ශ‍්‍රී ලංකා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත වැට් බදු ඉහල නංවයි

Sri Lanka government raises VAT following IMF demands

සමන් ගුනදාස විසිනි, 2016 සැප්තැම්බර් 26

පුලුල්ව පැතිරුන විරුද්ධත්වය නිසා හකුලා ගැනුන එකතු කල අගය මත බද්ද (වැට්) යලි පැනවීමේ පනත සැප්තැම්බර් 13 දා කැබිනට්ටුව විසින් අනුමත කරන ලදී. පනත ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සියයට 11 සිට සියයට 15 දක්වා සියයට 4 ක වැඩිවීම විවිධ පාරිභෝගික භාන්ඩ හා සේවාවන්ට තදින් බලපානු ඇත. කම්කරු පීඩිත ජනතාවගේ හා පහල මධ්‍යම පන්තියේ කොටස් වල ජීවන තත්වයන්ට එය දරුනු ලෙස බලපානු ඇත.

ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (ජාමූඅ) දී ඇති නොයෙකුත් පොරොන්දුවල ප‍්‍රගතිය මැන බැලීමට පැමිනි දූත කන්ඩායම සති දෙකක් තිස්සේ කල විමසුමෙන් පසුව මෙම කැබිනට් තීරනය ගනු ලැබ ඇත.

වැට් බද්ද සියයට 15 දක්වා ඉහල නොදැමුවහොත් මෙරටට දුන් නය මුදලේ දෙවන අදියර නිදහස් කිරීම සඳහා ජාමූඅ විධායක කමිටුවට නිර්දේශ කිරීමට තමනට ‘මනා හෘදය සාක්ෂියක්’ නොමැති බව ජාමූඅ කන්ඩායම් ප‍්‍රධානී ජේවූ ලී මාධ්‍යයට පැවසීය.

ගෙවුම් ශේෂ හා මූල්‍ය අර්බුදයක් මග හරවා ගැනීමට ජූනි මාසයේදී ජාමූඅ ශ‍්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5 ක නය මුදලක් අනුමත කලේය. එක්සත් ජනපද ගැති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව වෙත නය මුදල පිරිනැමුනේ අයවැය හිඟය සීඝ‍්‍ර ලෙස අඩු කිරීම, වැට් බද්ද ඉහල දැමීම හා රාජ්‍ය ආයතන පුද්ගලීකරනය ඇතුලු බොහෝ “ආර්ථික ප‍්‍රතිසංස්කරන” ක‍්‍රියාවට නංවන කොන්දේසි යටතේය.

කෙසේවුවද, කම්කරුවන් හා සුලු වෙලෙන්ඳුන්ගෙන් පලවන වෛරය හා විරෝධතා මධ්‍ය යේ අගෝස්තුවේදී වැට් බදු ඉහල දැමීම තාවකාලිකව ඉවත් කර ගැනුනි. බදු ඉහල දැමීමේ ගැසට් පත‍්‍රිකාවේ පරිපාටිමය වැරැද්දක් ඇතැයි සුප‍්‍රීම් උසාවිය ජූලි මාසයේදී දුන් නියෝගය නීතිමය ආවරනයක් සේ යොදා ගනිමින් ආන්ඩුව වැට් ඉහල දැමීමේ ක්ෂනික ක‍්‍රියාවලිය අත්හිටවූයේය.

“රටෙහි මූල්‍ය තත්වය ඉතා දරුනු තත්වයක පවතින නිසා, වැට් බදු ඉහල දැමීමට රජයට ඊලඟ අයවැය තෙක් (නොවැම්බරයේ මැද) සිටීමට හැකියාවක් නැතැ”යි ජාමූඅ විමර්ශන කන්ඩායමේ නිවේදනයත් සමගම සෞඛ්‍ය ඇමති හා කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න මාධ්‍යයට පැවසීය.

සුලු වෙලෙඳුන් අස්වැසීමේ උත්සාහයක් ලෙස, සිල්ලර වෙලෙඳාම සඳහා වැට් බදු සීමාව වසරකට රුපියල් මිලියන 15 සිට (එජ ඩො 103,000) රුපියල් මිලියන 50 දක්වා වැඩි කිරීම් වැනි සුලු වෙනස්කම් පනතෙහි අඩංගු වේ. කෙසේ වුවද ඉහතදී මුදා හැර තිබූ සෞඛ්‍ය, විදුලි සංදේශ හා කිරි පිටි ඇතුලු ප‍්‍රධාන ආහාර වර්ග ද අත්‍යවශ්‍ය සේවා හා භාන්ඩ මත ද දැන් වැට් බද්ද පනවනු ඇත.

වැට් බද්ද සමඟ විදුලි සංදේශ සේවා මත මුලු බද්ද සියයට 50 ක් වනු ඇති අතර පුද්ගලික රෝහල් වල වෛද්‍ය උපදේශන හා ශල්‍යකර්ම ගාස්තු සීඝ‍්‍ර ලෙස ඉහල යනු ඇත. අඩු වියදම් නිවාස ව්‍යාපෘති මත වැට් නිදහස් කිරීම් ඉවත් කෙරෙන අතර ඩො. මිලියන 5 ට අඩු නිවාස ව්‍යාපෘතිවලට දැන් වැට් අදාල වනු ඇත.

ඉහල වැට් අයකිරීම් වලට අමතරව, ආන්ඩුව අත්‍යවශ්‍ය ආහාර මත විශේෂ වෙලඳ භාන්ඩ බද්ද වැඩි කරමින් සිටී. උදාහරනයක් ලෙස, සීනි මත යෙදූ බද්ද කිලෝවකට රුපියල් 2 කින් පමන ඉහල දමා තිබේ. අපනයනය සඳහා නිපදවන නිමි ඇඳුම් රටතුල අලෙවියේදී රුපියල් 75 ක බද්දක් අය කරනු ඇත.

ගිය වසරේ දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 6.7 ක් වූ අයවැය හිඟය මේ වසරේදී සියයට 5.4 දක්වා අඩු කරන්නට ඉලක්ක කොට ඇති බවට මුදල් ඇමති රවි කරුනානායක ජාමූඅ කන්ඩායමට යලි පොරොන්දු විය. ලබන වසරේදී අයවැය හිඟය සියයට 4.7 දක්වා කපා හරින බවත් 2020 වන විට ජාමූඅ ඉලක්කය වන 3.5 ට ලඟා වනු ඇති බවත් ඔහු පැවසීය.

ශ‍්‍රී ලන්කන් ජාතික ගුවන් සේවය හා හිල්ටන් හෝටලය, ග්රෑන්ඩ් හයත් හෝටලය හා ලංකා හොස්පිටල් වැනි රජය සතු ආයතන විකුනා දැමීමට ආන්ඩුව දැනටමත් කටයුතු කරමින් සිටී. රාජ්‍ය අංශයට දෙන වියදම් කප්පාදු කල යුතු බවට වන ජාමූඅ නියෝග අනුව යමින් විදුලි බල හා ජල ගාස්තු ඉහල නැංවෙනු ඇත.

පවතින ගෝලීය ආර්ථික පසුබෑමෙන් පහර වැදුන ආර්ථිකයේ ගැටලු, අපනයනය පහල යාමෙන් හා විදේශ ආයෝජන වැටීමෙන් උත්සන්න වී ඇත.

* ගිය වසරට වඩා සියයට 2.2 කින් ඉහල යමින්, මේ වසරේ පලමු අර්ධයේදී වෙලඳ හිඟය ඩොලර් බිලියන 4.2 ක් වූ අතර එය වසර අවසානයේදී ඩො. බිලියන 8.5 කට ලඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

* වසරේ පලමු අර්ධයේදී, ගිය වසරට වඩා සියයට 52.5 ක දැවැන්ත වැටීමක් සනිටුහන් කරමින් විදේශ ආයෝජන ඩො. මිලියන 164.5 කට අඩු විය.

* වසරේ පලමු අර්ධයේදී අපනයන ආදායම් ගිය වසරට වඩා සියයට 5.8 කින් පහල ගියේය.

ආර්ථිකය මුහුන දී සිටින අනතුරුදායක තත්වය ගැන පැවැත්වූ මාධ්‍ය දැනුවත් කිරීමකදී, රටේ විශාලතම වෙලඳපොල වලින් එකක් වන යුරෝපා සංගම් රටවල් තවමත් පසුබෑමක ගිලී සිටින බව කොලඹ සරසවියේ ආර්ථික විශේෂඥයෙකු වන සිරිමල් අබේරත්න සඳහන් කලේය. “එක්සත් ජනපද ෆෙඩරල් බැංකුව තම පොලී අනුපාත ඉහල දැමුව හොත්, ගෝලීය ආර්ථිකය භයානක පීඩනයකට මුහුන දෙනු ඇත. නයගැනීමේ වියදම සැලකිය යුතු අන්දමින් ඉහල යන බැවින් ශ‍්‍රී ලංකාවට එය බලපානු ඇතැ”යි ඔහු අනතුරු ඇඟවීය.

මංමුලාසහගත ලෙස විදේශ ආයෝජන අපේක්ෂා කරමින්, රාජ්‍ය ආයතන ගනනාවක් කොලඹ කොටස් වෙලඳ පොලෙහි ලැයිස්තු ගත කර ආන්ඩුව ඒවායේ අයිතිය අලෙවි කරමින් සිටී. “කොලඹ කොටස් වෙලඳපොල හරහා ආන්ඩුව රාජ්‍ය ආයතනවල අයිතිය කොටස් වශයෙන් ඉවත් කර ගැනීම මගින් එම ආයතන ස්වයංක්‍රීයව ලැයිස්තු ගත සමාගම් බවට පත් වෙතැ”යි කොටස් වෙලඳපොලෙහි සභාපති වජිර කුලතිලක කොලඹ මාධ්‍යයට පැවසීය.

රටෙහි ගෙවුම් ශේෂ හිඟය ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ගේ , විශේෂිතවම මැද පෙරදිග, ප‍්‍රේෂනයන් මත දැවැන්තව රැඳී තිබේ. “මෙම ප‍්‍රේෂනයන් නොමැති වුවහොත් රටෙහි බාහිර මූල්‍යමය තත්වය ව්‍යසනයක් බවට පත් වෙනු ඇතැ”යි සන්ඩේ ටයිම්ස් හි ආර්ථික විශේෂඥ නිමල් සඳරත්න මෑතක දී පැවසුවේය.

සත්‍ය වශයෙන්ම, ප‍්‍රේෂනයන් සියයට 60 කට ආසන්න ප‍්‍රමානයක් මැද පෙරදිග රටවලින් ලැබෙන අතර මේ වසරේ මුල් අර්ධයේදී ඒවායේ අගය ඩො. බිලියන 3.6 ක් එනම්, අපනයන ආදායමෙන් සියයට 70 ක් දක්වා වැඩි විය. කෙසේ වුව ද ප‍්‍රේෂනයන්ගේ වැඩිවීමේ අනුපාතය, සියයට 10 ක් වූ පසුගිය වසරවලට සාපේක්ෂව එය මේ වසරේ සියයට 5.6 තෙක් වැටී ඇත.

අස්ථාවර තෙල් මිල, සිරියාවේ උත්සන්න කෙරුනු යුද්ධය, ලිබියාවේ හා ඉරාකයේ දිග් ගැසුනු අර්බුද, මැද පෙරදිගින් ලැබෙන ප‍්‍රේෂනයන් මත රැඳෙන දුප්පත් රටවලට බරපතල ප‍්‍රති විපාක අත්කර දෙමින් තිබේ.

දැනටමත් ගරා වැටෙන ජීවන තත්වයන් මත පැනවෙන, නව වැට් හා අනෙකුත් බදු ඉහල දැමීම් හමුවේ, කම්කරු පීඩිත ජනතාවගේ අරගල පුපුරා යෑමේ වේදිකාව නිර්මානය වෙමින් තිබේ.

මාස ගනනාවක සිට වැටුප් වැඩිකිරීම් ඉල්ලමින් හෝ අත්‍යවශ්‍ය භාන්ඩවල සහනාධාර කපාහැරීම් වලට එරෙහිව හා රාජ්‍ය ආයතන පුද්ගලීකරනය සහ නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව, කම්කරුවන්ගේ, ගොවීන්ගේ හා ශිෂ්‍යයන්ගේ පෙලපාලි හෝ විරෝධතා නොතිබුනු එක් දිනයක් හෝ දක්නට නොලැබුනි.

Share this article: