සිරියාවට බෝම්බ දැමීම: ගෝලීය ආධිපත්‍ය සඳහා වන එක්සත් ජනපද තල්ලුවේ නව පරිච්ඡේදයක්

The bombing of Syria: A new chapter in the US drive for global hegemony

2017 අප්‍රේල් 7

සිරියාවට කෘෘස් මිසයිල ප‍්‍රහාර එල්ල කිරීමත් සමග එක්සත් ජනපදය, විසිපස් වසරකට පෙර ඉරාකය ආක‍්‍රමනය කිරීමත් සමග ඇරඹූ ලෝක ආධිපත්‍යය සඳහා වන යුද්ධයේ නව කාල පරිච්ඡේදයක් විවෘත කර ඇත.

මෙම ප‍්‍රහාරය සිරියානු ආන්ඩුව විෂ වායුව යොදා ගැනීමට එරෙහි ප‍්‍රතිචාරයකැ යි කරන ප‍්‍රකාශ විනිවිද පෙනෙන බොරුවකි. 1999 සර්බියාවට එරෙහි ගුවන් ප‍්‍රහාර, 2001 ඇෆ්ගනිස්තානය හා 2003 ඉරාක ආක‍්‍රමනය ද 2011 ලිබියාවට එරෙහි ප‍්‍රහාරයේ දී මෙන් ම එක්සත් ජනපදය තවත් රටක ස්වාධිපත්‍යය උල්ලංඝනය කිරීමට, නැවත වතාවක් කඩතුරාවක් ප‍්‍රබන්ධ කර ඇත.

සිරියාවට බෝම්බ දැමීම, එක්සත් ජනපදය විසින් 2013 දී රුසියාව සමග ඇති කර ගැනුනු ගිවිසුම ඒකපාර්ශ්වීය ලෙස අවලංගු කිරීමකි. එකී ගිවිසුමේ ප‍්‍රතිඵල වශයෙන්, සිදුවන සිවිල් යුද්ධයේදී දිගු කලක් තිස්සේ එක්සත් ජනපදය සැලැසුම් කරන ලද සෘජු මිලිටරි මැදිහත්වීම් අත්හැර දැමීම සිදු විය.

2013 සැප්තැම්බරයේ දී හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අනතුරු ඇඟ වූ පරිදි, “යුද්ධය කල් දැමීම, ප‍්‍රධාන යුද්ධයක් පිපිරීමේ ශඛ්‍යතාව, සැබවින්ම අනිවාර්යතාව, අඩු නො කර යි. වොෂින්ටනයෙන් නිකුත්වන යුදවාදී ප‍්‍රකාශන තුලින් පැහැදිලි කරන්නේ, ‘මිලිටරි විකල්පය’ න්‍යායපත‍්‍රයට ඇතුලත්ව තිබෙන බවයි. සිරියාව මිලිටරි ප‍්‍රහාරයේ එක ම ඉලක්කය ද නො වේ. සිරියාවට එරෙහි එක්සත් ජනපද මෙහෙයුම්, ඉරානය සමග ගැටුමකට වේදිකාව සකසනු ඇත. එසේම තව දුරටත්, ගෝලීය ආධිපත්‍යය සඳහා වන එක්සත් ජනපද තල්ලුවේ තර්කය, රුසියාව හා චීනය සමග ගැටුමකට තුඩු දෙනු ඇත. ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් අතර ―උදාහරනයක් ලෙස එක්සත් ජනපදය හා ජර්මනිය අතර― උත්සුකයන්ගේ ගැටුම ඇතැම් කොන්දේසි යටතේ අවි ගැටුමකට පරිවර්තනය විය හැක.”(1)

මෙම අනතුරු ඇඟවීම සනාථවී තිබේ.

තව ද මෙම ප‍්‍රහාර, පසු ගිය නොවැම්බරයේ පැවැත්වූ ජනාධිපතිවරනයේ සිට ඇමරිකානු ආන්ඩුවේ ප‍්‍රමුඛයන් අතර විදේශ ප‍්‍රතිපත්තිය මුල්කරගෙන ඇතිවී තිබෙන කටුක ගැටුම් පිලිබඳව අඩු වසයෙන් යම් විසඳුමක් පෙන්ව යි. පෙන්ටගනය හා ඔත්තුසේවා ඒජන්සිවල බලගතු කන්ඩායම්වල සහයෝගය ඇති ව, සිරියාවට එරෙහි යුද්ධය හා රුසියාව සමග උත්සන්න කෙරුනු ගැටුමක් සඳහා වන ඩිමොක‍්‍රටික් පක්ෂයේ ඉල්ලීම බලවත් වී ඇත. යන්තම් දින කීපයකට පෙර ආන්ඩුව ප‍්‍රසිද්ධියේ නිවේදනය කර තිබූ ප‍්‍රතිපත්තිය, විශ්මයජනක ලෙස කනපිට පෙරලීමට ධවල මන්දිරයට බල කෙරී ඇත .

මෙම වර්ධනයන් සම්බන්ධ ඉතා අභව්‍ය දෙය වන්නේ, ඒවා සිද්ධ වෙමින් ඇති වේගය යි. සිරියාවට එරෙහිව කෘෘස් මිසයිල එල්ල කරන්නේ, බොහෝ කොටම අල්කයිඩාවේ සිරියානු කන්ඩායම යටතේ පාලනය කෙරෙන, සිරියාවේ වයඹදිග ඉඩ්ලිබ් පලාතේ සිද්ධිය පිලිබඳ පලමු වාර්තාව ලැබී යන්තම් පැය 48ට පසු ය. චෝදනා කෙරෙන පරිදි එම සිදුවීමේ දී, විෂ වායුව මගින් 70දෙනෙක් පමන මරුමුවට පත්ව තිබේ.

ඇත්ත වසයෙන් ම සිද්ධිය ආරංචිවී මිනිත්තු කීපයක් ඇතුලත එක්සත් ජනපදයේ ව්‍යාපාරික මාධ්‍ය, ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ ආන්ඩුව වරදකරු කරන වාර්තා වලින් පිරී ගියේය. නිව් යෝක් ටයම්ස් හා අනෙකුත් ප‍්‍රධාන පත‍්‍රවල කතුවැකි ද රූපවාහිනියේ සාකච්ඡා වැඩසටහන් මෙහෙයවන්නන් ද එකම පිටපතකට අනුව වැඩ කරමින්, සදාචාරමය කෝපය නැංවූ අතර වොෂින්ටනය ඊට දඬුවම් කල යුතු යයි හඬ තැලීය. සෑම දෙයක් ම පෙන්වා දෙන්නේ, ප‍්‍රවේසම් සහගතව මෙහෙය වූ යුද ප‍්‍රචාරක අභ්‍යාසයක් දියත් කිරීම සඳහා මාධ්‍ය කල් තියාම දැනුවත් කර ඇති බව යි.

බදාදා ධවල මන්දිර මාධ්‍ය සමුලුවක දී ට‍්‍රම්ප් මෙම මාධ්‍ය කතන්දරය දෝංකාර නැංවූයේ, “අසාද් තන්ත‍්‍රයේ සාහාසික ක්‍රියා ඉවසිය නො හැකි බව” ප‍්‍රකාශ කරමිනි. ඔහුගේ එක්සත් ජාතීන්ගේ තානාපති නිකී හලේ, එක්සත් ජනපදයේ ඒකපාර්ශ්වීය මිලිටරි ප‍්‍රහාරයක් පිලිබඳ විවෘත තර්ජනයක් නිකුත් කලේ ය. බ‍්‍රස්පතින්දා රාත්‍රියේ සිය මාර්(අ) ලාගෝ නිවාඩු නිකේතනයේ සිට ට‍්‍රම්ප් නිකුත් කල ප‍්‍රකාශනයක මෙම ආස්ථානය පුනරුච්චාරනය කෙරුනි.

කිසියම් හෝ රසායනික ප‍්‍රහාරයක් සඳහා වගකීම සිරියානු ආන්ඩුව විසින් නො පිලිගැනීම ධවල මන්දිරය හා මාධ්‍ය විසින් වහා ම ප‍්‍රතික්ෂේප කරන ලදී. ඒ, වාර්තාවී ඇති ආකාරයට සිරියාවේ අල්කයිඩා හමුදා, තමන්ම සිදු කල රසායනික අවි ප‍්‍රහාර වල වගකීම ආන්ඩුව වෙත පවරමින් ඒ ගැන ආන්ඩුවට දෝෂාරෝපනය කරන ආකාරයට ම ය.

චූදිත රසායනික අවි ප‍්‍රහාරය සඳහා කවුරු වග කිව යුතු දැ යි යන නඩුව “විසඳන” ලද්දේ, නිව් යෝක් පොලිස් දෙපාර්තමේන්තුව වීදි සොරකමක් පරීක්ෂා කිරීමට කැපකරන කාලයකටත් වඩා අඩු කාලයකිනි. තීරනය දැනටමත් ගෙන අවසන් ය, දඬුවම ක්‍රියාත්මක කෙරෙමින් තිබේ.

යමෙකුට මෙම වේගවත් වෝහාරික හඹා යාම සමාන කල හැක්කේ, එක්සත් ජනපද මිලිටරිය ඇෆ්ගනිස්තානය, ඉරාකය හා යේමනයේ සිවිල් වැසියන් සිය ගනනක් ඝාතනය කරමින් ගුවන් ප‍්‍රහාර සිදු කල අවස්ථාවේ දී යොදා ගත් ක‍්‍රමවේදයන්ට පමනී. පෙන්ටගනය පුරුද්දක් ලෙස අවධාරනය කරන්නේ සිවිල් අනතුරු සම්බන්ධයෙන් විශ්වාස කල හැකි කිසිදු සාක්ෂියක් නොමැති බව යි. විමර්ශනයක් මග හැරිය නො හැකි යැයි සැලැකෙන අවස්ථාවල දී, සංහාරය ප‍්‍රතික්ෂේප කරමින් හෝ සැබෑ මරන සංඛ්‍යාවෙන් ඇබිත්තත් සඳහන් කරමින් හෝ වාර්තාවක් නිකුත් කිරීමට පෙර බලධාරීන් සාමාන්‍යයෙන් සති ගනනක් ඒ සඳහා ගත කරයි.

චුදිත රසායනික අවි ප‍්‍රහාරය සිදු වූ තැන සිට යන්තම් සැතපුම් 200කට ඈත, ඉරාකයේ මොසුල් නගරය තුල එක්සත් ජනපදය ඉරාක පිරිමි, ගැහනු හා ලමුන් සිය ගනනක් සංහාරය කර ඇති අතර බෝම්බ හා මිසයිල වලින් පවුල් පිටින් ම වලලා දමා නාගරික ප‍්‍රදේශ සම්පූර්නයෙන් විනාස කර ඇත. එක්සත් ජනපදයේ ව්‍යාපාරික මාධ්‍ය මෙම ප‍්‍රහාරය ඉක්බිත්තේ මිනිසුන්ගේ දැවුනු, මියගිය හා විසුරුනු ශරීර කොටස්වල රූපරාමු විසුරුවා හරින්නේ නැති බව කීමට අවශ්‍ය නැත. සිරියාවේ චුදිත ගෑස් ප‍්‍රහාරය ගැන කිඹුල් කඳුලු හෙලන ඇත්තන් කිසිවෙකුත්, ඇමරිකානු මිලිටරිය මරා දමන අය වෙනුවෙන් සාදාචාරාත්මක කෝපයේ අංශුමාත‍්‍රයක් වත් පල කිරීමට සමත් වී නැත.

සිරියාව තුල සිදුවීම දීර්ග කාලයක් තිස්සේ සැලැසුම් කරන ලද එක්සත් ජනපද මිලිටිරි මැදිහත්වීමක් දියත් කිරීම සඳහා ගොතන ලද කඩතුරාවකි. ඉඩ්ලිබ්වල කුමක් සිදුවී ද යන්න සම්බන්ධ කාරනයට ලඟාවනු පිනිස විමර්ශනය කල යුතු පලමු ස්ථානය වන්නේ, සිරියාව තුල නීච මෙහෙයුම් හා අල්කයිඩාව වටා සංවිධානය වුනු එක්සත් ජනපද ගැත්තර හමුදාවන් සමග සම්බන්ධීකරනය සඳහා වග කිව යුතු සීඅයිඒ කන්ඩායම යි.

අප මීට පෙර බොහෝ අවස්ථාවල මෙම කරුන ගැන කාලය ගත කර ඇති අතර නිල කතාන්දරය ප‍්‍රතික්ෂේප කිරීමට කාලය විනාස කිරීම කිසිසේත් නොවටී. මිලියනයකට වඩා පුද්ගලයන් බිලි ගෙන ඇති අතර මිලියන ගනනාවක් සරනාගතයන් බවට හරවා ඇති දැවන්ත සංහාරයක ගමන සකසමින්, ජන ඝාතක අවි පිලිබඳ එවානි ම බොරු මත එක්සත් ජනපදය ඉරාකයේ තම ආක‍්‍රමන දියත් කර දැනට වසර 14කි. ලිබියාව තුල තන්ත‍්‍ර වෙනස සඳහා වූ එක්සත් ජනපද -නේටෝ යුද්ධය වෙනුවෙන් කඩතුරාවක් සැපයීමට 2011දී ඒ ආකාරයේ ම බොරු දෙසන ලදී.

මෙම කුප‍්‍රකට පූර්වාදර්ශ ගැන මාධ්‍ය වචනයක් හෝ කතා නො කර යි. මෙම නව එක්සත් ජනපද යුද්ධය ගෙන යමින් සිටින්නේ, අල්කයිඩාව සමග හවුලේ බවට ඇඟවුම් තිබිය දී පවා ඒක කාරනයක් නො වේ. ඉරාක යුද්ධය අතරතුර “කා වැදීගත්” (“embedded”) මාධ්‍යවේදයේ දවස් දැන් පෙනෙන්නේ මුලුමනින් ම විකාර ලෙස ය. ස්වාධීන මාධ්‍යවේදය පිලිබඳ මවා පෑමේ හාංකවිසියක්වත් වත් මාධ්‍යවල දැන් ඇත්තේ නැත.

ඇමරිකාවේ පාලක කතිපයාධිකාරය මැද පෙරදිග පුරා තම ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීමට මිලිටරි ආක‍්‍රමනයක තවත් උද්ඝෝෂනයකට බැසගෙන සිටින අතර තම කලාපීය හා ගෝලීය තරඟකරුවන්ට, විශේෂයෙන් ම ඉරානය හා රුසියාවට, එරෙහි පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටිති.

ඉරාක ආක‍්‍රමනය මෙන් ම, සිරියාවට එරෙහි මැදිහත්වීම ද යුද අපරාධයකි. එක්සත් ජනපදය මැදිහත් වෙමින් සිටින්නේ, අසාද් ආන්ඩුව පෙරලා දැමීම හා තමන්ට ගැති රූකඩ ආන්ඩුවක් ඇටවීමේ අරමුන ඇතිව, ඔවුන් විසින් ම පෙලඹ වූ, සන්නද්ධ කල, මුදල් යෙදූ, සිවිල් යුද්ධයකට ය. ආසන්න වසයෙන් ජීවිත මිලියන භාගයක් බිලි ගැනීමෙන් හා සිරියානුවන් මිලියන පහක් සරනාගතයන් බවට හැරවීරෙමන් පසු, ඉස්ලාමීය කුලී හමුදා මගින් මෙම අරමුන ජයගැනීමේ උත්සාහය අසාර්ථක වී ඇත. මෙම අසාර්ථකත්වය, රුසියානු හා ඉරාන පිටුබලය නිසා පමනක් නොව සිදුව ඇත්තේ, අල් කයිඩාවට සම්බන්ධ එක්සත් ජනපද කුලී කන්ඩායම් සම්බන්ධයෙන් සිරියානුවන් බහුතරයේ බිය හා වෛරය ද නිසාවෙනි.

ට‍්‍රම්ප් පාලනාධිකාරියේ පිලිවෙතෙහි හදිසි වෙනස, එක්සත් ජනපද ධනේශ්වර පාලක පන්තිය තුලින් යුද්ධය සඳහා යෙදෙන දැඩි පීඩනය නිසා ගැනුනු පියවරකි. සිරියාවේ අසාද් තන්ත‍්‍රය පිලිගත යුතුව ඇති යතාර්ථයකැ යි පාලනාධිකාරියේ නිලධාරීන් කියමින් සිටියේ, චෝදනා කෙරෙන ඉඩ්ලිබ් සිද්ධියට දින කීපයකට පමනක් ඉහත දී ය. සිරියාව මත ඔබාමා පාලනාධිකාරයේ ප‍්‍රතිපත්ති සමග නොඑකඟත්වයන් හමුවේ ට‍්‍රම්ප් නො නවත්වා හඬනැඟුවේ, සිරියාව තුල එක්සත් ජනපදයේ එකම අරමුන විය යුත්තේ අයිඑස්අයිඑස් (සංවිධානය) සමග සටන් වැදීම යයි අවධාරනය කරමිනි.

ඩිමොක‍්‍රටිකයන් මෙන් ම ඔවුන් හා පෙලගැසුනු නිව් යෝක් ටයිම්ස් වැනි මාධ්‍ය විසින් කටුක ලෙස ට‍්‍රම්ප් හෙලාදැක්කේ, සිරියානු ආන්ඩුව හා, ඊටත් වඩා තීරනාත්මක ලෙස, එහි ප‍්‍රධාන මිතුරා වන රුසියාව පිලිබඳව දැකගත් ඔහුගේ මෘදු බව සම්බන්ධයෙනි.

ට‍්‍රම්ප්ගේ ජනාධිපතිවරන තරඟකාරිය වූ හිලරි ක්ලින්ටන් නොවැම්බරයේ දී ජය ගත්තා නම්, ඇගේ පත්වීමෙන් දවස් කීපයක් ඇතුලත එක්සත් ජනපද බෝම්බ හා මිසයිල සිරියානු ඉලක්කයන්ට පහර දෙනු ඇති බව පැහදිලිව ම සිතා ගත හැක. මොස්කෝව සමග ඇතැයි කියන සම්බන්ධකම් නිසා ඔහු හෙලාදැකීමේ දී, වොල් වීදියේ මෙන් ම එක්සත් ජනපද මිලිටිරිය හා ඔත්තුසේවා සංවිධානවල දේශපාලනික උපකරනය වන ඩිමොක‍්‍රටික් පක්ෂයේ කෝපය යටින් පැවතුනේ, ට‍්‍රම්ප් එවැනි ක්‍රියාමාර්ගයකට එලඹීම ප‍්‍රමාද කිරීම යි.

දැන් ට‍්‍රම්ප් අවශ්‍ය තැනට ගෙනවිත් ඇත. ප‍්‍රතිපත්තිවල වෙනස, ධවල මන්දිර කාර්යමන්ඩලය සොලවා වෙනස් කිරීම සමග අත්වැල් බැඳගෙන ඇත. මිලිටරිය විසින් වඩ වඩා බලය තහවුරු කර ගැනීමේ තතු තුල ස්ටීවන් බෙනන්, ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් ඉවත් කෙරී ඇත.

සැබවින් ම මෙය කලින් කීමට හැකිව තිබූ වෙනසකි. ට‍්‍රම්ප් ඔහුගේ පාලනාධිකාරියේ ඉහල තනතුරු සඳහා එක් ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරියෙකතුට පසු තවත් එකෙකු බැගින් පත් කිරීම මධ්‍ය යේ ගෙවී ගිය දෙසම්බර් මාසයේ දී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැවසූ පරිදි: “ට‍්‍රම්ප් හිටපු ජනරාල්වරුන් තෝරා ගන්නා තරමට, එම ජනරාල්වරුන් විසින් ම ඔහුගේ පාලනාධිකාරිය තෝරා ගැනීමට ඉඩ ඇති අතර, අවසානයේ දී ඔවුන්ට ප‍්‍රතිපත්ති නියෝග පැනවීමට හැකි වනු ඇත.”

ඒ පැත්තෙන් ගත් විට රුසියානු විදේශ ප‍්‍රතිපත්තිය මහත් වියවුලකට පත්ව ඇත. ව්ලැඩිමීර් පුටින්ගේ ආන්ඩුවට සම්බන්ධ අයගේ ව්‍යාජ ඉදිරිදර්ශනය හෙලිදරව්වී තිබේ. ඔවුන් නිවට ලෙස විශ්වාස කලේ, ජනාධිපතිවරුන් තුල වෙනසක් වැනි නොවැදගත් යමකට, නව හා පෙර නො වූ විරූ පුලුල් යුද්ධ කරා වන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අනිවාර්ය තල්ලුව වෙනස් කල හැකි බව යි.

සිරියාවට එරෙහි යුද්ධයට මහජන සහයෝගයක් නොමැත. වොෂින්ටනයේ දේශපාලන විපර්යාසය හා නවීකෘත මිලිටරි ආක‍්‍රමනය සඳහා සූදානම්වීම දිග හැරෙන්නේ, ඇමරිකානු මහජනතාවගේ පිටිපස්සෙනි. මහජන මනෝගතියට පාලක සංස්ථාපිතයේ නොසැලකිල්ල පිලිබිඹු වන්නේ, මෙම නව යුද ආක‍්‍රමනය ගැන ජනමත විචාරනයක් පවා නොමැතිකම තුල ය.

කොංග‍්‍රසය හෝ මාධ්‍ය තුල යුද්ධයට එරෙහිව විවේචනාත්මක හඬක් පවා මතු කෙරෙන්නේ නැත. අඩු වසයෙන් විවාදයක් පිලිබඳ රැවටිල්ලක් වත් නොමැත. ඊයේ ට‍්‍රම්ප් හෙලා දුටු ඩිමොක‍්‍රටිකයෝ දැන් ඔවුන්ගේ “ප‍්‍රධාන ආඥාපති” සමග මිලිටරිය සඳහා සහයෝගයේ ද්විපාක්ෂක ප‍්‍රදර්ශනයක් තුල එක් රැස්වෙමින් සිටිති. නිතර ට‍්‍රම්ප් විවේචනයට ලක් කල කොංග‍්‍රස් සභික ඇඩම් ස්ෂිෆ්, (කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ, ඩිමොක‍්‍රටිකයා) “(ට‍්‍රම්ප්) ජෙනරාල් මැටිස් හා ජෙනරාල් මැක්කැස්ටර් මත විශ්වාසය තබන බව දැනගැනීමෙන් වඩා සුවදායි බවක් දැනෙන” බව ප‍්‍රකාශ කිරීම කැපී පෙනේ.

“ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදියෙකු” යයි තමන් ම කියා ගත්තා වූ ද පක්ෂයේ “ප්‍රගතිශීලී” පාර්ශ්වයේ නායකයා බව කියනු ලබන්නාවූ ද හිටපු ඩිමොක‍්‍රටික් ජනාධිපති අපේක්ෂක බර්නී සෑන්ඩර්ස්, යුද සැලැසුම් ගැන කිසිදෙයක් නොකියන්නේ, ඔහු ඒවාට සහාය දෙන බැවිනි.

ඩිමොක‍්‍රටික් පක්ෂයේ ට‍්‍රම්ප් විරෝධය සම්පූර්නයෙන්ම පදනම් වුනේ, මෙම ප‍්‍රශ්න මත ය. ට‍්‍රම්ප් සංක‍්‍රමනිකයන් පස්සේ හඹා යාම, පිටුවහල් කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාර ගැන සියලු කතා, යුද්ධයේ ප‍්‍රශ්නය මත එක්සත්වීමේ උත්සුකය තුල ඉක්මනින් ම නැති වී යනු ඇත.

සිරියාවට එරෙහි ප‍්‍රහාරයෙන් මතු කෙරෙන්නේ වඩා පුලුල් හා විභව ලෙස විනාසකාරී වනු ඇති යුද්ධයක සෘජු තර්ජනය යි. ඇමරිකානු මිසයිල වලින් සිරියානු භූමියේ සිටින රුසියානු හෝ ඉරාන මිලිටරි නිලධාරීන් ඝාතනය වුවහොත්, න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාවේ හා ඉරානයේ ප‍්‍රතිචාර කුමක් වනු ඇත් ද?

ඇමරිකානු පාලක පන්තිය අවදානම ගැනීමට සූදානමින් සිටී. කලෙක අභියෝගයට ලක් නොවුන එහි ලෝක ආර්ථික ආධිපත්‍යයේ දිග්ගැස්සුනු පරිහානියට මුහුන දීමේදී ඔවුන්ට දැන් බල කෙරෙන්නේ, ගෝලීය ආධිපත්‍යය සහතික කර ගැනීමේ මාධ්‍ය ලෙස වඩ වඩා තම මිලිටිරිය මත විශ්වාසය තැබීමට ය. එවැනි ක්‍රියාපිලිවෙතක් නො වැලක්විය හැකි ලෙස පෙන්නුම් කෙරෙන්නේ, මානව වර්ගයාගේ පැවත්මට එල්ල වන තර්ජනය, තම ක්‍රියා පිලිවෙත වෙනස් කිරීමට හේතුවක් නොවන, නව ලෝක යුද්ධයකි.

දෙවැනි ලෝක යුද්ධය ආසන්නයේ ලෝක ධනේශ්වරය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විස්තරය එක්සත් ජනපද කතිපයාධිකාරයේ කටයුතු වලින් මතකයට නංවයි. “දෑස් පියාගෙන ආර්ථික හා මිලිටරි විනාසයක් කරා ලුහුටා යාම” ය.

විධාරනය වී ඇති ගැටුම ටොමහොක් මිසයිල සමග අවසන් නොවනු ඇත. ගෝලීය ආධිපත්‍යය සඳහා වන එක්සත් ජනපද තල්ලුව අවසානයක් නැති මිලිටරි උත්සන්නි පෙලකට පිටතින් විසඳිය නො හැක. ඒවා සෑම එකක්ම ඊට පෙර ඒවාට වඩා කුරිරු වනු ඇත. අවසානයේ දී මහා ව්‍යසනයකට මග පාදනු ඇත.

මෙම සිදුවීම් ප‍්‍රකාශ කරන්නේ කම්කරු පන්තිය මත පදනම් ව, යුද්ධයේ මූල හේතුව වන ධනේශ්වර සමාජ පර්යාය තුරන් කිරීම අරමුනු කර ගත්, යුද විරෝධී මහජන ව්‍යාපාරයක් ගොඩැගීමේ දැවෙන අවශ්‍යතාව යි.

බිල් වෑන් ඕකන්

(1) ඩෙවිඩ් නෝර්ත්, විසිපස් වසරක යුද්ධය: ලෝක ආධිපත්‍යය සඳහා එක්සත් ජනපද තල්ලුව 1990-2016

Share this article: