සිරියාවේ සහනාධාර රථ පෙලකට පහර දීමෙන් පසුව එක්සත් ජනපදය, රුසියාවට එරෙහි උද්ඝෝෂනය දැඩි කරයි

US intensifies campaign against Russia following attack on aid convoy in Syria

බිල් වෑන් ඕකන් විසිනි, 2016 සැප්තැම්බර් 21

නිව් යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ සමුලුවට සමගාමීව, සිරියානු සහයෝගිතා කන්ඩායම් රැස්වීමට සහභාගී වූ ඇමරිකානු හා රුසියානු නියෝජිතයෝ, පසුගිය දින කිහිපය තුල ඇතිවූ බිහිසුනු සිදුවීම් තිබියේවී නමුත් බිඳවැටී ඇති සිරියානු සටන් විරාමයට තමන් දිගටම සහාය දෙන බව පැවසූහ.

රැස්වීම කැඳවා තිබුනේ, ආහාර හා අනෙකුත් සහන රැගෙන, ඇලෙප්පෝ අසල උතුරු ගම්බද ප‍්‍රදේශයක ගමන් ගනිමින් තිබූ ආධාර ට‍්‍රක් රථ පෙලකට අයත් රථ 31න් 18ක් විනාශ කරමින් අඩුම තරමින් 20 දෙනෙක් මරා දැමූ ප‍්‍රහාරයකට පසුවය. බෂර් අල් අසාද්ගේ සිරියානු ආන්ඩුවටත් එහි ජාත්‍යන්තර සහකරුවා වන රුසියාවටත් චෝදනා කිරීමට වොෂින්ටනය යුහුසුලූ වූ නමුත් ඒ දෙරටම ප‍්‍රහාරයේ වගකීම බාර ගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත.

එසේම ඇමරිකානු මධ්‍යම අනදෙන මන්ඩලය ද එරට ප‍්‍රහාරක යානා ඊට සහභාගී නොවූ බව පැවසීය.

මෙම ප‍්‍රහාරය එල්ලවූයේ, සිරියානු හමුදා භටයින් 90ක් තරම් මරා දමමින් තවත් 100ට තුවාල සිදු කල, සිරියානු-ඉරාක දේශසීමාව අසල ඩියර් එසොර්හි සිරියානු හමුදා මධ්‍යස්ථානයකට ඇමරිකානු හා එහි සහචර රටවල ගුවන් ප‍්‍රහාර එල්ල වීමෙන් පසුවය. මෙම ප‍්‍රහාරය, ඉස්ලාමීය රාජ්‍ය හමුදාවන්ට (අයිසිස්) එම හමුදා මධ්‍යස්ථානය යලි අත්පත්කර ගැනීමට අවකාශ සැලසීය.

සටන්වැදී සිටින සිරියානු හමුදාවන්ට නම් සටන් විරාමය දැනටමත් අවලංගුවී ඇත. අල්කයිඩාවට සම්බන්ධ අල් නුස්රා පෙරමුන, කාලතුවක්කු හා රොකට් වෙඩි උපයෝගි කරගෙන ඇලෙප්පෝවේ ප‍්‍රධාන මෙහෙයුමක් සිදුකරයි. මේ අතර සිරියානු ආන්ඩුව “කැරලිකරුවන්” විසින් 300 වතාවක් සටන් විරාමය උල්ලංඝනය කල බව වාර්තාවීමෙන් පසුව එය අවසාන බව නිවේදනය කලේය. ඇලෙප්පෝ හා රටේ වෙනත් තැන්වල බටහිර පිටුබලය සහිත හමුදාවන්ගේ ප‍්‍රහාර පරාජය කිරීම පිනිස ආන්ඩුව සිය ගුවන් ප‍්‍රහාර යලි අරඹා ඇත.

විදේශ රටවල ඇමතිවරු 20 සහභාගීවූ සිරියානු සහයෝගිතා රැස්වීමෙන් පසුව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පැවසුවේ “සටන් විරාමය මියගොස් නැති” බවයි. “නිශ්චිත පියවර” ගැන සති අන්තයේ පැවැත්වෙන රැස්වීමේදී සාකච්ඡා කරනු ඇති බව ද ඔහු පැවසීය.

රැස්වීමේ සම සභාපතිත්වය දැරූ රුසියානු විදේශ ඇමති සර්ගි ලැව්රොව් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කලේ නැත. මීට කලින් ක්‍රෙම්ලිනයේ ප‍්‍රකාශක ඩිමිත‍්‍රි පැස්කොව් කියා සිටියේ සටන් විරාමය යලි ඇති කිරීමේ බලාපොරොත්තු “ඉතා සුලු” බවයි.

එජා ආරක්ෂක මන්ඩලය 21දා සටන් විරාමය ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වුව ද එහි කොන්දේසි ප‍්‍රසිද්ධ කිරීමට නොහැකි බව පවසමින් වොෂින්ටනය, ගිවිසුම පිලිබඳ කිසිදු ඡන්දයක් ගැනීම ට විරුද්ධ විය.

සිරියානු ආන්ඩුවට මිලිටරි ආධාර සපයන ඉරානය ද ආන්ඩුවට එරෙහිව සටන්වැද සිටින ඉස්ලාමීය මිලිෂියාවන්ට ආයුධ හා මුදල් සපයන සව්දි අරාබිය ද ඇතුලු 20දා රැස්වීමට සහභාගී වූ සියලු පාර්ශවයන් සටන් විරාමයට දිගටම සහාය දෙන බව, එජා නියෝජිත ස්ටැෆන් ඩි මිස්ටුරා පැවසීය. ඒ බිම් මට්ටමේදී සටන් විරාමය බිඳී ගොස් තිබියදීය. “සටන් විරාමය අනතුරට මුහුනපා ඇත”, එහෙත් ඇමරිකාව හා රුසියාව එයට සහාය දක්වනතාක් දුරට එය පවතිනු ඇත. ප‍්‍රචන්ඩ ක‍්‍රියා අවසන් කිරීමේ අවශ්‍යතාව මතු කරන, “සන්ධිස්ථානයක්” සහන රථ පෙලට එල්ලවූ ප‍්‍රහාරයෙන් සලකුනු කරන්නේ යයි ඔහු පැවසීය.

පූර්වයෙන් සිරියානු හමුදාවට එල්ල කෙරුනු ප‍්‍රහාර ද මෙම ප‍්‍රහාරය ද එක්ව ගත් කල එක් දෙයක් පෙන්නුම් කරයි. එනම්, සැප්තැම්බර් 9දා කෙරී හා ලැව්රොව් අතර ඇතිවූ එකඟත්වය කඩාකප්පල් කිරීමය. ඊට අනුව අයිසිස් හා අල්කයිඩාවට සම්බන්ධ කන්ඩායම් වලට පහර දීමේදී රුසියානු-ඇමරිකානු සම්බන්ධීකරන මධ්‍යස්ථානයක් පිහිටුවනු ලැබේ. එම මධ්‍යස්ථානය පිහිටුවනු ඇත්තේ, සතුරුකම් අත්හිටුවීමෙන් සතියක් ගතවූ පසුව හා කොටුවී සිටින ජනතාවට ආධාර සැපයීමෙන් පසුවය.

සමස්ත සටන් විරාමයත්, විශේෂයෙන්ම ඉහත ගිවිසුමත්, ජනාධිපති ඔබාමා සමග පැවති කැබිනට් රැස්වීමකදී ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර්ගේ දැඩි විරුද්ධත්වයට ලක්වීමත් සමග, පෙන්ටගනයෙන් ඊට තියුනු විවේචන එල්ල විය. ඉහල මිලිටරි නිලධාරීහු, තමන් ගිවිසුම ක‍්‍රියාත්මක නොකරන බව ඇඟවුම් කරමින් හිස නොනැමීමේ ආස්ථානයන් ගත්හ.

එසේම ගිවිසුමට සතුරුකම් පෑවේ ඊනියා “කැරලිකරුවන්” හා සීඅයිඒ සංවිධානය තුල ඔවුන් හසුරුවන්නන්ය. සටන් විරාමය ප‍්‍රකාශ කරන ලද්දේ, ඇමරිකාව හා එහි සහචරයින් විසින් සන්නද්ධ කර මුදල් සපයන ඊනියා “මැදිහත් විපක්ෂයේ” ඉස්ලාමීය හමුදාවන්ට, බොහෝ කාලයක් අල් කයිඩාවට සම්බන්ධව සිටි, මෑතකදී තමන්ම නම වෙනස්කරගත් අල් නුස්රා පෙරමුනෙන් වෙන්වීමට අවස්ථාව සලසා දීමටය. එහෙත් එවන් වෙන්වීමක් පිලිබඳ ප‍්‍රගතියක කිසිදු ඇඟවුමක් දක්නට නොලැබුන අතර ඇමරිකාව පිටුබලය දෙන බලවේගයන් හා අසාද් ආන්ඩුවට එරෙහි සන්නද්ධ විපක්ෂයේ කොඳු නාරටිය වන අල් කයිඩාවරුන් අතර බලපෑමක් ඇති කිරීමට අසමත් බව පෙනී ගියේය.

සටන් විරාම ගිවිසුම කෙරේ ඇමරිකානු මිලිටරියේ විරුද්ධත්වයෙහි ආස්ථානයෙන් බලන විට, වඩාත් තීරනාත්මක වන්නේ, පෙන්ටගනයේ මූලෝපායික යොමුව වඩාත් සෘජු ලෙස න්‍යෂ්ටික සන්නද්ධ බලයන් සමග මිලිටරි ගැටුමක් සඳහා කෙලින්ම සූදානම් වීමේ දිසාවට මාරුවී තිබෙන කොන්දේසි යටතේ, රුසියාව සමග කිසිදු මිලිටරි සහයෝගිතාවකට එක්සත් ජනපදයට පවත්නා සතුරුකමය.

කිසිදු සාක්ෂයකින් තොරව වොෂින්ටනය, ආධාර රිය පෙලට සඳුදා එල්ල කල ප‍්‍රහාරයට මොස්කෝව වගකිව යුතු යයි වහාම ප‍්‍රකාශ කලේය. “ඒ රුසියාව ද ආන්ඩුව ද යන්න මේ මොහොතේදී අපි නොදනිමු. කවුරු හෝ වේවා මෙහිදී, නිශ්චිතවම ගැටුම් වැලැක්වීමේ වගකීම ඇත්තේ රුසියානුවන්ටය. ඔවුන් වැලකී සිටිනවා පමනක් නොව ආන්ඩුව එවැන්නක් කිරීමෙන් වලකා ගැනීමේ වගකීම ද පැවරෙන්නේ ඔවුන්ටමය.” සඳුදා රාති‍්‍රයේ නිකුත් කල එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශයක එසේ සඳහන් විය.

මේ අතර ඇමරිකානු නිලධාරියෙකු පැවසූ බවට සීඑන්එන් වාර්තා කලේ, “සිරියානු ගුවන් යානා හෝ හෙලිකොප්ටර්, සිද්ධිය වන අවස්ථාවේ ප‍්‍රහාර සඳහා එහි සැරිසැරූ බවට නිශ්චිත ඔත්තු සේවා තොරතුරු අප සතුව නැති” බවය.

ආධාර රැගෙන යාමේදී තුර්කි නිලධාරීන් ඊට සම්බන්ධ නොවිය යුතු බවට සිරියාව දිගින් දිගටම අවධාරනය කල තතු හමුවේ බොහෝකොටම, ආන්ඩුවේ අවසරය ඊට ලැබීම සඳහා දින ගනනාවක් ගතවිය. ඉස්ලාමීය මිලිෂියාවන් යටතේ පවතින ප‍්‍රදේශයට යැවූ පලමු ආධාර තොගය මෙය විය. අරමුනු පිලිබඳ ආස්ථානයකින්, තමන් අනුමැතිය දුන් ආධාර රිය පෙලට බෝම්බ දැමීමට ඩැමස්කසය තීරනය කලේ මන් ද යන්න අපැහැදිලිය. එය ප‍්‍රදේශය කරා ගමන් ගැනීම වැලැක්වීමට ආන්ඩුව සතුව නොයෙකුත් ක‍්‍රම තිබුනි.

අල් නුස්රාවේ පාර්ශවයෙන් ඔවුන්, ආන්ඩුවේ පාලනය යටතේ පවතින ප‍්‍රදේශ හරහා එන ඕනෑම ආධාර රිය පෙලක් වලක්වන බවට දිව්රුම්දී තිබුනි. ඔවුන් මේ තත්වය නිවේදනය කිරීම පිනිස ඇලෙප්පෝ නරයේ පෙලපාලි සංවිධානය කර තිබුනි.

රුසියාව හා/හෝ සිරියානු ආන්ඩුව ආධාර සැපයුමට බෝම්බ දැමූ බවට වොෂින්ටනය හා එහි සහචරයින් එල්ල කල චෝදනාවන්ට විරුද්ධව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය දිගින් දිගටම මැදිහත් විය. එහි ප‍්‍රකාශක මේජර් ජෙනරාල් ඊගෝර් කොනෂෙන්කෝව් පැවසුවේ, ප‍්‍රහාරයට ලක්වූ රිය පෙල දැක්වෙන වීඩියෝ පට විමසා බැලීමේදී, ගුවන් ප‍්‍රහාර එල්ලවූ බවට කිසිදු සාක්ෂියක් දැක්වෙන ට‍්‍රක් රථ හෝ බෝම්බ වැටුනු බව සලකුනු වන තැන් නොපෙන්වන බවයි. එසේම ඔහු සඳහන් කලේ, ට‍්‍රක්රථ වලට පහර දීම, ඇලෙප්පෝ අසල අල් නුස්රාව ගෙන ගිය ප‍්‍රධාන මෙහෙයුමක් සමග සම්පාතව සිදුවූ බවය.

උරාන් අල් කුබ්රා යන ඇලෙප්පෝ නගරයක් කරා රිය පෙල ලඟාවන විට විශාල ප‍්‍රමානයේ මෝටාර් විදිනයක් ඇදගෙන යන “කැරලිකරුවන්ගේ” ට‍්‍රක් රථයක් දැක්වෙන වීඩියෝ පටයක් ද රුසියානු අමාත්‍යාංශය විසින් ප‍්‍රදර්ශනය කෙරුනි. ජෙනරාල් කොනෂෙන්කෝව් සඳහන් කලේ, මෝටාර් යලි ස්ථානගත කිරීම පිනිස ට‍්‍රක් රථය රිය පෙල ආවරනයක් ලෙස යොදාගත් බව පෙනෙන්නට තිබුනු බවයි.

“වඩාත් වැදගත් කාරනය නම්, රිය පෙලේ ගමනාන්තය ආසන්න වන විට මෝටාර් විදිනය අතුරුදහන් වූයේ කොහාට ද හා එය නතරකර බඩු තොග බාන කාලය තුල එහි පහරදීමේ ඉලක්කය වූයේ කුමක් ද?” යන්නයි.

ඒ අතර ඇමරිකාව මෙන්ම එය ගුවන් ප‍්‍රහාරයක් ලෙස විස්තර කරමින් එක්සත් ජාතීන් සඳුදා නිකුත් කල නිවේදනය වෙනස් කලේය.

මොස්කෝව නිකුත් කරන ලද සාක්ෂි වලට ප‍්‍රතිචාර වශයෙන් එජා, “ගුවන් ප‍්‍රහාර” යන්න වෙනුවට පොදුවේ “ප‍්‍රහාර” යන්න යොදාගත්තේය.

එජා මානව හිමිකම් පිලිබඳ ප‍්‍රකාශිකා ජෙන්ස් ලාකි පැවසුවේ මුල් සඳහන වැරැද්දක් බවය. “මේවා සැබවින්ම ගුවන් ප‍්‍රහාර ද යන්න තීරනය කිරීමට තරම් තත්වයක අපි නොසිටින්නෙමු. අපට කිවහැක්කේ රියපෙලට පහරදී ඇති බව පමනි.”

පහර දුන්නේ කවුරුන් වුවත්, ඇමරිකාව හා එහි සහචරයින්, තම ප‍්‍රචාරක ව්‍යාපාරය පුලුල් කරමින් රුසියාව සමග මිලිටරි ගැටුම සූදානම් කිරීම පිනිස එය ගසා කමින් සිටින බව පැහැදිලිය. එසේම වොෂින්ටනය, දෙදිනකට පෙර ඇමරිකානු හා එහි සහචරයින්ගේ ප‍්‍රහාරක යානා සිරියානු හමුදා මධ්‍යස්ථානයකට පහර දීමේ සිද්ධිය පිලිබඳ කුමන හෝ සාකච්ඡාවක් යට ගැසීම පිනිස ද එය යොදාගනියි. හමුදාව අයිසිස් මිලිෂියාවන්ට එරෙහිව සටන් වදිමින් සිටි අතර, ප‍්‍රහාරය මතු කෙරෙන්නේ ඇමරිකාව හිතාමතාම ඉස්ලාමීය හමුදාවන්ට ආධාර කරන්නේ ද යන ප‍්‍රශ්නයයි.

සිද්ධිය පිලිබඳව මැරීන් ජෙනරාල් ජෝසෆ් ඩන්ෆෝඩ්ගේ ප‍්‍රකාශය කුතුහලය දනවයි. ඔහු ඇමරිකාවේ ඒකාබද්ධ මාන්ඩලික ප‍්‍රධානියා ය. සඳුදා ඔහු මාධ්‍යවේදීන්ට පැවසුවේ, ඇමරිකාවේ ගුවන් ප‍්‍රහාර හා ඒවායේ ඉලක්ක කිරීම්වල නිරවද්‍යතාව පිලිබඳව විනිශ්චය කිරීමට තදියමක් නැත යනුවෙනි.

”‘වැරදුනේ කුමක්දැයි’ සෙවීම සඳහා යාමට පෙර සමහරවිට, යමක් වැරදී ගියේදැයි සහතික ලෙස දැනගැනීමට පරීක්ෂනයක් පවත්වන්නෙමු. පරීක්ෂනයක් පැවැත්වූ විට සාධක ඔබට පවසනු ඇත්තේ, අප යලිත් කර ඇත්තේ, අප කරනු ලැබූ දේම” යයි ඔහු පැවසුවේය.

Share this article: