවරන ව්‍යාපාරය අරක්ගෙන තිබුනු, රුසියාවට එරෙහි හෙලාදැකීම් සහිත යුද උන්මාදය, ක්ලින්ටන් තවදුරටත් ඉදිරියට ගෙන ගියාය. පුටින් ඩිමොක‍්‍රටික් ජාතික කමිටුවේ විද්‍යුත් තැපෑලට හොරෙන් අතුලුවීම ඇතුලු කිසිවිටෙකත් සනාථ නොකරන ලද එම ප‍්‍රකාශ ඇය පුනරුච්ඡාරනය කලාය.

සයිබර් ප‍්‍රහාර එල්ල කල බවට චෝදනාවට ලක්වූ "රුසියාව, චීනය ඉරානය හෝ අන් කවරෙකු හෝ හමුවේ අප නිහඬව බලාසිටින්නේ නැත. අප සතුව තිබෙන අවි වර්ග පාවිච්චි කිරීමට අපට අවශ්‍ය නොවන බව අප අවධාරනය කල යුතුය. අපට වෙනත් වර්ගයක යුද්ධයක පැටලීමට අවශ්‍ය නැත. එහෙත් අපි මේ රටේ පුරවැසියන් ආරක්ෂා කරන්නෙමු. රුසියානුවන් එය තේරුම්ගත යුතු ය" යි ඇය පැවසුවාය.

ඇය සැප්තැම්බර් 7දා ජාතික ආරක්ෂක පිලිවෙත පිලිබඳව නිව් යෝර්ක්හිදී පැවති සංසදයේදී කල ප‍්‍රකාශ මෙම භාෂාව තුලින් දෝංකාර නංවයි. එහිදී ඇය පැවසුවේ ක්ලින්ටන් පාලනයක් (ඇගේ ජනාධිපති පාලනයක්) සයිබර් ප‍්‍රහාරයන්ට සලකනු ලබන්නේ යුද ප‍්‍රකෝපකරනයක් ලෙස හා ඊට මිලිටරි බලය යොදා ප‍්‍රතිචාර දක්වන බවයි.

ලෝකයේ දෙවන විශාලතම න්‍යෂ්ටික අවි බලවතා වන රුසියාව සමඟ යුද්ධය පිලිබඳව අදහස් දැක්වීමට අමතරව ක්ලින්ටන්, විශේෂයෙන්ම අයිසිස් ප‍්‍රධානී අබු බකර් අල් බග්ඩාවි ඉලක්ක කල අයිසිස්ට එරෙහි ඩ්‍රෝන් මිසයිල ප‍්‍රහාර ද ඇතුලු මැද පෙරදිග ඇමරිකානු මිලිටරි මෙහෙයුම් දැඩි කල යුතු යයි කියා සිටියාය.

මැද පෙරදිග මිලිටරි කටයුතු පිලිබඳව ට්‍රම්ප් වඩාත් ඝෝෂාකාරී වුව ද රුසියාව හා චීනය වැනි වඩා ශක්තිමත් ඉලක්ක වලට එරෙහි යුද්ධය පිලිබඳව ඔහුගේ අවධාරනය අඩුය. එහෙත් ඔහුගේ "බල කඳවුරු ඇමරිකාව" පිලිබඳ තර්කනය, ආර්ථික ජාතිකවාදයටත්, වෙලඳ යුද්ධයටත් නැඹුරු වන අතර මෙක්සිකෝව, චීනය හා අනෙකුත් රටවල් ඇමරිකාවේ සතුරන් ලෙස පෙන්වාදීම, නොවරදින ලෙසින් යොමු වන්නේ, ගෝලීය මිලිටරි ආක්‍රමනිකත්වයේ එම වැඩපිලිවෙලටම ය.

එන්බීසී නිව්ස්හි මාධ්‍යවේදී ලෙස්ටර් හොල්ට්, රුසියාව සමඟ ඇතිවියහැකි යුද්ධයක් වෙනුවෙන් ජීවිත මිලියන කීයක් බිලිදෙන්නට සූදානම් දැයි ක්ලින්ටන්ගෙන් නොවිමසීය. කෙසේ වෙතත් තිරය පිටුපස කෙරෙන සාකච්ඡා පිලිබඳව ඇඟවුම් කෙරෙන පරිදි ඔහු, පල වන වාර්තා වලට අනුව ඔබාමා, "පලමුව න්‍යෂ්ටික අවි භාවිතා කිරීම පිලිබඳ ජාතියේ දිගුකාලීන පිලිවෙත වෙනස් කිරීම පිලිබඳව සැලකිලිමත් වීම" ගැන තම අදහස් පල කරන මෙන් අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේය.

මේ වනාහි ඔබාමා, පලමුව න්‍යෂ්ටික අවි භාවිතා නොකිරීමේ පිලිවෙත අනුගමනය කිරීම ගැන සලකා බලන බවට පලවූ ලිපි ලේඛන ගැන කෙරෙන සඳහනකි. එම යෝජනාව තමන්ගේම පාලනය තුල ප‍්‍රහාරයට ලක්වීමෙන් පසුව අවසානයේ අත්හැර දමනු ලැබින.

ට්‍රම්ප් පලමුව "පලමු ප‍්‍රහාරය එල්ල නොකරන බව කියා" පසුව පැවසුවේ, "මට මේසය මත ඇති ඕනෑම දෙයක් භාරගත නොහැකිය" යනුවෙනි. ක්ලින්ටන් හිතාමතාම ප‍්‍රශ්නය මඟහැරියාය.

විවාදයෙන් පසුව මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතයේ බොහෝ දෙනෙක් පැවසුවේ, ක්ලින්ටන් "ජයග‍්‍රාහිකාව" බවය. මක්නිසා ද යත්, මැතිවරනයෙන් පසුව මිලිටරි ප‍්‍රචන්ඩත්වය බෙහෙවින් උත්සන්න කිරීම ද ඇතුලු, ඇමරිකානු අධිරාජ්‍යදවාදයේ ආක්‍රමනකාරී ගෝලීය පිලිවෙතේ විශ්වාසනීය මෙවලමක් ලෙස ඇය දැකගතහැකි වීම නිසාය.

ක්ලින්ටන් උත්සාහ කරන්නේ, අනන්‍යතා දේශපාලනයේ පදනම මත ඩිමොක‍්‍රටික් පක්ෂයට සහාය පල කරන, වරප‍්‍රසාදිත ඉහල මධ්‍යම පන්තික කොටස් මේ පිලිවෙත පිටුපස මෙහෙයවා ගැනීමටය. පොලිස් ප‍්‍රචන්ඩත්වය පිලිබඳව සඳහන් කරමින් ඇය ඇමරිකාවේ "ක්‍රමානුකූල වර්ගවාදය" ගැන එක එල්ලේ කල සඳහනේ වැදගත්කම පවත්නේ මෙහිය.

මාස ගනනක් තිස්සේ 2016 මැතිවරන ව්‍යාපාරය අරක්ගෙන තිබුනේ, සමස්ත දේශපාලන හා ව්‍යාපාරික සංස්ථාපිතය පිලිබඳව පැවති පුපුරන සුලු ජනතා නොසතුටයි. එහෙත් නිමාව දකින විට එය, එකෙක් නිශ්චල දේපොල ජාවාරම් ගෙන යන සාපරාධී ලෝකයේ බිලියන පතියෙක් හා අනෙකා, මිලිටරි ඔත්තු යාන්ත‍්‍රනයේ හා වෝල් වීදියේ ඒකමතික තේරීම වන්නාවූ හා සංස්ථාපිතය පුද්ගලාරෝපනය කරන්නාවූ අපේක්ෂකයින් දෙදෙනෙකු අතර තරඟයක් බවට පත්ව තිබේ.

මෙම ප‍්‍රතිපලයට වෛෂයික ස්වභාවයක් තිබේ. ද්වි පක්ෂ ක්‍රමය ධනපති පන්තියේ දේශපාලන ඒකාධිකාරයකි. ඩිමොක්‍රටික් මෙන්ම රිපබ්ලිකන් පක්ෂය ද මහ ව්‍යාපාරිකයේ දේශපාලන උපකරනය. බර්නි සෑන්ඩර්ස් හා ඔහුගේ ව්‍යාජ වාම ක්ෂමාලාපකයින්ගේප‍්‍රකාශ එනම්, ඩිමොක්‍රටිකයින්ට ප‍්‍රතිසංස්කරන සඳහා හා "දේශපාලන විප්ලවය" ගෙනයාමට පවා බල කල හැකිය යනදේ ප‍්‍රලාප බව හෙලිවී අවසානය.

මැතිවරන දිනය තෙක් තව සති හයක කාලයක් පවතිද්දී, වෙන කවරදාකටත් වඩා පැහැදිලිවී ඇත්තේ, ඇමරිකාවේ ද ලෝකය පුරා ද ජනතාවන් මුහුනදී සිටින්නේ, ඉමහත් තර්ජනයන්ට බවය. රුසියාව හා චීනය වැනි න්‍යෂ්ටික බලවතුන් පැටලෙන මිලිටරි ගැටුමක තර්ජනය ද ඒ අතර වේ. කෙසේ වෙතත් මහම තර්ජනය වන්නේ, පාලක පන්තියේ යුද සැලසුම්වල ඉහල මට්ටමත්, පොදු විඥානයේ අවම මට්ටමත් අතර ආගාධයයි. සැලසුම් කෙරෙමින් ඇත්තේ කුමක් ද යන්න ගැන කම්කරුවන් හා තරුනයින් දැනුවත් කිරීම සඳහා සෑම දෙයක්ම කල යුතු අතර යුද්ධයට හා එය බිහි කරනු ලබන ධනවාදී ක්‍රමයට එරෙහිව දේශපාලන නායකත්වයක් ගොඩනැඟිය යුතුය.

එලඹෙන අරගල සඳහා කම්කරු පන්තිය සූදානම් විය යුතුය. සමාජවාදී සමානතා පක්ෂයේ හා එහි ජනාධිපති හා උප ජනාධිපති අපේක්ෂකයින් වන ජෙරී වයිට් හා නයල්ස් නිමුත්ගේ මැතිවරන උද්ඝෝෂනයේ වැදගත්කම ඇත්තේ මෙහිය. අපගේ මැතිවරන ව්‍යාපාරයට සහාය දෙමින්, නොවැම්බර් 5දා පැවැත්වෙන "ධනවාදයට හා යුද්ධයට එරෙහිව සමාජවාදය" යන සමුලුවට සහභාගී වන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.

පැට්‍රික් මාටින්

Share this article: