ව්‍යාජ-වම සිරියාවට එරෙහි අධිරාජ්‍යවාදී ප‍්‍රහාරය අනුමත කරයි

Pseudo-left endorses imperialist onslaught against Syria

2017 අප්‍රේල් 11

‘ත‍්‍රස්ත විරෝධී යූද්ධයට’ අවුරුදු 16 කට පසුව සහ 1991 ප‍්‍රථම ගල්ෆ් යුද්ධයට ශත වර්ෂ කාලකට පසුව, නිමක් නැති අධිරාජ්‍යවාදී යුද්ධය අලුත් සහ වඩාත් භයානක අවධියකට සේන්දු වෙමින් ඇත. ට‍්‍රම්ප් සිරියාවට එරෙහිව එල්ල කල ගුවන් ප‍්‍රහාරයන් ගේ ඉක්බිත්තේ එක්සත් ජනපද මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය එම ප‍්‍රහාරයන් යුක්ති සහගත කිරීමට යොදගන්නා ලද නිල ප‍්‍රචාර පිලිවෙතම ගිරවුන් මෙන් පිලිිරැව් කරමින්, සිරියාවට සහ රුසියාවට එරෙහිව වඩවඩාත් උග‍්‍ර ආක‍්‍රමනික ප‍්‍රහාර ඉල්ලා සිටිති. න්‍යෂ්ටික-අවි දරන රටවල් වන, එක්සත් ජනපදය සහ රුසියාව අතර සෘජු මිලිටරි ඝට්ටනයක් ඇති වීමේ සැබෑ තර්ජනයක් දැන් මතුව තිබේ. එවැන්නක් නොමිනියහැකි විනාශකාරී විපාක ජනනය කරනු ඇත.

එහෙත් , 2003 ඉරාක යුද්ධයට එරෙහි විරෝධතාවන්ගෙන් 14 අවුරුද්දකට පසුවද අද දින කුමන හෝ සංවිධි-යුදවිරෝධි ව්‍යාපාරයක් ඇත්තේ නැත. එන්නෙ’න්නම වැඩි වැඩියෙන් විලිනැති ප‍්‍රචාර සහ බොරු කරගසාගෙන එක යුද්ධයකට පසු තවෙකක් එලඹෙන තතු තුල වුව, සංවිධිත මහජන විරෝධතා හීන වී ගොස් ඇත. මෙය මෙසේ සිදුවෙමින් පවතින්නේ, වඩවඩාත් පුලුල් ජනතා කොටස් අතර ආන්ඩුවේ යුද වියරුව පිලිබඳව ප‍්‍රගාඪ අසහනයක් සහ විරෝධයක් පවත්නා තතුතුල ය. මෙය විස්තර කල හැක්කේ කෙසේද?

ඇමරිකානු තන්ත‍්‍රමාරු මෙහෙයුම් වල වාචාල හුරෙයියන් බවට පත්ව ඉන්නා නාමික වශයෙන් “වාම” දේශපාලන පක්ෂ සහ ප‍්‍රකාශනයන්ගේ භූමිකාව විශ්ලේෂනය නොකොට, මේ ප‍්‍රශ්නයට උත්තර දීම අපහසු වේ. මෙවන් සංවිධාන අතර ට ඉන්ටර්නැෂනල් සොෂලිස්ට් ඔර්ගනිසේෂන් (සොෂලිස්ට් වර්කර් පත‍්‍රය) සහ පැබ්ලෝවාදී ඉන්ටනැෂනල් විව්පොයින්ට් සංවිධාන ඇතුලත් වේ.

වර්ෂ ගනනාවක් තිස්සේ සිරියාවේ ද, ඊට පෙර ලිබියාවේ ද එක්සත් ජනපදය විසින් මෙහෙයන ලද අස්ථායීකර මෙහෙයුම් වල ප‍්‍රමුඛ උසිගන්නන් අතර මෙම සංවිධාන ද වූ හ ඔවුන් ඔබාමා පාලනයේ විදෙස් පිලිවෙත ට එරෙහි වූයේ, එය සිරියාවේ ජනාධිපති බෂර් අල් අසාද් බලයෙන් පහකර දැමීමට ඇතිතරම් කැපවී යෙදුනේ නැතැයි කියාය දැන් ඔවුහු මීට සමාන පිලිවෙතක් ට‍්‍රම්ප් යටතේද ගෙනයමින් සිටිති.

සමස්ත එක්සත් ජනපද මාධ්‍යය, ඛාන් ෂෙයිකුන් ප‍්‍රහාරයේ වගකීම අසාද් ගේ ආන්ඩුව පිට පටවා, එයට එරෙහිව මිලිටරි ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා උසි ගැන්වීමේ මෙහෙයුමක් දියත් කල අඟහරුවාදා හා ට‍්‍රම්ප් පාලනාධිකාරය සිරියානු ආන්ඩුවේ යුද හමුදාවලට එරෙහිව මිසයිල ප‍්‍රහාර නියම කල ඊ ලඟ බ‍්‍රහස්පතින්දා අතර සෝෂලිස්ට් වර්කර් පුවත් පත සහ ඉන්ටර්නැෂනල් විව්පොයින්ට් පූර්න ලෙස මුනිවත රැක්කාහ.

ට‍්‍රම්ප්ගේ ගුවන් ප‍්‍රහාර එල්ලවූ වහාම මේ දෙගොල්ලෝම වැඩට බැස ගත්තෝය. ප‍්‍රහාරය පිලිබඳව නාමික නිෂ්ශබ්දතාවයක් පවත්වා ගන්නා ගමන් ම, ඔවුන්ගේ ප‍්‍රතිචාරය වූ යේ 1.) සීඅයිඒ බොරු ඇත්ත යයි ප‍්‍රචාරය කිරීම හා 2.) ට‍්‍රම්ප් පාලනය සිරියාවේ පාලන තන්ත‍්‍රය මාරු කිරීම සඳහා සැබවින්ම වැඩ නොකිරීම ගැන ද විවේචනය කිරීම ය. සියල්ලටම වඩා ඔවුන්ගේ ඉලක්කය වූයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි විරුද්ධත්වය දියකර දැමීමයි. අප්‍රේල් 9 වෙනිදා, සොෂලිස්ට් වර්කර් පුවත් පත ට ලියූ ෆ්රෙයිඩා අෆාරී සහ ජෝසප් ඩහර් ඔවුන්ගේ මුලු බරම යෙදුවේ අසාද්ගේ “මහජන විනාශකාරී අවි” පිලිබඳ මුසා කතිකාවට තමන්ගේ සම්පූර්න සහාය දීමටය. ඔවුන්ගේ ලිපිය මෙසේ කියයි: “අප්‍රේල් 4 දා අසාද් තන්ත‍්‍රය ද, එහි සගයන් වන රුසියාව සහ ඉරානය ද, අහිංසක සිවිල් ජනයාට එරෙහිව රසායනික බෝම්බ දැමීම වනාහි අසාද් පාලනයට එරෙහි ජනප‍්‍රිය විරෝධයේ ඉතුරු හරියද විනාශ කිරීම සඳහා ගෙනයනු ලබන මිනීමරු ප‍්‍රහාරයේ තවත් පියවරකි.”

එක්සත් ජනපදයේ ද, යුරෝපයේ ද මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය සේ ම මොවුන් ද මේ පූර්න චෝදනාව කරන්නේ මොනම සාක්ෂියකින් හෝ තොරව ය.

ඔවුහු මෙසේ ද කියති, “පැහැදිලිවම බෂර් අල් අසාද් සහ කල්ලිය බලයේ ඉන්න තාක් සිරියාවතුල මොනයම්ම හෝ, සාමකාමී සහ සාධාරන විසඳුමක් ලබාගත හැක්කේ නැත.”

ඔවුනගේ අපවාදයේ ඉලක්කය මැද පෙරදිග ජනකාය මොන විදිහකින් හෝ යට කර ගැනීමට මාන බලන එක්සත් ජනපද ආන්ඩුව නොවේ; සිරියාවේ සීඅයිඒ -ගැති ‘විප්ලවය’ විවේචනය කරන සියලු දේශපාලන සංවිධාන ම වේ. තන්ත‍්‍ර මාරුව සඳහා වන එක්සත් ජනපද අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ පාර්ශවය අසාද් ගේ සහායකයන් ලෙස නම් කෙරේ. “මේ අනුව ඩහෙර් සහ එෆරි ගේ ප‍්‍රහාර සමාප්ත වන්නේ පහත සඳහන් ගාථාවෙනි, “වාමංශිකයන් නොවේ, මේ වාමංශිකයන් නොවේ, බෂර් අල්-අසාද්ට එකතු වූ එවුන්ය.”

මේ පිලිවෙතම අනුව යමින්, ප‍්‍රන්සයේ පැබ්ලෝවාදී, නිව් ඇන්ටි- කැපිටලිස්ට් පාටි (එන්පීඒ) ව්‍යාජ වාම සංවිධානයේ ජනාධිපති අපේක්ෂක පිලිප් පූතෝ සිරියාව තුල එක්සත් ජනපද මැදිහත් වීම ට විරුද්ධව යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමට සිය ව්‍යාපාරයේ විරුද්ධත්වය පැහැදිලි කරමින් අප‍්‍රියෙල් 8 දින මෙසේ පැවසී ය: අල් අසාද් සහ ඔහුගේ ගැත්තන් සමග ‘යුක්ති සහගත’ සාමයක් සඳහා, මෙම ඒකාධිපතියා විසින් මරන ලද දහස් ගනන්ද උන්හිටිතැන් අහිමි කරන ලද්දා වූ ද සරනාගතයන් බවට පත් කරන ලද්දා වූ ද මිලියන ගනන් ද අමතක කොට දැමූ ප‍්‍රන්ස දේශපාලන පක්ෂවල විරෝධතාවන්ට අප එකතුවන්නේ නැත.”

සිරියාවේ ප‍්‍රන්ස අත දැමීමට එන්පීඒ සංවිධානය විසින් සැපයෙන මේ ප‍්‍රතිගාමී යුක්ති ප‍්‍රතිපාදනය විසින් මුලුමනින් ම අමතක කර දමනු ලබන්නේ, අධිරාජ්‍යවාදී රටවල් ද, ඒ්වායේ පෙරකල යටත් විජිතයන් ද අතර පවත්නා මූලික වෙනස වේ. සැබෑ ප‍්‍රන්ස සමාජවාදී ව්‍යාපාරයක ආකල්පය තීන්දු වන්නේ අසාද්ගේ අපරාධ ලැයිස්තු සකස් කිරීම මතද නොවේ; ප‍්‍රන්ස අධිරාජ්‍යවාදයේ ආර්ථික ස්වභාවය සහ ඓතිහාසික භූමිකාව විසිනි. අසාද් ඉවරකර දැමීමේ කර්තව්‍යය ප‍්‍රන්සයේ ලේ නාගත් ව්‍යාපාරිකයන්ගේ නියෝජිතයින්ට හෝ, ඒ හැටියට ගතහොත් ඇමරිකානු වෝල් වීදියට හෝ බාර කල නොහැකි වේ. අසාද් ඉවත් කොට මොවුන් අටවන්නට යන විකල්පය නම් සිරියාව බිඳ, එහි කැබලිති අධිරාජ්‍යවාදය විසින් තෝරා ගැනුනු නා නා ඒජන්තයන් යටතේ පාලනය කිරීමයි; අසාද් නමැති ප‍්‍රශ්නය විසඳා ලිය හැක්කේ සිරියාවේ ද මුලුමහත් මැද පෙරදිගද කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය මගින් ය; පැහැදිලිව නිර්නිත සමාජවාදී, ජාත්‍යන්තරවාදී, සහ ප‍්‍රති-අධිරාජ්‍යවාදී ක‍්‍රියාමාර්ගයක් මත පමනි. සිත් කාවදින කරුනක් නම්, ඉන්ටර්නැෂනල් වීව් පොයින්ට් මාධ්‍යය රුසියාවේ ද, ඉරානයේ ද “යුද විරෝධි ව්‍යාපාරයන්” පිහිටුවීමට ඉල්ලා සිටිනාතර එවැන්නක් එක්සත් ජනපදයේ පිහිටුවියයුතුයි කියන්නේ නැත. එවන් ‘ව්‍යාපාර’ එම රටවල් තුල තන්ත‍්‍ර මාරුවේ බිජු රක්නයන් ලෙස, සීඅයිඒ -ගැති ඉස්ලාමික සංවිධානයන්ට උර දී ගෙන වැඩ කරනු ඇත. ඔවුන් පුටින් තන්ත‍්‍රයට දක්වන විරුද්ධත්වය විප්ලවවාදී සමාජවාදී වමෙන් නොවේ. ඔවුන් තන්ත‍්‍රයට විරුද්ධවන්නේ එය ස්ටැලින් වාදී පාවාදීමෙන් සහ ඔක්තෝබර් විප්ලවය විනාශකිරීමෙන් උපන්නක් ලෙස ගෙන නොවේ; රාජ්‍ය දේපල පුද්ගලික දේපල බවට හැරවීමෙන් ධනය රැස්කරගත් කතිපයාධිකාරයක නියෝජිතයා ලෙස ද නොවේ.

අයිඑස් ඕ සංවිධානය කරන්නේ පුටින්ට එරෙහි විරුද්ධ පක්ෂය මුලුමනින්ම සීඅයිඒ සංවිධානයේ රැවටිලි කාරී “මානව අයිතිවාසිකම්” ඝෝෂාව තුල නිර්වචනය කිරීමයි.

සෝෂලිස්ට් වර්කර් නම් ප‍්‍රකාශයේ අයිඑස් ඕ සංවිධානයේ ඇෂ්ලි ස්මිත් මෙසේ ලියයි: “ගිවිසුම (2013) බිඳීමට හා රසායනික අවි යොදා ගැනීමට අසාද්ගේ සූදානම පිලිබඳව, කවුරුවත් පුදුම වෙන්නට ඕනෑ නැත. ඩිමොක‍්‍රටික් පක්ෂයේ පිලිවෙත කර ගසා ගනිමින් ස්මිත් ප‍්‍රකාශ කරන්නේ ‘ට‍්‍රම්ප්ගේ මානවවාදී මවාපෑම් බරපතලව ගත නොහැකි බවයි,’ මන්ද යත් මෑතක් වනතුරු ඔහු, අසාද් සහ රුසියාව සමග කිසියම් ජාතියක හාදවීමකට සහයදුන් නිසාය.” එසේ කිරීමේදී අයිඑස් ඕ සංවිධානය චෝදනා කරන්නේ ට‍්‍රම්ප් පාලනාධිකාරය “වරක් ඔබාමා යටතේ ගම්‍යව පැවති දෙයක් ට‍්‍රම්ප් විසින් විශදව තහවුරු කර ඇති බව: එනම්, එක්සත් ජනපදය අයිඑස් සංවිධානයට එරෙහි යුද්ධයේ දී තථා යුද සගයා ලෙස අසාද් පිලිගෙන ඔහුට බලයේ රැඳී සිටීමට ඉඩ සලසා ඇති බවකි.” මොවුන්ට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ පිලිවෙතේ ප‍්‍රධාන ගැටලුව වන්නේ “අසාද් තම ඒකාධිපතිත්වය රැක ගැනීම සඳහා ගෙනයමින් සිටින තතු තුල ඔහුගේ ප‍්‍රති විප්ලවවාදී යුද්ධයට සහය දීමට රුසියාව, ඉරානය සහ හෙස්බොල්ලා සංවිධානය, ඉදිරිපත්ව ඉඳීම එක්සත් ජනපදයට පෙනෙන්නේ නැති බවකි”.

මේ අනුව අයිඑස් ඕ සංවිධානය සහ ඉන්ටර්නැෂනල් විව්පොයින්ට් මාධ්‍යය සීඅයිඒ සංවිධානය සමග එක්ව ට‍්‍රම්ප් ඔහුගේ අන්ත දක්ෂිනාංශික යුද්ධකාමී පිලිවෙත් වලට නොව, ඔහු රුසියාවට සමීප වැඩියි කියා ඔහුව විවේචනය කරයි. මේ සංවිධානවල ආස්ථාන වනාහි අර්ධ ශත වර්ෂයකට වඩා ඈත ට දිවෙන පෘථුලතර සමාජ සහ දේශපාලන සන්තතින්ගේ විපාකයකි. 1960 ගනන්වල දී අනිවාර්ය යුද සේවය ට එරෙහි වූ ද පැතිර පැවතී රක්ෂක වාදී සම්ප‍්‍රදායට සතුරු වුද තරුන රැඩිකල් කොටස් තුලින් සාමාජිකයන් උකහාගත් යුද විරෝධී ව්‍යාපාරය ප‍්‍රධාන වශයෙන්ම මධ්‍යම පන්තික විය.

මෙම ව්‍යාපාරයට නායකත්වය දුන් සංවිධාන උත්සාහ කලේ යුද්ධයට එරෙහි ව්‍යාපාරය ධනවාදයට එරෙහි ව කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීමෙන් වලක්වා ලීමයි.

ඉක්බිති එලඹී දශක පහ පුරා වියට්නාම යුද්ධවිරෝධි ව්‍යාපාරයේ නායකයෝ දක්ෂිනාංශය දක්වාම දුර ගෙවූහ. ඔවුන්ගේ බොහෝ දෙනෙක් ධනේශ්වර දේශපාලන නායකයන් බවටම පරිවර්තනය වූ හ. දෘෂ්ටිමය වශයෙන් ගත හොත්, මේ සමාජ ස්ථරය මාක්ස්වාදය වඩවඩාත් විවෘතව පිලිකෙව් කොට, පස්චාත් නූතන වාදය සහ අනන්‍යතා දේශපාලනය වැලඳ ගන්නා ලදී. දේශපාලන වශයෙන්, ඔව්හු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “මානව හිමිකම්” ව්‍යාජය කරපින්නා ගති.

මෙම දක්ෂිනාංශික දේශපාලන සහ බුද්ධිමය ප‍්‍රවනතා ප‍්‍රකාශිත වූයේ, සීතල යුද සමයේ ප‍්‍රති-කොමියුනිස්ට් වාදයේ රූපයක් වූ, දැන් ධනේශ්වර රුසියාව කෙරේ යොමුකෙරුනු, රුසියාව සම්බන්ධ ජන්මාන්තර වෛරයක් ලෙස ය.

මෙම කන්ඩායම් විසින් රුසියාව, චීනය සාහ ඉරානය “අධිරාජ්‍යවාදීය” යි හෙලාදැකීම ආධාර වන්නේ, රුසියාව ද චීනය ද ඇතුලුව, ලෝකය පුරාම සීඅයිඒ-මෙහෙයවන, තන්ත‍්‍ර මාරු මෙහෙයුම් වලට සහය දීම උදෙසා ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙවන් සංවිධාන නම්කර ඇත්තේ “සූඩෝ-ලෙෆ්ට්” හෙවත් ව්‍යාජවාම සංවිධාන ලෙස ට ය. ඔවුහු ජනප‍්‍රිය වාග් මාලා ද අනන්‍යතා දේශපාලනය ද ඉහල මධ්‍යම පන්තියේ ධනවත් කොටස් වල සමාජ-ආර්ථික ආසක්තයන් පෝෂනය කිරීමට යොදා ගනිති. මොවුහු යුද්ධය ට පක්ෂ වෙති. අධිරාජ්‍යයට ගැති වෙති. ඔවුහු නව -යටත් විජිතවාදී යුද මෙහෙයුම් යුක්ති සහගත කිරීම සඳහා ‘මානව හිමිකම්’ සටන් පාඨය යොදාගනිති.

ඔවුන්ගේ දේශපාලන විකාශනය පිලිබිඹු කරන්නේ සමාජ විභේදනයකි. ගතවූ අවුරුදු 50 තුල, ආදායම් උපයන්නන්ගේ ඉහල සියයට 10, ව්‍යාපාරවස්තු සහ අනෙකුත් මූල්‍යමය උපකරනයන් ගේ අගය ප‍්‍රබල ලෙස ඉහලයාමෙන් සැලකියයුතු වාසි අත්පත් කරගෙන සිටිති. බොහෝසෙයින් මෙයට හේතු වී තිබෙන්නේ වෘත්තීය සමිතින් විසින් දශක ගනනාවක් තිස්සේ කරන පාවාදීම් ද කම්කරු පන්තියේ වැටුප් සහ ජීවන තත්වයන් නිර්දය ලෙස පහත දැමීමද වේ.

ඉහල සියයට 1ට එරෙහිව මොවූනට පවත්නා දුක් ගැනවිලි කුමක් වුවත් මොවුන් මහා ජනතාවගේ ආසක්තයන්ගෙන් යෝධ අගාධයක් මගින් වෙන්කරනු ලැබ තිබේ. ඔවුන්ගේ කොටස් වෙලඳපල ආයෝජන ප‍්‍රමානයේ අගය රඳාපවතින්නේ කම්කරු පන්තිය දිගින් දිගටම සූරාකෑම මත හා, අතිශය තීරනාත්මකව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපත්‍යය මතය. මෙම සමාජ ස්ථරයේ එන්නෙන්නම පෝසත් වන ආර්ථික තත්වය, එහි බුද්ධිමය, සංස්කෘතික පමනක් නොව සදාචාරාත්මක පරිහානිය තුල පිලිබිඹුවක් ඇති කරගෙන තිබේ.

යුද-විරෝධී ව්‍යාපාරය යලි උපදිනු ඇත්තේ මෙම මධ්‍යම පන්තික තට්ටු වලින් නොව කම්කරු පන්තියෙනි. යුද්ධයට එරෙහි සැබෑ ව්‍යාපාරයක් යලිත් ගොඩ නැගීමේ ලා අතිශයින්ම හදිසි කර්තව්‍යය වන්නේ මෙම ස්ථරය විසින් නියෝජනය කරන දක්ෂිනාංශික, මධ්‍යම පන්තික දේශපාලන කට්ටලයන් හා ඔවුන් නියෝජනය කරන සමාජ අවශ්‍යතා දේශපාලනිකව එලිදරව් කරලීමයි.

ආන්ද්‍රෙ ඩෙමොන්

Share this article: